විනයක් නැති රටක උතුරා ගලන ශ්‍රද්ධාව | සිළුමිණ

විනයක් නැති රටක උතුරා ගලන ශ්‍රද්ධාව

'පින්කම් භූමි‍යේ දී පිපාසයෙන් පෙළෙන කෙනකුට තම වතුර

බෝතලයෙන් දිය බිඳක් දීමට

අකමැත්තක් දක්වන අය සිටින බව ද රහසක් නොවේ. අද වන විට පාසල් නොපැමිණි දරුවකුට නොපැමිණි දිනයේ ඉගැන්වූ පාඩම් සටහන් ලියා ගැනීමට පන්තියේ මිතුරකුගෙන් පොත් ඉල්ලා

ගැනීමට අසීරු තත්වයක් ඇති වී තිබේ. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසන පරිදි මෙවැනි

වාතාවරණයක් ඇති වූයේ

තරගකාරිත්වය හා

ආත්මාර්ථකාමිත්වය නිසාය. එසේ නම් ආගමික වතාවත්වල යෙදෙන ලක්ෂ ගණන් පිරිස ආගමික

සංස්ථාවලින් උක ගා ගෙන තිබෙන්නේ කුමක්ද ? ඊළඟට පැන නඟින ගැටලුව එයයි.'

  • පිපාසයට වතුර බෝතලයක්
  • අධ්‍යාත්මික සංවරය
  • තරගෙට පින්කම්

දිනක් මා මගේ මිතුරියක සමඟ ත්‍රීරෝද රථයකට නැඟී පිටත් වූයේ කළුබෝවිල රෝහලට යෑමට ය. නුගේගොඩ මංසන්ධියේ ඇති මාර්ග සංඥා ඉදිරියේ ත්‍රීරෝද රථය නැවතිණි. රතු එළියට නැවතුණු ත්‍රීරෝද රථය කොළ එළිය දැල්වුණු සැණින් ධාවනය කිරීමට සැරසුණ ද ඉදිරියේ නවතා තිබූ වෑන් රථයක් ක්‍රියා විරහිත වීමෙන් ගමනට බාධා විය. අප ගමන් කළ ත්‍රීරෝද රථයේ රියැදුරු බිමට බැස වේගයෙන් ඉදිරියට ගියේය. වෑන් රථයට සිදු වී ඇති දේ කුමක්දැයි විමසා බැලීමකින් තොරව වෑන් රථයේ රියැදුරුගේ කමිසයෙන් ඇද පහරක් ගැසුවේ කලට වේලාවට වෑන් රථය පණ නොගැන්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමනට බාධා වූ බව කියමින් නොසරුප් වදනින් බැණ වඳිමිනි.

කුමක් සිදු වන්නේදැයි බියෙන් අපි ඇළලි සිටියෙමු. ර‍ථ වාහන පොලිස් නිලධාරියකුට පින් සිදු වන්නට මහා දබරයක් වැළකිණි. මෙම කතා පුවතේ ඇති හාස්‍යජනක කරුණ වන්නේ අප ගමන් කළ ත්‍රීරෝද රථයේ “බුදු සරණයි දෙවි පිහිටයි” යනුවෙන් සඳහන් කර, සුදු ඉද්ද මල් පීරිසියක් තබා හඳුන්කූරු දල්වා තිබීමය. එහෙත් රථය තුළ දක්නට ලැබුණු ආගමික මුහුණුවර රියැදුරුගේ හැසිරීම් තුළ දක්නට ලැබුණේ නැත.

