ගමන ලෙහෙසි නෑ අතහරින්න අදහසකුත් නෑ | සිළුමිණ

ගමන ලෙහෙසි නෑ අතහරින්න අදහසකුත් නෑ

 විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති

පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 15 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර සමාප්ති උලෙළ 21 දා අවසන් මහා තරගය සහ ජය සංකේත ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. මේ ඒ පිළිබඳ වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සමඟ කතාබහකට අප වෙන්කළ ඉඩකඩයි මේ.

 ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියත් එක්ක අපේ වොලිබෝල් ක්‍රීඩාවේ ගමන් මඟ කියන තැනින් කතාව පටන් ගත්තොත්?

අපේ වොලිබෝල් ක්‍රීඩාව ගැන අලුත් බලාපොරොත්තු ඇති වෙමින් තියෙනවා. අද වොලිබෝල් ප්‍රවීණයෝ පවා කියනවා අපේ වොලිබෝල් ක්‍රීඩාව එදාට වඩා හුඟක් ඉදිරියට ඇවිත් තියෙනවා කියලා. ආසියාවේ ගත්තත් අද අපි කතාබහ කරන තැනක ඉන්නවා. අපි මේ තැනට නිකම්ම ආවේ නෑ. ලොකු කැප කිරීමක්, ව්‍යායාමයක් මේ ඇතුළේ තියෙනවා. ‍ වොලිබෝල් කණ්ඩායම කාලයකට පස්සේ තෘප්තිමත් තැනක ඉන්නවා.

ඔබ සභාපතිවරයා විදියට වොලිබෝලය බාර ගන්න කොට අපේ රටේ ජාතික ක්‍රීඩාවට තිබුණු තැන?

කාලයක් තිස්සේ අපේ හිටපු සභාපතිවරු, ලේකම්වරු, නිලධාරින් පුළුවන් උපරිමයෙන් වොලිබෝලය ඉහළට ගන්නට කටයුතු කරලා තියෙනවා. අපි මේ දේවල් අවතක්සේරු කරන්නේ නෑ.

කාලයක් තිස්සේ ම හුඟක් අයගේ අවධානය වොලිබෝල් වලට යොමු වුණා අඩුයි කියලා මම හිතනවා. විශේෂයෙන් මාධ්‍ය අවධානය අඩු වුණා. මේවත් එක්ක ජාතික ක්‍රීඩාව වොලිබෝල් ක්‍රීඩාව නතර වුණා කියලා හිතනවා. පසුගිය කාලයේ වොලිබෝල් ගැන සමාජ කථිකාවක අවශ්‍යතාව දැනුණා. අපි ඒ ගැන අවධානය යොමු කරලා තමයි වොලිබෝල් ක්‍රීඩාව ගැන සංගායනාවක් තිබ්බේ. මේ කතාබහ තුළින් විවිධ යෝජනා මතු වුණා. අපි ඒ කතිකාව තමයි දැන් අපේ ඉදිරි වැඩ පිළිවෙල විදියට ගෙන යන්න බලන්නේ. අපිට දැන් අවුරුදු හතරක වැඩපිළ‍ිවෙළක් තියෙනවා. අපි මේ වැඩපිළිවෙළ එක්ක ඉදිරියට යන්න සැලසුම් කරලා තියෙනවා.

අවුරුදු 102 ක අපේ වොලිබෝල් ඉතිහාසයේ ඉහළ ස්ථානය ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේ හිමිකර ගන්නවා. අපට දැන් මෙතැනින් නවතින්න බැහැනේ?

ඔව්. අපි තවත් ඉදිරියට යන්න ඕන. එකවර අපට මේ පිම්ම පනින්න බෑ. පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕනැ.

අපි මෙහිදී විශේෂයෙන් ලංකාවේ වොලිබෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න උදව් උපකාර කරන සියලු ම දෙනා සිහිපත් කරනවා. විශේෂයෙන් ඩයලොග් ආයතනය, මන්චි සහ ඩී.එස්.අයි. ආයතන වොලිබෝල් ක්‍රීඩාව දෙපයින් ඔසවා තියන්න ලොකු අනුග්‍රාහයක් දක්වනවා. කැපවීමක් කරනවා. මේ අය එක්ක අපි තවදුරටත් කතාබහ කරමින් ඉදිරියට යන්න බලනවා. අලුත් තාක්ෂණික ක්‍රමවේදයන් එක්ක තමයි ඉදිරියට යන්න ඕනෑ. විදේශීය පුහුණුකරුවන්ගේ සේවය උපරිමයෙන් ම ලබා ගන්න බලනවා. දැන් පිරිමි ජාතික කණ්ඩායම සර්බියානු පුහුණුකරුවකු යටතේ පුහුණු වෙනවා.

විවේචනත් එල්ල වුණා?

ඔව්. ඕනෑ තරම් විවේචන එල්ල වුණා. අපි ඒ හැම දෙයක් දිහාම අවදානෙන් බලා ගෙන හිටියා. මෙවර ආසියානු ක්‍රීඩා සමාජ තරගාවලියේදි සර්බියානු පුහුණුකරුවාගේ පැමිණීමේ අගය කාට කාටත් හොඳට තේරුණා.

