දෙලොව මඟ කියා දුන් ගමේ පන්සල | සිළුමිණ

දෙලොව මඟ කියා දුන් ගමේ පන්සල

සම්බුදු දහමත්, මහ සගරුවනත්, ගැන විවිධ වූ වාද, විරෝධා කල්ප, මේ දිනවල නිතර ඇසෙයි. පෙනෙයි. ඇතැම් භික්ෂූන්වහන්සේලා ගේ ප්‍රකාශන හා හැසිරීම් ද මීට උදාවී ඇත. සිරිලක බුදු දහම ලැබීම හා ව්‍යාප්තිය ගැන ද විවිධ මත පළවෙයි. මේ සියලෙහි වරද නිවැරදි කර ගත හැක්කේ ධර්‍මාවබෝධයෙන් ම පමණය. එදා ලෝකයේ පවතින වෙනස්වීමේ සොබාව යත්, ලොව සම්මතය දැන ගැනීමටත් ගමේ ඇත්තන්ට මඟ පෙන්වූයේ ගමේ පංසලයි. එය රැකගැනීම ගමේ ඇත්තෝ පරවෙණි උරුමයක්ව සැලකූහ.

බුදුන් වහන්සේ තෙවරක් වැඩම කළ ශ්‍රී ලංකා ද්වීපයට සද්ධර්‍මයෙන් ඒකාලෝක වූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් පසු ය. ගමත්, පන්සලත්, පන්සලේ විහාරාධිපති නායක හිමිපානන්වහන්සේත් අතර ඇති වූයේ නොබි‍ඳෙන බැම්මකි. සංඝරත්නය හඳුනා ගැනීමට ගමේ නම මුලට එකතු වීමෙන් ම ගම හා ස්වාමින් වහන්සේලා ගේ සබඳතාව තහවුරු වෙයි.

උත්පත්තියේ සිට මරණය දක්වා පැවැති ඒ සියලු සිරිත් පංසලෙන් ආවරණය විය. මවුගේ දරු ගැබට සෙත පිරිත් දෙසූ හ. උපන් දරුවා ගේ වේලා පත්කඩය හැදුණේ ද නායක හිමි අතින් ය. නක්ෂත්‍ර කටයුතු මෙන් ම වෛද්‍ය ශාස්ත්‍රය ද උන්වහන්සේලා ඉටු කළ සේක. අකුරු ශාස්ත්‍රයට මූල පිරුවේ ද උන්වහන්සේ අතින් ය. ගමේ ඇත්තන්ගේ ගොවි තැන්බත් කර ගැනීමට අවශ්‍ය නැකත් සාදා දුන් සේක. ගොවිකමට අවශ්‍ය වූ කෙම් පහන්, බිත්තර බීජ සකසා ගැනීම, වැනි දේ ගැනද කරුණු දැක්වූහ. එසේම වැවේ පවතින ජල ප්‍රමාණවල් බලාගෙන බෙදා හදාගෙන ගොවිතැන් කිරීමට උපදේශන ලැබුණි. ගමේ සිදුවන (අනන්හටන්) සුළු ආරවුල් සමතයකට පත්කර ගත්තේ ද පන්සලේ නායක හිමි ඉදිරිපිටදීය.

