පෙම් කවි ලියා පිදු­රුයි, පුන්න­ක්කුයි තෑගි ලැබූ මීමන කවියා ඉපිද වසර සිය­යයි | සිළුමිණ

පෙම් කවි ලියා පිදු­රුයි, පුන්න­ක්කුයි තෑගි ලැබූ මීමන කවියා ඉපිද වසර සිය­යයි

කුමරජිත්

 

වරක් ලේඛක සර් වෝල්ටර් ස්කොට්, ස්කොට්ලන්තය අමතමින් : “රළු වනගතව පවතින එම්බා ස්කොට්ලන්තය! ළමා කවියකු ඇති දැඩි කිරීමට තී ඉතා සුදුසු ම කාන්තාව වන්නී යැ යි” කීය. Oh! caledonial stern and wild Meet nurse for a poetic child”

මීමන කරුණාරත්න ප්‍රේමතිලක කවියා ගැන ද කීමට එය උචිත ම යෙදුම යැයි සිතමි.

“මගේ කල්පනාවේ හැටියට මගේ සිත කවි කල්පනාවෙන් පිබිදෙන්නට ඇත්තේ මා උපන් පිටිසර ගමෙහි විවිධාකාර සුන්දරත්වය නිසා විය හැකිය” මීමන වරක් කියා තිබුණි.

 

මීමන ප්‍රේමතිලක යනු කවියෙකි; ලේඛකයෙකි; පත්‍ර කලාවේදියෙකි; රසවතෙකි. සෞන්දර්යය කවියෙකි; සිළුමිණ පත්‍රයේ හිටපු කර්තෘවරයෙකි; ඉහවහා ගිය මානව දයාවෙන් යුතු මිනිසෙකි.

“මා කවි හැදූ හැටි” මැයෙන් අපූරු ලිපියක් මීමන කවියා ‘සිළුමිණට’ ලියා තිබුණි. තමාගේ අත්දැකීම් විස්තර කළ ඔහු තම නම සඟවා තිබූ අතර මේ කවියා ඔහුගේ නම කීමට කැමති නැති නිසා “ඔහු අවුරුදු ගණනාවක සිට ඔබට රසවත් කවි සැපයූවෙකි” සඳහන් කර තිබුණි. එසේ ම ඔහු තම ජීවිත කතාව අපූරු බවකින් ලියා ඇත. “මගේ ප්‍රේමය, කලාව හා ජීවිතය” ඒ පොතේ නමයි.

මීමන ගේ ගෙවත්තට එහා වත්තක පිහිටි ළිඳකට වතුර ගෙන යෑම සඳහා එන ගැමි තරුණියක් වූවා ය. මුලින් ම ඔහුට ඈ ගැන කිසිම හැඟීමක් නැති වුව ද, ඈ දිනපතා ම දක්නට වූයෙන් කට කොනින් පිට වූ මඳ සිනාවත්, ඇගේ ගමනත් ඈ වතුර කය පුරවාගෙන යන ගමන් මඟදී ආපසු හැරී බලන රසවත් බැල්මත් ඔහුගේ හදවත නමැති ප්‍රේම මන්දිරයෙහි ද්වාරයට තට්ටු කරන්නාක් මෙන් ඔහු දැනී ඇත.

“දිනක් මම ඈට ලිපියක් ලිවීමි. ලියා ඈ වතුර ගෙන යාමට එන විට මා ඉදිරියට ගමන් කරමින් ඒ ලිපිය ඈට පෙනෙන සේ බිම දැමුවෙමි. ඈ අහිංසක බැල්මක් හෙළා, සිනා සිසී එය අහුලා ගත්තා ය. ඒ දුටු මගේ හදවත වේගයෙන් ස්පන්දනය වන්නට පටන් ගති. මට වයස අවුරුදු දහ තුනකට වඩා නොවූවත් මගේ ඇඟ හොඳට හැදී වැඩී තිබුණි. ඒ තරම් වැඩී තිබුණු මගේ අතපය ගැහෙන්නට විය. ඒ අන් කිසිවක් නිසා නොව ගමේ කවුරුන් හෝ මගේ ලියමන ඈ අහුලා ගනු දකින්නට ඇතැයි සිත තුළ ඇති වූ බිය නිසා ය.

