සිනා කතා | සිළුමිණ

සිනා කතා

එයා නළුවෙක්ද ?

ප්‍රවීණ ගත්කතුවරයකු මෙන්ම පිරිවර්තකයකු ලෙස නමක් දිනා සිටි කළුබෝවිල සිරිල් සී. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී ඇති බැව් දැනගත් සුගතදාස මහතා මන්ත්‍රීතුමා හමුවී එම පුවත සැල කළේය.

‘‘මන්ත්‍රීතුමා, සිරිල් සී. පෙරේරා මහත්තයා මැරිලා. ඒ මළ ගෙදර ගිහින් ආවොත් හොඳයි නේද ?‘‘

‘‘කවුද බං ඔය සිරිල් සී. පෙරේරා කියන්නේ ?‘ ඇන්තනී සී. පෙරේරා කියල නළුවෙක් ගැන නම් මං අහලා තියෙනවා. සිරිල් සී. පෙරේරා කියන්නේ ඇන්තනි සී. පෙරේරාගේ සහෝදරයෙක්ද?‘‘ තොල පෙරලමින් හිස දෙපසට වැනූ මන්ත්‍රීතුමා කීවේය.

දැන් මොකාටද එන්ඩ හදන්නේ ?

‘‘ලාලනී අපේ අලුත් නිර්මාණයක් පටන් ගන්ඩ දැන් කාලේ හොඳයි කියලයි මට නං හිතෙන්නේ. අපි නාට්‍ය 02 ක් හදල දැන් අවුරුදු කීපයක්ම ගෙවුනණේ. අනික අපේ ෆිල්ම් එක කරලත් දැන් අවුරුද්දකට කිට්ටුයි.‘‘ රාත්‍රී ආහාර ගනිමින් සිටිද්දී කීර්ති තම බිරිය දෙස බලා කීවේ බලාපොරොත්තු දල්වාලමිනි.

‘‘අනේ මගේ කට. ඒක කිව්ව ලස්සන විතරක්. ඇයි මනුස්සයෝ තමුසේ මෙතැන කෙළවරක් නැතුව කන් කෙඳිරි ගාලා හදපු නාට්‍ය වලට වුණු හරිය මතකයි නේ. ඒ මදිවට චිත්‍රපටයක් අපේ සබ්බ සේසතම නැති කළා . කිව්වෙනං ඒක කවුරුවත් මෙතෙක් නොකරපු විශිෂ්ට නිර්මාණයක් වෙන එක සිකුරුයි කියලා. ඒ ශ්‍රේෂ්ඨ නිර්මාණය ඇඳ යට පුස්කනවා. දැන් තවත් සැරයක් මාව අන්දනවද තමුසේ ඒ සැරේ හදන්නේ ?‘‘ ලාලනී කීවේ කෝපයෙන් පරල වෙමිනි.

කොච්චර දැම්මත් ඉවරයි.

‘‘මේ වැයික්කියේ හිඟා කන හැම හිඟන්නකුටම වඩා වැඩි මුදලක් උඹ දවස ගානෙ හොයනවනෙ. ඉතින් උඹට පුළුවන්නෙ අවුරුද්දක් ගණනේ ඔය වැඩිපුර ලැබෙන මුදල් එකතු කරලා මේ හිඟන රස්සාවෙන් අයින් වෙන්ඩ. ‘‘ බණ්ඩා තම මිතුරු හිඟන්නකු වූ චාලි දෙස බලා කීවේය.

‘‘උඹ ඔය කතා කරන්නෙ අපේ ගෑනි ගැන නොදැනයි. මමත් සහේට ගත්තෙ මෝය කටක් වගේ ගෑනියෙක් නොවැ. ඒ මෝය කටට කොයිතරම් හිඟාකාලා ගෙනිහින් දැම්මත් ඒවා සුටුස් ගාලා අතුරුදන් වෙනවා. ‘‘ චාලි කීවේ බිරිය සිහිකර කෝපයෙන් වෙව්ලමිනි.

මොකෝ බැරි

‘‘ හිරේ ගියයි කියල ඔහේ බොරුවට අඬලා දොඩලා දුක්වෙන්ඩ එපා නෝනෙ. ඔයාටයි ළමයි තුන්දෙනාටයි ජීවත් වෙන්ඩ ඕන කරන දේවලුයි, ළමයින්ගේ ඉගෙනීමේ කටයුතු වලට ඕනැකරන දේවලුයි ගැන මම බලාගන්නම්.‘‘ පච්ච සිරා සිරියාවතීට කීවේ නඩු තීන්දුවෙන් පසු තමා හිරගෙදර බලා රැගෙන යාමට පෙරාතුවය.

‘‘ හිරේ ඉඳගෙන කොහොමද මනුස්සයෝ ඔය වගේ දේවල් කරන්නෙ. ‘‘ සිරියාවතී ඇසුවේ තම දුක කේන්තියකට හරවා ගනිමිනි.

‘‘මොකෝ බැරි සිරියාවතී. ඔය කුඩු කාරයෝ හෑන්ඩ්ෆෝන් ළඟ තියාගෙන හිරේ ඉඳගෙන කරන දේවල් වල හැටියට ඕකත් කජ්ජක්ද බං.‘‘ සිරා දත් විලිස්සන හිනාවකින් යුතුව කීවේය.

අදහස්