සම්මතයෙහි අසම්මතයක් | සිළුමිණ

සම්මතයෙහි අසම්මතයක්

ලේඛකයා තමාගේ පාඨකයාට අවංක විය යුතුය. ජනතාවට ඇත්ත කිව යුතුය. අනාගතය ගැන ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟිය යුතුය. අනාගතය ගොඩනඟා ගන්නට ශක්තිය ලබා දිය යුතුය.

සිය වදනින් ලෝක ජනතාව සාමය උදෙසා යොමු කරවන අතරම ලොව පුරා කෙරෙන සාම සටනේ සෙබළකු බවට සිය පාඨකයා පත් කළ යුතුය. සිය වදනින් ‍ලෝක ජනතාව සාමය උදෙසා යොමු කරවන අතරම ලොව පුරා කෙරෙන සාම සටනේ සෙබළකු බවට සිය ප‍ාඨකයා පත් කළ යුතුය. මිනිසාගේ මනසටත්, හදවතටත් බලපාන්නට හැකි ලොකුම ශක්තිය තිබෙන්නේ කලාවටයි. මානව වර්ගයාගේ ආත්ම ගර්භය තුළ සුන්දර වූ කිසිවක් නිර්මාණය කරන්නට යමෙක් සමත් වන්නේ ද, කලාකරුවකු වශයෙන් හඳුන්වන්නට සුදුසු වන්නේද ඔහු ම පමණි.

‘මිහයිල් ෂෝලහොව් ලේඛක පාඨක විවරණයක් කරන්නේ එසේ ය. සෑම ලේඛකයකුට ම; පොදුවේ ගත් කල නිර්මාණකරුවකුට ම තමන් නිරත ඕනෑම කලාවකින් අමතන්නේ; ස්පර්ශ කරන්නේ පාඨක සහෘදයාගේ හදවත ය. එනම් ආධ්‍යාත්මය ය. එනිසාම අන් සෑම දෙයකට ම වඩ‍ා ඔහු පරිස්සම් විය යුතුය. නිහඬ ව ගැලූ දොන් නදිය ලෝක සාහිත්‍යයට ‍පොහොරක් කළ ඔහු ගලා යන ජල දහර සෑම මොහොතකම පිරිසුදු වන්නා සේ ඒ ජලදහරෙන් පැන් දෝතට ගන්නා සැමටම සාහිත්‍යයේ හෘදය සංවේදී බව කියා දුන්නේ ය.

ඔහු සෑම විටම කියූයේ තමාගේ පොත් වලින් අනෙකාට ආදරය කරන්නට කෙනෙක් පෙලඹෙන්නට අවකාශ සැලසීම තම අරමුණ බව ය. වර්තමානයේ ලියැවෙන, බිහිවෙන බොහෝ නිර්මාණ මේ ආධ්‍යාශයට කෙතරම් පටහැනි ද යන්න ඔබට මතක බව නිසැක ය.

ලේඛකයකු, නිර්මාණකරුවකු වන ඔබට යම් අරමුණක් තිබෙන බව පැහැදිලි ය. ඔබේ නිර්මාණකරණයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද? ඒ අරමුණ විසින් ඔබ මෙහෙයවනු ලැබීම සාමාන්‍ය සිද්ධියකි. වැදගත් වන්නේ අරමුණ ය.

පිහියක් අතැති පුද්ගලයාට එයින් ගත හැකි වැඩ බොහෝය. එළවළුවක් කපන්නට, අත්තක් රහින්නට මෙන්ම එයින් කෙනකුට අනින්නට ද පුළුවන. එකම භාණ්ඩය ය; නමුත් ගන්නා ප්‍රයෝජනය, භාවිත කරන අරමුණ වෙනස් ය. නිර්මාණකරණය ද එසේ ම ය. එයින් පාඨකයා හෝ රසිකයා වඩාත් හෘදය සංවේදී කරන්නට ද, නැතිනම් ඔහුගේ මනස ගිනිතියා අවුළුවාලන්නට ද හැකිය. නිර්මාණකරණයේ නිරත වන්නන් තමාගේ අරමුණ වටහා ගැන්ම ප්‍රයෝජනවත් සේම පාඨක ඔබට ද වගකීමක් ඇත. ඒ තමන් සේවනය කරන්නේ කවරාකාර නිර්මාණ ද යන්න තෝරා බේරා ගැනීමයි.

නිර්මාණකරුවාට අප එදිනෙදා භාවිත කරන වචනවල සම්මත අර්ථවලට වඩා වෙනස් අර්ථ දැක්මේ හැකියාවක් ඇත. වචනයක ඇති සියලු අර්ථ අප කිසිවකුටත් එකවර ග්‍රහණය කරගත නොහැකි ය. ඒවා යොදන තැන, යොදන අවස්ථාව ආදී හේතු මත විවිධ වේ. පුළුල් වාක්කෝෂයක් ඇත්තාට වචන යනු පිරිසුදු උල්පතකි; නිරන්තරයෙන් අලුත් වන්නකි. කාව්‍ය ලෝකයේදී මෙය වඩාත් පැහැදිලි වන්නේ ය. ඔබ සිදත් සඟරාව කියවා ඇත්නම් කිවින් නොදුටුවේ කෙ උවම්...යන්න මෙහිදී මතක් වනු ඇත. නිර්මාණකරණයේ යෙදීමට, විශේෂයෙන් නිර්මාණකරණයේ යෙදෙන්නට ඔබ බලාපොරොත්තු වන්නේ නම් කියැවිය යුතු ම කෘතියක් වන්නේ සිදත් සඟරාව ය. නැතිනම් සිදත් සඟරාව යනු කුමන විදියේ සඟරාවක්දැයි අසන පිරිසට ඔබත් එක්වනු ඇත.

