අපට ලොකු වෙනසක් කරන්න පුළුවන් | සිළුමිණ

අපට ලොකු වෙනසක් කරන්න පුළුවන්

නායක - චාමර මිහිරාන්

එළඹෙන ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය පිළිබඳ කතාබහකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චාමර මිහිරාන්ට මේ ඉඩකඩ වෙන්කරමු.

* පළමුවැනි ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට සූදානම කොහොමද?

අලුත් පුහුණුකරුවකු යටතේ තමයි පුහුණුවීම් කරන්නේ. ආසියානු ක්‍රීඩා සමාජ සහ ආසියානු ක්‍රීඩා උලළේ තරගාවලි දෙකකට අපි එකතු වුණා. ඒ තරගාවලි දෙකම මේ ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට පුහුණු තරග ලෙස යොදා ගත්තා. ඒ තුළින් හොඳ පුහුණුවකින් මේ තරගාවලියට එකතු වෙනවා.

* ආසියානු ක්‍රීඩා උලෙළේ වොලිබෝල් තරගාවලිය දිහා හැරී බලද්දී මොකද හිතන්නේ?

අපි ඒ තරගාවලියේ තරග හයකට ක්‍රීඩා කරලා හතරක් දිනුවා. පැරදුණේ තායිලන්තයට සහ චීනයට විතරයි. අපිට අලුතින් හඳුන්වා දීපු තරග රටාවට තමයි ක්‍රීඩා කළේ. ඒ අත්හදා බැලීම් සාර්ථකයි. කණ්ඩායමක් විදියට ගත්තත් හොඳ මට්ටමක ඉන්නවා.

* ඒ පුහුණුවේ විශේෂත්වයක් තිබෙනවාද?

විශේෂයෙන් යුරෝපීය ශිල්ප ක්‍රමයට තමයි සර්බියානු පුහුණුකරුගේ පුහුණු රටාව ගොඩ නැඟිලා තියෙන්නේ. මේ පුහුණු‍වත් එක්ක ආසියානු අභියෝග කුසලාන තරගාවලියේ ලොකු වෙනසක් කරන්න පුළුවන් වෙයි.

* ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේ හත්වැනි ස්ථානය, ආසියානු ක්‍රීඩා උලෙළේ දහතුන් වැනි ස්ථානයට පත් වෙනවා. මොකද වුණේ?

ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියට හොඳම කණ්ඩායම් එකතු වුණාට හැම කණ්ඩායමකම සුපිරි ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම විවේක අරන් තිබුණා. විශේෂයෙන් ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේ අපේ ක්‍රීඩා විලාසය ගැන හොඳ අත්හදා බැලීම් ප්‍රතිවාදීන් කරලා තිබුණා.

ආසියානු ක්‍රීඩා උලෙළට එනකොට ප්‍රතිවාදී රටවල් අපේ හොඳ තැන් වගේ ම දුර්වල තැන් ක්‍රීඩා පිටියේ අඩු පාඩු ගැන විශේෂයෙන් සොයා බලලා ඇවිත් තිබුණා.

අපේ පැත්තෙන් තියෙන ලොකුම අඩුපාඩුවත් ඒ දේම තමයි‍. තරග දත්ත විශ්ලේෂකයන් අපට නෑ. ප්‍රතිවාදීන් අපි ගැන හොයන තරම් ඔවුන් ගැන අපට හොයන්න පහසුකම් නෑ. ඒක ලොකු අඩුපාඩුවක්. මේ වගේ තරග විශ්ලේෂණ ක්‍රමවේදයන් අපට තියෙනවා නම් අපටත් ‍දිගු ගමනක් යන්න පුළුවන්.

* මේ කාලයකට පස්සේ තමයි තරගාවලි ජාත්‍යන්තර තරගාවලි තුනක් අඛණ්ඩව ක්‍රීඩා කරන්න ලැබෙන්නේ. නැත්නම් හුඟක් වෙලාවට වෙන්නේ තරගාවලියක් ක්‍රීඩා කරලා ගෙවල්වලට යනවා. මේ දේවල් වෙනස් වෙන්න ඕන කොහොමද?

