රුපි­යල් කෝටි­යක කුඩු ගිලපු තරු­ණයා රේගු­වට කොටු­වුණු හැටි | සිළුමිණ

රුපි­යල් කෝටි­යක කුඩු ගිලපු තරු­ණයා රේගු­වට කොටු­වුණු හැටි

එයාර් ඉන්දියා ගුවන් ‍යානයෙන් ඒ අලු­යම් වේලේ පැමිණි සංචා­රක මගී පිරි­සගේ ගමන් මලු පරික්ෂා කර­මින් නිල­ධා­රිහු කීප දෙනෙක් කාර්ය බහුල වී සිටි­යහ. එතැන සිටි ජ්‍යෙෂ්ඨ රේගු නිල­ධා­රියා අස­ලින් ගමන් ගත්තේ ලෝගු­වක් හැඳ­ගත් මුස්ලිම් තරු­ණ­යෙකි. “යන්නම් සර්” ඔහු බයා­දුව දෙකට - තුනට නැමී නිල­ධා­රි­යාට පව­ස­මින් ඉදි­රි­යට ගියේය. නිල­ධා­රි­යාට ගැට­ලු­වකි. මේ මුස්ලිම් තරු­ණයා මීට පෙර දැක ඇති බවක් ඔහුට මතක නොමැත. එහෙ­නම් ඇයි මේ මිනිහා මට අමුතු කුලු­ප­ගක් පෙන්ව­න්නට ආවේ. ඔහු ඉක්මන් විය. තමාට පිටුපා යමින් සිටි මුස්ලිම් තරු­ණ­යාට වහා කතා කළේය. “මල්ලී පොඩ්ඩක් මෙහාට එනවා ද”. මුස්ලිම් තරු­ණයා කීකරු විය. ඔහු ආපසු හැරී තමා වෙත එන අයුරු නිල­ධා­රියා බලා සිටියේ විම­සුම් ඇසිනි.

“මල්ලි මට උඹ මතක නැති හින්දයි බැලුවේ. අපි කොහෙ­දිද බං හම්බ වුණේ ...? මට මතක නෑනේ බං..”.

“ඇයි සර් මෙත­න­දීම නේ සර් දව­සක් හම්බ වෙලා කතා කරලා ගියේ. ඇයි සර් ඇහුවේ, ගාල්ල පැත්තේ ඉඩ­මක් ගන්ඩ තියෙ­න­වද කියලා...”

නිල­ධා­රි­යාගේ සැකය නිවැ­රදි විය. ඔහු කිසි දිනෙක ගාල්ලේ ඉඩම් ගැනී­මට කා සම­ඟ­වත් කතා ‍කළේ නැත. ඇරත් ගාල්ලේ ඉඩම්ද ඔහුට අන­වශ්‍ය ය. හෙතම ඉව අල්ල­න්නට පටන් ගත්තේ ය.

“ආ...ඔව් ...ඔව්... මල්ලී. මේ ඒක නොවෙයි මල්ලී උඹ කොහේද ගියේ?”

“සර්, ඉන්දි­යා­වට ගියා මගෙ නංගි බඳින්න යනවා. රෙදි ටිකක් ගේන්න”...

ළඟ තිබූ අත් බෑග­යෙන් සාරි කීප­යක් ඇද පෙන්ව­මින් ඔහු තම ප්‍රකා­ශ­යට සාක්ෂි සැප­යීය.

“හරි හරි එව්වා තමයි අයි­ය­ලගෙ වැඩ. ඒ කියන්නේ ඉන්දි­යාවේ ගිහිල්ලා පුරු­දුයි.”

“ඔව් සර්, සති දෙක­කට වතා­වක් රෙදි ගේන්න යනවා”..

නිල­ධා­රියා එළන දැලට මුස්ලිම් තරු­ණයා දැන් දැන් ඇතුළු වෙමින් සිටියි. ඔහු මුස්ලිම් තරු­ණ­යාගේ දෑසට එබී බැලීය. එහි බිය­කරු සේයා දැක්වෙයි. එසේ වුව ද තරු­ණයා සිනා­සෙ­මින් ඔහු සමඟ ඕනෑ­ව­ටත් වඩා දොඩ­මලු වෙයි.