අපි එතැනින් නවතින්නේ නැතුව කාන්තා කණ්ඩායමටත් කියුබානු පුහුණුකරුවෙක් ගෙනාවා. පොඩි කාලේ ඉඳලම උනන්දුව - උද්යෝගය වැඩි කරන්න කටයුතු කරනවා. ඒ වගේ ම ජාතික කණ්ඩායම්වලට දීර්ඝකාලීන පුහුණුවක් ලබා දෙනවා. මාස තුනේ පුහුණුවෙන් ගමනක් යන්න බෑ. දිගුකාලීන නේවාසික පුහුණුවක් ජාතික කණ්ඩායම්වලට ලබා දෙන්න අවධානය යොමු කරලා තියෙනවා.

මේ හැම දෙයක් එක්ක ම ගැටෙමින් අභියෝග කරමින් ඉදිරියට යන්න නම් වොලිබෝල් සංස්කෘතියක් රටේ ඇති වෙන්න ඕනෑ කියලා ඔබ විශ්වාස කරනවා ද?

ඇත්තෙන්ම වෙන්න ඕනෑ ඔය වගේ දෙයක් තමයි. අද රටේ ක්‍රිකට් සංස්කෘතියක් ඇති වෙලා තියෙනවා. මේකත් කරන්න අමාරු නෑ. අද රාජකීය විද්‍යාලයෙත් වොලිබෝල් කියන්නේ ජනප්‍රිය ක්‍රීඩාවක්. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පැයකට එළියට දැම්මත් ඒ කාලයේ ඔවුන් වොලිබෝල් ගහනවා. මාධ්‍යයෙන් මේ සඳහා ලොකු සහයෝගයක් ඕනෑ. ඒ තුළින් තමයි අනුග්‍රාහකයන් පවා මේ වටා රොක් වෙන්නේ. ජාතික ක්‍රීඩාව වටා රටවැසියෝ එකතු වෙනවා කියන්නේ ඒක ජාතික යුතුකමක්.

අද ලෝකයේ රටවල් 225 ක වොලිබෝල් ක්‍රීඩා කරනවා. ආසියාවේ රටවල් 65 ක්, මේ අය එක්ක තරගකරලා ඉදිරියට එන්න ‍ලොකු තරගකාරිත්වයක් තියෙනවා. හැබැයි අපිවත් අපේ ක්‍රීඩකයන්වත් මේ සටන අතහරින්න ලෑස්ති නෑ.

අපේ වොලි‍බෝල් ක්‍රීඩාවේ සිරිවර්ධන යුගයට පස්සේ තවමත් ඒ වගේ කතාබහක් ඇති නොවෙන්නේ ඇයි?

සිරිවර්ධනලා බිහි කර ගැනීම අපේ පමණක් නෙවෙයි අප සැමගේ වගකීමක්. දක්ෂ ක්‍රීඩකයන් අපට නැතුව නෙවෙයි. මේ දක්ෂයන් අප තව තවත් ඉදිරියට ගන්න ඕනෑ. මේ ආසියානු අභියෝග කුසලාන තරගාවලිය අපි දිනයි කියලා හිතනවා. මේක අපේ අය දිනයි කියන සාම්ප්‍රදායික කතාබහක් නෙවෙයි.

අපේ ක්‍රීඩකයෝ දක්ෂයි. හොඳ පුහුණුවක් ඔවුන් ලබනවා. ආසියාවේ හොඳ තරගාවලි දෙකකට පස්සේ තමයි මේ තරගාවලියට එකතු වෙන්නේ. ඒ අත්දැකීම් එක්ක මේ තරගාවලියේ අපේ කණ්ඩායම ලොකු පෙරළියක් කරයි. මේ දේවල් හරහා තමයි සිරිවර්ධනලා බිහි වෙන්නේ. අපිට දක්ෂයෝ ඉන්නවා.

වොලිබෝල් ක්‍රීඩාවට තිබෙන භෞතික සම්පත් ප්‍රමාණවත්ද?

අපි ඒවත් වර්ධනය කර ගන්න බලනවා. මේවාට විශාල වශයෙන් ප්‍රාග්ධනය යට කරන්න ඕනෑ. අදටත් අපේ අයවැය ලේඛනය ගත්තොත් පරතරය වැඩියි. වැය වැඩියි. ඒත් අපි මේ දේ අත හරින්න ලෑස්ති නෑ. අපිට මෙතෙක් හොඳ බීච් වොලිබෝල් පිටියක් තිබුණේ නෑ. අපි ඒක හදා ගත්තා. අදටත් අපිට තියෙන ක්‍රීඩාංගණ පහසුකම් මදි. අපි තාමත් එළිමහනේ ක්‍රීඩා කරන්නේ. එළිමහනේ ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ගෘහස්ථ පිටියකට එකපාරට ම ආවම අහසයි පොළවයි වගේ. අපේ ගෘහස්ථ ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරලා ජාත්‍යන්තරයේ ගෘහස්ථ ක්‍රීඩා පිටියකට ගියාම සම්පූර්ණයෙන් අලුත් වෙන්න ඕනෑ. අපට වොලිබෝල් සඳහා ම ගෘහස්ථ ක්‍රීඩාගාරයකට අවධානය යොමු කරලා තියෙනවා. රජයේ සහාය තියෙනවා. අපි මෙය වැඩි කර ගන්න තමයි බලන්නේ.

ඡායාරූපය - රංජිත් අසංක

අදහස්