රැවටුණු කාලේ ඉවරයි | සිළුමිණ

රැවටුණු කාලේ ඉවරයි

ගම්පෙරළිය ව්‍යාපෘතියෙන් ජනතාවට අත්වන ප්‍රතිලාභ මොනවද?

මූලික යටිතල පහසුකම් අවශ්‍ය කරන. පාරවල් , කැඩුණු බිඳුණු වාරිමාර්ග පද්ධති, ක්‍රීඩා පිටි... ආදී පොදු පහසුකම් විශාල ප්‍රමාණයක් දියුණු කරගන්න තිබෙනවා. පසුගිය කාලේ වුණේ මේ පොදු පහසුකම් ව්‍යාපෘති කොමිස් ගහන ක්‍රොන්තාත් ව්‍යාපෘති බවට පත්වෙලා ඒවයින් විශාල ධනස්කන්ධයක් සොයාගැනීමයි.

අවුරුදු පහක් හයක් ඇතුළත මුළු ලංකාවෙම මේ පොදු පහසුකම් හදලා ඉවර කරන්න පුළුවන් කමක් තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. ඒවා සම්පූර්ණ කිරීමේ අර්ථයෙන් තමයි ගම්පෙරළිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ වුණේ. සෑම මැතිවරණ කොට්ඨාසයකටම සෑම ග්‍රාම සේවා වසමකටම ප්‍රතිලාභ රාශියක් ලැබෙන විදියට මේ ව්‍යාපෘතිය සකස් කර තිබෙනවා.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩ සටහනින් රජය අපේක්ෂා කරන්නේ මොනවද?

එමඟින් අපි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ජීවන මට්ටම ඉහළ දැමීමයි. කිසියම් ව්‍යවසායක හැකියාවත් තිබෙන අයට ඒ වෙනුවෙන් අඩු පොළියට ණය ලබාදීම. මේ ණය මුදල් ලබාදෙන්නේ රාජ්‍ය බැංකු පද්ධතිය මඟිනුයි . මේ අඩු පොලියේ වැය බර රජය දරනවා. ඒ නිසා බැංකුවලට ගැටලු වක් ඇති වන්නේ නැහැ.

විපක්ෂය චෝදනා කරන්නේ රටේ ආර්ථිකය කඩා වැටිලා. ව්‍යාපාරිකයන් අසරණ වෙලා කියලා. ?

ලංකාවේ ආර්ථිකය බොහෝම හොඳ තැනක තියෙනවා. ආර්ථික ගැටලු සමුදායක අපේ රට හිරවෙලා ඉන්නවා. ඒකේ ආසන්නතම වග උත්තරකරුවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. ඔහු තමන්ගේ නම බැබළවීමට කරපු ප්‍රතිලාභ නැති හදිසි දේශපාලන ආයෝජන නිසා රට විශාල ණය උගුලක සිරවුණා. රාජපක්ෂ මහතා ගෙන ගිය දූෂිත පාලන ක්‍රමය හමුවේ කෝටි ගණක පාඩුවක් එක්ක විශාල ණය බරක් රටට ඉතිරි වුණා.

මේ ආණ්ඩුව ආපු ගමන් කළේ මේ රට ඒ දරුණු උවදුරින් ගලවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමයි. දැන් ක්‍රමයෙන් අපි ඒ ණය කන්දරාව ගෙවාගෙන යනවා. මේ නිසා ආර්ථිකයේ කිසියම් හැකිළීමක් තිබෙනවා.

පසුගිය රජය විශාල වැඩකොටසක් කළා කියලයි ජනතාව කියන්නේ. පාරේ කුණු තිබුණෙ නැහැ. කොළඹ ලස්සන වුණා. ආකේඩ් සංස්කෘතියක් ඇති වුණා.

පාරේ කුණු සුද්ද කරන එක, ලස්සන කරන එක, ජොගින් පාර්ත් හදන එක, පැරණි ගොඩනැගිලි අලුත්වැඩියා කරන එක මතුපිට පොත්ත ලස්සන කිරීම විතරයි. ඇත්ත නාගරික සංවර්ධනයක් මේ අය කළේ නැහැ. දුප්පත් මිනිස්සුන්ට ඉන්න හිටින්න තැන අහිමි කරල. ගහල එලවල, උද්ඝෝෂණවලට වෙඩි තියල මරලා කොළඹ හත ලස්සන කළා. අද ගිහින් බලන්න ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් එක ඇතුළෙ පටන්ගන්න කොට තිබිච්ච කඩ කීයක් වහලද කියල. ඉතිරිවෙලා තියෙන කඩේකින් සාමාන්‍ය ජනතාවට ගිහින් කන්න බොන්න පුළුවන්ද? මේව හැදුවේ සාමාන්‍ය ජනතාවට යන්න නෙමෙයි.

මහින්ද මහත්තයා බලයට ආවොත් මේ රජය ආයෝජකයින් සමඟ ඇති කරගන්න වෙළෙඳ ගිවිසුම් අහෝසි කරන බව කියනවා.

