මටවත් කියන්න බැරි දස වධ ඒ වධකයන් දුවට දීලා තිබුණා | සිළුමිණ

මටවත් කියන්න බැරි දස වධ ඒ වධකයන් දුවට දීලා තිබුණා

“මගේ මිනිය පුච්චන්න, පුළුවන් නම් බොරැල්ල කනත්තෙදි. ඒ, අදටත් මම දේවි මාතාවට ආදරේ නිසා ඒ ආසන්නයේම වළලන්ට. සබරගමුව කැම්පස් එකේ කිසිම ළමයෙකුට මගේ අවමංගල්‍යට සහභාගි වීමට ඉඩ නොදෙන ලෙස මම තරයේම ඉල්ලා සිටිනවා...”

එලෙස සිය අවසන් කැමැත්ත ලියා තබා අමාලි සිය නිවෙසේදී ගෙල වැලලා සියදිවි හානි කරගෙන තිබුණේ ඇයගේ අත්අකුරින්ම ලියූ අනෙක් ලිපියක් මඟින්, තමාට නවකවධය දුන් අයගේ නම්-ගම්ද හෙළි කරමිනි.

කෙසේ වෙතත්, රටක් කැලඹූ ඇයගේ මරණය විවිධ පටු හේතු කාරණා මත යට ගැසුණේ නැවතත් නවකවධ දෙන්නන්ට දොරගුළු විවර කරමිනි. එදා ඇයගේ මරණය ගැන බලධාරීන් විධිමත් පරීක්ෂණ සිදු කළ බවක් වාර්තා වී නොතිබුණු අතර, නැවතත් ඇයට සාධාරණයක් ඉටු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අමාලිගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කොට ඊට සම්බන්ධ වූවන්ට නිසි දඬුවම් දෙන ලෙස පොලිස් කොමිසම වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙම ලිඛිත ඉල්ලීමේදී ඇමැතිවරයා දැඩිව අවධාරණය කර ඇත්තේ, “අමාලි චතුරිකා සිසුවියගේ මරණ පරීක්ෂණයක් නොවළහා සිදු කොට මරණයට වගකිව යුත්තන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නඩු පැවැරීමට කටයුතු කරන ලෙසත්, එකී මරණයට අදාළ සාක්ෂි පොලීසියට ලබා නොදීම හා අපරාධයට අදාළ කරුණු හා සාක්ෂි සිතාමතා වසන් කිරීමේ සාපරාධි වරදට සම්බන්ධව පරීක්ෂණ පවත්වා එවකට සබරගමු විශ්වවිද්‍යාලයේ උපකුලපති වරයාට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන ලෙසත්, ඉහත පැමිණිල්ල සම්බන්ධව හෝමාගම පොලීසියේ එවකට සිටි පොලිස් ස්ථානාධිපති නිසි පරීක්ෂණ සිදු කිරීම හා නඩු පැවැරීම පැහැර හැරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පරීක්ෂණ පවත්වා සුදුසු දඬුවම් ලබා දෙන ලෙසත්” ය.

අමානුෂික ලිංගික හිරිහැර ඇතුළු වදවේදනා දී තමාව විශාදිමය තත්ත්වයට පත් කළ, සිය මරණයට හේතුකාරියන්ගේ හැටියට සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනකු ගේ මේ නම්-ගම් අමාලි විසින් අවස්ථා ගණනාවකදීම හෙළිදරවු කර තිබිණි.

තම දියණිය මුහුණ පෑ අහස පොළොව නූහුලන අපරාධයෙන් පසු මෙලොව තනි වූ අමාලිගේ මව තවමත් හැඬූ කඳුළිනි. ඇයට අවශ්‍ය අමාලිගේ මරණයට සාධාරණයක්ය.