“ඒක නොවෙයි මල්ලී මට උඹ එහෙ ගිහිල්ලා සාරි ගන්න හැටි අහන්න ඕනි... මටත් අපේ ගෑනිට සාරි ටිකක් අරන් දෙන්න ඕනෑ. එහෙ සාරි ලාබ­යිනෙ. අන්න, අතන තියෙන පුටුව අරන් වරෙන් මල්ලී ඉඳ­ගෙ­නම කතා කරමු”.

“අනේ සර් මට ‍ගාල්ලේ යන්න පාන්දර බස් එක ගන්න තියෙ­නවා.”

“හරි, හරි බං .මට ඔය විස්තර ටිකක් කියලා පලයං මල්ලී. විනා­ඩි­යෙන් යමු. මටත් වැඩ තියෙ­නවා.”

තරු­ණ­යා‍ ­තමා ට පිටුපා ගොස් පුටුව ගන්නා ආකා­රය ද, ආපසු එන කරන ආකා­රය ද ඔහු හොඳින් නිරී­ක්ෂ­ණය කළේය. ඔහු මේ සිදු කර­මින් සිටින්නේ මිනි­ස‍කුගේ බාහිර හැසි­රීම්, ක්‍රියා­කා­ර­කම් විම­සී­මකි. ඔහු අපේක්ෂා කරන දෙය ඔහුට ලැබෙ­මින් පවතී.

“ඉඳ ගනින් බං ඉඳ ගනින් බං”.

“අනේ සර් මං සර් ඉස්ස­රහා ඉඳ ගන්නේ කොහො­මද ... නෑ. මං හිට ගෙන ඉන්නම්”.

නිල­ධා­රියා තවත් ප්‍රශ්න කීප­යක් විම­ස­මින් කල් මැරීය. මුස්ලිම් තරු­ණයා නොඉ­ව­සි­ලි­ව­න්තව කල­බ­ලව හැසි­රෙන අයුරු ඔහුට හොඳින් පෙනේ.

“හරි මල්ලී උඹට බස් එක අල්ලන්න තියෙ­නවා කිව්වා නේ. උඹට දැන් යන්න පුළු­වන්”.

මුස්ලිම් තරු­ණ­යාගේ දෑස් දීප්ති­මත් විය. කුරු­ල්ලෙකු කූඩු­වෙන් මුදා හැරි­යාක් මෙන් මුස්ලිම් තරු­ණයා කඩි­න­මින් අත් බෑගය කරේ දමා­ගෙන ‍“යන්නම් සර්” කිය­මින් යෑමට හැරුණා පමණි. නිල­ධා­රියා යළි ඔහුට කතා කළේය.

“උඹ මම හින්දා රස්ති­යාදු වුණා නේ. යමු බං මගේ ගානේ උණු තේ එකක් බොන්ඩ උඩ කැන්ටි­මට. උඹට ඕනැ තේ ද. ? කෝපි ද..?

“අනේ සර්, මට තේ කෝපි එපා. නෑ සර් මං පොඩි කාලේ ඉඳ­ලම බොන්නේ නෑ.”

“ආ...ඒකත් එහෙ­මද ....?” නිල­ධා­රි­තැන යටි හිතින් සිනාසේ. ඔහුගේ දැලට මාළුවා ඇතුළු වූ බව ඔහුට අව­බෝධ විය. “ආ...යන් මල්ලී...උඹට මාත් එක්කම කොළඹ යන්න පුළු­වන්. මං උඹ රස්ති­යාදු කෙරෙ­ව්වනේ. අහිං­ස­කයා.”

“නෑ ..සර් මම බස් එකේ යන්නම්.”

“නෑ බං, මාත් යන­වනේ මාත් එක්කම යන්”..