ගෞරව සම්ප්‍රයුක්ත පක්ෂපාතිත්වය

පෙති පිළිම, රූප ඇඹීම හා පාලි, සංස්කෘත, භාෂාඥානයෙන් ද බොහෝ හිමිවරු පොහොසත් වූහ. අපේ ගම්වල විහාරාධිපති නායක හිමිවරුන්ට පැවිදි ගෝල භික්ෂූන් හා සමානවම ගිහි පඬිවරු, වෙදවරු ද සිටිය හ. මේ නිසා ම පන්සලේ නායක හිමියන්ට ගෞරව සම්ප්‍රයුක්ත පක්ෂපාතිත්වයක් ගම්මු තුළ ඇති වූහ. මේ නිසා ම උන්වහන්සේලා එය බිඳ වැටෙන සේ කිසිවිටක හැසු‍රුනේ නැත. මනුෂ්‍ය සොබාවන් ඉස්මතු වී ඇතැම් භික්ෂූන්වහන්සේලාගෙන් භික්ෂූත්වයට නොගැලපෙන ක්‍රියාකලවිට සංඝ පීතෘන්වහන්සේලා ගෙන් දඬුවම් ලැබුණි. අපේ ගම්වල සිවුරුහල පිරිසක් ඇතිවූයේ ද ඒ අනුවය. රජරට පුරා ඇති විහාරස්තාන ගවේෂණයේදී ගව්වෙන් ගව් උන්කඳු වැටිවල “රජමහවිහාර ඉදිව ඇති බැව් පෙනේ. මිහින්තලාව, ඉස්සන් බැස්සගල, තල ගුරුවෙහෙර, කිණිහිරිකන්ද, ඔත්තප්පුව, කුරුලුපෙත්තාව, නල්ලවූලච්චිය, හල්මිල්ලෑ දෙහිප්පාව, කොස්සෙකන්ද ආදිය මීට නිදසුන්ය. නුවර කලාවියේ හැම ගමකට ම පංසලක් නොතිබුණි. ගොදුරු ගම් රැසකට එක පංසලක් විය. සිවුරුපොරවා ගත්තත් කෙලෙස් බරවී නොපනත්කම් කෙරුන අවස්තාද මේ පංසල් කථාවල කියවේ. උගුලකට අහුවුන උන්නාන්සේනමක් කීව කවිය ඊට ශාක්සි සපයයි.

“පන්සලේ හිටිය කොලුවා නැති‍  වෙච්චී

කොලුවා සොයා යන විට මඟ වැර දිච්චී

කියා අරින්ටත් ගමරට දුර වෙච්චී

කොටියට ඇටවූ උගුලේ මා අහුවෙච්චී”

අපේ පන්සල්වල වැඩ විසූ භික්ෂූන් වහන්සේලා පුරාණ වෙහෙර විහාර නටබුන් සොයන්ටත්, ආරක්ෂා කරන්ටත් තම දායකයින් හා හරි හරියට ශාරීරිකව ද වෙහෙස වූහ. අපේ අත්තප්පලා කියා දුන් විදිහට ගමේ සිටියෙත් වනවාසී භික්ෂූ පිළිවෙත් රකිමින්ය. බණ භාවන පිඩු සිගා වැඩීමද කරමින් ය. පන්සලට කුඹුරු ආදායම් තිබුණත් දාන වට්ටෝරුවට දායක දාන ලැබුනත්, පංගුපේරු නොබලා ගමේ සෑම ගෙයකට ම වැඩිය හ. දායක දුඛ සැප දැන ගත්හ. දරුවන්ගේ අකුරු ශාස්ත්‍රය ද, වෙදකමට, මහනදමට ගෝල බාලයින් සොයා සපයාගත්තේ ද මේ පාදචාරි “කාගෙ පිළිවෙළින් වැඩීමේ” ශික්ෂා පදය රැක ගැනීමෙන් ය.

වෙහෙර විහාර ස්තාන ගොඩ නැගීමට පිරිස ද්‍රව්‍ය රැස් කර ගැනීමටත්, ධර්‍ම ප්‍රචාරයටත් වැඩම කල භික්ෂූන් වහන්සේලා හරි හැටි දාන නැතිව, අල බතල කුරහන් රොටී, වලදමින් කරත්ත අඹරාවේ රාත්‍රි කාල ගත කල අවස්තාද නිතර තිබූ බව අපේ ඇත්තන් පවසති. රුවන්වැලි මහා චෛත්‍ය රාජයානන්වහන්සේ නාරංවිට නායක හිමිපානනන් වහන්සේ පිළිසකර කරන්නට ‍වෙහෙසුනේ ද ඒ මග යමින්ය.

සන්නිවේදන උපකරණය

මහනුවර රාජධානි සමයේ වැලිවිට සරි සරණංකර සංඝ රාජ මාහිමිගේ ප්‍රතිසංස්කරණවලින් පසු මහ විහාර සියම් පාර්ශවය ඇරඹුණි. ගමේ පන්සල ද මේ වෙනසට බදුන්විය. රජරට උතුරු දිගින් පුලියන්කුලමේ දීපංකර නාහිමි “සඳගලසේනාසන රාමඤ්ඤ නිකායේ” ඇරඹීම දහමේ පංසලට ද බලපෑවේය. කොකටිය ගොල්ලෑවේ ශ්‍රීභාතීන්ද්‍රී නාහිමි, පොහොරඹේ නා හිමි, තප්පාගොඩ නාහිමි නටබුන් සොයා ගමේ වෙහෙර විහාර ගොඩ නැගීය. මෙම නිකායේ ම “කොස් ස්වකන්ද” පෙලපතේ තට්ටමූරිච්චාලේ ශ්‍රී සුභාරති නා හිමි. ශාස්ත්‍රවෙල්ලයේ උපසේන නාහිමි උලංකුලමේ නාහිමි හුරුළු කලාගම්, දෙපළාතේ පන්සල් පුනරුදය කල සේක.