මෙම ත්‍රීරෝද රථ රියැදුරු මෙන්ම හික්මීමක් නැති අවිනීත හැසිරීම් සහිත පුද්ගලයෝ අද සමාජයේ අපමණව සිටිති. වර්තමානයේ බො‍හෝ අඩ දබර හා ගැටුම්වලට, ඇතැම්විට මනුෂ්‍ය ඝාතනයන්ට පවා තුඩු දෙන්නේ හික්මීම නොමැති වීමය. හැදියාවක් නොමැති වීමය. නමුත් අද සමාජයේ අපට නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගි වන විවිධ පින්කම් ය. පිච්ච මල් පූජා, මහා අධිෂ්ඨාන පූජා ඇතුළු විවිධ පින්කම්වලට ඇදී යන්නේ මහා ජන ගංගාවන් ය. මඩු දේවස්ථානය, තලවිල දේවස්ථානය පමණක් නොව කතරගම දේවාලයට ද යන්නේ ලක්ෂ ගණනිනි. ආගමික නැඹුරුව මෙපමණට දැකිය හැකි අපේ රටේ ජනතාව තුළ ආගමික ශික්ෂණයක් දක්නට නොලැබීම කනගාටුවට කරුණකි. ඒ පිළිබඳව විමසා බැලීමට සිතුණේ එබැවිනි.

“ඕනෑම ආගමක සැඳැහැ ගුණය උගන්වනවා. ශ්‍රද්ධාව කියන්නෙත් සැඳැහැ ගුණයටමයි. ඒත් අද එතනින් එහාට යන්නේ නැහැ. ඒ නිසා ආගමෙන් නිවැරදිව උගන්වන දේ බුද්ධිය ග්‍රහණය කරගන්නේ නැහැ. බුදු දහමෙන් කියා දෙන්නේ අත් හැරීම, පරාර්ථකාමිත්වය. ඒත් අද හැමතැනම දකින්න තියෙන්නේ ආත්මාර්ථය. ඒ නිසා තමයි තරගකාරිත්වය ඇතිවෙලා තියෙන්නේ. වාහනයක් පදවන්නෙත් තරගයට. විභාගයක් ලියන්නෙත් තරගයට. හැම තිස්සේම තරගය. ඒ තරගය නිසා හික්මීමක් නැහැ. ආත්මාර්ථකාමි හැඟීමෙන් බැණ ගන්නවා. රණ්ඩු වෙනවා. ගහ මරා ගන්නවා. වර්තමානයේ දකින්නට ලැබෙන පින්කම් ශ්‍රද්ධාවෙන් එහාට යා යුතුයි. බුද්ධිය අවදි කළ යුතුයි. එහෙම වුණොත් මේ තත්වය වෙනස් වේවි”. යනුවෙන් පැවසුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අංශයේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා ය.

අද ඇතැම් අය කතරගම, අනුරපුර හෝ තලවිල වැනි පූජනීය ස්ථාන කරා ගමන් කරන්නේ පේවී අපමණ ශ්‍රද්ධාවෙනි. එහි වරදක් අපි නොදකිමු. එහෙත් පින්කම් භූමි‍යේ දී පිපාසයෙන් පෙළෙන කෙනකුට තම වතුර බෝතලයෙන් දිය බිඳක් දීමට අකමැත්තක් දක්වන අය සිටින බව ද රහසක් නොවේ. අද වන විට පාසල් නොපැමිණි දරුවකුට නොපැමිණි දිනයේ ඉගැන්වූ පාඩම් සටහන් ලියා ගැනීමට පන්තියේ මිතුරකුගෙන් පොත් ඉල්ලා ගැනීමට අසීරු තත්වයක් ඇති වී තිබේ. ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර පවසන පරිදි මෙවැනි වාතාවරණයක් ඇති වූයේ තරගකාරිත්වය හා ආත්මාර්ථකාමිත්වය නිසාය. එසේ නම් ආගමික වතාවත්වල යෙදෙන ලක්ෂ ගණන් පිරිස ආගමික සංස්ථාවලින් උක ගා ගෙන තිබෙන්නේ කුමක්ද ? ඊළඟට පැන නඟින ගැටලුව එයයි.