“මම අවුරුදු දෙකක්ම මගේ දුවගේ මරණය වෙනුවෙන් සටන් කළා. ඒත් සාධාරණයක් ඉටු වුණේ නැහැ. දැන් මම තනි වෙලා. මටත් ජීවිතේ නැති කරගන්න හිතුණු වාර අනන්තයි. ඒත් මගේ දුවට සාධාරණයක් ඉටු කරන්න මම තවදුරටත් ජීවත් වෙන්න ඕනෑ...” අමාලිගේ මව වන ඩබ්ලිව්.පී. ඇල්විටිගල මහත්මිය පවසන්නීය. සිය එකම දියණියගේ වියෝවින් නෙතට නැඟුණු කඳුළු තවමත් ඇගේ නෙතගින් උනයි. ස්මරණය කරන්නටද අපහසු ඒ වේදනාබර අතීතය ඇය අපහසුවෙන් යළිත් මෙනෙහි කළේ එයින් රටට ගත හැකි බොහෝ දේ ඇති නිසාය.

“මගේ දුවට සාමාන්‍ය පෙළට ‘ඒ’ 9ක් ලැබුණා. මුලින්ම එයා උසස් පෙළට වාණිජ කරන්න හැදුවා. පස්සේ ජීව විද්‍යාව මාස 2ක් විතර කරලා, ගණිතය විෂයධාරාවට මාරු වුණා. මේ අතර එයා සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික විභාගයකට පෙනී හිටියා. මේ විභාගය කරන්න දුව ගියේ සබරගමු විශ්වවිද්‍යාලයට. ඒ වෙලාවේදි දුවට මේ සරසවි පරිසරයට ආස හිතිලා මට ඇවිත් කිව්වා කවදා හරි මම යන්නේ මේ සබරගමු විශ්වවිද්‍යාලයට කියලා. ඒත් එයාට ලැබුණේ රජරට විශ්වවිද්‍යාලය. පස්සේ මටත් හොරෙන් දුව සබරගමු විශ්වවිද්‍යාලය ඉල්ලුම් කරලා තිබුණා. මේ වන විට එයාට යාපනය විශ්වවිද්‍යාලයෙන් කායික විද්‍යා විෂයටත් තේරිලා තිබුණා. 2014 මාර්තු 23 වැනිදා දුවයි මමයි අලුතින්ම සබරගමු විශ්වවිද්‍යාලයට ගියා. කිසිම වෙනසක් තිබුණේ නැහැ. මේ වන විට කලින් බැච්වල අයට විභාගයට නිවාඩු දීලා කියලා දැනගන්න ලබුණා. මේ නිසා කරදරයක් නැතුව ඉදලා තියෙන්නේ ටික දවසයි. නිවාඩු ගිය ළමයින් ආවට පස්සේ ඒ අය මගේ දරුවට හොඳටම වද දීලා තියෙනවා. ඒත් මේ කිසි දෙයක් මම දැනගෙන හිටියේ නැහැ. ඒත් ඒ අතරතුර දවසක දුව තනියම ගෙදර ආවා. ඇවිත් මට කිව්වා අම්මේ මම ආයිත් කැම්පස් යන්නේ නැහැ කියලා. මම ඇයි කියලා ඇහුවහම එයා කිව්වා ‘සීනියස්ලා කැන්ටින් එකට එක්කගෙන ගිහින් මට නරක් වුණ බත් කැව්වා’ කියලා. දැන් මට හොඳටම සනීප නැහැ කියලා. ඒත් මේ අතරේ මම වැඩට ගිය දවසක දුව දේශන පාඩු වෙනවා කියලා ආයිත් හිත හදාගෙන විශ්වවිද්‍යාලයට ගිහින් තිබුණා. මේ අතර දවස් කීපයක වෙනසක් තමයි තිබුණේ. අප්‍රේල් 30 වැනිදා නැවතත් මට විශ්වවිද්‍යාලයෙන් කෝල් එකක් එනවා දරුවට සනීප නැහැ ඇවිත් එක්ක යන්න කියලා. මම ඉක්මනටම හොස්ටල් එකට ගියා. යනකොට මගේ දරුව හිටියා. දුවට ඇඳෙන් බහින්න බැහැ කිව්වා. යටි බඩ කැක්කුමයි කිව්වා. ඒ අය කිව්වා ‘අපිට බයයි, මෙයා රැග් වෙලා ඉන්නේ’ කියලා. මෙයාට කලින් දවසේ ගොඩාක් තදින් රැග් එක දීලා තියෙනවා. අන්තිමේදි මෙයා පීඨාධිපතිගේ කාමරයේ ජනේලයෙන් බිමට පනින්නත් උත්සාහ කරලා තියෙනවා. මම දරුවව කැම්පස් ළමයි දෙන්නෙකුත් එක්ක ගෙදර එක්කගෙන ආවා. මෙයා මැරෙන්නම උත්සාහ කරනවා. පහුවදා මම මෙයාව හෝමාගම රෝහලට ගිහින් බේත් අරගෙන එන ගමන් හොමාගම පොලීසියටත් පැමිණිල්ලක් දැම්මා. එදා රෑ මෙයා මම එහා මෙහා වෙන අතරේ ගේ ඇතුළට වෙලා ගේ දොර ලොක් කරගෙන ගිනි තියාගන්න උත්සාහ කළා. අපි ජනේලය කඩලා දුවව බේරගන්නකොට එයාගේ කොණ්ඩයත් පිච්චෙනවා. මේ හේතුවෙන් දුවව නැවතත් කළුබෝවිල රෝහලේ 33 වැනි වාට්ටුවට ඇතුළු කළා. වාට්ටුව බාරව සිටි වෛද්‍ය ජයමාල් ද සිල්වා මහතා කිව්වා දුවට විශාදය කියලා. ඒ වගේම වෛද්‍ය වාර්තාවේ සඳහන් වුණා කලින් දරුවට විශාදය නොතිබුණ බව...” (වෛද්‍ය වාර්තාවේ මේ බව පැහැදිලිවම සඳහන්ව තිබේ).

