පණ එපා කියන සර­ණා­ගත කුඩා දරුවෝ | සිළුමිණ

පණ එපා කියන සර­ණා­ගත කුඩා දරුවෝ

විවිධ රට­වල සිට ඔස්ට්‍රේ­ලි­යා­වට බෝට්ටු මගින් සංක්‍ර­ම­ණය වෙද්දී ආර­ක්ෂක බල­ධා­රීන්ට හසු­වන පවුල් රඳවා තැබෙන සර­ණා­ගත කඳ­වු­රු­වල සිටින දරුවන් මුහුණ දෙන ඛේද­වා­ච­ක­යයි මේ.......

සිය දිවි නසා ගැනීමේ චර්යාව වර්ධ­නය වූ කුඩා දරු­වන් පිරි­සක් නවුරු රාජ්‍යයේ දිවි ගෙවන බැව් ලෝක මාධ්‍ය මේ දින­වල දිගින් දිග­ටම වාර්තා කරයි. සිය දිවි නසා ගැනීමේ චර්යාව හෝ තමන් තම­න්ටම හානි­කර ගැනීමේ චර්යාව හෝ දැකිය හැකි වන්නේ වය­සින් මුහු­කුරා ගිය අය අත­රෙහි ය. එසේ වුවත් අප කියන මේ පිරිස වයස අවු­රුදු අටත් දහ­යත් අතර වයස් ඛණ්ඩයේ පසු­වන දරු­වන් වීම විශේ­ෂ­ත්ව­යකි.

මේ අවා­ස­නා­වන්ත තත්ත්ව­යට මුහුණ දී සිටින්නේ විවිධ රට­වල සිට ඔස්ට්‍රේ­ලි­යා­වට සර­ණා­ග­ත­යන් ලෙස බෝට්ටු­ව­ලින් පැමිණි පිරි­ස­කගේ දරු­වන් ය. මේ සර­ණා­ග­ත­යන් ඕස්ට්‍රේ­ලියා වෙරළ සීමා­වේදී එරට ආර­ක්ෂක බල­ධා­රීන් අතට පත්ව තිබේ. ආර­ක්ෂක අංශ භාර­යට පත් එම අන­ව­ස­රණ සංක්‍ර­ම­ණි­ක­යන් සර­ණා­ගත කඳ­වුරු වෙත පිටත් කර හරි­න්නට ඕස්ට්‍රේ­ලියා රජය පිය­වර ගෙන ඇත. එකී සර­ණා­ගත කඳ­වුරු ස්ථාප­නය කර තිබෙන්නේ නවුරු සහ පැපුවා නිව් ගිනියා රාජ්‍ය­වල ය. එම සර­ණා­ගත කඳ­වුරු පව­තින්නේ එකී රට­වල පාල­නය යටතේ බැව් සඳ­හන් වේ.

--සෙල්ලම් කිරී­මත් අරහං--

සර­ණා­ගත කඳ­වුරු අභ්‍ය­න්ත­රයේ පවත්නා තත්ත්වය මෙන්ම ඒවා සම්බ­න්ධ­යෙන් ක්‍රියා­ත්මක වන නීති රීති මඟින් රැඳ­වි­යන්ගේ මානව අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කෙරේ. අය­හ­පත් තත්ත්ව හේතු­වෙන් කුඩා දරු­වන් තුළ මාන­සික සෞඛ්‍ය අර්බුද ප්‍රබල ලෙස පැන නැඟෙ­මින් තිබෙන බව විද්වත්හු පෙන්වා දෙති. වඩාත් කන­ගා­ටු­වට කාර­ණය, මේ කර්කෂ පරි­ස­ර­යෙහි ඉවක් බවක් සහ තේරු­මක් බේරු­මක් නැතිව වසර ගණන් එක දිගට ගත කර­න්නට ලොකු පොඩි කාටත් සිදු­වීම ය. ලොකු අයට කෙසේ වෙතත් පොඩ්ඩන්ට කඳ­වුරු ජීවි­තයේ බැරෑ­රුම කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නැත.

