‘රස්තියාදුවේ යෑමේ දේශපාලනය’ පුස්සකි! | සිළුමිණ

‘රස්තියාදුවේ යෑමේ දේශපාලනය’ පුස්සකි!

පසුගිය බදාදා මුළු කොළඹ නගරයම වට-ලන බව කියමින් දිවයිනේ නන් දෙසින් අතිවිශාල සෙනගක් කොළඹට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කටයුතු කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලේ දේශපාලනඥයෝ විශාල පිරිසක්ද ඊට සහභාගි වූහ. වහා ආණ්ඩුව බලයෙන් පහ කරන බවටත්, එතෙක් කොළඹින් පිට නොවන බවටත් ඔවුහු වහසිබස් දෙඩූහ. එහෙත් ‘කොළඹ වට-ලෑම’ සිතූ තරම් සාර්ථක නොවූ බව මේ වන විටත් තහවුරු වී හමාරය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට පත් වූ දා සිටම හිටපු ජනාධිපතිවරයා වරින් වර තැනින් තැන මහජන රැස්වීම් පවත්වයි. ඒ සෑම රැස්වීමකටම දිවයිනේ නන් දෙසින් අතිවිශාල සෙනගක් ගෙන්වා ගනියි. 2015 ඔහුගේ පරාජයේ උණුසුම පහව යන්නට ප්‍රථම නුගේගොඩ නගරයට අතිවිශාල සෙනගක් ඒකාරාශි කරවීය. එතැනින් ආරම්භ වූ සෙනග ඒකාරාශි කිරීමේ දේශපාලනයේ කූටප්‍රාප්තිය වූයේ 2017 ‘මැයි දිනය’ දා විශාල සෙනගකින් කොළඹ ගාලු මුවදොර පිටිය පුරවාලීමයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ සෑම අවස්ථාවකම සෙනග ඒකාරාශි කරමින් කියන්නට තැත් කළේ තමන්ට සම්මුතික ආණ්ඩුව පෙරළීමේ ශක්‍යතාවක් ඇති බවයි. ඒ අනුව හෙට-අනිද්දාම සම්මුතික ආණ්ඩුව පෙරළන බව රටට හා ලෝකයාට හැඟවීමයි. ඒ සඳහා ඔහුත් ඔහුගේ සහෝදරයනුත් දේශපාලනව දරන මහන්සිය අපමණය; වියදම් කරන සල්ලිය විශාලය. බැසිල් රාජපක්ෂ තවත් එවැනිම අයකු වන මහාචාර්ය ජීඇල් පීරිස් සමඟ එකතු වී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටුවාගත්තේද දේශපාලන පක්ෂයක වරප්‍රසාදවලට මුවා වෙමින් සෙනග ගෙන්වා, සම්මුතික ආණ්ඩුව බිය වැද්දීමේ අරමුණෙනි.

බැසිල් රාජපක්ෂ ‘ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ’ පිහිටුවූ අලුත හිටපු ජනාධිපතිවරයා කීවේ තමා වෙනත් කිසිම පක්ෂයකට නොයන බවත්, තමාගේ එකම පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත්ය. එසේ කියූ ඔහු මේ වන විට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ රැස්වීම් ඇමතීමට තරම් චණ්ඩියෙක් වී සිටී. සමහර විට ඒ සඳහා ඔහු දැන් කියනවා ඇත්තේ ‘එක්සත් ජාතික පක්ෂයට පාවා දී ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරාගැනීම සඳහා තමා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සම්බන්ධ වූ බව’යි. එසේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් කාරුණිකව විමසිය යුත්තේ කාරණා දෙකක් පමණි.

එක් කාරණාවක් වන්නේ: ‘ඔබගේ පාලන කාලයේදී එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගිතා ගිවිසුමක් අස්සන් කළේ කුමක් සඳහාද? ඒ ගිවිසුම අමතක කරමින් එජාපයේ කොටසක් ආණ්ඩුවට එක් කරගනිමින් ඔවුන්ට ආණ්ඩුවේ බලසම්පන්නම අමාත්‍ය ධුර පිරිනැමුවේ කුමක් සඳහාද?’ යන්නයි. දෙවැනි කාරණාව වන්නේ: ‘එක්සත් ජාතික පක්ෂය හා සම්මුතික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපති ධුරයට මෛත්‍රීපාල සිරිසේන මහතා පත් වූ සැණින් ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සිය කැමැත්තෙන්ම පිරිනැමුවේ ඇයිද?’ යන්නයි.

