බැංකු ණයකින් දුවපු මාතර නගර සභාව මාස 21කට පසු කෝටි 20ක් ඉතුරු කළා | සිළුමිණ

බැංකු ණයකින් දුවපු මාතර නගර සභාව මාස 21කට පසු කෝටි 20ක් ඉතුරු කළා

• සේවක වැටුප් පවා ගෙවා ගැනීමට තරම් වත්කමක් නැති මාතර නගර සභාවේ බලය ඔබ අතට ගත් පසු එහි ආදායමේ අතිරික්තයක් ඇති වුණා කියන්නේ ඇත්තද?‍

ඔව්. අපි ඉතිරි කරපු මුදලක් තියෙනවා අතිරික්තයක් වශයෙන් මිලියන දෙසීයකට වැඩි ප්‍රමාණයක්. අපි ගිණුම්වල දාල තියෙනවා. ඒ කාලෙ අපි අවශ්‍ය වියදම් කළා. වැඩත් ඔක්කොම කළා. සම්ප‍ූර්ණයෙන් ම අලුත්වැඩියා කළා. උයන්වත්ත ක්‍රීඩාංගණයෙන් ලක්ෂ 35 විතර විවිධ ව්‍යාපෘති කළා. මාතර බස් නැවතුම් පොළේ පොදු වැසිකිළියක් හැදුවා. වල්ගම මාර්කට් එක ගොඩනැගිල්ල අතහැර දාල තිබුණෙ. ඒක සම්පූර්ණයෙන් ම නිම කළා. මාතර රෝහල පිටුපස දෙමහල් කඩ පේළියක් තියෙනවා. ඒකත් අතහැරල වගේ තිබුණේ. අපි එහි වැඩ සම්පූර්ණයෙන් කළා. මේ සියල්ල කරල තමයි ඔය මුදල අපි ඉතුරුකර ගත්තේ.

• මේ සංවර්ධනය වුණේ කොහොමද? මෙවැනි මුදලක් කෙටි කාලයකදී ඉතිරිවීම පුදුමයක්?

ඇත්තටම ආදායම් ක්‍රියාවලිය අපි එන කොට තිබුණු තැනින් එහාට ගෙනිච්චා. සමහර අංශවලින් අපේ තිබුණ ආදායම් සියයට තුන් සියයකට වඩා වර්ධනය කරලා තියෙනවා. ඒක තමයි හේතුව.

• ඒ කොහොමද ආදායම් වර්ධනය කළේ.

ආදායම් ශීර්ෂ වැඩ කරන එක කොහොමත් කොමසාරිස්වරයාගේ වගකීමක්. 2013 දෙසැම්බර් මාසෙ බැංකු අයිරාවක් තිබුණෙ. ලක්ෂ පනස් හයක ඕ.ඩී. එකක් තිබුණා. ඒ ලක්ෂ පනස් හය ඕ.ඩී‍. කරන්නෙ අපේ සේවකයන්ගෙ වැටුප් ගෙවන්න. අපේ සේවකයන්ට වැටුප් ගෙවන්න සල්ලි තිබු‍ණෙ නෑ. බොහොම අමාරුවෙන් තමයි අපි නගර සභාව පවත්වාගෙන ගියේ. ඊට පස්සෙ එන ආදායම අපි කළමනාකරණය කරගෙන ආදායම වැඩි කර ගන්නත් කටයුතු කළා. ඒ අනුව අපේ ආදායම් ශීර්ෂ හඳුනාගෙන ඒවායේ ප්‍රගතිය සමාලෝචනය කරල මාසිකව මාසෙන් මාසේ ඒ ප්‍රගතිය වැඩි දියුණු කරගෙන විශේෂයෙන් දැන්වීම් බලපත්‍ර ව්‍යාපාරික බදු වරිපනම් ආදිය ආදායම් එකතු කරගෙන අර ආදායම් නිලධාරියාගේ කාර්ය සාධනය ඉහළ දමමින් ආදායම් එකතු කිරීමේ කාර්ය භාරය අපි හොඳින් කළා.