“අද බොහෝ පිරිසක් ආගමික වතාවත්වල යෙදෙන බව අපිට පෙනෙනවා. ඕනෑම ආගමික දර්ශනය තියෙන්නේ ජීවිත හදාගන්න. එයින් පරාර්ථය ඇති කරනවා. ආගමික වතාවත්වලින් කෙරෙන්නේ දහමේ අඩංගු කාරණා ප්‍රායෝගික කිරීම. ඒත් අද ප්‍රශ්නය තියෙන්නේ අද පෞද්ගලික අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් ආගමික වතාවත්වල නිරත වීම. අද වන්දනාවේ යන්නේ, පූජා පවත්වන්නේ පිහිටාධාර ඉල්ලා ගන්න. එයින් ජීවිත වෙනස් වෙන්නේ නැහැ. වන්දනා ස්ථානවල , පූජා පින්කම්වල අපි ලක්ෂ ගණන් පිරිසක් දකිනවා. ඉල්ලීම්වලට වතාවත් කරන සමාජයක් අද අපි දකින්නේ. ආ‍ගමෙන් ගොඩක් දේවල් ඉල්ලා ගන්න තමයි එන්නේ. ඉතින් කොහොමද ශික්ෂණයක් ඇති වන්නේ?” යනුවෙන් කුරණ සාන්ත ආනා දේවස්ථානයේ මීසම සේවක සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ අප වෙනත් මානයකට යොමු කරමිනි.

එහි සත්‍යතාවක් ඇති බව අපට පෙනී යන්නේ ආගමික වතාවත්වල නිරත වන අයගේ අරමුණු සොයා බැලීමේදී ය. අයකුගේ ප්‍රාර්ථනාව විභාගයකින් ජය ගැනීමය. තවත් අය‍කුගේ අපේක්ෂාව රැකියාවක් ලබා ගැනීම ය. තවත් කෙනෙකු ප්‍රාර්ථනා කරන්නේ විදෙස්ගත වීම ය. නැතහොත් විවාහ කටයුත්තක් සාර්ථක කර ගැනීමය. මේ අනුව ආගමික වතාවත්වල යෙදෙන්නන්ගේ ඉල්ලීම් රාශියකි. මෙවැනි ආත්මාර්ථකාමී හැඟීම්වලින් පිරුණු ඉල්ලීම් අතර ජීවිත ස්වාභාවය හඳුනාගෙන කරුණාව, මෛත්‍රී පෙරදැරි කර ගනිමින් පුණ්‍ය කටයුත්තක යෙදෙන පින්වතුන් සිටින්නේ අතේ ඇගිලි ගණනට විය හැකිය. ඉතින් ආගමික ශික්ෂණයෙන් හා හැදියාවෙන් පිරුණු සමාජයක් අපට උරුම වන්නේ කෙසේද ?

“මම බෞද්ධ භික්ෂුවක්. ඒ නිසා අන්‍ය ආගම් ගැන කතා නොකර බුදු දහම ගැන විතරක් මම කතා කරන්නම්. බුදු දහමේ සඳහන් වෙනවා අමූලික ශ්‍රද්ධාව සහ ආකාරවති ශ්‍රද්ධාව කියලා කොටස් දෙකක්. වග විභාගයකින් තොරව කරන ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව ලෙස හඳුන්වනවා. වග විභාගයෙන්, විචාර බුද්ධියෙන් කටයුතු කරන ශ්‍රද්ධාව ආකාරවති ශ්‍රද්ධාව කියලා හඳුන්වනවා. අද අපට දකින්නට ලැබෙන මහා පින්කම්, පුජා සත්කාර අයිති වෙන්නේ අමූලික ශ්‍රද්ධාවට. මැලේසියාව, ඉන්දුනීසියාව, කාම්බෝජය වැනි ‍ථේරවාදි බුදු දහම තිබුණු රටවල් ඉස්ලාම් ආගමට පරිවර්තනය වීමට පෙර අවසාන භාගයේදී මේ වගේ මහා විශාල පුජා සත්කාර දකින්න ලැබුණා.

යන්තර මන්තර ගුරුකම් විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා තිබ‍ුණා. ඒ රටවල්වල අවසාන භාගයේ දකින්න ලැබුණු දේවල් තමයි අද අපිට ලංකාවේ දකින්න ලැබෙන්නේ. මෙය බරපතළ ඛේදවාචකයක්.” යනුවෙන් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධිපති හෑගොඩ විපස්සි හිමියෝ සඳහන් කළහ.

