සැමියා සොය­මින් සැරි­ස­රන රූමත් ගැහැනු අව­තා­රය | සිළුමිණ

සැමියා සොය­මින් සැරි­ස­රන රූමත් ගැහැනු අව­තා­රය

නාලේ බා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්, උත්තර කන්නඩ, කර්නාටක ආදී ප්‍රාන්ත ගණනාවකම ප්‍රචලිත නවීන ජන කතාවකි. අදට ද එම ප්‍රාන්තවල කුඩා නගර සහ ගම්වල බිත්තිවල ලියූ වදන් පෙළක් තිබේ. ‘ඕ ස්ත්‍රී කාල් ආනා’ ඒ වදන් පෙළයි. අපේ රටේ බාලගිරි දෝෂයත් ‘ඕ ස්ත්‍රී කාල් ආනා’ අතරත් ඇත්තේ ළඟම ඥාතිත්වයකි. ‘ගැහැනියේ අද නොවේ හෙට එන්න’ එහි අරුතයි.

මනාලියක වෙසින් එන ගැහැනු අවතාරයක් සැමියා සොයමින් ගම් නියම්ගම් පීරමින් සැරි සරයි. ඇය නිවෙස්වල සිටින පවුලේ එකම ආදායම් උපයන්නා වන පිරිමියා පැහැර ගනී.

අතිශය රූමත් මේ ගැහැනු අවතාරය එසේ පිරිමින් පැහැර ගෙන කඳුකරයට ගෙන ගොස් මරා දමයි. මෙලෙස ඇය සිදු කරන්නේ පිරිමින්ගෙන් ඇයට සිදු වූ කෘරකම්වලින් පලි ගැනීමට බව පැවසෙන කතාද ඇත. එක්දහස් නවසිය අනූ ගණන්වලදී කර්නාටක ප්‍රාන්තය සැබෑවටම මේ අත්භූත ගැහැනිය නිසා බියෙන් ඇලළිණි. ඇයට ඇති බිය නිසා නිවැසියන් රාත්‍රියට දොරවල් වසාගෙන සිටියද ඥාතියකු සේ අමතා දොරවල් අරවා තිබේ. එසේ දොර විවර කළ පිරිමින් මිය යනු ඇති බවට රාවයක් පැතිරිණි. භූත ගැහැනියගෙන් ගැලවීමට නි‍ෙවසේ දොරවල හෙට එන්න යනුවෙන් ලිවීමට වැසියෝ පෙලඹුණහ. එම වැකිය කියවන භූත ගැහැනිය පසු දිනද පැමිණෙයි. මෙය චක්‍රයක් සේ සිදුවන්නකි. වසර දෙදහස් ගණන්වල මැද දක්වාම මෙම භූත ගැහැනිය ගැන වාර්තා වී ඇත. අනූව දශකයේ කර්නාටක ප්‍රාන්තය කැලඹූ භූත කාන්තාව දැන් බොලිවුඩයට පැමිණ සිටින්නීය. ඒ ‘ස්ත්‍රී’ නමිනි.

නාලේ බා ඇසුරින් නිර්මාණය වී ප්‍රහසනයත්, භයානක රසයත් මුසු කරමින් සාම්ප්‍රදායික ආදර සිත්තමකින් ඔබ්බට ප්‍රේක්ෂකයන් රැගෙන යන ‘ස්ත්‍රී’ අගෝස්තු 31 වැනි දා සිට අති සාර්ථක ලෙසින් තිරගත වෙයි.

අධ්‍යක්ෂ අමර් කෞෂික් අද්භූත කාන්තාව ගැන මුලින්ම වාර්තාවුණු මධ්‍ය ප්‍රදේශයේ චන්දේරි ගමේ සිනමා පටය රූගත කිරීම ඇරැඹුවේ එය සත්‍ය සිදුවීමට වඩාත් සමීප කිරීමට ය. බෝපාල් හිදී දෙවැනි රූගත කිරීම ඇරැඹුණු අතර එයද මේ භූත කතාව අත්විඳි පළාතකි.