“එහි සිටින අවු­රුදු අට සහ දහය වැනි වය­ස්වල දරු­ව­න්ගෙන් පවා සිය දිවි නසා ගැනීමේ චර්යා දකින්න පුළු­වන් වෙලා තිබෙ­නවා. ඒක අති­ශ­යින්ම භයා­නක අර්බු­ද­කාරී තත්ත්ව­යක්.” යැයි ඕස්ට්‍රේ­ලි­යාවේ මෙල්බර්න් විශ්ව­වි­ද්‍යා­ලයේ මනෝ විද්‍යාව පිළි­බඳ මහා­චාර්ය ලුයිසී නිව්මන් පව­සයි.

කුඩා දරු­වන් අඳින චිත්‍ර­ව­ලින් පවා නිරූ­ප­ණය වන්නේ ඔවුන් පෙළන කෘර වේද­නා­වන් බැව් රැඳ­වි­යන් සමඟ කට­යුතු කරන සහන සේවා කණ්ඩා­යම් පව­සති. එයට හේතුව කඳ­වු­රු­වල රඳවා ගැනීම හේතු­වෙන් ඒ පොඩි­ත්තන් තුළ දිගින් දිග­ටම ඇති­වන ඉච්ඡා­භං­ග­ත්ව­යයි. පොඩ්ඩන්ගේ අව­ශ්‍යතා අඛ­ණ්ඩ­වම ඉටු නොවීම බර­ප­තළ ඛේද­යකි. එනිසා දරු­වන්ට ඔවුන්ගේ අධ්‍යා­පන කට­යුතු කර­ගෙන යෑමේ මං ඇහිරී තිබේ. ඔවුන් ඉතා­මත් සාහ­සික ලෙස අත්හැර දැමී­ම­කට ලක්ව ඇත. එනිසා දරු­වන්ට ආහාර පාන පවා එපා වී තිබේ. සෙල්ලම් කරන වයසේ පසු­වන සුර­තල් දරුවෝ සෙල්ල­මෙන් වින්ද­න­යක් නොල­බන්නෝ ය. එනිසා සෙල්ල­මත් ඔවුන්ට කර­ද­ර­යක්, සහ බරක් වී තිබේ. බොහෝ දරුවෝ කිසිදු සෙල්ල­ම­කට හවුල් නොවෙති. කිසි­ව­කට ප්‍රති­චාර දැක්වීමේ හැකි­යාව ද ඇතැම් දරු­වන් කෙරෙන් දැන් ගිලිහී ගොස් හමාර ය. එනිසා සම­හ­රුන් බලා­ගත් වනම බලා­ගෙන සිටි­නවා විනා කතා කිරී­මක් නැත. මේ ආදී තත්ත්ව­ව­ලින් පෙළෙන කුඩා දරු­වන් තිස් දෙනෙ­කුට ආසන්න සංඛ්‍යා­වක් කඳ­වුරු තුළ සිටින බව සහන සේව­කයෝ පව­සති.

--වෛද්‍ය­ව­රුන් පළා­තක නෑ---

“මේක මොන විධි­ය­කි­න්වත් බලා­පො­රොත්තු නොවුණු තත්ත්ව­යක්. දරු­වන් මහ විශාල කම්ප­න­ය­කට මුහුණ දීලා ඉන්නේ. ඔවුන් බලා­පො­රොත්තු රහිත තත්ත්ව­යක පසු­වෙන්නේ. ඔවුන් අත්හැර දමලා. ඔවුන්ට තමන් ගැන අනා­ර­ක්ෂිත බව දැනෙන්න පටන් අරන්” යනු­වෙන් මහා­චාර්ය නිව්මන් පව­සයි. සර­ණා­ගත කඳ­වුරු තිබෙන්නේ නවුරු රාජ්‍ය­යෙහි ඉතා­මත් දුෂ්කර පෙදෙ­ස්ව­ලය. වෛද්‍ය, උප­දේ­ශන ආදී කාර්ය­යන්හි නියැ­ළෙන වෘත්ති­ක­යන්ට කඳ­වු­රු­ව­ලට ළඟා­වීම මේ නිසා බෙහෙ­වින් දුෂ්කර වී ඇත. එවැනි වෘත්ති­ක­යන් කඳ­වුරු වෙත ළඟා­වීම සීමා කිරී­ම­ටත් බල­ධා­රීහු වග බලා­ගෙන සිටිති. මාන­සික සෞඛ්‍ය අතින් දුර්වල තැන­කට වැටුණු කඳ­වුරු දරු­වන්ගේ තත්ත්වය බාහිර ලෝක­යට අනා­ව­ර­ණය නොව­න්නට එය විශාල වශ­යෙන් බලපා තිබේ.