උන්වහන්සේ තවදුර‍‍ටත් සඳහන් කරන්නේ බුදු දහම ප්‍රතික්ෂේප කළ අමූලික ශ්‍රද්ධාවෙන් ධර්මය කියා දීමක් සිදු නොවන බවය. ධර්මය කියා දීමක් නොමැති තැන අධ්‍යාත්මික සංවරයක් ඇති නොවන බව ද හෑගොඩ විපස්සි හිමියෝ පැවසූහ. මේ පූජා සංස්කෘතියෙන් ගිහියන්ට දේශනා කළ සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් වන යුතුකම් හා වගකීම් හෝ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ ඇතුළත් ධර්ම කාරණා කියා නොදෙන බව පැහැදිලි කරන උන්වහන්සේ එවැනි සමාජයක විනය පිරිහීම අමුතුවෙන් කිව යුතු නැතැයි පැවසූහ.

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ සඳහන් කරන්නේ ඊට වඩා වෙනස් මුහුණුවරක් ගත් කතාවකි. ඔහු පවසන්නේ අද සියලු කඩා වැටීම් හා පිරිහීම්වලට හේතුව පවතින අධ්‍යාපන ක්‍රමයේ වැරැද්ද බවය.

“අද අධ්‍යාපනය කියන්නේ යමක් ලබා ගැනීම සඳහා ඇති මාර්ගයක් පමණයි. රැකියාවක් ගන්න, සමාජයේ ඉහළ තැනකට පා තබන්න අධ්‍යාපනය යොදාගෙන තිබෙනවා. අද වත් පිළිවෙත්වලට ලක්ෂ ගණන් ජනකායක් යොමු වුව ද ශික්ෂණයක් හික්මීමක් අපේක්ෂා කළ නොහැකිය. අධ්‍යාපනය යාන්ත්‍රික දෙයක් වෙලා. කිසිම නෛසර්ගික වටිනාකමක් නැහැ. ඒ නිසා වර්තමාන අධ්‍යාපන රට‍ාවෙන් පුළුල් පරිචයක් අපට ලැබෙන්නේ නැහැ. හැන්දෙත් නැති වළ‍ඳෙත් නැති අධ්‍යාපන ක්‍රමයක් අපට තියෙන්නේ. ඒ වැරැද්දෙන් අද දේශපාලන‍යක් යාන්ත්‍රිකයි. ආගමික සංස්ථාවක් යාන්ත්‍රිකයි. පෞද්ගලික අභිමතාර්ථයන් අද හැමතැනම තිබෙන්නේ. අධ්‍යාපනය විනාශ වූණාට පස්සේ තවත් විනාශ වෙන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ.” යනුවෙන් පැවසු මහාචාර්ය සිරි හෙට්ටිගේ විද්‍යාත්මක මුහුණුවරක් නැති තැන මිථ්‍යාව පසුපස හඹා යෑම වැළැක්විය නොහැකි බව සඳහන් කළේය.

එවැනි පසුබිමක රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධිපති හෑගොඩ විපස්සි හිමි පවසන්නේ අද පුද්ගලයාගේ බාහිර ස්වරූපය ව්‍යුහාත්මකව පැවතිය ද අධ්‍යාත්මයෙන් එය දක්නට නොලැබෙන බව ය.

