වැව් බැඳි රාජ්‍ය‍ෙයන් එන | සිළුමිණ

වැව් බැඳි රාජ්‍ය‍ෙයන් එන

සේනානායක වේරලියද්ද කියන්නේ අපේ රටේ ඉන්න ප්‍රතිභා පූර්ණ ගායන ශිල්පියෙක්. මෙරට ගායන කේෂ්ත්‍රයට අමුතුම ආකාරයේ ගී කලාවක් හඳුන්වා දුන් ඔහු මේ වන විට ‘වේරලියද්ද ෂාප්‘ සංගීත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. රජරට පමණක් නෙවෙයි මෙරට අස්සක් මුල්ලක් නෑර සිය නම රැන්දූ වෙරලියද්ද ෂාප් සංගීත කණ්ඩායමේ කළමනාකරු වගේම බේස් ගිටාර් ශිල්පී ප්‍රියන්ත චන්ද්‍රකුමාර BAND OF THE WEEK සමඟ කතාබහට එක් කරගත්තෙමු.

මේ කණ්ඩායම සමඟ හොඳ ගමනක් යන්න පුළුවන්

- සේනානායක වේරලියද්ද

රජරට ෂාප් කොල්ලෝ ටික මට ආරාධනා කළා ඔවුන් එක්ක එකතු වෙලා වැඩ ටිකක් කරමු කියලා. ඇත්තටම දක්ෂ කොල්ලෝ ටිකක්. ඒ නිසා මාත් ඔවුන් එක්ක වැඩ කරන්න කැමැති වුණා. මෙහිදී තව විශේෂ දෙයක් කියන්න ඕන. මම සංගීත ප්‍රසංගවලට සහභාගි වුණාම හැමදාම කියන්න වුණේ එකම සින්දු සෙට් එක. ඒත් මම කරපු සින්දු ගොඩක් තිබෙනවා. මගේම සංගීත කණ්ඩායමක් එක්ක ප්‍රසංගවලට ගියාම මට ඒ හැම සින්දුවක්ම මගේ රසිකයන් වෙනුවෙන් දෙන්න පුළුවන්. ඒ නිසා මේ සංගීත කණ්ඩායමත් එක්ක හොඳ ගමනක් යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

• රජරට ෂාප් වේරලියද්ද ෂාප් වුණේ ඇයි ?

2014 වසරට කලින් අපේ බෑන්ඩ් එක රජරට ෂාප් නමින් තමයි කරගෙන ගියේ. ඒ යද්දි අපි සේනානායක වෙරලියද්ද මහත්මයත් එක්ක කතා කළා අපි එක්ක එකතු වෙලා වැඩක් කරමු කියලා. ඒ අනුව එතුමා අපි එක්ක එකතු වෙලා වැඩක් කරන්න කැමැති වුණා. ඒ අනුව සියලුම සාමාජිකයන් එක්ක කතා කරලා රජරට ෂාප් වෙනුවට වේරලියද්ද ෂාප් නමින් බෑන්ඩ් එකේ නම වෙනස් කළා.

• ඒ කියන්නේ වේරලියද්ද කියන ප්‍රවීණ ගායන ශිල්පියාගේ කීර්තිනාමය බෑන්ඩ් එකට ගත්ත කියන එක නේ ?

ඇත්තට එතුමා අපේ රටේ ඉන්න ප්‍රවීණ, දක්ෂ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පියෙක්. ඒ වගේ පුද්ගලයෙක් එකතු කරගන්න ලැබුණ කියන්නේ එක පැත්තකින් අපි වාසනාවන්තයි. ඒ වගේම වේරලියද්ද මහත්මයගේ පැමිණීම අපිට ලොකු ශක්තියක් වුණා.

• නිතර ඇහෙන බෑන්ඩ් අතර වේරලියද්ද ෂාප් නම කියවෙනව අඩුයිද ?