නවු­රුහි සර­ණා­ගත කඳ­වු­රු­වල ජීව­ත්වන වැඩි­හි­ටි­යන් පවා දැඩි මාන­සික කම්ප­න­ව­ලින් පීඩා විඳින බව “ඩොක්ටර්ස් ෆෝ රෙෆි­යු­ජීස්” වැනි රාජ්‍ය නොවන ආය­තන පෙන්වා දෙයි. මේ නිසා සිය දිවි නසා ගැනීමේ සහ තමන් තම­න්ටම හානි­කර ගැනීමේ චර්යාව වැඩි­හි­ටි­යන් අතර සුලභ බව එම නිල­ධා­රීහු පව­සති. අඩු තර­මින් එක් වැඩි­හි­ටි­ය­කු­වත් දින­කට සිය දිවි නසා ගැනී­මට උත්සාහ දරණ බව වාර්තා වේ. රැඳ­වි­යන් දැඩි මාන­සික කම්ප­න­යන්හි ගිලී ජීව­ත්වන බැවින් කඳ­වුරු තුළ ලිංගික හිංසන සහ ශාරී­රික අප­යෝ­ජන ඕනෑ තරම් සිදු­වන දැකිය හැකිය. එවැනි සැහැ­සි­කම් ගැන වාර්තා වන්නේ ද ඉඳ හිටය. කෙසේ වෙතත් මේ නොප­න­ත්කම් දකින දරු­වන්ගේ මනස විකෘති වන බව නම් මනෝ වෛද්‍ය­වරු පෙන්වා දෙති. මේ නිසා අවු­රුදු තුනක් පමණ වය­සැති දරු­වන් පවා වය­සට නොගැ­ළ­පෙන ලිංගික හැසි­රීම් පෙන්වන අවස්ථා මතුව ඇති බව වාර්තා වේ. මෙවැනි කවර හේතු­වක් නිසා හෝ දරුණු අස­නීප තත්ත්ව­ව­ලට වැටෙන රැඳ­වි­යන්ට නවුරු දූපත තුළදී ප්‍රති­කා­ර­යක් ලැබිය නොහැ­කිය. එවැ­න්න­වුන් තායි­වා­න­යට, පැපුවා නිව් ගිනියා රාජ්‍ය­යට හෝ ඔස්ට්‍රේ­ලි­යා­වට හෝ ගුවන් මඟින් පිටත් කර හරි­න්නට සිදු වේ. කෙසේ වෙතත් මේ සම්බන්ධ රාජ­කාරි කට­යුතු ඉක්ම­නින් සිදු වන්නේ නැත. කවදා කොයි වෙලා­වක හෝ එම පහ­සු­කම් ලැබෙන තුරු බලා­සි­ටි­න්නට රෝගීන්ට සිදුව ඇත.

නවුරු සර­ණා­ගත කඳ­වු­රු­වල දැනට ජීවත් වන පිරිස් අතර ඉරා­ණය, ඉරා­කය, ලෙබ­න­නය ආදී රට­ව­ලින් පැමිණි පිරිස් බහුල ය. රෝහින්ග්‍යා ප්‍රජාව නියෝ­ජ­නය කරන පිරිස් ද කඳ­වු­රු­ව­ලට පැමි­ණීම මෑතක සිට වැඩි­වෙ­මින් ඇත. සර­ණා­ගත කඳ­වු­රු­වල කුමක් සිදු­වු­වත් ඕස්ට්‍රේ­ලියා රජයේ බල­ධා­රීහු තව­මත් මුනි­වත රකිති.

අදහස්