මා ඈට ලිපිය දී දින කීපයක් ගත වූ පසු ඈ ඇගේ පිළිතුර ඒ රුක් අත්තන පඳුරේ මල් පොකුරක් අස්සේ තබා තිබුණේ ය. කොතරම් මිහිරි වූ ද, විනීතවූ ද, ආදරයක් ද?

“අර මල් පොකුර අස්සේ ලියමනක් ඇති.” යි ඈ වතුර අදින ගමන් අහක බලාගෙන කීවා ය.

මට ඒ ලිපිය කියවන විට දැනුණේ මා මහ බැද්දකට වැදී වන මීයක් කඩා ගෙන දෑතින් බේරි බේරී යන පැණි ලෙවකන්නාක් මෙනි. ඈ ඒ ලිපිය ලියා තිබුණේ කවියෙනි. ඒ දිනවල මට වඩා ඇය සිංහල උගත් බව නම් සැබෑ ය. එදා තිස්සේ මට නින්දක් නැත. කෙසේ හෝ මාත් ඈට කවියෙන් පිළිතුරු දිය යුතුයයි මට සිතිණි. මම පිළිතුරක් රචනා කළෙමි. ඒ ගැමි තරුණිය මග් කවි සිත පුබුදු කළා ය. මාත් ඈත් ගමේ වෙල් යායවල් මීමන ඇළ බඩ කෙටල පඳුරු කේතකි ගුහා වනරොද ආදිය රසවත් කළ යුගයක් ඉන්පසු එළැඹිණි.

මීමන අර යුවතියට ලියූ කවි පෙළ මතක නැතත් එහි පද දෙකක් මතක බව කියා තිබුණි.

 

ඒ මහ කැලෑවල ඇද ගත් නිතර සිත

මා නොහඳුනන වන බඹරෙක් හිටියෙ නැත

කොළඹ ආනන්ද විද්‍යාලයේ උගෙනීම ලබන දිනවල පෙර’පර දෙදිගම පද්‍යය කියැවීමෙන් ඔහු ජීවත් වූයේ සිහින ලෝකයක ය. වරක් නිවාඩුවට ගමට ගිය දිනෙක ඔහුගේ තරුණ සිත කුල්මත් වීය. දියට ආ තරුණියක් ඔහු දෙස බලා සිනාසුණා ය. ඔහුගේ හදවත මල් ගඟක් යැයි ද එය හදිසියේ ම මල් ගහක් යැයි ද එහි හදිසියේ ම මල් දහසක් විකසිත විණැ යැයි ද මට දැනිණ. ප්‍රේමයත් ස්වභාවික සිද්ධියක් බව ඔහුට දැනුණේ එදා ය. ඒ තරුණිය කළු ය. එහෙත් ඒ කළු පැහැය ඔහු තම වාසියට හරවා ගැනීමට තරම් ප්‍රියංකර භාවයක් තාගෝර් ගේ පද්‍යයක ඔහු කියවා තිබිණ. තාගෝර් ගේ ඒ පද්‍යයෙහි සාමාන්‍ය සිංහල අනුවාදය මෙසේ ය.

 

ඈ කළු යැයි කියති ගම්වැසියෝ නො එක

එ නමුත් මගෙ ඇහට නම් මහනිල් මලෙක

“තරුණියකගේ ලෙළ දෙන ගමන් මට මතක් කළේ වැහි සමයෙහි අහසෙහි කොටන විදුලිය රැල්ලකි. ඇගේ සිනාවෙන් ඇගේ මිහිරි වචනය තුරු මුදුන්වල සිටින කුරුල්ලන් රැව් දෙන්නක් විය.” මීමන කියා තිබුණි.

