දඹාන ගුව­න්වි­දු­ලියේ ආදි­වාසී නිවේ­ද­කයා | සිළුමිණ

දඹාන ගුව­න්වි­දු­ලියේ ආදි­වාසී නිවේ­ද­කයා

තොපන්නේ කන්රු­කු­ලට මන්දෝ වෙන්නේ වන්නි­ලැ­ත්තන්නේ කතා දමන යමකේ

දඹාන කොට­බ­කි­නිය ආදි­වාසි ගම්මා­න­යෙන් ගුව­නින් ඇසෙන ඒ පැහැ­දිලි හඬ කාගේ දැයි සොය­න්නට සිත් වුයේ එහි විශේ­ෂ­ත්ව­යක් ඇතැයි දැනුණු හෙයිනි. සතුන් මර­න්න­ටත්, කැලේ කොළේ ඇවි­දි­න්න­ටත් පම­ණක් සිමා වී සිටි ආදී­වාසි ජන­තාව දැන් සමා­ජයේ කැපී­පෙ­නෙන චරිත බවට පත්වෙ­මින් සිටී. තම වරි­ගයේ දරු­වන්ගේ නෙත් පාදන ආදී­වාසි ගුරු­ව­රුන් රැසක් සිටින වැදි සමා­ජයේ දැන් පළමු වරට ආදී­වාසි නිවේ­ද­ක­යෙක්ද සිටී. විමලේ යැයි කියූ විට ඔහු නොදන්නා කෙනෙකු නැති­ත­රම්ය. කොට­බ­කි­නි­යේදි විමලේ ගැන විප­රම් කළ අපට ඔහු හමු වුයේ සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය අස­ල­දීය. ඔහු ආදී­වාසී ගම්මා­නයේ භූමි­කා­වන් කිහි­ප­යක්ම නියෝ­ජ­නය කර­න්නේය. විටෙක ඔහු නිවේ­ද­ක­යෙකි. තවත් විටෙක සංචා­ර­ක­යන්ට තම වරි­ගයා පිළි­බඳ කියා දෙන්නෙකි. තවත් විටෙක ආදි­වාසි නාය­ක­තු­මාගේ භාෂා පරි­ව­ර්තක ලෙස ද කට­යුතු කර­න්නේය.

ඔහු විම­ල­ර­ත්නය. එහෙම වුණත් අපි ඔහුට කව­දත් ඇම­තුවේ විමලේ යන ආද­ර­ණිය ඇම­තු­මෙන්. තිස්නව වැනි වියේ පසු­වන විමලේ නිර­ත්ත­ර­යෙන්ම තම රැහේ ඇත්තන්ගේ දියු­ණුව ප්‍රර්ථනා කර­මින් මේ කැලෑ ගමේ ජීව­තය පිළි­බඳ රට­තොට පිළි­බඳ අව­දි­යෙන් සිටි­න්නෙකි.

“ මම ආදි­වාසි පර­පුරේ කෙනෙක්. මම ඌරු වරිගේ විම­ල­රත්න. ඉගෙන ගත්තේ දඹාන ඉස්කෝලේ. සාමාන්‍ය පෙළ දක්වාම ඉගෙන ගත්තේ දඹාන ඉස්කොලේ. උසස් පෙළ විභා­ග­යට ඉගෙන ගන්න ඔරු­බැ­ඳි­වැව ඉස්කෝ­ලෙට ගියා. මගේ අම්මා රන්මැ­ණිකා. තාත්තා අප්පු­හාමි. නංගිලා දෙන්නයි මල්ලියි ඉන්න පවුලේ මම වැඩි­මලා. මගේ එක නංගි කෙනෙක් උපා­ධි­ධාරි ගුරු­ව­රි­යක්. ඇය දඹාන පාසලේ ඉගැ­න්වීම් කට­යුතු කර­නවා.” විමලේ අප සමඟ තම ජීවිතේ ගැන කතා කර­න්නට වූයේය. කොට­බ­කි­නිය ගමේ ‘කතා දමන යම­කය‘ හරි අපූරු තැනකි. එමෙන්ම සංස්කෘ­තික මධ්‍ය­ස්ථා­නය ද අපූ­රුය. එය ආදී­වා­සින් පිළි­බඳ සියලු තොර­තුරු ඇතු­ළත්ය. ආදී­වා­සීන් පිළි­බඳ තොර­තුරු සොය­න්නන්ට , ගවේ­ෂ­ණය කර­න්නන්ට එය අපූරු තෝතැ­න්නකි. විමලේ එහි එන ඕනෑම කෙනෙ­කුට තොර­තුරු කියා දෙන්නට සුදා­නම්ය. ඔහුට පැහැ­දිලි කට­හ­ඬක් ඇත. ආදී­වාසී භාෂාව පම­ණක් නොව සිංහල භාෂාව මනාව හැසි­ර­වීමේ හැකි­යාව ද ඔහු සතුය.