කොහොමත් අපි මුදල් රෙගුලාසිවලට අනුව අනිසි දේවල්වලට මුදල් යොදවන්නෙ නැහැනේ. අපිට එහෙම කරන්නත් බෑ. ඒත් කොහොමත් කළ යුතු වියදම් කරන්න වෙනවා. ඒ වියදම් ඇත්තටම අවුරුදු පතා වැඩි වෙනවා. තෙල් වියදම, වාහන නඩත්තුව, විදුලිය, කාර්ය මණ්ඩලයට වැටුප්. ඔය ටික මූලික වියදම්නේ. ඔය ටික අඩු වුණා කියන්න බෑ. මොකද මේ රජය පඩිත් දස දහසකින් වැඩි කළා. රාජ්‍ය සේවකයන්ට දහ දාහකින් වැඩි වුණාම අපේ සේවකයන්ටත් ඒ අනුව වැඩි කරන්න සිදුවුණා.

වැටුප වැඩිවෙනව කියන්නෙ අතිකාල වැඩි වෙනවා. ඒ කියන්නේ පැයක අතිකාල මුදලත් වැඩි වෙනවා. ඒව කපා හරින්න බැහැනෙ. වැටුප් දීමනා කියන්නෙ සේවකයන්ගෙ අයිතිවාසිකම්නෙ. ඉන්ධන මිල වැඩි වෙන කොට අපෙන් ඒ වියදම වැඩි වෙනවා. ඒවා කොහොමත් කපා හරින්න අපහසුයි. අපිට කරන්න පුළුවන් එකම දේ තමයි ආදායම වැඩි කරගැනීම.

• සේවකයන්ගේ සුබසාධන කටයුතු කප්පාදු කරල ද මේ වර්ධනය ඇති කරගත්තේ?

නෑ. පසුගිය වර්ෂයේ ගංවතුර ආවට පස්සෙ ගංවතුරට අහුවෙච්ච සේවකයන් සියල්ලටම අපි ණයක් ලබාදුන්නා. කෝටි තුනක පමණ මුදලක්. ඒ ණය මාස හයක වැටුපක්. පොලී රහිතවයි එය අපේ අරමුදල්වලින් ලබාදුන්නෙ.

සුබසාධන අඩු කරල නෑ. ඊට අමතරව අපේ සේවකයෝ පුහුණු වැඩසටහන්වලට යොමු කළා. කම්කරු සේවකයන් කවදාවත් ආයතනයෙන් පිටතට ගිහිල්ල විධිමත් පුහුණුවක් ලබල තිබුණෙ නෑ. දෙසිය පනහක් කම්කරුවෝ අනුරාධපුරේ ගෙනිහිල්ල නේවාසික පුහුණු වැඩමුළුවක් කරලා අනුරාධපුරේ සිද්ධස්ථාන ටිකක් වැඳ පුදා ගන්න සලස්වලයි එක්ක ආවෙ.‍

ඊළඟට බාහිර උපකාර කරගෙන ආයතනයේ මුදල් වියදම් නොකර මැලන්ටි ෂෝ එකක් කළා. මේ අවුරුද්දෙ ජනවාරි අපි තීරණයක් ගත්ත සියලුම සේවකයන්ට පොරොත්තු ලේඛනයේ නැතුව ආපදා ණය දෙන්න. වෙන දා පහකට විතර තමයි දුන්නෙ. අපි ගංවතුර ණයට අමතරව එකසිය විස්සකට විතර ආපදා ණය දුන්නා. ඒ වගේ සුබසාධන කටයුතු ගොඩක් කරල තියෙනවා සේවකයන්ට. මම එක දෙයක් කළා. තාවකාලිකව හෝ කොන්ත්‍රාත් පදනම මත එක සේවකයෙක්වත් මම ගත්තෙ නැහැ සභාවෙ අරමුදල්වලින් වැටුප් ගෙවන්න. අපේ කාර්ය මණ්ඩලයේ තිස් පහක් විතර විශ්‍රාම ගියා. සේවය හැර ගියා. එහෙම තියෙද්දිත් අපි නඩත්තු කටයුතු ඉදිකිරීම් කටයුතු කරගෙන ගියා. විශේෂයෙන් ම ගංවතුර, ඩෙංගු, සුළිසුළං වගේ සියලුම ආපදා තත්ත්වයන්ට මුහුණ දීලා සභාවෙ කටයුතු හොඳ මට්ටමකින් කරගෙන ගියා. ඒවා තමයි අපිට කියන්න තියෙන්නෙ.