මීමනගේ කවි සිතුවිලි මොදු වී “සිළුමිණ” පත්‍රයට කවි සිය ගණනක් ලියා යැව්වත් එකක්වත් පළ නොවීය. අධෛර්යට පත් නොවූ ඔහු දිගට ම ලීවේය. මහ කවි රබීන්ද්‍රනාත් තා‍ගෝර්, විල්මට් ඒ. පෙරේරා මහතාගේ හොරණ ශ්‍රී පාලියට මුල්ගල තබන දා “ගොවි මහතා” යන හිසින් ඔහු විසින් ලියූ කවි පෙළක් “සිළුමිණ” පත්‍රයෙහි පළ විය. සිළුමිණ පත්‍රයෙහි පළමුවෙන් ම ඔහුගේ රචනයක් පළ වූයේ ද එදින ය.

තමාගේ ජීවිතය “සිළුමිණ” කර්තෘ ගේ තත්ත්වයට ගෙන ආවේ ප්‍රවෘත්ති පත්‍ර කලාව බව ඔහු කියා ඇත. තම ප්‍රවෘත්ති පත්‍ර කලා ජීවිතය ඇරඹුණේ පහළ ම අඩියෙන් බවත් අනුක්‍රමයෙන් තමා එහි මුදුන් පෙත්ත දක්වා නැඟි බවත් කියා ඇත.

මීමන ප්‍රේමතිලකයන් “සිළුමිණට” බ‍ැ‍ඳෙන්නේ මාර්ටින් වික්‍රමසිංහ මහතා කර්තෘ පදවිය දරණ සමයේය. වික්‍රමසිංහ මහතා ගැන අපූරු අත්දැකීමක් මීමන විසින් “ජනතා” පත්‍රයට ලියා තිබුණේ ය.

“දිනක් වික්‍රමසිංහ මහතා කලබල ස්වාභාවයකින් යමක් සොයනු මම දිටිමි. තවත් කිහිප දෙනෙක් ම එහි සිටියහ. වික්‍රමසිංහ මහතා ලාච්චුව ඇවිස්සීය. මේස කිහිපයක් ම පරීක්ෂා කළේය. එහෙත් සොයන දේ නොලැබුණු බව අපට පෙනී ගියෙන් අප අතර සිටි කෙනෙක් “හොයන්නේ මොකක්ද?” කියා ප්‍රශ්න කළේය.

“හරි වැඩේනෙ? මට අද ලියන්න වෙන්නේ නෑ. මට අද ලියන්න වෙන්නේ නෑ. කණ්ණාඩි කුට්ටම නැති වෙලානෙ?” ඔහු පිළිතුරු දුන්නේ ය.

“කණ්ණාඩියද?” යි එහි සිටි සියලු දෙනාම එක්වරම මෙන් කීහ.

මාර්ටින් වික්‍රමසිංහ මහතා කලකින් නැති තරම් හයියෙන් සිනා සී “හරි වැඩක්නෙ” කියමින් තමාගේ කාමරයට ගියේය.

කණ්ණාඩි කුට්ටම තිබී ඇත්තේ ඔහුගේ හිසෙහි ය. වරක් කවි පන්තියක් නිසා මීමනට වස ඇබැද්දියක් සිදු වී ඇත. ඒ ඔහු ආනන්දයේ උගන්නා කාලයේ ය. වරෙක නිවාඩුවකට ඔහු ගෙදර ගියේ ය. දිනක් ගේ අසල ගෙදරක ඔහු දැක පුරුදු නැති සුරූපී සුන්දරියක් සිටියා ය. ඇය ඒ ගෙදරට අලුතින් ගෙන ආ මනාලියගේ නංගී ය.