“ පාසල් යන කාලේ ඉඳ­ලම මම නිවේ­දන කලා­වට ආසා­වෙන් හිටියේ. නිවේ­ද­ක­යෙක් වෙන එක මට හීන­යක්. හිත­න්නකො මේ බැද්දේ ඉප­දුණු මම කොහොම ද නිවේ­ද­ක­යෙක් වෙන්නේ කියලා. ඒත් ක්‍රිකට් විස්තර අහන එක මගේ විනෝ­දාං­ශ­යක් වෙලා තිබුණේ. අපේ ඉස්කෝලේ ළමයි ක්‍රීඩා කරද්දී විශේ­ෂ­යෙන්ම ක්‍රිකට් සෙල්ලම් කරද්දි මම විස්තර ප්‍රචා­ර­යක් කර­නවා. ඉස්කෝලේ වත්තේ තියෙන ගහක් වැලක් උඩට ගිහිල්ලා තමයි විස්තර ප්‍රචා­රය කියන්නේ. ඔහොම ඉන්න අතර තමයි මම නවය පන්තියේ ඉගෙන ගනිද්දි කථික තර­ග­ය­කට සහ­භාගි වුණේත. ඒ වෙන­කොට මම තර­ග­ව­ලට සහ­භාගි වෙලා හිටියේ නැහැ. නමුත් බදුල්ල දිස්ත්‍රි­ක්ක­යෙන් අපට පළමු තැන හිමි වුණා . අපේ හිටපු විදු­හ­ල්ප­ති­තුමා සුග­ත­පාල ලොකු මහ­ත්තයා අපිව අර­ගෙන මහ­වැලි ප්‍රජා ගුවන් විදු­ලි­යට ගියා. එදා තමයි මම ගුවන් විදු­ලි­ය­කින් කතා කළ පළමු දවස. ඒ එක්කම අප ගැන පුව­ත්ප­තක ලිපි­යක් ලියලා තිබුණා. සුග­ත­පාල ලොකු මහ­ත්තයා දැන් ජීව­තුන් අතර නැහැ.”

විමලේ පැමි­ණියේ දුෂ්කර ගම­නකි. එකල දඹාන පාසලේ ගුරු­ව­රුන් හිඟය. ඉංග්‍රිසි භාෂාව, ගණි­තය ආදි විෂ­යන් ඉගැ­නි­වී­මට ගුරු­වරු නොසි­ටි­යහ. නමුදු විමලෙ ඇතුව අනෙක් සිසුන් කෙසේ හෝ ඉගෙන ගැනී­මට ඉටා­ගත්හ. අව­සා­නයේ විමලෙ සාමාන්‍ය පෙළ විභා­ගය සමත් වූයේය. ඉන් අන­තු­රුව සිංහල, බෞද්ධ සංස්කෘ­තිය හා භූගෝල විද්‍යාව යන විෂ­ය­න්ව­ලින් උසස් පෙළ විභා­ග­යට පෙනී සිටි­න්නේය.

