ලේක්හ­වුස් පද­ක්කම් ලාභියෝ | සිළුමිණ

ලේක්හ­වුස් පද­ක්කම් ලාභියෝ

පසුගියදා පැවැති තිස්පස්වන වෙළෙඳ සේවා මලල ක්‍රීඩා උලෙළෙහිදී රන් පදක්කම් 01 ක්, රිදී පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 08 ක් ලබා ගැනීමට ලේක්හවුස් ආයතනයේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ. එහිදී උදුලා පීරිස් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක්ද, ශ්‍යාම් කුමාර රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 02 ක් ද, ඩී.කේ.අයි.පී. නාමසිරි රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් 02 ක් ද, එච්.ඒ. සමරවංශ ලෝකඩ පදක්කමක් ද, සංජීව ජයසූරිය ලෝකඩ පදක්කමක් ද වශයෙන් පදක්කම් 12 ක් හිමි කර ගත්හ. මෙරට ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ආයතන 58 ක් සහ ඉන්දියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග කළ මේ තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර එහිදී ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මලල ක්‍රීඩා පුහුණුකරු සුරේෂ් දෙමටපිටිය මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු


ගල්නෑව ප්‍රාථමික විදුහල් ක්‍රීඩාගාරයට ආධාර පිණිස ගල්නෑව බ්‍රේව් නයිට් සංගීත රාත්‍රිය අනිද්දා

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාථමික විදුහල් අතරින් 5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් අංක 1 හිමිකරගෙන සිටින ගල්නෑව ප්‍රාථමික විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය විදුහල් ක්‍රීඩාංගණයට අඩුපාඩුවක්ව පවතින ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම වෙනුවෙන් සැප්. 11 දා මහා සංගීත රාත්‍රියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. වසර ගණනාවකම පහ වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් ප්‍රථම ස්ථානය දිනා සිටින ගල්නෑව ප්‍රාථමික විදුහලට ක්‍රීඩාංගණයක් ඉදිකිරදීම සදහා පැවැති සහ පවතින රජයන්ගෙන් කිසිම අනුග්‍රහයක් නොලැබීම හේතුවෙන් ලංකාව පුරා විසිරී සිටින ආදි ශිෂ්‍ය සාමාජිකයන් විසින් මේ සදහා අනුග්‍රහය ලබාදීමට කටයුතු යොදා ඇත.

විදුහල්පති දිසානායක මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ක්‍රීඩාගාරය ඉදිකිරීමට කටයුතු යොදා ඇත. මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රු. ලක්ෂ 15ක් පමණ වන බවද ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.

පාසලේ සිසුන්ට මේ වන විට කිසිම අඩුපාඩුවක් නොමැතිව ඉගෙනීම කටයුතු කරලීම සදහා අවශ්‍ය සියලුම පහසුකම් විදුහල තුළ පවතින අතර, සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින් සමත්වන ළමයින් ලංකාව පුරා විසිරී ඇති ප්‍රසිද්ධ පාසල්වලට ඇතුළත්ව මේවන විට විවිධ වෘත්තීන්වල නියැළෙමින් පාසලට අභිමානයක් එක්කර ඇත.

ලංකාවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක් වන සීදුව බ්‍රේව් සංගීත කණ්ඩායම මෙහිදී සංගීතය සපයන අතර සේනානායක වේරලියද්ද ඇතුළු ගායක ගායිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම ප්‍රසංගය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇත. මෙම ප්‍රසංගය වසරක් පාසා පැවැත්වීමට ද ආදි ශිෂ්‍ය සංගමය බලාපොරොත්තුවෙන් සිටී.