කාලයකට පස්සේ තමයි මේ වගේ ජාත්‍යන්තර තරගාවලිවලට අඛණ්ඩව එකතු වෙන්නේ. අපි මේ තරගාවලියේ අනිවාර්යයෙන් ම අවසන් මහා තරගයට එන්න ඕනෑ, ආසියානු කුසලාන තරගාවලියට එකතු වෙන්න.

අපේ රටේ තරග කරනවාට වඩා ජාත්‍යන්තර තරග වැඩි වෙන තරමට තමයි අපට ඉදිරියට එන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රීඩාගාරවල ක්‍රීඩා කරන්න ඕනෑ.

* ක්‍රීඩාංගණවල වෙනස දැනෙන්නේ කොහොමද?

අපි එළිමහනේ තමයි වැඩි පුරම ක්‍රීඩා කරන්නේ. පන්දුවේ දෝලනය ඩෑෂ් පහරවල වගේම පන්දු පිරිනැමීමේදීත් මේ වෙනස තදින්ම දැනෙනවා.

සුගතදාස වගේ ලොකු ක්‍රීඩාංගණවල දිගුකාලීනව පුහුණුවීම් කරන්න තියෙනවා නම් මීට වඩා දෙයක් කරන්න පුළුවන්. සර්බියානු පුහුණුකරුවා පවා කියන්නේ හොඳට ඉඩ තියෙන තැනක පුහුණුවීම් කරන්න තියෙනවා නම් හොඳයි කියලා. අපට තියෙන සම්පත් පහසුකම් එක්ක තමයි මේ හැම දෙයක් ම දියුණු වෙන්නේ. වොලිබෝල්වලට විතරක් නෙවෙයි. හැම ක්‍රීඩාවකටම පහසුකම් තියෙන ක්‍රීඩාංගණ තියෙන්න ඕනෑ. ඒ වගේ ම තමයි අලුත් තාක්ෂණයක් හැම වෙලාවේම එකතු වෙන්න ඕනෑ. අලුත් තාක්ෂණය අප තවමත් අතපත ගානවා විතරයි. උඩ පැන පන්දු පිරිනැමීම් පුහුණුවට මැෂිං පවා තිබෙනවා. රජය හරි මැදිහත්වෙලා මේ තාක්ෂණික පහසුකම් ලබා දෙනවා නම් හොඳයි.

* වොලිබෝල් සම්මේලනය ගත්තත් ඔවුනුත් උපරිමයෙන් උත්සාහ කරනවා නේද පහසුකම් වැඩි දියුණු කිරීමට?

අපට කාටවත් ඇඟිලි දිගු කරන්න බෑ. රටක් විදියට හිතලා ජාතික ක්‍රීඩාව කියලා හිතලා කවුරු කවුරුත් උදව් කරනවා නම් ක්‍රීඩාව ඉදිරියට යනවා. අපට නැතත් අපේ ඉදිරි පරම්පරාවට මේ පහසුකම් ටික එකතු වෙනවා නම් ජාතික ක්‍රීඩාව මේ තියෙන අඩියෙන් තව පියවර කිහිපයක්ම ඉස්සරහට යනවා.

අපට ඉදිරියට යන්න නම්, දිගුකාලීන සැලසුම් එක්ක යන්න ඕනෑ නේද?

ඔව්. ‍සර්බියානු පුහුණුකරුගේ සේවය පවා දිගුකාලීන වෙනවා නම් හොඳයි. එතකොට ඔහුටත් සැලසුමක් ඇතුව දිගුකාලීන වැඩපිළිවෙළකට යන්න පුළුවන් වෙනවා. මේවායේ ප්‍රතිඵල අද හෙට නැතත් අනාගතයේ හරි ප්‍රයෝජනයක් වෙයි.

අදහස්