“ මම ඊට කල­කට පස්සේ තමයි ආදී­වාසී කෞතු­කා­ගා­ර­යට බැඳෙන්නේ. මට නාය­ක­තු­මාගේ භාෂා පරි­ව­ර්ථක හැටි­ය­ටත් කට­යුතු කරන්න ලැබෙ­නවා. මම මේ හැම­දේම කර­නනෙ බෝහෝම ආශා­වෙන්. මේ අතර තමයි ආදී­වාසී ක්‍රිකට් කණ්ඩා­යම බිහි­වෙන්නේ. ඒ 2011 වසරේ. ගුවන් විදුලි කණ්ඩා­ය­මත් සමඟ කළ ක්‍රිකට් විස්තර ප්‍රචා­ර­යේදි අපේ භාෂා­වෙන් තමයි විස්තර ප්‍රචා­රය ගෙන එන්නේ. එදා තමයි ගුවන් විදු­ලියේ සභා­ප­ති­තුමා මා ගැන විස්තර සොයලා තිබුණේ. දෙද­හස් දොළහ වසරේ මට කොන්ත්‍රාත් පද­නම යටතේ දඹාන ගුවන් විදු­ලියේ නිවේ­දක තන­තුර ලැබුණා. මම හැම විටම සිතන එකක් තමයි මට මේ වෘත්තියේ අපේ රැහේ ඇත්තන් වෙනු­වෙන් ඉටු­කළ යුතු වග­කී­මක් තියෙ­නවා කියන එක. අපේ භාෂා­වට අකුරු නැහැ. මුඛ පර­ම්ප­රා­වෙන් එන භාෂා­වක් තියෙන්නේ . මහා සමා­ජය සමඟ බද්ධ වුණාට පස්සේ මේ භාෂාව නැති වෙන්න පුළු­වන්. අද වෙන­කොට රැහේ සම­හරු වැදි භාෂාව කතා කරන්නේ නැහැ. මගේ පරම යුතු­කම තමයි මේ භාෂාව රැක ගැනීම. අපි ඒ සඳහා විවිධ වැඩ සට­හන් කර­නවා. ඒ වගේම රැහේ ඇත්තන්ට රටේ තොර­තුරු කියා දෙනවා. අද වෙන­කොට පොඩි දරුවෝ වැදි භාෂාව කතා කරන්න පටන් අරන් තියෙ­නවා. මට ගුවන් විදු­ලි­යෙන් කතා කරද්දි ආදි­වා­සි­යෙක් හැටි­යට අභි­මා­න­යක් දැනෙ­නවා. අපි ප්‍රජා ගුවන් විදු­ලිය හා සම්බන්ධ වෙන්නේ දුර­ක­ථ­නය මඟින්. මෙහෙට එන අය තොර­තුරු සොය­නවා ආදී­වා­සීන් ගැන. ඒ එන අයට පෙන්නන්න තමයි මේ මැදි­රිය හදා ගත්තේ . ඇත්ත­ටම අපට පරි­ග­ණ­ක­යක් තියෙ­නවා නම් මේ කාර්යය කර­ගෙන යන්න ඉතාම පහ­සුයි. නමුත් පරි­ග­ණ­ක­යක් ගන්න තරම් අපට වත්ක­මක් නැහැ. මේ ගුවන් විදුලි මැදි­රි­යට සම්පත් නැහැ. රේඩියෝ දඹාන තව­මත් ඇහෙන්නේ සීමිත ප්‍රදේශ ගණ­න­කට පම­ණයි. නමුත් අපේ ජන­තාව පොල්ලේ­බැද්ද හෙනා­නි­ගල වගේ පැති­වල ඉන්නවා. මේ ගුව­න්වි­දුලි සේවය අම්පාර දිස්ත්‍රි­ක්ක­යට ඇහෙන්න සල­ස්ව­නවා නම් එය විශාල සේව­යක්.”

විමලේ කියන්නේ තම ජන­තා­වගේ සුබ සෙත ගැන සිතාය.

ආදී­වාසි ජන­තා­වගෙ අන­න්‍ය­තාව රටට කියා­දෙ­මින් සඳුදා, බදාදා, සිකු­රාදා යන දින­වල විකා­ශය කෙරෙන රේඩියෝ දඹා­නෙන් බොහෝ විෂ­යන් ගැන කතා කර­න්නේය. එක් දිනෙක උදේ වරුවේ වන්නිලැ ඇත්තන් මුලිච්චි වන කාල මැච්ච තිබේ.(ආදී­වාසි නායක තුමා සමඟ සාක­ච්ඡා­වක්) මීට අම­ත­රව ආදී­වාසී ආහාර ඒවා සක­ස්කර ගන්නා ආකා­රය, ළම­යින් සඳහා වැඩ­ස­ට­හන්, ආදී­වාසී තොර­තුරු ආදි බොහෝ දේ පිළි­බඳ රේඩියෝ දඹා­නෙන් විකා­ශය කෙරේ. මේ සියල්ල කරන්නේ නිවේ­දක විම­ලේය. මයි­ක්‍ර­ෆෝන නැති හඬ­පා­ලන මැදිරි නැති වෙනත් තාක්ෂ­ණික මෙව­ලම් නැති රේඩියෝ දඹාන ක්‍රියා­ත්මක වන්නේ විම­ලේගේ අතේ ඇති සාමාන්‍ය ජංගම දුර­ක­ථ­න­යෙනි. ඉතා අඩු පහ­සු­කම් යටතේ තම රැහේ ඇත්තන්ගේ උරු­මය රැක ගැනීම වෙනු­වෙන් හඬක් නඟන රේඩියෝ දඹානේ විම­ලේට නවීන පහ­සු­කම් තිබුණේ නම් කොත­රම් අග­නේද?

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

අදහස්