රාජ්‍ය පාලනය සඳහා මහින්ද රාජපක්ෂ රෙජීමයට තිබුණේ ඔවුන්ටම ආවේණික වූ ක්‍රමවේදයකි. ඒ මහජන චීනය ප්‍රමුඛ රටවලින් වැඩි පොලියට ණය ගෙන ඊනියා සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමයි. එහිදී ඉහළ සිට පහළ දක්වා දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරි තන්ත්‍රයට රාජ්‍ය දේපළ යහමින් කොල්ල-කාගැනීමට ඉඩ ලැබිණි. එනිසා රෙජීමය ආරක්ෂා කිරීමට ධනවත් පන්තියක් මෙන්ම ඒ ධනවත් පන්තියෙන් යැපෙන දිළිදු පන්තියක්ද නිර්මාණය විය. රාජ්‍ය දේපළ කොල්ල-කන ධනවත් පන්තියද ඔවුන්ගෙන් යැපෙන දිළිඳු පන්තියද අදත් බලාපොරොත්තු වන්නේ රාජපක්ෂ පාලනයකි. සම්මුතික ආණ්ඩුව පරාජය කරන්නට අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ පළමුව කළ යුත්තේ තමන්ගේ දස වසක පාලනය ගැන ස්වයං-විවේචනයක් කිරීමය. මෙතෙක් පහළ වූ සියලු ආණ්ඩුවලට වඩා ශක්තිමත්ම ආණ්ඩුව වූ ඔහුගේ ආණ්ඩුවද අවසානයේ බිඳ-වැටීමට ලක් වූයේ ඇයිද යන්න විචාරශීලිව විමසා බැලීමය. අනතුරුව ඒ වැරදි මින් මත්තට නොවන්නට නම් කළ යුත්තේ කුමක්ද යන්න අධ්‍යයනය කිරීමත්, එවැනි ශක්තිමත් අධ්‍යයනයකින් පසු රටට හා ලෝකයාට තමන්ගේ දේශපාලන අදහස ප්‍රකාශ කිරීමත්ය. තමාගේ ආණ්ඩුවේ ‘අට-අනූවක් වැරදි’ වචනයක විවේචනයකින් තොරව අමතක කරන හිටපු ජනාධිපතිවරයා සම්මුතික ආණ්ඩුවේ වැරදි ගැන මහත් සේ කනගාටුවෙන් විවේචනය කරන විට ඇති වන්නේ හාස්‍යයකි. ඒ නිසා සිදු වන වැරදි යළි ඇති නොවන්නටත්, වත්මන් ආණ්ඩුවේ වැරදි කරන දේශපාලකයන්ට දඬුවම් කරන ක්‍රමවේදයත් ඔහු විසින් පැහැදිලි කිරීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි.

2004-2005 සමය තුළ ශ්‍රී ලංකාවේ ආණ්ඩු බිඳ-වැටී අලුත් ආණ්ඩු පිහිටුවූ ක්‍රියාදාමයත්, 2015දී අලුත් ආණ්ඩුවක් පිහිටුවූ ක්‍රියාදාමයත් අන්තර්ජාතික දේශපාලනයේදී අතිශය වැදගත්ය. මේ අවස්ථා දෙකේදීම පැවති ආණ්ඩු පරාජය කර අලුත් ආණ්ඩුවක් බලයට පත් කරගැනීම සඳහා වූ මහජන අභිලාශයක් තිබිණි. ඒ සඳහා මනෝමූල මෙන්ම විෂයමූල දේශපාලන සාධක කැටි වී තිබිණි. එහෙත් ඒ ආණ්ඩු දෙකම බිඳ-වැටුණේ ඒ සඳහා වූ මහජන අභිලාශය පමණක් නිසාම නොවේ.

කොටි සංවිධානය මොන ක්‍රමයකින් හෝ යුදමය වශයෙන් පරාජය කළ යුතුයැයි ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබුණේ බොහෝ කලකට පෙරය. ඔවුන් ඒ සඳහා තීන්දුවක් ගත්තේ කොටි සංවිධානය තවදුරටත් පැවතිය හොත් එය ප්‍රාග්ධනයේ ගෝලීය ප්‍රසාරණයට බාධා වන හෙයිනි. එනිසා පළමුව කොටි සංවිධානය දේශපාලනිකව අවලංගු කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළකට සහාය දැක්වීය; ඒ සඳහා උපරිම පහසුකම් සැලසීය. එහෙත් ඒ කාලයේත් කොටි සංවිධානයේ යුද ශක්තිය එක්සත් ජනපදය විසින් අමතක කර නොතිබිණි.

2003 වර්ෂය අවසන් වන විට කොටි සංවිධානය දේශපාලනිකව අවලංගු කිරීමේ සමස්ත වැඩපිළිවෙළ අසාර්ථක වී ඇති බව තේරුම් ගත් ඇමෙරිකා එක්සත් ජනපදය ඊළඟට තෝරාගත්තේ වෙනත් වැඩපිළිවෙළකි. එනම්: කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමේ යෝධ වැඩපිළිවෙළකට යෑමය. එක්සත් ජනපදයේ මේ භූ-දේශපාලනික අභිලාශයන් දෙකම ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුහු ජාතික දේශපාලනයේ ධ්රුවීකරණයන් සැලකිල්ලට ගත්හ. ඒ අනුව 2002 වන විට ඔවුන් සහාය දැක්වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවටය; 2004 වන විට සහාය දැක්වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ හා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවලටය.