“පළමුවෙන් දුටු මොහොතෙහි ම ඈ මා සමඟ සිනාසුනාය. වලාවක් බිඳගෙන එන සඳ රැස් පිඩක් මෙනි ඇගේ ඒ හිනාව. එක් රාත්‍රියෙක මම අපේ ගෙයි මිදුලෙහි සිටියා ය. අපේ ගෙය පිහිටියේ රබර් වත්තක නිසා මම ඇගේ ගෙයි මිදුල පැත්තට ගියෙමි.

“පොඩි මහත්තයා, අද හඳ බලනවා වගේ” යි ඈ පළමුවෙන් ම කීවා ය.

“ඔව්! අද හඳ බලන්න හොඳ දවසක්.”

“ඒ වුණාට හඳ නැහැනේ” යි ඈ කීවා ය.

“‍ෙමාකද නැත්තේ”

“කෝ හඳ?”

“මේ තියෙන්නෙ හඳ” කියමින් මම ඇගේ සඳවත මුහුණ අත ගෑවෙමි. විලි බරින් තරුණිය පෑ අහිංසක බොළඳ සුරතල් සිනාව මගේ හද ඇතුලෙහි අමුතු ම රසයක් ඇති කළේය. ප්‍රේමයෙන් උද්දාම වෙවී මෙසේ වැඩි කලක් සිටින්නට නොපුළුවන් විය. නිවාඩුව අවසන් වූ හෙයිනි. මා විද්‍යාලයට ගියේ හදවත රැගෙන නොවේ. මගේ හදවත සඳවන් මුහුණ ඇත්තිය වෙත දමා ය මා ගියේ.”

මීමන ශෝකය තුනී කර ගනු වස් “ඈත් වූ ප්‍රේමය” යන හිසින් කවි පෙළක් “සිළුමිණ” පත්‍රයට යැවීය. මාර්ටින් වික්‍රමසිංහ කතුවරයා එය පළ කළේය.

මේ කවි පෙළ පළ වී ගත වූයේ දින තුනකි. ආනන්ද විද්‍යාලයට මීමන නමට පාර්සලයක් ලැබිණ. විද්‍යාලයේ පියන් පාර්සලය මීමනට ගෙන විත් දෙන විට ඔහුගේ මිත්‍රයෝ එය උදුරා ගෙන දුවන්නට වූහ. මීමන ද ඔවුන් ලුහුබැන්දේය. මිත්‍රයෝ එය ලිහා බැලූහ. එහි වූයේ පිදුරු සහ පුන්නක්කු ටිකකුත් “ඈත් වූ ප්‍රේමය” කවි පෙළට බැණ වැදුණ ලිපියකුත් ය.

“ආනන්දයට යළිත් නො එන අධිෂ්ඨානයකින් මම හැඬුවෙමි. මගේ දෙකපොල කඳුළින් තෙත් වී ගියේ ය. ඒ පාර්සලය එවා තිබුණේ මගේ බාප්පා කෙනෙකි.”

1942 අප්‍රේල් 20 වැනිදා මීමන ඇඩ්ලින් හතමුණේ මෙනවිය සමඟ විවාහ විය.

“ඇඩ්ලින් බැලූ බැල්මට ම අහිංසක ය; විනීත ය; කීකරු ය. මට වුවමනා කළේ රූපයවත්; ධනයවත්; උගත් කමක්වත් නොවේ. අහිංසක නිහතමානි සුවච කීකරු භාවය පමණි.” ඈ සමඟ විවාහ වීමට කලින් ඇගේ අතවත් මා අල්ලා නැති බවක් කීවොත් ඔබ විස්මයෙන් විස්මයට පත්වනු නිසක ය. එහෙත් අත්ත එයයි.” මීමන සඳහන් කර ඇති. මීමන තම බිරියට අසීමිත ලෙස ආදරය කළේය.

