සමලිංගික සේවනය පිළිබඳ ඓතිහාසික ඉන්දියානු නඩු තීන්දුව | සිළුමිණ

සමලිංගික සේවනය පිළිබඳ ඓතිහාසික ඉන්දියානු නඩු තීන්දුව

වැඩිහිටියන් අතර ස්ව කැමැත්තෙන් සිදුවන සමලිංගික සේවනය අපරාධමය වරදක් නොවන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සැප්තැම්බර් 6 වන දා ඓතිහාසික තීන්දුවක් ලබා දෙමින් ප්‍රකාශ කළේ ය.

මේ නීතිය අනුව සමලිංගික සේවනයෙහි යෙදෙන්නන් වසර 10 ක් දක්වා සිරගත කිරීමේ හැකියාව තිබුණි. එසේ සිරගත කිරීම් විරල වුව ද සමරිසි සහ සංක්‍රාන්ති ලිංගිකයන් ආදීන් (LGBT ප්‍රජාව) මේ නීතිය හේතුවෙන් පීඩාවට පත් වූහ. මේ නීතිය LGBT ප්‍රජාව හිරිහැර කිරීම සඳහා අවියක් කරගන්නා ලද බව සිය තීන්දුව ප්‍රකාශ කරමින් අග විනිසුරු දීපක් මිස්‍රා ද සඳහන් කළේ ය.

මේ අනුව ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 377 වන වගන්තියෙහි කොටසක් අවලංගු කරන ලදී. මෙය බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී පනවන ලද වසර 146 ක් පැරණි වූ නීතියකි.

මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේ පිටත රැඳී සිටි LGBT ප්‍රජාව ප්‍රීතියෙන් ඉපිළ ගිය හ. මෙය ඔවුන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් වසර ගණනාවක් තිස්සේ සිදු කරන ලද අරගලයක ප්‍රතිඵලයක් වූයේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව දෙන ලද මේ තීන්දුවට පාදක වූයේ ද තමන් හිරිහැරයට සහ පොලිස් ක්‍රියාමාර්ගයන්ට ලක්වීම පිළිබඳ බියෙන් ජීවත් වන බවට පුද්ගලයන් පස් දෙනකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමකි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පිළිබඳ සිය ප්‍රසාදය පළ කළ ප්‍රකට පුද්ගලයන් අතර සිනමා අධ්‍යක්ෂ කරන් ජොහාර් ද වූයේ ය. සමලිංගික සේවනය අපරාධ ගණයෙන් ඉවත් කිරීම සහ 377 වගන්තිය ගලවා දැමීම මනුෂ්‍යත්වය සහ සමාන අයිතීන් සඳහා විශාල රුකුලක් බව ඔහු සිය ට්විටර් පිටුව හරහා කියා සිටියේ ය.

ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂය 377 වන වගන්තිය වෙනස් කිරීමට එරෙහි වූයේ ය. නමුත් එ් පක්ෂය සඳහන් කළේ ඒ පිළිබඳ තීන්දුවක් ගැනීම අධිකරණය වෙත පවරන බවයි. නමුත් විවාහය ආදී අනෙකුත් කරුණු පිළිබඳ නීතිය වෙනස් කිරීමට අධිකරණය කටයුතු නොකළ යුතු බව එ් පක්ෂය අවධාරණය කර තිබුණි.

සමාජ පිළිගැනීම

අතිශයින්ම සාම්ප්‍රදායික ඉන්දියානු සමාජය තුළ සමලිංගිකයන් කොන් කිරීම ස්වාභාවයක් වූයේ ය. අතීතයේ සිටම ඉන්දියාවෙහි සමලිංගික සේවනය පිළිගැනුණේ නැත. සාමාන්‍ය ලිංගික සබඳතා පිළිබඳ සාපේක්ෂ ව ඉතා ධනාත්මක ස්ථාවරයන් පිළිබිඹු කළ කාම සූත්‍ර වැනි ග්‍රන්ථවල පවා සමලිංගික සේවනය පිළිබඳ සඳහනක් නොමැති තරම් ය.

කෙසේ නමුත් මෑත කාලීන ඉන්දියානු ජන සමාජයෙහි ඇතැම් කොටස් අතර සමලිංගිකයන් පිළිබඳ වූ විරෝධාකල්පය අඩු වෙමින් පවතී. මෙය නාගරික මධ්‍යම පන්තියේ එක් කොටසක් පිළිබඳ ප්‍රධාන වශයෙන් සත්‍යය වේ. ඇතැම් බොලිවුඩ් චිත්‍රපට හරහා ද මෑතකාලීනව සමලිංගික පුද්ගලයන් පිළිබඳ සාකච්ඡා කෙරිණ. එහෙත් සාමාන්‍ය ජන සමාජයෙහි සාතිශය බහුතරය මේ නැඹුරුව කෙරේ වර්තමානයේ ද බලන්නේ වපර ඇසිනි.

