‘මැදමුලන වට-ලෑම’ | සිළුමිණ

‘මැදමුලන වට-ලෑම’

පසුගිය බදාදා රැය පහන් වන තුරු කොළඹ නගරයේ රාජ්‍ය මර්මස්ථාන අල්ලාගෙන ආණ්ඩුව බිඳ-වැටෙන තුරු රැඳී සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කළ නිවේදනය පුස්සක් බවට පත් විය. ඒ දේශපාලන විරෝධය කොතරම් හාස්‍යජනකද කිව හොත් රාජ්‍යයේ කිසිම ක්‍රියාකාරකමට එමඟින් බලපෑමක් නොවීය. අවසානයේ සුපුරුදු පරිදි රාජපක්ෂ හිතවාදි පිරිස විසිර ගියහ.

එහෙත් මේ ආකාරයේ දේශපාලන විරෝධතාවන්ට පසුගිය කාලයේදී ලෝකය පුරා විශාල බලපෑමක් කළ හැකි විය. ඇමෙරිකා එක්සත් ජනපදයේ වෝල්ස්ට්‍රීට් වීථිය ආශ්‍රිතව ආරම්භ වූ තරුණ ජනතාවගේ විරෝධය ඒ අතුරින් ප්‍රමුඛය. එක්සත් ජනපදයේත් ලෝකය පුරාත් ආර්ථික වශයෙන් පවතින ඇති නැති පරතරයට එරෙහිව පැවැති ඒ විරෝධය ලෝකය පුරා මහත් ආකර්ෂණයක් දිනාගැනීමට සමත් විය.

මේ ආකාරයේ විරෝධතා එකල ලෝකය පුරා හමා-ගියේ රැල්ලක් මෙනි. විශේෂයෙන් මැද-පෙරදිග හා උතුරු අප්‍රිකානු රටවල පැවති ඒකාධිපති ආණ්ඩු බිඳ-වැටෙන තෙක් ‘දරා සිටීමේ මහජන විරෝධයන්’ ශක්තිමත් විය. ටියුනීසියාව, ඊජිප්තුව, ලිබියාව, යේමනය, සිරියාව හා බහරේන් රාජ්‍යවල පැන-නැඟි එවැනි මහජන විරෝධතා නිසා විශාල සමාජ පරිවර්තනයක් ඒ රටවල සිදු විය. ඒකාධිපති ආණ්ඩු බිඳ-වැටෙමින් දේශපාලන විවිධත්වයකට ඉඩක් ලැබිණි.

එහෙත් ඒ සියලු වෙනස්කම් හරයාත්මකව ප්‍රගතිශීලි පරිවර්තන නොවීය. බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා ඇති වූ ජාතික තලයේ අරගලවල දේශපාලන අරමුණු පැහැරගැනීමට බලවත් රටවල් සමත් විය. විශේෂයෙන් එක්සත් ජනපදය මේ අරගල පිටුපස සිටිමින් තමන්ගේ භූ-දේශපාලන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ලෝකයා හැසිරවීමට කටයුතු කළ බව පැහැදිලි විය.

එහෙත් අරගලයක් කොයි දිසාවකට ඇදී-ගියද මහජන නිදහස අරපයා වූ එහි පවතින ශක්‍යතාව අවතක්සේරු කළ නොහැකිය. ඒ අර්ථයෙන් එදා ලෝකය පුරා රැල්ලක් සේ පැන-නැඟි මහජන අරගලවල වැදගත්කම අතිවිශාලය. ඒ නිසා රටවල් කිහිපයකම පීඩිත ජන කොටස්වලට විමුක්තියේ මාර්ගය උදා විය.