මීමන විසින් ලියූ කවි පොත් ප්‍රකාශයට පත් කර ඇත්තේ මරදානේ පී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන ය. සොහොන් බිම - කිරිහාමි - මිනිහා - මරණය - පාළුගම යන කවි පොත් පළ කොට ඇත්තේ ඔහු ය. “එතෙර” නම් කවි පොත ඇම්.ඩී. ගුණසේන සමාගම ප්‍රකාශයට ගෙන ඇත්තේ සිරිවර්ධනට වඩා දහ ගුණයකටත් වැඩි මුදලක් ඔහුට ගෙවීමෙනි.

දැඩි ලෙස රෝගාතුර ව රෝහල්ගත වීමට පෙර සරසවිය කර්තෘ හා මීමනගේ ප්‍රියත ම ගෝලයා වූ විමලසිරි පෙරේරා “සරසවිය” පත්‍රයේ පළ කිරීමට කවි පෙළක් ඉල්ලා ඇත. “අතීත ස්මරණ” නම් ඒ කවි පන්තිය 1967 ජුනි 23 වැනිදා පළ විය. මීමන කවියා එය අවසන් කර තිබුණේ මෙසේ ය.

මගේ පෙම් ජවනිකා සිතුවම් පටට ගෙනා

මීමන ඇලක් මට හරියට පිහිට වුණා

ඒ සිහිවටන ගැන අද මා සිතනු විනා

මොන ජීවිතයක් ද යනුවෙන් මට ම හිනා

මීමනගේ අන්තිම මෙහොත ගැන විමලසිරි පෙරේරා කවියා මෙසේ ලියා තිබුණි.

“මීමන අවසන් වරට කතා කළේ මා සමඟ දැයි නොදනිමි. පසුගිය ඉරිදා දවල් 3 ට පමණ මා ඇඳ ළඟ සිටින විට මා දෙස කරුණාන්විත බැල්මක් හෙළීය. මම පහත් වීමි.

“කොල්ලෝ මට නම් අමාරුයි”

මම ඉවත යන්නට හැදුවෙමි. ඔහු නැවතත්....

“වි....ම...ල්...මට...න..ම්...බැ..හැ...ඔක්කෝ...ම”

මහත් වේදනාවෙන් ‍කියා ගෙන ගියේ ය.

මීමනගේ පැරණි හිතවතකු වූ උපනන්ද බටුගෙදර එහි රැස්ව සිටි අය අතර නිදිවරමින් සිටියේය. නිදිමත යන්ට ඔහු එවේලේ

කවියක් ලීවේ ය.

“නිදිමතක් නොමැතිව ම එළි වුණි

ඔබ ළඟ ම මේ දෙතුන් යාමේ

තෙදියපති ගේ ඉටු මුරුවන් ගේ පිහිට

ඔබට ම යළිත් නාමේ

කදිම සුවයකි ගති නිමිති මට

පෙනේ යළි වෙදැදුරන් ඒමේ

නදිය රස සාගරය කැරකී

හිනා වී මෙහෙ ‍වරෙන් පේමේ”

කාගේත් බලාපොරොත්තු සුන් වී ගියේය. පසුදින පහන් විය. මීමන සිහි නැතිව වැතිර සිටියේය. ඉතාමත් හිතවත් යහළුවන්, කන්තෝරුවේ එකට වැඩ කරන සහෝදරයන්, කවියන්, කලාකාරයන්, නෑදෑයින් මීමන වට කර ගෙන සිටිද්දී ඔහු අවසන් නින්දට වැටිණ.

මීමනගේ පුත්තු තුන් දෙනෙක් ලේක් හවුසියේ වැඩ කළෝය. සුනිල් මාධව ප්‍රේමතිලක ‘සිළුමිණ’ කර්තෘ මණ්ඩලයේ ය. සරත් ප්‍රේමතිලක ‘ක්‍රීඩා’ පත්තරේ කර්තෘ විණි. ‘ක්‍රීඩා’ පත්‍රයේ කර්තෘ මණ්ඩලයේ සිටි සඳුන් ප්‍රේමතිලක අකාලයේ මිය ගියේය. සුනිල් තම පියාගේ මතකය අවදි කරමින් මෙසේ කියා සිටියේය.

