
කිසාගෝතමී
නොමළ ගෙය අබ ඔසුව
නිවහනෙන් නිවහනට
සොය සොයා යන අතරෙ
හමුවුණා සමිඳුනේ
මරණයක් සිදු නොවුණු
එකම එක නිවහනක්
දිළිඳු යුවළක් වෙසෙන
එහෙත් සමිඳුනේ එහි
තිබුණෙ නැහැ අබ ටිකක්
එම්. චන්ද්‍රපාල
ජිප්සි කෙල්ල
බුලතින් ඔප දැමූ රතු ලවනත
ඇට වැලෙන් සරසාලු ගෙලවට
මොනර පිල් කළඹෙ නිල් ඇස් වට
ඉර එලියෙ තව සඳක් කුමට
තිබියදී ළමා විය බෝ දුරක්
තනාගෙන නා ඉල්ලෙ කැදැල්ලක්
පුංචි වටකුරු හීන මැඩිල්ලේ
ඇරඹුවෙද තවලමට දිගු දුරක්
පිරිමදින වීණාව කොකනද
හඬාවී තත්සරය ඉකිබිඳ
ළමැඩියෙහි හොවා නෙක කිරි සිහින
ගයන්නේ ජීවිතේ කවියමද
දේදුන්න ඉරා බඳ වට ඔතා
දූවිල්ල පුයර මල වත උලා
මල් දෙවැට මායිමේ උනි බලා
මියුල්, ඇස් කඳුළ සිතුවම් කළා
රුවන් මුතුනායක
සතපා තබමි
නොපතමි දකින්නට නුඹ
කිසිදින දෙනෙත පුරා
වාවනු කෙලෙස හිත හද
මගේ ආල නුරා
සතපා නුඹ ම මගෙ හද ගැබ තුළ
මලින් සරා
සනසා තබමි සැමදා නුඹ
තුටින් අරා...
සුදත් චමිල මැණික්දිවල
ආදරයද මේ
ඇය එනතුරු මඟ බලා සිටි
කාලයේ වැලිතලාවේ
චණ්ඩ හිරු රැස් අතර සිරවී
මා වෙලා දෙකන්සයෙන්
ගලා හැළෙන දාහය
පිසදා ගතිමි කෝපයෙන්
ඇය දුන්න ටිෂු කොළයෙන්
ටිෂු කොළයෙන්
ටිෂු කොළයෙන්
විසි කළෙමි අසල කුණු බඳුනට
අංජන තැවරූ ඇගේ උවනේ
සිරිය දෙස බලමින්
සරතැස නිවාගන්නට වෙහෙස දරමින්
මතක් කර අම්මා තවමත් සිඹින
තාත්තා දුන් මල් මල් ලේන්සුවේ
සුවඳ සොයමින්
ලක්ෂ්මන් කොඩිතුවක්කු
විරසක වූ තාත්තා
වහලක් නැති වුණොත් ගේකට
බිත්තියෙන් ඇති පල කිම
එදා අන්තිම පොලු පහරට
මගුල් පින්තූරෙ ඉරි හරහට
දෑ අවුරුද්දක්ම කඹුරා නොරටුන්ට
ඇවිල්ලා ගෙවුණෙ මොන දවසක්ද
මව් ඇකය නුහුරු පොඩි නංගිට
ඔඩොකුවමයි ඕනෙ හවසට
දුරකථනෙ ඇතුළෙ හැංගිල තිබුණ
එස්.එම්.එස්.ලියුමදෝ කළේ වින
රෑට මානං ඉමි දෑස අහසටම
තරුවකින් ඇවිත් ගෙට ගොඩවන්න
නුවන් ප්‍රසන්න විතානගේ
හිමි අහිමි
මං මුලාවූ පෙම් ලොවේදී
බැරි වුණා හඳුනාගන්න හරිහැටි
පැතුම් පොදි බැඳ මලු ගණන්
සෙනෙහසින් එක්වුණේ සැමදා...
සෙනෙහසක් නැති දයාවක් නැති
හදවතක් ළඟ ඉකිගසා
ගඟට කැපු ඉනි ලෙසම වේ නම්
කිමද ඵල මේ හඬා වැටෙනා ජීවිතෙන්...
ඉගිළ යන්නට කැදැල්ලෙන්
සිතුණ මුත් දස දහස් වාරයක්
දරු සෙනෙහෙ ඉදිරියට ආවා
මහා බාධක පරය සේ...
පුංචි පැටවුන් ලොකු වෙලා දැන්
ඉගිළ ගොස් කැදලිත් තනාගෙන
අපත් වියපත් වෙලා ගොස් දැන්
තවත් කුමටද සෝ තැවුල්...
කරපු පින් පව් ඒවි පසුපස
බුදු සමිඳුනේ ඔබේ දහමයි
කියා දුන්නේ සසරෙ අනියත
ලබා දුන්නෙ සිතට සැනසුම...
වෛද්‍ය පද්මිණී බෙනරගම
කපුටු හාමිගේ පැමිණිල්ල
කට හඬට, ගීයට වශී වී
කවි, ගීත ලියනවා කොහා ගැන
කාලෙකට ඇවිදින් ඉගිළ යන
නුඹ සිටින්නේ නෑනේ අපි ළඟ...
පහන් වන විට ඔබ අවදි කර
අනාවැකි පවසලා හෙට ගැන
සුද්ධ කර බිම - අපල දුරු කර
ගිල්ලා තෙල් තිර - අපමණයි මම
දැමු බිජු රැක - කැදැල්ලේ සිට
පැටවූ ඇති දැඩි කළේ මම බව
අමතකයි ඉගිළිලා යන විට
නවතින්නේ නුඹ ඈත දුරු රට
මිහිරි පද බැඳ දී පොරොන්දුව
උනුත් යනවා අපව අතහැර
දෙකන් පුරවා නව වසර ගැන
මතකයේ පමණයි පැතුම් ගොඩ
මුලා නොමවන් ඇසෙන නාදෙට
සිදුවන්නේ එය පෙර කරුමයට
මොළය සෝදා බලන් වට පිට
පමා වැඩි යයි ළතවන්න පෙර...
කුමාරි තෙන්නකෝන්
අනුරූප
ඇගේ සිත
තෙතමනයක් නැති
සහරා කාතාරයයි
ඉතින් මම
ඔටුවෙක් වෙමි
අජිත් ලියනගේ