 


කාරියකරවන අභ්‍යාස ආයතනයෙන් දේශපාලන කාටුන් ඇඳීම පිළිබඳ පාඨමාලාවක්

මුද්‍රිත ජනමාධ්‍ය සඳහා දේශපාලන කාටුන් ශිල්පීන් පුහුණු කිරීමේ පාඨමාලාවක් නුගේගොඩ කාරියකරවන අභ්‍යාස ආයතනයේදී ආරම්භ වේ. මාස 10ක කාලසීමාවක් පුරා පැවැත්වෙන මෙම පාඨමාලාව සතියේ සෑම සෙනසුරාදාවකම සවස 3.00සිට 6.00දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත. වයස් භේදයක් නොමැත. ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් විසින් සම්පූර්ණයෙන්ම ප්‍රායෝගිකව පුහුණු කෙරෙන මෙම පාඨමාලාව සඳහා මෙම විෂය පිළිබඳව කැමැත්තක් ඇති අයට සම්බන්ධ විය හැකිය. විමසීම් 0762047718. කාරියකරවන අභ්‍යාස ආයතනය, 15/3 ශාන්ත ජෝසප් පාර, නුගේගොඩ.


එඩ්වඩ්ගේ මාරම්බරී 16 වැනිදා ප්‍රසංගයට බන්දු සමරසිංහ ද එක් වෙයි

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය ලබන 16 වැනි ඉරිදා සවස 6.30ට මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ. කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව මෙවර ප්‍රසංගය සංවිධානය කරයි. ප්‍රවීණ හාස්‍ය රංගනවේදී බන්දු සමරසිංහ සහ එඩ්වඩ් ජයකොඩි කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ එකම පන්තියේ අකුරු කළ සිසුහු දෙදෙනෙකි. තම පාසලේ ප්‍රාථමික අංශයේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් පැවැත්වෙන මෙවර මාරම්බරී ප්‍රසංගයට බන්දුගේ විශේෂ අංගයක්ද එකතු වනුයේ එහෙයිනි.

විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ ශාරන්‍යා ජයකොඩි යුග ගායනයෙන් එකතු වන අතර, චන්දීප ජයකොඩිගේ විශේෂ ගායනයක්ද මෙහිදි ඉදිරිපත් කෙරේ.

මාරම්බරී ඒක පුද්ගල ප්‍රසංගයේ සංගීත අධ්‍යක්ෂණය සම්පත් ශ්‍රී චමින්ද ගෙනි. කථනය ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ ගෙනි.

ශාන්ත මරියා වත්මන් පාසල් සිසුන්ගේ අභිවෘද්ධිය පතා මෙම ප්‍රසංගයට පැමිණෙන ලෙස ආදි ශිෂ්‍යන්ගෙන් මෙන්ම සියලු රසික රසිකාවන්ගෙන්ද එඩ්වඩ් ඉල්ලා සිටී.


'ජන හද අවදිකළ අපේ යුගයේ පුරුෂයෝ' ග්‍රන්ථය නිළි රැජනට පිළිගන්වමින්

මාධ්‍යවේදී සචිත්‍ර නේරංජන ඇල්වලගේ විසින් රචිත ජනහද අවදිකළ අපේ යුගයේ පුරුෂයෝ ග්‍රන්ථය සහ කතුවරයාගේ තවත් ග්‍රන්ථයක් පසුගියදා දළුගම සරසවි චිත්‍රාගාරයේදි සිදු වූ අතර එහිදී රචකයා එම ග්‍රන්ථ ප්‍රවීණ සිනමා නිළි මාලිනී ෆොන්සේකා මහත්මියට ප්‍රදානය කළ අයුරු. සචිත්‍ර නේරංජන මහතාගේ මවුපියෝද අසල වෙති.

ඡායාරූප- ලයනල් පී. පෙරේරා


ඇමෙරිකාවේ වෙසෙන සූරියගේ ප්‍රථම වනජීවි සේයාරූ දැක්ම15 දා

ස්වභාවධර්මයේ මනස්කාන්ත ඇස යන තේමාව යටතේ 15 සහ 16 දෙදින ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලෝස් ඇන්ජලීස් නුවර univercity of the west කලාගාරයේදි සූරිය ජයලත් පෙරේරා මහතාගේ වනජීවි හා ‍‍ඓතිහාසික උරුමයන්ගෙන් විදහාදැක්වෙන ඡායාරූප 100කින් සමන්විත ප්‍රදර්ශනය මේ මස 15 සහ 16 දෙදින ඇමරිකා එක්සත් ජනපදයේදි පැවැත්වේ.