මේ මහජන අරගල ලෝකය පුරා සිදු වූ 2011-2012 කාලයේ ශ්‍රී ලංකාව පාලනය කළේ මහින්ද රාජපක්ෂ රෙජීමයයි. එකල ශ්‍රී ලංකාවේද බරපතළ ඒකාධිපති පාලනයක් දකින්නට ලැබිණි. මේ අන්දමින් නොවූවත් මතුව ආ ආණ්ඩු විරෝධය ප්‍රබල ලෙස ඉස්මතු වූයේ 2015 ජනවාරි 08 වනදාය. එයද එක්තරා අන්දමක ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවයක් විය. ඒ විප්ලවය නිසා රාජපක්ෂ අධිපතිවාදයට බරපතළ හානි සිදු විය. එදා ලෝකය පුරා හමා-ගිය ආණ්ඩු විරෝධි රැල්ල අන්තර්ජාලයෙන් දැක තිබූ රාජපක්ෂවාදීන් මහත් සේ කිපී ඒවාට බැන-වැදුණද අද ඔවුන්ද යොදාගන්නේ එවැනිම ආණ්ඩු විරෝධි උපක්‍රමයකි!

එහෙත් ලෝකය පුරා හමා ගිය මහජන විරෝධතා අහලකට හෝ පැමිණෙන්නට පසුගිය බදාදා සිදු කළ ‘කොළඹ වට-ලෑමට’ නොහැකි විය. දේශපාලන ඉලක්කයකින් තොරව තමන්ට අහිමිව-ගිය රාජ්‍ය බලය අත්පත් කරගැනීම පමණක්ම එහි අරමුණ විය. එසේම රාජපක්ෂවරුන් අතර පවතින බලලෝභි නායකත්ව අර්බුදය විසඳාගැනීමද ඉලක්කයක් විය. සමාජ මාධ්‍ය ඇසුරු කරන නාමල් රාජපක්ෂලාට කොළඹ වට-ලන්නට සිදු වූයේ හණමිටි දේශපාලන අදහස් ජයග්‍රහණය කරගැනීමට මිස, පුළුල් අර්ථයෙන් මහජන විමුක්තිය සඳහා නොවේ.

රාජපක්ෂලා කොළඹ වට-ලන්නට එන්නේ තමන්ගේ දස අවුරුදු පාලන කාලය තුළ සිදු වූ මහජන විනාශයන්හි වරද ස්වයං-විවේචනාත්මකව පිළිගෙන හෝ නොවේ. ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට යොමු කරමින් හුදු තමන්ගේ පෞද්ගලික අරමුණු සාධනයෙහි ලා ඔවුන් එදා සිදු කළ මහත් විනාශය අදටත් ආපසු හැරවීමට නොහැකිව තිබේ. රාජපක්ෂ කල්ලියේ සෑම දිස්ත්‍රික් නියෝජනයකම නායකත්වය දරන්නෝ බරපතළ ලෙස අපරාධ චෝදනා ලැබූවෝය. එක්කෝ ඔවුහු මූල්‍ය අපරාධකරුවෝය; නැත් නම් මිනිස් ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවෝය. මේ අපරාධකරුවන් මහජන විමුක්තිය නියෝජනය කරන්නට යෑම උත්ප්‍රාසාත්මකය!

මෑත වකවානුවේ රාජපක්ෂවරුන් මෙරට දේශපාලන ඉතිහාසය තුළ බරපතළ ලෙස සටහන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ලෙසය. ඔවුන්ට යළි නැඟී සිටීමට හැකි වන ලෙස ස්වයං-විවේචනාත්මක සැකසීමකට හෝ ප්‍රවේශ වන්නට නොහැකිය. ඒ අර්ථයෙන් රාජපක්ෂවරුන්ගේ නිවහන වන ‘මැදමුලන වලවුව’ මෙරට ආඥාදායකත්වයේ හා ඒකාධිපතිභාවයේ සංකේතයකි. එහි වත්මන ජීවත්ව සිටින්නන් ඉතිහාසයේ සටහන් තබා ඇත්තේ මිනිස් සමාජය පසුපසට තල්ලු කරන අශ්ලීල ක්‍රියාකාරකම්වලිනි. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස උදෙසා අරගල කරන දේශපාලන බලවේගයක් ‘මැදමුලන වට-ලෑම’ (Occupy Medamulana) සඳහා පෙරමුණ ගන්නේ නම්, එය ශ්‍රී ලාංකික ප්‍රජාතන්ත්‍රවාදි අරගලයේ උත්තරීතර සටහනක් වනවා නිරනුමානය.

- අබරන්

අදහස්