මහා විහාරයේ අනුරාධපුර අටමස්තාන නායක හිමිධූර හොබ වූ එලිපන් ගමුවේ අත්ථ දස්සී නායක හිමි, ආරම්භ කළ ගම් විහාර සම්බන්ධය පල්ලේගම සුමනරේවත, රතනපාල ස්වාමින් වහන්සේලා උදුරව හල්මිල්ලෑවේ ශ්‍රී සුමනරතනපාල, සිරි සුමන රේවත නාහිමිවරුන් ප්‍රමුඛ සෑම නායක හිමිනමක් ම දියුණු කළසේක. අටමස්ථාන පූජා, පිරිත් පින්කම්වලට ගමේ පන්සල් දායක කර ගන්නා ලදි. විහාරාධිපති හිමිවරු ගම් පාලන කල දිසාවේ. කෝරාල, මොහොට්ටාල, ගමරාල ආදි නිලතල කාරයන්ට උපදෙස් දුන්සේක. ජයමහ හාමුදුරුවන්ට ආරක්ෂක බැම්ම ඉදිකරවීම පහසුවට කීර්ති ශ්‍රී රාජසිංහ රජු අටමස්තාන නායක හිමිට නුවර කලාවියේ දිසාවේ තනතුර ද පිදීය. එදා සිට “දිසපති, හාමුදුරුවෝ” යයි ඇමතුමක් ද ගමේ භාෂාවට එකතු වූහ.

අ‍ෙප් ගමේ පන්සල් වල වාර්ෂික පින්කම් කෙරුණි. සූවිසි විවරණ නාට්‍ය, සඳ කිඳුරු, මනමේ නාඩගම් පෙන්වූහ. මල්වට්ටි වෙන්දේසි සල්පිල් පැවැත්වීම සිදුවිය. ගමින් ගමට විසිතුරු පෙර හැරවල් පවත්වමින් පන්සල් අතර සහය, ඇතිවන “පූජා ප්‍රසාද” පැවැත්වීම ද ගමේ පන්සලේ තිබූ වටිනා චාරිත්‍රයකි. මේවා එකදහස් නවසිය දහයේ කාලයේදී පවා තිබුණු අයුරු අපේ මවුපියන් පවසා ඇත. පන්සලේ පෙරයම හීල් දාන, දවාල මහදාන, සවස ගිලන්පස පූජා කිසිමදාක වැරැද්දුවේ නැත. පන්සලේ ඝංඨාව සියල්ල දැනුම් දීමේ, රැස්කිරීමේ, විධානය කිරීමේ සංනිවේදන උපකරණය විය.

ගමේ වැඩිහිටි උපාසක ඇත්තෝ පන්සලේ නිතර ගැවසුණි. ආවතේවාවන්ට “ඇබිත්තයින්” හැම පන්සලකටම සිටිය හ. පාලකයින් පන්සලේ අවවාද අනුශාසනා පිලිගත් බව කලාවැව පිලිසකර කල පසු ඩී.එස්. සේනානායක අගමැති තුමා තමාට ශාස්ත්‍රවෙල්ලියේ උපසේන නාහිමිගෙන් ලැබුන අනුශාසනාවලට වැව් වාන තව උස් කර ජලය රැද වූවත් මදි යයි කෘතවේද දැක්වීමෙන් ම පෙනේ. “පයිලේ ගම” නා හිමි අටමස්තාන කමිටු තීරණයෙන් නායක හිමි කමෙන් පහ කිරීමෙන් ගිහිදායක බලය ද පෙනුණි. පුද්ගල සිරුරත් මනසත් නිරවුල් කර යහගුණැති ශක්ති වන්තයකු බිහි කිරීමටත් ගමේ පන්සලෙන් ලද දායකත්වය කිසිවෙකුටවත් යට පත් කළ නොහැකි සත්‍යයකි.

අදහස්