පසුගිය රජය සෝබන වැඩවලට විශාල ධනයක් වැය කරන ගමන් ඒවායින් විශාල මුදලක් යටිමඩි ගහගත්තා. ඒ හැම දේකටම රජයේ මුදල් තමයි මේ අය වැය කළේ. ඒ නිසයි තව අවුරුදු දෙකක් බලයේ ඉන්න පුළුවන් කම තිබියදී ජනාධිපතිවරණය කැදෙව්වේ. මොකද මේ විදියට ආර්ථිකය කඩාවැටෙන කොට ඒ බර ජනතාව මත පැටවෙනවා. එතකොට තමන් මෙච්චර කල් ගොඩනගාගෙන හිටපු ප්‍රතිරූපය බිඳ වැටෙන බව ඒ අය කල්තියා දැක්කා.

මහින්ද මහත්තයා රටට කරපු වින්නැහිය තමයි තවම අපි මේ ගෙවන්නේ. එයා මේ වෙද්දි තමන් බලයට එන බවක් අඟවආ ආයෝජකයන්ට තර්ජනය කරන්නේ තවත් කුට්ටියක් කඩා ගැනීමේ අරමුණෙන් මිසක් රට ජාතිය ගැන හිතන නිසා නෙමෙයි.

පසුගිය රජය යටතේ වංචා, දූෂණ, හොරකම්, මැරකම් කරපු අයට දඩුවම් දෙන්න මේ රජයට තවම බැරිවෙලා තියෙනවා.

මේ රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම නැහැයි කියන කාරණාව මේ ආණ්ඩුව බලයට පත්වෙන වෙලාවේ නොසිතපු එක කාරණයක්. උදාහරණයක් විදියට නීතිය පසිඳලන ආයතන ර‍ට ශුද්ධ කර ගැනීමේ ව්‍යාපෘතියට කාර්යක්ෂමව උදව් කරන්නේ නැහැ. රාජපක්ෂ යුගයේ දී ඇති වුණ දූෂණය තනියම නෙමෙයි, මාෆියා ගොඩක් එක්කයි සිද්ධ වුණේ. දේශපාලන මාෆියාව, පරිපාලන මාෆියාව, ඒ වගේම යුක්තිය පසිඳළන ‍ක්ෂේත්‍රයෙත් මාෆියා ගොඩක් සම්බන්ධ වුණා. මේ ඔක්කොම එකිනෙකට දම්වැලක් වගේ සම්බන්ධවෙලා හොරු අල්ලන, නඩු අහන ව්‍යාපෘතිය ඉබිගමනේ තමයි ගියේ. මේකෙ වාසිය මේ අය අරගෙන කෝ හොරු ඇල්ලුවද කියල නැවත වතාවක් හොරා සුදන වෙලා සමාජය ඉස්සරහාට ඇවිත් ඡන්දයකුත් දිනා ගත්තා. ඒ නිසා තමයි විශේෂ අධිකරණයක් පද්ධතියක් පිහිටු වීමට කටයුතු කළේ. පොලිසියේ සහ විමර්ශන ඒකකවල කටයුතු අවසන් වී තිබෙනවා. දැන් තියෙන්නේ අධිකරණ කටයුතු ආරම්භ කිරීමයි. සරත් ෆොන්සේකා මහත්තයට පසුගිය රජය කටයුතු කළ ආකාරයෙන් නීතියෙන් පිට ගිහිල්ලා මේ අය සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි යන්නේ නැහැ. මේ හොරු පැලද සිටි වෙස් මුහුණුට මුවාවෙලා ලබා ගත් තාවකාලික ජග්‍රහණයන් තවදුරටත් වලංගු වන්නේ නැහැ.

‘යන්න නෙමෙයි එන්නෙ’ කියල ආපු අය එදා රෑ 12 වෙන කොට විසිර ගියා. ඒ ඇයි?

මිනිස්සු එක එක සන්තෝසම් දීල අරන් ආවට එවට පදනමක් නැහැ. වෙරි හිඳුණ ගමන් මිනිස්සු යන්න පටන් ගත්තා. තමන් කළ හොරමැරකම්වලට දඩුවම් විඳින්න තියෙන බයට තමයි මේ විදියට මිනිස්සු රවට්ටගෙන පාරට ආවේ. බැසිල් මහත්තයා මේකට සම්බන්ධ වුණේ නැහැ. පොහොට්ටු පක්ෂය දැනටමත් බෙදිලා කඩාගෙන වැටිල ඉන්නේ. බප්පලා පුතාලගේ දේශපාලන එදිරිවාදිකම්වලට හොරකම්වලට ජනතාව දුක් විඳින්න ඕනද? අපි දැක්කනේ ජනතාව කට්ට අව්වේ දුක් විඳගෙන සිටිද්දි මේ ඊනියා නායකයො කොළඹ සුපිරි හෝටල්වල ඉඳන් එතෙන්ට එනවා. එදා මධ්‍යම රාත්‍රියේ මේ අය විසිර ගියේ මේ ව්‍යාජය පවත්වාගෙන යන්න බැරි නිසා.

සංවාදය - රසික කොටුදුරගේ

අදහස්