ඩබ්ලිව්.පී. ඇල්විටිගල මහත්මිය පවසන පරිදි අවස්ථා කිහිපයකදීම මෙලෙස සියදිවි නසාගැනීමට තරම් අමාලි තුළ දැඩි මානසික පීඩනයක් ඇති වන්නේ සරසවියේදී ඇය මුහුණ දුන් ම්ලේච්ඡ හිරිහැර හේතුවෙනි. අමාලිට දුන් නවකවධය විකෘති මානසික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් යොදාගත්තකි. ඇයට සරසවියේ ආපන ශාලාව තුළට එන්නට පවසා, ඉහත නම් සඳහන් ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගේ නායකත්වයෙන් ප්‍රසිද්ධියේ අසභ්‍ය ලිංගික ජවනිකා වීඩියෝ පටයක් පෙන්වා එහි කාන්තාව අනුකරණය කරමින් සිරුර තබාගෙන රඟපාන්න යයිද ඒ ආකාරයට කෑගසන්නයයිද නියෝග කර පහත් වින්දනයක් ලබා ඇති බව අනාවරණය වී තිබේ. කෙසේ වෙතත් මේ බව අවස්ථා ගණනාවකදීම විශ්වවිද්‍යාල බලධාරීන් දැනුම්වත් කර ඇති අතර, විශ්වවිද්‍යාලය මාරු කර දෙන ලෙසද ඉල්ලීම් කර ඇතත් ඒ කිසිවක් ඇගේ මරණය වන තුරුත් ඵල නොදැරීය. එහෙත් එවකට සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති විසින් 2014.6.16 වැනි දින නිකුත් කළ ලිපියක ‘මෙම නවකවධ සිදුවීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව ඇත...’ යනුවෙන් ලිඛිතව පිළිගෙන ඇත්තේය.