• ඔබතුමා 2014 ඉඳලාම නාගරික කොමසාරිස්. ඔබගේ පාලනය තිබුණ 21 මාසය තුළ ඔබගේ අත්දැකීම් ගැන හිතන්නෙ මොනවාද?

එවෙලෙ අපිට තීරණ ගන්න පුළුවන් කම තිබුණා. මගේ වගකීම තමයි සභාව මෙහෙයවන එක. මම තමයි ආයතන ප්‍රධානියා සහ සභාවේ ප්‍රධානියා. ඒ එදා‍‍‍. නමුත් අද වෙන කොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. නගරාධිපතිවරයෙකු ඉන්නවා. සභාවක් තියෙනවා. එතකොට තීරණ ගන්න ප්‍රධාන ව්‍යුහයන් තුනක් තියෙනවා. එදා ඔය තුනටම මම විතරයිනෙ හිටියෙ. මහජන නියෝජිතයො නැතුව පළාත් පාලන ආයතන පාලනය කරනවා කියන එක හොඳ දෙයක් නොවෙයි. නමුත් ඒ අවස්ථාවේ ‍එම අභියෝගයට මුහුණ දුන්නා. රජයේ සේවකයන් විදියට අපිට වගකීමක් දුන්නම ඒක හරියාකාරව ඉෂ්ට සිද්ධ කළා. ඒක හොඳ අවස්ථාවක්. අපිටත් හොඳ අත්දැකීමක් ලැබුණනේ.

• ඔය වගේ අත්දැකීමක් ඔබගේ කාලය තුළ ලැබුණෙ පළමු වරට ද?

ඔව්. 2007 වර්ෂයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයෙක් ලෙස සේවය කළා. 2010 කාලයේදී මාතර සහකාර ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළා. ඊට පසු කොටපොළ ප්‍රාදේශීය ලේකම් වශයෙන් කටයුතු කළා. සේවයෙන් ලද අත්දැකීම් තමයි මේ සේවය ඉටු කරන්න පාදක වුණේ.

• ඔබ සහ සේවකයන් අතර සංහිඳියාව ඒ කාලයේ හොඳින් පැවතුණාද?

පහළ සේවයේ කම්කරුවන්, රියදුරන් පරිපාලකයන් එක්ක හොඳින් කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඔවුන් පසුගිය ඒ මාස 21 කාලය තුළ විශාල සහයෝගයක් දුන්නා.

බොහෝ පිරිස් දේශපාලන පත්වීම්. කවුරු හරි නගරාධිපතිවරයෙකුගේ මන්ත්‍රීවරයෙකුගේ පත්වීමකින් තමයි සභාවට ඇතුළු වෙලා තියෙන්නෙ. නමුත් ඔවුන්ගේ දේශපාලන නායකත්වය අමතක කරලා නිලධාරියෙක් හැටියට මට ඉහළම සහයෝගය දුන්නා.

• දේශපාලන නායකත්වය ඔබට කෙසේද සහයෝගය දෙන්නෙ.

නෑ. ගැටලුවක් නෑ. නගරාධිපතිතුමන් මන්ත්‍රී මණ්ඩලයක් මට උපරිම සහයෝගය දෙනවා‍. මොකද එතුමන් ලා තමයි සභාව ඉදිරියට ගෙනියන්න ප්‍රතිපත්ති තීරණ ලබාගන්නෙ. කොමසාරිස්වරයා ලෙස මමත් නිලධාරීන් ඒවා නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ව්‍යුහය රජයේ නීති රීති හා ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියාත්මක කිරීමට සහය ලබාදෙනවා.

අදහස්