රෂෝමොන් | සිළුමිණ

රෂෝමොන්

ජපන් සිනමාවේදී අකිර කුරසෝවා (1910 - 1998) මෙතෙක් ලොව පහළ වූ සිනමාවේදීන් අතර මහා පුරුෂයකු ලෙස සැලකේ. ඔහු විසින් නිමවන ලද මුළු චිත්‍රපට සංඛ්‍යාව 30ක් වන අතර ඒවා සියල්ල සම්භාව්‍ය ජපන් සිනමාව නියෝජනය කරයි. ඒ අතරිනුත් ‘රෂෝමොන්’ (1950) සහ ‘සෙවන් සමුරායි’ (1954) යන චිත්‍රපට ප්‍රමුඛ ය.

ඕනෑම චිත්‍රපටයක තිර පිටපත එහි සාර්ථකභාවයට මහා මෙහෙවරක් ඉටු කරයි. ඒ අනුව රෂෝමොන් හි සාර්ථකත්වය පිටුපස ඇත්තේ එහි තිර පිටපතේ සාර්ථකත්වය බැව් අමුතුවෙන් කිවයුතු නොවේ.

රෂෝමොන් චිත්‍රපටයේ තිර පිටපත හෂිමොතො ෂිනොබු නම් තිරපිටපත් රචකයාගේ සහායයෙන් ලියා ඇත්තේ අකිර කුරසෝව විසින් ම ය. චිත්‍රපටයේ නාමාවලියේ දෙදෙනාගේ ම නම් සඳහන් වේ.

මේ තිරපිටපතට පාදක කැරගෙන ඇත්තේ ජපානයේ පුරෝගාමී ලේඛකයකු වන රියුුනොසුකෙ අකුතගාවාගේ (1892- 1927) ‘රෂෝමොන්’ සහ ‘යබු නො නාකා’ (වන ළැහැබක දී) යන කෙටිකතා දෙකයි.

ජපන් කෙටිකතා කලාවේ පියා ලෙස හැඳින්වෙනුයේ අකුතගාවා ය. අවුරුදු 35ක් තරම් කෙටි සිය ජිවිත කාලයෙන් ඔහු ලේඛනකරණයේ නියැළී ඇත්තේ පහළොවක් තුළ පමණී. ඒ කාලයේ කෙටිකතා 150ක් පමණ ඔහු අතින් නිමැවී තිබේ. 1935 වසරේ සිට ජපානයේ නැඟී එන ලේඛකයන් සඳහා වසරකට දෙවරක් පිදෙන සාහිත්‍ය ත්‍යාගය ඔහු නමින් නම් කොට ඇත. සොයාගෙන කියවන්න යැයි අද දින යෝජනා කරන රෂෝමොන් නමැති මේ කෘතියේ පෙරවදනේ මෙසේ සඳහන් ය.

‘රෂෝමොන් නමැති මේ කෘතිය මඟින් ලෝක සිනමාවේ ශ්‍රේෂ්ඨ නිර්මාණයක් හඳුන්වා දීම අපේක්‍ෂිතයි. මේ ග්‍රන්ථය කොටස් තුනකින් යුක්ත ය. පළමුවන කොටසට චිත්‍රපටයට මූලාශ්‍රය වූ අකුතගාව රියනොසුකෙගේ ‘රෂෝමොන්’ හා ‘වන ලැහ­ැබක දී’ යන කෙටිකතා දෙකේ පරිවර්තන ඇතුළත් වේ. දෙවන කොටසට රෂෝමොන් චිත්‍රපටයේ මුල් තිර නාටකයේ සහ රූපගත තිර නාටකයේ පරිවර්තන ඇතුළත් වේ. මේ දෙක විදේශීය බසකට පරිවර්තනය කෙරෙනල එකම ග්‍රන්ථයක් තුළින් ඉදිරිපත් කෙරෙන ප්‍රථම අවස්ථාව මෙයයි. තුන්වන කොටසට රෂෝමොන් චිත්‍රපටය පිළිබඳ දීර්ඝවූත් තුලනාත්මකවූත් විමර්ශනයක් ඇතුළත් වේ. රෂෝමොන් චිත්‍රපටය හැදෑරීමට, අවබෝධ කැර ගැනීමට හා රස විඳීමට අවශ්‍ය හැම කරුණක් ම පාහේ එහි අන්තර්ගතයි. චිත්‍රපට කලාවේ නියැළී සිටින කලාකරුවන්ට පමණක් නොව ප්‍රේක්ෂකයන්ට ද ඉන් සම්භාව්‍ය චිත්‍රපට කලාව පිළිබඳ බොහෝ දෑ උගත හැකි ය.’ කෙටිකතා දෙක කියවා ඉන්පසු තිර පිටපත කියවන විට ඒවා අතර කෙතරම් වෙනස්කම් ඇත්තේ ද යන්න පැහැදිලි වනු ඇත. මේ කෙටිකතා දෙක අතර කිසියම් සම්බන්ධයක් නොමැතිවා මෙන් ම ඒ දෙක ඇසුරුකැර ගනිමින් ලියන ලද තිර පිටපතේ ඇත්තේ ඒ දෙකේ ම එන කතන්දරය නොවේ. කෙටිකතා දෙකෙන් චිත්‍රපටයට නම දුන් රෂෝමොන් අප්‍රධාන ය. තිරපිටපතට ප්‍රධාන වශයෙන් ම වස්තු බීජය සැපයී ඇත්තේ ‘යබු නො නාකා’ නම් කෙටිකතාවෙනි.