“මල්ලී, උඹත් ගෙදර යනවා කිව්වා නේද.. යං මාත් එක්කම. මේ මුස්ලිම් මල්ලිත් ගාල්ලේ යන­වලු”. ඔහු තවත් රේගු නිල­ධා­රි­යෙ­කුට කතා කළේය. ඔහු ද වහා ලෑස්ති වී මුස්ලිම් තරු­ණයා ළඟම දැව­ටෙ­මින් එළියේ තිබූ රේගු වාහ­න­ය­කට ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීන් සමඟ ගොඩ වැදුණි. යන අත­ර­ම­ඟදී ජ්‍යෙෂ්ඨ නිල­ධාරී තෙමේ මුස්ලිම් තරු­ණයා ඇම­තීය.

“මල්ලී අපි මේ හෝට­ලෙන් බත් ටිකක් කාලා යමු. උඹ­ටත් බඩ­ගිනි ඇති. අපි‍ටත් බඩ­ගි­නියි. නැද්ද විමල්”. ඔහු සිය කනිෂ්ඨ නිල­ධා­රි­යා­ගෙන් විම­සීය.

“අනේ සර් මං යන්නම් .. මට බත් එපා. මට බස් එක අල්ල ගන්න ඕනි”.මුස්ලිම් තරු­ණයා වෙලාව බල­මින් පින්සෙණ්ඩු වෙයි.

කොතෙක් කීවද බත් කෑමට ඔහු නම්මා ගත නොහැකි විය.

අව­සා­නයේ ඔහු කීවේ “සර් මගේ බ‍ඩේ අමා­රු­වක් තිබෙ­නවා. බත් කන්න බෑ” යනු­වෙනි.

“හරි මල්ලී එහෙ­නම් බඩේ අමා­රු­වට බේත් ටිකක් අරන් යමු. මල්ලී හර­ව­න්නකෝ මීගමු හොස්පි­ටල් එකට.”

“ඇයි සර් හොස්පි­ටල් ...? මට එහෙ­මට බඩේ අමා­රු­වක් නෑ. මම බොරු­වක් කිව්වේ. මට ඉක්ම­නට යන්නට ඕනි හින්දා”.

“හරි හරි උඹට නොවෙයි. මට බඩේ අමා­රු­වක් තිබෙ­නවා. බේත් ටිකක් අරන් යමු.” වාහ­නය රෝහල පැත්තට හැර­විණ. මුස්ලිම් තරු­ණයා නොඉ­ව­සි­ලි­ව­ත්තව හැසි­රෙන බව එහෙට මෙහෙට ඇඹ­රෙන බව බව නිල­ධා­රියා නිරී­ක්ෂ­ණය කළේය. නිල­ධා­රිහු දෙපළ තම සාක්කු­වල රුවා තිබූ පිස්තෝල මත සුරත රඳවා සිටිය හ.

“මල්ලී, උඹ කිය­පන්කෝ, දැන් ඉන්දි­යාවේ ඉඳලා එන කොට ගෙනාවේ මොන­වද කියලා.

“මේ සාරි තමයි .. සර්”. ඔහු සාරි මල්ල ඔසොවා පෙන්නු­වේය.

“ඔය දෙතුන් දාහේ සාරි ගන්නට නම් ඉන්දියා යන්න ඕනෑ යි. ගාල්ලෙත් තියෙ­නවා නේ.. උඹ ඇත්ත කිය­පන්”.

“නෑ සර් ඇත්ත­මයි”.

“හරි, ඇත්ත නම් අල්ලා දෙවි­යන් පල්ලා කියලා දිවු­රපං”.

“අම්මෝ.. සර්... දෙයියෝ ගාවන්ට එපා”..

“හරි එහෙ­නම් අම්ම­පල්ල කියලා දිවු­ර­පන්”.

“අනේ සර් මට බැහැ. මං එයා­ලට ගරු කර­නවා”.

“ඒකත් එහෙ­මද ..” මේ අතරේ වාහ­නය රෝහ­ලට ළඟා විය.