“හැත්තෑව, අසූව දශකවලදී වුණත් පුද්ගලයාගේ ව්‍යුහාත්මක ස්වරූපය හදලා තිබුණේ නැහැ. ඒ කාලේ ළමයි දහම් පාසලට සාමාන්‍ය ඇඳුමක් ඇන්දේ. සමහරු නම් සුදු යුනිෆෝම් ඇන්දා. පන්සලට වුණත් ළා පැහැති ඇඳුම් ඇන්දේ. ඒ කාලේ දහම් පාසලට ළමා සාරිය, ජාතික ඇඳුම අඳින්න කියලා නියම කරලා තිබුණේ නැහැ. පන්සලට සුදු ඇඳුම් අඳින්න කියලා කිව්වේ නැහැ. පන්සලේ විශේෂ පින්කමකට, උත්සවයකට තමයි සුදු ඇඳුම් ඇන්දේ. පන්සලට සුදු ඇඳුම් අඳින එක හෝ දහම් පාසලට ළමා සාරි, ජාතික ඇඳුම අඳින එක වැරදියි කියලා මම කියන්නේ නැහැ. එය ඉතා හොඳ දෙයක්. ඒත් ඒ ව්‍යුහාත්මකව හදන බාහිර ස්වරූපය අධ්‍යාත්මිකව හදන්නේ නැහැ. ඒ කාලේ ව්‍යුහාත්මකව හදලා නැති වුණත් අධ්‍යාත්මිකව දියුණු තත්වයක් අපි දැක්කා. එදා තරුණ තරුණියන් සමාජානුයෝජනය සඳහා තෝතැන්න කර ගත්තේ පන්සල. ඒත් අද ඒ තත්වය නැහැ. පුද්ගලයාව ව්‍යුහාත්මකව හදනවාට වඩා ධර්ම කාරණා ඔස්සේ අධ්‍යාත්මිකව ගොඩ නැඟීමයි වැදගත් වෙන්නේ. එවිට විනයක්, හැදියාවක් දකින්න පුළුවන්.” යනුවෙන් කවදුරටත් උන්වහන්සේ විස්තර කළහ.

“පන්සලේ භික්ෂුව කියන්නේ සියලු බැඳීම් අත් හරින කෙනෙක්. සියලු දේ අත් හරින තැන තමයි පන්සල. ඒත් අද පන්සල්වල එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. තරගෙට පින්කම් පවත්වනවා.

ගොඩනැගිලි හදනවා. එයින් පෙනෙන්නේ මොකක්ද ? පන්සලත් යාන්ත්‍රික වී ඇති බව නේද? පාසලෙන් මූලික දේ කෙරෙනවා නම් මේ තරම් ටියුෂන් පන්ති බිහි වෙයිද? අද ටියුෂන් පෝස්ටර් දකින විට මේ ඉන්නේ ගුරුවරුද නළුවොද කියලා හිතා ගන්න බැහැ. ඒ නිසයි මම කියන්නේ අධ්‍යාපනය විනාශ කළාට පස්සේ තවත් දෙයක් ඉතිරි වෙන්නේ නැති බව. හැම දෙයකම ආරම්භය අධ්‍යාපනය. 1920 දී අපේ රටේ පාලකයෝ තීරණය කරලා තිබුණා භාෂා තුනම ඉගැන්විය යුතු බව. ඒත් 1956 දී එක භාෂාවකින් ඉගැන්වීමට තීරණය කළා. ස්විස්ටර්ලන්තය, ස්වීඩනය වගේ රටවල්වල භාෂා 4 ක් ඉගෙන ගත්තා.

ශ්‍රී නේරුතුමා කිව්වා අපේ අල්තාරය විය යුත්තේ විද්‍යාගාරයයි කියලා. එතුමා තේරුම් ගත්තා අධ්‍යාපනයේ තිබෙන වටිනාකම. නේරු කෙනෙකු බිහි නොවීම අපේ රටේ අවාසනාව. අධ්‍යාපනය විනාශ වීමෙන් තමයි මිථ්‍යාව පසුපස යන්නේ. අධ්‍යාපනය විනාශ වීමෙන් තමයි විනය පිරිහෙන්නෙ.

අපි තිබුණු දේ නැති කරගත් රටක්. ඒ නිසා මේ තත්වය ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ.” යනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය සිරි හෙට්ටිගේ දීර්ඝ වශයෙන් විස්තර කළේය.

ලක්ෂ ගණනින් ජනතාව ආගමික වතාවත්වල නිරත වුවද හොස්ස ළඟින් මැස්සා යන්න බැරි ජනතාවක් බිහි වී තිබෙන්නේ එම නිසාය. පුංචි බහින්බස් වීමකදී පිහියෙන් අනින්නේ එම නිසාය. දවසෙන් දවස වැඩිහිටි නිවාස බිහි වන්නේ එම නිසාය. අසරණ රෝගින් ප්‍රාණ ඇපයට ගෙන වෛද්‍යවරුන් වර්ජනය කරන්නේ එම නිසා ය.

අදහස්