“දුව නිතරම මාෂා, ඉසුරු යන නම් දෙක කිව්වා. ඒ අය එයාත් එක්ක ඉරිසියාවෙන් හිරිහැර කරනවා කිව්වා. තාත්තා නැති මට ඉගෙනගන්න සල්ලි කොහෙන්ද කියලා අහලා හිංසා කරනවා කිව්වා. මේ අතර දුව විටින් විට අසනීප වෙලා විශ්වවිද්‍යාලයෙන් ගෙදර එව්වා. තවත් දවසක් බෝඩිමේදි එයා අසනීපයට දෙන බෙහෙත් සියල්ල එකවර බීලා. මම යනකොට බළන්ගොඩ රෝහලේ ඇඳක අඩ සිහියෙන් හිටියා. දවස් දෙකක් එහෙමම හිටියා. ඊට පස්සේ එයා පීඨාධිපතිගෙන් විශ්වවිද්‍යාලය මාරු කරලා දෙන්න ඉල්ලුවා. පිඨාධිපතිතුමා පවා කැමැති වුණා, මේ නවකවධ සිදුවීම් නිසා දුවට වෙනත් විශ්වවිද්‍යාලයකට යෑමට අවසර දෙන්න. ඒත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ පැය ගණන් රස්තියාදු වුණා මිසක් වැඩක් වුණේ නැහැ. දුව අඬ අඬා එළියට ආවා, ඇවිත් පීඨාධිපතිතුමාට කියලා සබරගමු විශ්වවිද්‍යලයට යන එක අවුරුද්දකින් කල් දාගත්තා. මේ අතර එයා පොඩි පොඩි රැකියා කිහිපයකුත් කරලා මටත් තෑගි අරගෙන දුන්නා. මේ අතරේ අවුරුද්දකින් කල් දාගත්ත කාලය ගෙවිලා ගිහින් එයාට නැවතත් විශ්වවිද්‍යාලයට යන්න තිබුණේ 2015 මාර්තු 16. ආයෙ විශ්වවිද්‍යාලයට යන්න තියෙන බව මතක් වෙන හැම සැරයෙම දුව හිටියේ හරිම මානසික පීඩාවෙන්. මේ නිසා එයා පෙබරවාරි 14 වැනිදා පීඨාධිපතිතුමාව කිහිප සැරයක් දුරකතනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. එය සාර්ථක වුණේ නැති වුණාම දුව මට ‘අම්මේ ඩීන් සර් නැත් නම් ගිහින් වැඩක් නැහැ... එයාලා මාව ආයිත් අල්ලගනී’ කියලා කිව්වා. මේ අතර පහුවදා දුව ගෝල්ෆේස් ගිහින්, දියතටත් ගිහින්, මටත් වඩේ වගයක් අරගෙන ආවා. එයාගේ කිසිම වෙනසක් මම දැක්කේ නැහැ. දුව එදා මුළු රෑම නොනිදා ගත කරලා තියෙනවා. ෆෝන්එක අතේ තියාගෙන සිටියත් කාටවත් කෝල් කරලා නැහැ. පහුවදා පාන්දර මම උයන්න නැඟිටින කොටත් දුව නැඟිටලා. ඒත් මට අමුත්තක් දැනුණේ නැහැ. නයිටිය ගලවලා ඇඳගන්න කොට කලිසමක් ඉල්ලුවෙත් මගෙන්. මම වැඩට යනකොට දුවම මගේ මූණ ඉම්බා. අන්තිමේ මම ගිය අතරේ මගේ දුව එල්ලිලා මිය ගිහින් තිබුණා...” අමාලිගේ මව දැඩි වේදනාවෙන් පවසන්නීය.

මේ අතර අමාලි ඇය ජීවත්ව සිටින කාලයේ විශ්වවිද්‍යාලය තුළ පැවති පරීක්ෂණවලදී තමාට සබරගමු සරසවියේදී දුන් අමානුෂික නවකවධ සවිස්තරව විග්‍රහ කර තිබුණුද එහි පිටපත් ඇගේ මව පරීක්ෂණ කටයුතු වෙනුවෙන් ලබාගැනීමට උත්සාහ ගත් අවස්ථාවල විශ්වවිද්‍යාලයීය බලධාරීන් ඇයට ඒවා දීම ප්‍රතික්ෂේප කර තිබිණි. එපමණක් නොව; ඇයගේ මරණය නවකවධයක් නිසා ඇති වූවක් නොව, ඇයට උත්සන්නව පැවති මානසික රෝගයක් නිසා සිදු වූ බවට අදාළ සරසවියේ බලධාරීන් ප්‍රකාශ කර ඇත. එසේම ඊට පෙරත් දිවි නසාගන්නට වෑයම් කළ අයකු බවත් මනෝ, ඇය වෛද්‍ය උපදේශන හා ඖෂධ ප්‍රතිකාර ගත් බවත් ඔවුන් පවසා ඇත්තේ මේ සිදුවීම් සියල්ල යට ගැසීමේ අරමුණෙනි. කවුරුන් කෙසේ කීවද. ඇයගේ මරණයෙන් සති 3කට පසු, මිය යන්නට කලින් දින ඇය විසින් ලියා තබන ලිපිය හමු වීමත් සමඟ ඇයගේ මරණයට ඍජු හේතුව සැකයෙන් තොරව කාටත් සනාථ විය.