සමලිංගික සේවනය අපරාධ ගණයෙන් ඉවත් කිරීමේ නෛතික අරගලය වසර 17 ක් දිගු එකකි. 2001 දී දිල්ලි මහාධිකරණය ඉදිරියේ පනවන ලද නඩුවක තීන්දුව 2009 දී ලබාදුන් එම අධිකරණය 377 වගන්තියේ සමලිංගිකත්වය පිළිබඳ කොටස ඉවත් කරන ලදී. නමුත් 2013 දී එම තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බල රහිත කරනු ලැබුණි. ඊට මූලික බලපෑම පැමිණියේ හින්දු සහ මුස්ලිම් ආගමික සංවිධානවලිනි. එ් තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන ඉල්ලීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද අතර ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය සිය මුල් ස්ථාවරය වෙනස් කළේ ය.

“මේ සඳහා අප වසර ගණනක් සටන් වැදුණා. නමුත් අප අධෛර්යය වූයේ නැහැ. දැන් අපට ඇත්තේ මෙය සාමාන්‍ය ජන සමාජය අතර ප්‍රචලිත කිරීමයි” ඉන්දියාවේ පළමු සංක්‍රාන්ති ලිංගික රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නිය වන රෝස් වෙන්කටේසන් ප්‍රකාශ කළා ය. සමරිසි විවාහ නීතිගත කිරීම යනාදී සටන් සඳහා එළැඹීමට පෙර ඉන්දීය ජන සමාජය තුළ සමලිංගිකත්වය පිළිබඳ අදහස් වෙනස් කිරීමේ බැරෑරුම් සටනක් ඉතිරිව ඇත.

මානව අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ LGBT ප්‍රජාව මේ තත්ත්වය අවබෝධ කරගෙන සිටියි. LGBT ප්‍රජාව වෙත සමාජයේ පිළිගැනීම ලැබීමට තවත් බොහෝ කල් ගතවන බව ඔවුහු දනිති. එහෙත් ඒ සඳහා අතිශයින් වැදගත් වන නඩු තීන්දුවක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් මේ තීන්දුව ගිණිය හැක්කේ ය.

කෙසේ නමුත්, වැඩිහිටි පුද්ගලයින්ගේ නිදන කාමරවලට එබී බැලීමට රජයට ඇති අයිතිය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කිරීම කොන්දේසි විරහිතව අගය කළ යුත්තකි.

මේ අතර ඉන්දියාවේදී ලබාදුන් මේ නඩු තීන්දුව කලාපීය වශයෙන් කෙසේ වැදගත් වේද යන්න ඉදිරියේදී විමසා බැලිය හැක්කේ ය. ආගමික සංස්ථාවන් හි විරෝධය නොසලකා නීතිය ක්‍රියාත්මක කිරීමට අධිකරණයෙන් ලැබුණ පිටුබලය පැසසිය යුත්තකි. නමුත් කලාපීය රටවල් එය කෙතෙක් අනුගමනය කරනු ඇතිද යන්න සැක සහිත ය.

මීට කලකට පෙර සියදිවි නසාගැනීමට උත්සාහ කිරීම අපරාධයකැයි දණ් ඩ නීති සංග්‍රහයෙහි වූ වගන්තිය ඉන්දීය අධිකරණය විසින් ඉවත ලූ කල ශ්‍රී ලංකාවේ අධිකරණය විසින් ද එ් නීති වෙනස් කළේ ය. නමුත් ලංකාවේ අධිකරණ පද්ධතිය ආගමික සංස්ථාව වෙතින් එල්ල වන බලපෑම කෙසේ සලකනු ඇතිද යන්න විමසිය යුතු ව ඇත.

ආගමික සංස්ථාව ඉතා ප්‍රබල පාකිස්තානයේ පවා සංක්‍රාන්ති ලිංගිකයන්ට නෛතික පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරන ලදී. මේ අනුව දැන් පාකිස්තාන වැසියන්ට ස්ත්‍රී, පුරුෂ සහ වෙනත් වශයෙන් සිය ලිංගිකත්වය හැඳින්වීමට වරණ තුනකින් එකක් තෝරාගත හැකිය. ශ්‍රී ලංකාව ඒ අතින් සිටින්නේ ඉස්ලාමීය ජනරජයක් වන පාකිස්තානයට ද වඩා පිටුපසින් බව කණගාටුවෙන් වුවද පිළිගත යුත්තේ ය.

අදහස්