ජයග්‍රහණය දුෂ්කර ව්‍යායාමයක් අබියස | සිළුමිණ

ජයග්‍රහණය දුෂ්කර ව්‍යායාමයක් අබියස

ආසියානු වොලිබෝල් පිටියේ ශ්‍රේණිගත කිරීම්වල අංක අටේ සිට දහසය දක්වා සිටින කණ්ඩායම් අට දෙපිල බෙදී ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට පොදි බැඳ ගැනීමට නියමිත ය. ලොව වොලිබෝල් ක්‍ර‍ීඩාවේ නිරත රටවල් සංඛ්‍යාව 224 ක් වන අතර ආසියාවේ රටවල් සංඛ්‍යාව 65 කි. ඒ අනුව මේ තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන්ට ආසියාවේ මෙන් ම ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණ‍ීමට මෙකී තරගාවලිය මහඟු පිටිවහලකි.

සත්කාරක ශ්‍රී ලංකාව සමඟ මැලේසියාව, හොංකොං, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය සහ මොංගෝලියාව මේ තරගාවලියට එක් වෙයි. අවසන්වරට පැවැති දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළේ වොලිබෝල් තරගාවලියේ දහතුන් වැනි ස්ථානයෙන් නතරවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. ඊ කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකාව එහිදී මූලික වටයේදී එක් තරගයක් ජයගෙන කාණ්ඩයේ තෙවැනි තැනට පත්වූ අතර, මේ අනුව අවසන් පූර්ව තරගවටය අහිමි විය. අනතුරුව 13 වැනි ස්ථානයේ සිට 20 වැනි ස්ථානය දක්වා ශ්‍රේණිගත කිරීම් තරග සඳහා එක් වූ ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීමේ වටයේ මාලදිවයින සහ නේපාලය පරාජය කිරීමට සමත් විය.

ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට පෙර ශ්‍රී ලංකා පුහුණුකරු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ආසියානු ක්‍රීඩා උලෙළට එක්වන්නේ ආසියානු අභියෝග කුසලාන තරගාවලිය සඳහා පෙර පුහුණුවක් ලෙස බව ය. එමෙන් ම ආසියානු අභියෝග කුසලාන තරගාවලියේ ශූරයාවීම මූලික අරමුණ බව ද ප්‍රකාශ කළේ ය. දහ අටවැනි ආසියානු ක්‍රීඩා උලෙළට පෙර ආසියානු ක්‍රීඩා සමාජ වොලිබෝල් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී ඉතිහාසයේ ඉහළම ස්ථානය සටහන් කරගනිමින් හත් වැනි තැනට පත් විය. මේ තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක චාමර මිහිරාන් ප්‍රකාශ කළේ සර්බියානු පුහුණුකරු තුළ සුවිශේෂ ගුණාංග රැසක් තිබෙන බවත්, එය ලාංකේය වොලිබෝල් ක්‍රීඩාවේ ඉදිරි ගමනට ද විශාල දායකත්වයක් සපයනු ඇති බවයි.

මේ තරගාවලියට එක්වන රටවල් අතරින් දහ අට වැනි ආසියානු ක්‍රීඩා උලෙළට එක්වූ රටවල් අතර, සෞදි අරාබිය ශ්‍රේණිගත කිරීම්වල දහවැනි ස්ථානයේ පසුවෙයි. මොංගෝලියාව දහ අට සහ හොංකොං දහ නවවැනි ස්ථානයන්හි පසුවෙයි. ඉරාකය, බංග්ලාදේශය, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු ක්‍රීඩා උලෙළට එක් නොවීය.

පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියට ශ්‍රී ලංකාවේ රොද බැඳගන්නා සියලු රටවල උත්සාහය වනුයේ තරගයෙන් තරගය ඉදිරියට පැමිණ අවසානයේ තම ඉලක්කය සපුරා ගැනීම ය. කෙසේ වෙතත් කිසිම කණ්ඩායමකට ලෙහෙසි පහසු විලසින් නම් මේ ගමන යාමට නොහැකිවනු ඇත. අවසන් කඩඉම ජයග්‍රාහී ලෙස නිමකර ගැනීමට නම් සෑම කණ්ඩායමකට ම උපරිම වෙහෙසක් දැරීමට සිදුවනු නියතය.

පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලිය කණ්ඩායම් අටටම අමතර බරකි. එකී බර සැහැල්ලුවෙන් බිම තබන්නට නම් සියලු දෙනා මේ තරගාවලියේ සෑම අභියෝගයකටම අභියෝග කරන තැනක සිටගත යුතු ය. එසේ නැතිව මේ අට දෙනාගෙන් එක් කණ්ඩායමකට අති සුපිරි විය නොහැකි ය. මේ කණ්ඩායම් අට ආසියානු අභියෝග කුසලාන තරගාවලියට එක්වනුයේ ශූරයන් වීමට ය. ඒ සඳහා සෑම කණ්ඩායමක් ම බොහෝ වෙහෙස මහන්සි විය යුතු ය. මේ කණ්ඩායම් අතරින් වඩාත් දක්ෂ කණ්ඩායම් දෙක අවසන් තරගයට එක්වනු ඇත. එසේ අවසන් තරගයට පිවිසෙන කණ්ඩායම් දෙක අතරින් වඩාත් ශූර සහ සූක්ෂම ලෙස අවසන් තරගය පාලනය සියතට ගන්නා නායකයාට පළමු ආසියානු අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේ ජය හිමිවීම වැළැක්වීමට කිසිවකුට නොහැකි වනු ඇත. අප වඩාත් විවෘත වන්නේ නම් මෙකී දුෂ්කර ව්‍යායාමය වඩාත් හොඳින් පාලනය කරගන්නා නායකයාට, කණ්ඩායමට පළමු ආසියානු අභියෝග කුසලානය ගැනීමට ඇති හැකියාව ද ‍වැඩි ය.

අදහස්