“මටත් ලස්සන ජිවිතයක් තිබුණා... ඒ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ 1st year exam ඉවර වෙලා කැම්පස් එකට ආපු 2nd year batch එකේ මාෂා හා ඉසුරු නිසයි. මට නවකවධය තුළින් දුන්නේ අසීමිත මානසික පීඩනයක්. ඒක ගොඩාක් ළමයි දන්නවා. ඒත් දැන් නම් කවුරුවත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන එකක් නැහැ. ... මට scienceවලින් කැම්පස් selectවෙන්න වාසනාව ලැබුණා. ඒත් අවාසනාවන්ත විදියට තේරුණේ සබරගමුවට. කැම්පස් සේරගෙන්ම නවකවධය ඉවත් කරන්න ඕන. ඒක ළමයින්ට මානසික වධයක්. මම දැන් ලෙඩෙක් වෙලා තියෙන්නේ නවකවධය නිසා. ... ආයිත් බෙහෙත් ගන්න මේ බදාඳා යන්න තියෙන්නේ. එතකන් මම ජීවත් වෙන එකක් නැහැ. මාෂා, ඉසුරු මම මැරෙන්නේ ඔය දෙන්නත් එක්ක හිතේ තරහෙන්. මගේ ආත්මය සබරගමුවට ඇවිත් ඔය 2ගෙන් පළි ගන්න එක පළි ගන්නවාමයි...” (2015.02.15 රාත්‍රී 10ට ලියූ ලිපිය)

“ඇයට සිදු වුණු නවකවධ සිදුවීම් ගැන මම හැම වෙලාවේම දුවගෙන් ඇහුවහම එයා කිව්වේ ගැහැනු ළමයින් දෙදෙනෙකු පිරිමි ළමයින් යොදවලා විවිධ අකටයුතුකම් කළා කියලා. රෝහලේ වෛද්‍යවරුන් දුවගෙන් ප්‍රශ්න කළාම එයා කිව්වා විශ්වවිද්‍යාලයේ කැන්ටිමේදි දින කිහිපයක්ම පිරිමි ළමයින් දෙදෙනකු ඇයව රැගෙන ගොස් ලැප්ටොප්වල ‘බ්ලූ ෆිල්ම්’ පෙන්වා තිත්ත කුණුහරුපයෙන් යම් යම් දේ කරන්නට පැවැසූ බව. ඒත් වින්ද වද දුව මාත් එක්ක කියන්න කැමති වුණේ නැහැ. සමහර විට ලජ්ජාවට. එහෙම නැති නම් ඒ අයට තිබුණු බයට...” ඩබ්ලිව්.පී. ඇල්විටිගල මහත්මිය පවසන්නීය.

කෙසේ වෙතත් අමාලි තම මවට හා වෛද්‍යවරුන්ට හෙළි නොකළ බොහෝ සාක්ෂි ඇගේ යහළුවන්, සමීපතමයන් නොදන්නවා විය නොහැකිය. මියගිය අමාලිට මෙන්ම ඇගේ මවටද සාධාරණයක් ඉටු කර දෙන්නට නම්, එසේත් නැති නම් මේ අමානුෂික නවකවධයට නැවතීමේ තිත තබන්නට නම්, මෙවන් සාක්ෂි සමාජය මතුපිටට පැමිණිය යුතුය. එසේ නොවුණ හොත් එහි හානිය විඳින්නට සිදු වනු ඇත්තේ ඔබේම දරුවාටය.

අමාලි දැන් මිය ගොස් අවසන්ය. ඇයට දැන් ලැබෙන්නට දෙයක් නැත. එහෙත් අමාලි පැතූ එකම දෙයක් ඉතිරිව ඇත.

“කැම්පස් සේරගෙන්ම නවකවධය ඉවත් කරන්න ඕනෑ.”

ඇයගේ අන්තිම ලිපියේ අවසන් ඉල්ලීම ඉටු කිරීම අමාලිගේ මිතුරු-මිතුරියන් වූ ඔබගේ වගකීමකි.

සේයාරූ - තුෂාර ප්‍රනාන්දු

අදහස්