ඒකට හේතු කිහිපයක් තිබෙනවා. බොහෝ සංගීත ප්‍රසංග පැවැත්වුවම එය වීඩියෝ කරලා ඩී.වී.ඩී ගහලා විවිධ ස්ථානවල ප්‍රචාරය වෙන්න දානවා. ඒ දේවල් නිතර ඇහෙන කොට ඒ බෑන්ඩ්වල නම් හුරු වෙනවා. නමුත් අපේ සංගීත ප්‍රසංග එහෙම වීඩියෝ කරලා තැන් තැන්වල දාන්නේ නැහැ. වේරලියද්ද අයිය කිව්වෙත් එහෙම කරන්න එපා කියලා. මොකද එහෙම වුණොත් අපේ සංගීත ප්‍රසංගයක් බලන්න එන අයට අහන්න සින්දුවක් නැතිව යනවා. නිතර කියන සින්දු විතරයි අපේ ප්‍රසංගවලට එන අයට අහන්න වෙන්නේ. අනිත් කාරණය තමයි වෙරලියද්ද මහත්මයා ගායනා කළ ගොඩක් සින්දු තිබෙනවා. නමුත් සංගීත ප්‍රසංගවලට ගියාම හැමදාම අහන්න වෙන්නේ එකම සින්දු ටිකයි. ඒ වගේම හැමෝම ඉල්ලන්නේ එකම සින්දු ටිකමයි. අපි අපේ ප්‍රසංගවලදි වේරලියද්ද මහත්මයගේ බොහෝ දෙනෙක් අහලවත් නැති සින්දු ගහනවා. ඒකත් එක් හේතුවක් තමයි ඩී.වී.ඩී ගහලා ප්‍රචාරය නොකරන්න.

• නමුත් රැල්ලත් එක්ක නොගියොත් ගමනක් නැහැ නේ ?

මම නම් එහෙම එකක් හිතන්නේ නැහැ. මොකද අපිට හොඳට වැඩ තිබෙනවා. අනික අපිට කවුරුවත් අබිබවා යන්න ඕනකමකුත් නැහැ. අපේ පාඩුවේ වැඩ ටිකක් කරන් ඉන්න තිබුණම ඇති.

• කොහොමද බෑන්ඩ් එකට සාමාජිකයෝ හොයාගත්තේ ?

වේරලියද්ද අයියගේ හැඳුනුම්කම වගේම මමත් හඳුනන අය මඟින් තමයි හොයා ගත්තේ. ගොඩක් අය අනුරාධපුරේ. ඒ වගේම නුවර, මාවතගම අයත් ඉන්නවා. මේ හැම කෙනෙක්ම ඉතාම දක්ෂ අය.

• එහෙනම් එම සමාජිකයන් ගැන කිව්වොත් ?

මනෝජ් රංග අපේ නිත්‍ය ගායකයකු වගේම නිවේදකයා. ‘මගේ සිත පාරමී‘ කියල ඔහුගේම ගීතයක් තිබෙනවා. වේරලියද්ද මහත්මයගේ පොඩි පුතා තමයි තනුර සේනානායක වේරලියද්ද කියන්නේ. ඔහුත් අපේ නිත්‍ය ගායකයෙක්. කාවින්ද ගීතාල්- අපේ ගායන ශිල්පියෙක්. ප්‍රදීප් ප්‍රියංග ඩ්‍රම්ස් වාදන ශිල්පියා. ඔහු මගේ මල්ලි. අසිත දර්ශන ඔක්ට පෑඩ් ශිල්පියා ලෙසත් සොමේෂ් ප්‍රියනාත් රිදම් ගිටාර් ශිල්පියා සුසන්ත කුමාරතුංග කී බෝඩ් වාදන ශිල්පියා. සුධීර ලීඩ් ගිටාර් ශිල්පියා. මම බේස් ගිටාර් වාදන ශිල්පියා ලෙස කටයුතු කරනවා.

වේරලියද්ද ෂාප්ට අනිත් බෑන්ඩ් අභියෝගයක් නෙවෙයිද ?

ඕනෑම දෙයක් කරද්දි අභියෝග එනවා. අභියෝග එන එක හොඳයි එතකොට අපි ඊට වඩා හොඳ දෙයක් කරන්න උත්සාහ ගන්නවා. නමුත් අපි කාටවත් අභියෝග කරන්නේ නැහැ. අපි අපේ පාඩුවේ වැඩ ටික කරගෙන යනවා.

• මොන බෑන්ඩ් එකද වේරලියද්ද ෂාප් අනුකරණය කරන්නේ ?

අපි කිසිම බෑන්ඩ් එකක් අනුකරණය කරන්නේ නැහැ. අපිට එහෙම ඕනෑකමක් නැහැ. අපි අපිට ආවේණික රටාවක් හදාගෙන තමයි ප්‍රසංග වේදිකාව සරසන්නේ. හැම තත්පරේම අපි උත්සාහ කරන්නේ ප්‍රේක්ෂකයෝ අපි එක්ක තියාගන්නයි.

• බෑන්ඩ් එක විදියට අනාගත බලාපොරොත්තු මොනවද ?

නිදහසේ අපේම දෙයක් කරගෙන හරවත් ප්‍රසංග කලාවක් රටට ලබාදීමයි.

Comments