අප නිරන්තරයෙන් විවිධ දෑ දකිමු‍‍. මේ දකින සියල්ල ම අප සැමට ම පොදු කාරණා ය. ඔබ, මෙන්ම නිර්මාණකරුවන් ද ජීවත්වන්නේ මේ පොදු දේ දකිමිනි; ස්පර්ශ කරමිනි. එහෙත් ඒ පොදු දෙයෙහි ම විශේෂ දෙයක් දකින්නට නිර්මාණකරුවෝ සමත් වෙති. සරල උදාහරණයකින් මට ඔබට ඒ ගැන පහදා දිය හැකිය.

වසරක් පුරා අපි සොබාදහමේ විවිධ විවිධ වෙනස්කම් දකින්නෙමු. එක් කාලයකට, පැහැදිලි ව ම වෙන් කළ නොහැකි වුණත් ලංකාව වැනි රටවල ජීවත් වන අපටත් ගිම්හාන කාලයක් එයි. ගස්වල පත්‍රයන්හි ක්‍රමක්‍රමයෙන් කොළ පහැය අඩුවී ළා කහ පහැයක් ද, ළා කහ පැහැය තද කහ පැහැයක් ද, තද කහ පැහැය රතු හෝ තැඹිලි වර්ණයක් ද වී අවසන පොළවට හැළී යයි. මෙය පැහැදිලි ව ම දකින ඔබ, අප සැවොම දන්නා ජනප්‍රිය ගස වන්නේ බෝ ගස ය. රබර් ඇතුළු තව බොහෝ ගස් එසේ වෙයි. මේ කොළ හැලී යනතුරු ඉපල් සේ කලක් දැඩි හිරු රශ්මියට මුහුණ දී අනතුරුව වැහි රැල්ලක් වැටුණු විගස කුඩා රතු දල්ලක් මුලින් ම පැමිණ ඒ දල්ලෙන් තව දල්ලක් ඇදී පත්‍ර එන්නට පටන් ගනී. ඉපල් අගින් තද රතු පැහැයෙන් පත්‍ර පමණක් දිස්වන කාලයක් ගසකට ඇත. ඒ පත්‍ර ක්‍රමයෙන් ළා කොළ පැහැයට හැරී නැවත ක්‍රමයෙන් තද කොළ පැහැයට හැරේ‍.

අපි සැවොම මේ සංසිද්ධිය මේ ලෙස ම දකිමු. සෑම වසරක ම ඒකාකාරී ලෙසින් මෙය සිදු වුව ද කිසිවකුටත් මෙහි අරුමයක් පෙනෙන්නේ නැත; එපා වන්නේ ද නැත. අලුත් දලු, අලුත් මල්... ඒවාට පියඹා එන මීමැස්සන්... මඳ සුළඟට මල් සමඟ වැනෙන බඹරුන්... අලුත් වර්ණ, අලුත් සුවඳ... සියල්ල නැවුම් ය. එහෙත් කිසිවකුටත් කිව හැකි ද මේ ගිය වසරේ පිපුණු මල් ම කියා; ගිය වසරේ හටගත් පත්‍ර ම කියා. නැත; අප සැවොම මේවා දකින්නේ අලුත් ම අලුත් නැවුම් ඒවා ලෙස ය. එහෙත් මේ නැවුම කම අලුතින් විඳ ගන්නා, ඒ දෙස නව ඇසකින් බලන්නා මේ ලක්ෂ සංඛ්‍යාත අය අතරින් එක් අයකු හෝ දෙන්නකු විය හැකිය. ඒ නිර්මාණකරුවෝ ය. නිර්මාණකරුවෝ සුලබ නොවෙත්.

එමෙන්ම ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවන් අතින් මේ නැවුම් පරිසරය වෙනස් වෙනස් අයුරින් අර්ථ ගැන්වෙන්නේ ය. සමහරු ඒ ජීවිතයේ විවිධ වකවානු ලෙස දකිති. තවෙකෙක් අපගේ හැඟීම් හා සිද්ධි සරි කරති. සමහරු එයින් අනිත්‍යය දකිති. තවත් සමහරු ප්‍රීතිය, ප්‍රහර්ෂය, සුන්දරත්වය පමණක් ම දකිති. විද්‍යානුකූල සංසිද්ධියක් ව‍ශයෙන් තවෙකෙක් දකිති.

ඔබ ප්‍රතිභා සම්පන්න නිර්මාණකරුවකු නම් මේ පොදු සිද්ධිය වෙන ම ඇසකින් ඔබට පෙනෙන්නේ ය. එය නිසර්ගයෙන්, අභ්‍යාසයෙන් මේ ඕනෑ ම දෙයකින් විය හැකිය. ඔබ නිරන්තරයෙන් වෙනස් විය යුතුය. ඒ වෙනස්කම විසින් ඔබ නිර්මාණකරුවකු බවට පත් කරනු ඇත.

[email protected]

 

අදහස්