තරුණ සමුරායි වරයකු වන තකහිරෝ සහ ඔහුගේ රූපත් යොවුන් බිරිය වන මසගො වනයක් මැදින් දිගු ගමනක යෙදෙති. ඇය දැක ඇය කෙරේ ලොල් වන තජොමරු නම් මං පහරන සොරා කෙසේ හෝ ඇය පැහැර ගැනීමට සිතයි. දර කපන්නකුට තකහිරෝගේ මළ සිරුර හමුවෙයි. කෙටිකතාව ඇරඹෙන්නේ ඔහු ආරක්‍ෂක නිලධාරියකු හමුවේ කරන ප්‍රකාශයකිනි. එහෙත් චිත්‍රපටය ඇරඹෙන්නේ රෂෝමොන් දොරටුවේ සිටින ගස් කපන්නා සහ සංචාරක බෞද්ධ භික්ෂුවක් සම්බන්ධ රූපරාමු පෙළකිනි.

තකහිරෝගේ මරණය සිදු වූයේ කෙලෙස ද? සොරා කියන්නේ තමා සහ තකහිරො අතර සටනක් සිදු වූ බවත් ඒ සටනේ දී ඔහු මියගිය බවත් ය. මසෙගො කියන්නේ තමා සන්තකයේ තිබූ කුඩා කඩුවෙන් ඇර මරන ලෙස සැමියා තමාගෙන් ඉල්ලා සිටි බවත් එහෙත් තමා එසේ නොකළ බවත්, එවිට තමා විසඥ වූ බවත් සිහිය එනවිට සැමියා මියගොස් තිබූ බව දුටු බවත් ය. සුරදූතියක් මඟින් කරුණු ඉදිරිපත් කරන තකෙහිරො පවසන දෙයින් වැටහෙන්නේ තමා මරණයට පත් වූ ආකරය ඔහු නොදත් බවයි. තමාගේ පපුවේ කුඩා කඩුව ඇනී තිබූ බවත් කවුදෝ අවුත් එය ගැලවූ බවත් එවිට තමා මරණයට පත් වූ බවත් ඔහු පවසයි. මෙය මනමේ කතාවට සාම්‍යත්වයක් දක්වයි.

දොළොස්වන සියවස තරම් ඈත සමයක සිදු වූ පුවතක් අසුරින් එන ජනප්‍රවාදයක් ඇසුරින් ලියැවුණු අකුතගාවාගේ ‘යබු නො නාකා’ නම් කෙටිකතාවේ විශේෂත්වය වන්නේ තකහිරෝගේ මරණය සිදුවූ ආකාරය දෘෂ්ටිකෝණ කිහිපයකින් ඉදිරිපත් කිරීමයි. එලෙස කෙටිකතාවක් ආකෘතිගත කිරීම මුලින් ම කරන ලද්දේ අකුතගාවා විසින් බව පැවසේ. චිත්‍රපටයේ දී කුරසෝවා ද ඒ ක්‍රමය ම භාවිත කරයි. දර්ශන, ආරක්‍ෂක අධිකරණ නායකයාගේ කාර්යාලයයත් වනයත් අතර ක්‍ෂණික ව ඡෙදනය වෙයි. චිත්‍රපටය අවසන් වන්නේ නැවතත් රෂෝමොන් දොරටුවෙනි. එහි ද ගස් කපන්නා සහ භික්ෂුව සිටිති.

රෂෝමොන් දොරටුව විශාල තැනකි. 10 සියවසේ නිර්මාණය කරන ලද එය 12 සියවසේ අග වනවිට ජරාවාස වූ තැනකි. දිළින්දන්ගේ මල සිරුරු පවා එහි ගෙන දමනු ලබන අතර දුප්පත් මිනිස්සු පවුලට අතිරේක බරක් වන බිලිඳුන් පවා එහි ගෙනවුත් දමති. මේ අවස්ථාවේ ගස් කපන්නාට සහ භික්‍ෂුවට එවැනි දරුවකු හඬනු ඇසේ. භික්‍ෂුව දරුවා වඩා ගනියි. දරුවා ගස් කපන්නාගේ සිතේ සංහිඳියාවක් ඇති කරයි. ඔහු භික්‍ෂුවගෙන් දරුවා ඉල්ලා ගනියි. තමාට දැනමත් දරුවන් සය දෙනෙකු සිටිනා බවත් හතක් වුණා ය කියා වැඩියක් නොවනු ඇති බවත් ඔහු කියයි. භික්‍ෂුව මින් පැහැදේ.

මහාචාර්ය ආරිය රාජකරුණාගේ කෘතියක් වන ‘රෂෝමොන්’ සීමාසහිත ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් 1989 ප්‍රකාශයට පත් කරන ලදී.

අදහස්