පරිසරවේදියකු, ඡායාරූප ශිල්පියකු, ග්‍රන්ථ කතුවරයකු හා පර්යේෂකයකුවන සූරිය පෙරේරා ශ්‍රි ලංකා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති නිලධාරියකු හා කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහලේ ගුරුවරයකු වශයෙන් සේවය කෙළේය.

ඔහු කැලිෆෝනියා ස්ටේට් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වන අතර ඇමෙරිකා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ නිර්මාතෘ සහ සභාපතිද වේ. ඔහුගේ දෙවැනි ඡායාරූප ප්‍රදර්ශනය වන මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්මානනීය මහාචාර්ය ජේ. බී දිසානායක මහතා සහභාගි වීමට නියමිතය. තවද විශේෂ ආරාධිත අමුත්තන් ලෙස කැලිෆෝනියාවේ ශ්‍රී ලංකා කන්සල් ජනරාල් ස්වර්ණා ගුණරත්න මහත්මිය හා ස්වාධීන රූපවාහිනී වැඩසටහන් කළමනාකරු ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතාද සහභාගි වේ.


Band the Band ඉරිදා නුවරින් ඇරැඹෙයි

කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය, අධ්‍යාපන අමාත්‍යාංශයේ පූර්ණ අවසරය මත, අධ්‍යාපන අමාත්‍යංශයේ සෞන්දර්ය අධ්‍යන අංශයේ මගපෙන්වීම යටතේ ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවේ ප්‍රථම අන්තර් පාඨශාලීය බටහිර තූර්යවාදක කණ්ඩායම් ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ කූටප්‍රාප්තිය Band ද band ලබන ඉරිදා උදෑසන නුවර පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතන පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය. දිවයිනේ බටහිර තූර්යවාදක කණ්ඩායම් (බ්‍රාස් බෑන්ඩ්) පවත්වාගෙන යන පාසල් කරට කර තරගවදින මෙම තරගාවලිය ශ්‍රී ලාංකේය රියැලිටි තරග අතර නවමු අත්දැකීමකි.

දිවයිනේ සියලු පළාත් සහ දිස්ත්‍රික්ක ආවරණයෙන් පසුව මෙම තරගාවලියේ අවසන් ජාතික තරගය පැවැත්වීමට නියමිත අතර එහි ජයග්‍රාහකයින් සඳහා වටිනා ත්‍යාග පිරිනැමීමට සැලසුම්කොට තිබේ.

ශ්‍රී ලාංකේය පාසල් බටහිර තූර්යවාදක කණ්ඩායම් ජාත්‍යන්තර තලයට ගෙනයාම සහ තරගකාරීත්වය හරහා ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් වැඩිදියුණු කිරීම මෙම තරගාවලියේ අරමුණයි.

මෙම තරගාවලිය ස්වාධීන රූපවාහිනී සේවාව ඔස්සේ වැඩසටහන් විසි එකක් හරහා විකාශයවේ.

ශ්‍රී ලංකාවේ තූර්යවාදක කණ්ඩායම් රියැලිටියේ මියැසි අරුමැසිය විඳගැනීමට එක්වන ලෙස කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමය සංගීතප්‍රේමීනට ආරාධනා කරසිටී. මේ පිළිබඳ වැඩිදුර විස්තර www.bandtheband.lk වෙබ් අඩවිය මඟින් ලබාගත හැකිය.


එස්. විජේසිංහගේ නාට්‍ය දෙකක් අද

රාජ්‍ය සම්මානලාභී එස්. විජේසිංහ නිර්මාණය කළ 'යකා මළා' සහ'අතිගරු වානගුරු සමග මමයි ඩොක්ටර්' නාට්‍ය යුගලය අද සවස 3.30ට සහ 6.30ට ලුම්බිණි රඟහලේදි වේදිකා ගතවේ. මිලින්ද පෙරේරා, උදය කුමාරි, දයානන්ද හේවගේ, ජයතිලක හේරත්, ෂිරාන් පීරිස් , ධම්මිකා, සමන් රංගනයෙන් සහභාගි වේ.

අදහස්