“මල්ලි මටයි, උඹ­ටයි බේත් ටිකක් ගමු නේද?”

“අනේ සර් මට බේත් එපා. සර් බේත් ගන්න . මං මෙත­නින් බස් එකක් අර­ගෙන කොළඹ යන්නම්.

“එහෙම බෑ. මාත් එක්ක වරෙන් යන්න.”

නිල­ධා­රියා තර­මක් සැරෙන් කීය.

“උඹ හොඳ මුස්ලි­ම්කා­ර­යෙක් නේ.. මම ඒකට ගරු කර­නවා. ඒත් මල්ලි උඹ ඉන්දි­යාවේ ඉඳලා මොන­වද ගෙනාවේ...?

“මොකුත් නෑ සර්”.

“මල්ලී , උඹේ බඩේ අමා­රු­වට බේත් දෙන්න උඹේ බඩේ අමා­රුව ඇත්තේ කොහෙද කියලා බලන්න ස්කෑන් එකක් කර­න්නයි හදන්නේ”..

“අනේ එපා සර්.. සර්ලා විය­දම් කර­න්නෙපා මං හින්දා.. මං ගාල්ලෙන් ස්කෑන් කරලා බලා ගන්නම්”..

“නෑ..ආපු එකේ බලල ම යමු”..

වෛද්‍ය­ව­රයා ස්කෑන් පරී­ක්ෂා­වට තරු­ණයා යොමු කිරී­මට ආසන්න ය. ඔහු දැන් හොඳ­ටම බිය­පත් වී සිටී.

“මල්ලී උඹ බය­වෙන්න එපා අල්ලා දෙයියෝ උඹට පිහි­ටට එනවා”.

“අයියෝ සර් දෙවියෝ මතක් කරන්න එපා”.

“එහෙ­නම් අම්මව?”

“ඒත් එපා . මං ඒ දෙන්නට ගරු කර­නවා.”

“එහෙ­නම් කිය­පන් උඹට ඉන්දි­යා­වෙදි මොනව හරි ජරා­වක් කැවුණා ද.?”

“නෑ සර්.. නෑ..නෑ.”

“උඹට කවුරු හරි මොන­වත් කැව්ව ද?”

තරු­ණයා ඊට නිහඬ ය. වෛද්‍ය­ව­රයා තරු­ණයා ස්කෑන් පරි­ක්ෂා­වට ඔන්න මෙන්න ය.

“සර්”. මං ඇත්ත කිය­න්නම්. සර් මගේ පිටි පස්සේ ඇති රත්ත­රන් බිස්කට් එකක්”.

“උඹ බොරු කියන්නේ බිස්කට් එකයි කියලා. හරි උඹ ගිල්ලේ මොන­වද?. බඩේ තියෙන්නේ මොන­වද”. රේගු නිල­ධා­රියා සැර - වැර විය. මුස්ලිම් තරු­ණයා දැලෙහි පැට­ළුණු මාළු­වෙක් මෙන් ය.

“සර්, එක්කෙ­නෙක් මට මොන­වදෝ ගුලි වග­යක් ගිලින්න කිව්වා”.

“උඹ තොත්ත බබා. උඹ ඒවා ගිල්ලා. කීයක් ද කිය­පන්”. නිල­ධා­රියා ගිගිරී ය.

“සර් දහ­යක් විතර ඇති”.

“හරි බලමු ගණන් හරි ද කියලා”. වෛද්‍ය­ව­රයා තරු­ණයා ස්කෑන් යන්ත්‍ර­යට යොමු කළේ ය. ආමා­ශයේ කළු පැහැ­යෙන් ගුලි වැලක් ද ගුදයේ රන් බිස්කට් හැඩ­යට කළු සල­කුණු තුනක් ද ස්කෑන් තිරයේ දිස් වුණි.

“සර් ගුලි තිහක් විතර ඇති. බිස්ක­ටුත් දෙකක් ඇති”. තරු­ණයා බයා­දුව කීය.

“කට වහ­පන්. දැන් අපි බලා ගන්නම් නියම ප්‍රමා­ණය”.