“අසනීප වෙලා රත්නම් රෝහලේ සිටි තාත්තා දින දෙකක් තිස්සේ දෑස් පියා ගෙන කෝමාවක සිටියා. මම හිටියේ ඔහුගේ හිස මත මගේ හිස තබාගෙන. හදිසියේ ම තාත්තා ඇ‍ඳේ කෙළින් වුණා. ඇස් ඇරියා. ඒ මොහොතේ තාත්තාගේ ඇස්වල කඳුළු මගේ මුහුණ පුරා වීසි වුණා.

ඒ මොහොතෙ ම තාත්තා මිය ගියා.

තාත්තගේ කඳුළු මගේ මුහුණේ ගෑවුණු තවත් දවසක් තියෙනවා. ආනන්ද විදුහලේ බෝඩිමට මා එක්ක ගෙන ගිය දිනයේ ආපසු එන්න සූදානම් වූ තාත්තා මගේ මුහුණ සිප ගත් අවස්ථාවේදීත් ඔහුගේ කඳුළු මගේ මුහුණේ ගෑවුණා. ඒ කඳුළු තාත්තගේ ඇස්වලින් ගලා එන අයුරු මම දැක්කා. මම සිළුමිණට ලිපියක් ලිව්වා. ඒක අවසන් කළේ මේ වාක්‍යයෙන්.

“තාත්තේ, ඉඩකඩම්, ගෙවල් ‍දොරවල් අපට නොදුන්නට කමක් නැහැ. අපට මනුස්සකම් දුන්නාට ඔබට බොහෝම ස්තුතියි.”

1918 සැප්තැම්බර් 20 වැනිදා උපන් මීමන කවියා 1965 ජුනි 12 මිය ගියේය.

මීමන විසින් 1965 වසරේ ජූලි ලියූ “මගේ ප්‍රේමය කලාව හා ජීවිතය” පොතේ ඔහුගේ හැඳින්වීමේ අවසානයේ මෙසේ ලියා තිබුණි.

“මේ පොත මා අවුරුදු 50 ක් ජීවත්ව සිටියොත් 1965 සැප්තැම්බර් 20 වැනිදා මෙයට වඩා සවිස්තරව “මෙලොව අවුරුදු 50 ක්” යන මැයෙන් යළි ප්‍රසිද්ධ වනු ඇත.

ඔහු මේ කෘතිය ලියා අවසන් කරන්නේ මෙසේය.

“මම රෝස මල් උඩ වැතිර සිටියෙමි. මම කටුළැහැබ්වල වැටුණෙමි. මඩ ගොඩවල එරුණෙමි. සුදු වැලිතලාවල පිය සටහන් තැබුවෙමි. මම වන මී වද උරා බිව්වෙමි. එමෙන් ම කොහොඹ යුෂ පානය කළෙමි. දුක සැප දෙක ම මට එක ය. මා වැඩි දුකටත් කැමති නැත. වැඩි සැපයටත් කැමති නැත. වැඩි දුක නමැති අන්ධකාරය පවත්නා තැන යන්තමින් වත් ආලෝකවත් කරන්නට හැකි නම් මා කැමති ය. වැඩි සැප නමැති හිරු එළිය ඇති තැන යම්තම්වත් අඳුරු කරන්නට හැකි නම් මා කැමතිය. දුක සැප මැද තව ජීවත් වීමට අවශ්‍ය වේ. මගේ දරුවන් සියලු දෙනාම මොන මොනවා හරි උගෙන තමන්ගේ ජීවනෝපාය ගෙන යනු දැකීමට මා ජීවත් විය යුතු ය.”

අදහස්