ඒ අන්දමින්ම තම භූ-දේශපාලන අවශ්‍යතා තෘප්ත කිරීම සඳහා 2015දීත් එක්සත් ජනපදය කටයුතු කළ බව සත්‍යයකි. ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි, ඔවුන්ගේ සම්පූර්ණ යුද සහාය මැද කොටි සංවිධානය පරාජය කිරීමට කටයුතු කළ මහින්ද රාජපක්ෂ අවසන් සටනේ තීරණාත්මක මොහොතකදී අත්තනෝමතික හා උද්දච්ච ස්වරයකින් කටයුතු කරන්නට පටන් ගත්තේය. කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයේ මෙන්ම එක්සත් ජනපද රාජ්‍යයේද අවශ්‍යතාව වුවත් ශ්‍රී ලංකා රාජ්‍ය තම අභිලාශයන් ඉක්මවා යන මොහොතක ඒ ක්‍රියාවලියෙන් තීරණාත්මකව වෙන් වීමට එක්සත් ජනපදයට අවශ්‍ය විය. ඒ අනුව අවසන් ගැටුමේදී මහින්ද රාජපක්ෂගේ හැසිරීමට ඔවුහු එකඟ නොවූහ.

ද්විපාර්ශ්විකව සිදු වූ ඒ ගැටීම දිගින් දිගටම සබඳතා අතර පුළුල් පැල්මක් දක්වා වර්ධනය වුවත්, උද්දච්ච රාජපක්ෂවරු එය තේරුම් නොගත්හ. අවසානයේ අන්තර්ජාතිකව අතිවිශාල අවුල් ජාලයකට තල්ලු වූ රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි විකල්පයක් සඳහා එක්සත් ජනපදය මෙන්ම බටහිර ඇලිය යොමු විය. ඒ වන විටත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළා-දමා අලුත් ආණ්ඩුවක් සඳහා කල්යල් බලමින් සිටි ජාතික අභිලාශයන් හා ඒකමිතික වීම එක්සත් ජනපදයේ කැමැත්ත විය. ලොව ඕනෑම කුඩා රාජ්‍යයක දේශපාලනය තීරණය වීම ජාතික අවශ්‍යතා මත පමණක් සිදු නොවේ. ඒ සරල සිද්ධාන්තය ශ්‍රී ලංකාවටද අදාළ විය. ඒ අනුව කිව හැක්කේ ආණ්ඩු පෙරළීම සඳහා ජාතික දේශපාලනයේ ධ්රුවීකරණය වීම් පමණක් අදාළ නොවන බවයි.

සම්මුතික ආණ්ඩුව විෂයන් වැඩි ගණනකදී අසමත්ව ඇති බව නොරහසකි. එහෙත් සම්මුතික ආණ්ඩුව පරාජය කිරීම සඳහා වූ ජාතික අවශ්‍යතාවක් තවම මෝදු වී නැත. ඊට හේතුව කප්පරක් වැරදි කරපු මහින්ද රාජපක්ෂ වටා මේ ආණ්ඩුවෙන් පීඩා විඳින මිනිස්සු එක්-රොක් නොවන බැවිනි. ආණ්ඩු මාරුවක් සඳහා පාර්ලිමේන්තු බල තුලනය වෙනස් වීමක්ද සිදුව නැත. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ මෙතෙක් ඉදිරිපත් වූ සියලු අය-වැය තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වීමය. එසේම ආණ්ඩු මාරුවක් සඳහා වූ අන්තර්ජාතික අවශ්‍යතාවක්ද තවම උද්ගතව නැත. එවන් වටපිටාවක රට රැකගැනීමට යැයි කියමින් සෙනග එක්රැස් කරමින් මහින්ද රාජපක්ෂ කරන්නට තැත් කරන දේශපාලනය පවතින ජාතික දේශපාලන තත්ත්වය මත මෙන්ම භූ-දේශපාලන වටපිටාව තුළද අන්තිම අසාර්ථක වූවකි.

නාමල් රාජපක්ෂ දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීම සඳහා උපක්‍රමික ප්‍රවේශයන් අනුගමනය කර-ලීම රාජපක්ෂ පවුලේ ප්‍රශ්නයකි. එහෙත් හරිහම්බ කරගත් දේශපාලන වටපිටාව අවලංගු වීම නිසා ඇති වූ ආවේගයන් දේශපාලන පරිවර්තනයක් සඳහා ශක්තිමත් අවකාශයන් නිර්මාණය කරන්නේ නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලකයන් තේරුම් ගත යුතුය.

[email protected]

අදහස්