වෛද්‍ය­ව­රයා, බඩේ ගුලි විරේක වීමට සුදුසු බෙහෙ­තක් පෙව්වේ ය.

ආර­ක්ෂාව සහි­තව තරු­ණයා විශේෂ කුටි­ය­කට යැවුවේ මළ පහ කිරී­මට ය. මුලින්ම රන් බිස්කට් හත­රක් එළි­යට ආවේය.

“යකෝ මේක ඉස්ටො­රු­වක් ද”?. ඊළ­ඟට ටිකින් ටික වැටුණේ ගුලි පනස් හත­රකි. උපත් පාලන කොපු කීප­යක දවටා ඒවා­යෙහි තිබුණේ බ්‍රවුන් ෂුගර් වර්ගයේ මත්කුඩු ග්රැම් හත්සී­ය­ය­කට ආසන්න ප්‍රමා­ණ­යකි. සියල්ලේ වටි­නා­කම රුපි­යල් කෝටිය ඉක්මවා තිබුණි.

“දැන් ඇත්ත කිය­පන්” . ප්‍රධාන නිල­ධා­රියා සෙමෙන් ඇසීය.

“සර් අපි තමයි බඩු අර­ගෙන එන්නේ. මගෙ පාට් එක තමයි ට්‍රාන්ස්පෝර්ට්. ඒකට මට පහ­ළොස් දාහක් හම්බ වෙනවා”.

“යකෝ පහ­ළො­ස්දා­හට ද තෝ මැරෙන්න හදන්නේ..?

“මොනව කර­න්නද සර්. ළම­යයි ගෑනි ජීවත් කර­ව­න්නත් එපා යැ”.

“එත­කොට රටේ අනික් දරුවෝ, ගෑනු වළ පල්ලට දාන්න ද යකෝ තොපි කුඩු ගේන්නේ”. මම දැන් උඹේ අම්මා­ගෙන් කෝල් කරලා අහ­නවා ඒක ඇත්තද කියලා.

“අනේ සර් අම්මට නම් කියන්න එපා. වඳි­න්නම්. සර් ඉන්දි­යා­වෙන් ප්ලේන් එක පිටත් වෙන්න පැය බාග­ය­කට කලින් මේවා ගිලි­නවා. පැය දෙක තුනක් ගත වෙන්ට කලින් මේවා ගෙනත් බාර දෙනවා. පරක්කු වුණොත් බඩේ දී මෙව්වා පුපු­ර­නවා. එත­කොට සර් මං ඉව­රයි”.

“උඹ හිත­න­වාද, උඹ­ලගේ මේ වැඩ අපි දන්නැහැ කියලා. උඹ රස්ති­යාදු කෙරුවේ, උණු තේ දෙන්න හැදුවේ, බත් කවන්න හැදුවේ අපිට අමා­රු­වට ද?. උඹ­ලගෙ ගමන - බිමන, හැසි­රෙන විදිය කතා කරන විදිය, උඹ­ලගේ ඇස් දිහා අපි බල­නවා. රේගුව කියන්නේ ඒ වගේ තැනක්”.

“රුපි­යල් පහ­ළොස් දාහක් හොයන්න ගිහිල්ලා දැන් පල­යන් සද­හට ම හිරේට. මිනිස්සු මරන්න උඹලා කුඩු ගේනවා. දැන් උඹ­ල­ටම වළ කැපුණා. නේද?.

තමන් කුඩු නොබී අනු­නට කුඩු පෙවී­මට කුඩු ජාවා­රම් කළ ඒ පුද්ග­ලයා මීග­මුව පොලි­සි­යට බාර දුන් රේගු නිල­ධාරී දෙපළ තම රටට, දරු­ව­නට මෙහෙ­ව­රක් ඉටු කළා යයි ජය­ග්‍රාහී සිතින් යුතු­වම වාහ­න­යට නැගු­ණහ.

ටෙරන්ස් වනි­ග­සිංහ

අදහස්