ප්‍රදේශවාසීන් සිනමා කණ්ඩායම අද්භූත බලවේගවලින් අරක්ෂාකර ගැනීමට උපදෙස් රැසක් ලබාදී ඇති අතර ඔවුන්ද ඒ උපදෙස් මාලා රූගත කිරීමේදී අකුරටම පිළිපැද තිබේ. මෙහි ප්‍රධාන චරිතය ‘විකී’ සඳහා විශිෂ්ට රංගවේදී රාජ්කුමාර් රාඕ තෝරා ගනු ලැබූ අතර නන්නාඳුනන තරුණියගේ චරිතය නව පරපුරේ දක්ෂ තාරකාවක වන ශ්‍රද්ධා කපූර්ට හිමි විය.

මෙහිදී රාජ්කුමාර්ට ඇඳුම් මැසීමට දින විස්සක පුහුණුවක් ලබාදී ඇත. ඔහුට දින විස්ස අවසානයේ කාන්තා හා පිරිමි ඇඳුම් මැසීමට හොඳ හැකියාවක් ලැබී ඇත. සිනමාපටයට ස්ත්‍රී යන නම තබා ඇත්තේ ද රාජ් කුමාර් රාඕය.

ප්‍රවීණ නළු ශක්ති කපූර්ගේ දියණිය ශ්‍රද්ධාගේ ‘බාගි’ (2016) සිනමා පටය සාර්ථක ලෙස තිරගත වූ අතර, ඇයගේ දෙවැනි අතිසාර්ථක සිනමා පටය ‘ස්ත්‍රීය’. මෙහි මිතුරන් තිදෙනා ලෙස රඟන රාජ්කුමාර් රාඕ, (විකී) අපර්ශක්ති කුරානා (බිට්ටු) සහ අභිෂේක් බෙනර්ජි (ජානා) නළුවන්ගේ රංගනය අතිවිශිෂ්ට බවත්, ශ්‍රද්ධා ද චරිතයට ඉහළම සාධාරණය සිදු කර ඇති බවත් බොහෝ විචාරකයන්ගේ අදහසය. රාජ්කුමාර් රාඕ සහ ශ්‍රද්ධා කපූර් තිරයේ පෙම්වතුන් වන්නේ ප්‍රථමවරටය. රාජ් කුමාර් ප්‍රධාන චරිතය රඟපා වැඩිම ආදායමක් ලද පළමු සිනමා පටය මෙය වේ.

නමක් නැති රූමත් තරුණිය වාර්ෂිකව උත්සව දිනවලට පැමිණෙන අතර කෙදිනකවත් කෝවිලට යන්නේ නැත. මේ අරුම පුදුම තරුණියට විකී පෙම් බඳී. එහෙත් ඇය ඔහුට පෙම් කකරන්නේ සැබෑවටම ද? අත්භූත කාන්තාව කවුරුන්ද? ආදරය බිය කුතුහලය පිරිලොවකට ප්‍රේක්ෂකයන් මොහොතක් පාසා කැඳවාගෙන යන ස්ත්‍රී සිනමා පටයට ජාතික සම්මානලාභීන් පන්කජ් ත්‍රිපාති (රුද්‍රා) , විජය රාස් (ශ්‍රාස්ත්‍රි) ෆ්ලෝරා ෂයිනි, ආකාෂ් දබාඩේ, අතුල් ශ්‍රීවාස්ත්‍රව ආදීන්ද රංගනයෙන් දායක වී ඇත. සිනමාපටයට ගීත හතරක් ඇතුළත්ය. දෙවැන්නකට පසුබිම සකසමින් ස්ත්‍රී සිනමාපටය නිමවන්නේ ‘ගැහැනියේ අද නොවේ හෙට පැමිණෙන්න’ පණිවිඩයෙන් නොව ගැහැනියට ගෞරව කළ යුතුයි යන අදහස ලියූ ස්ත්‍රියකගේ ප්‍රතිමාවක් සමඟ කාන්තාව බලාත්මක කිරීමේ වටිනා පණිවිඩයද සමාජයට ගෙන එමිනි.


Searching

දැනට තිරගත වන අමෙරිකානු ක්‍රියාදාම සිනමාපටයක් වන ‘සර්චිං‘ අනීෂ් චැග්නටි ගේ මංගල සිනමා අධ්‍යක්ෂණයයි. සිනමා පටයේ පිටපත ද ඔහුගේමය. තාක්ෂණය අපේ ජීවිතවල කොටස් කරුවන් වී ජීවිතවලට මොනතරම් බලපෑමක් එල්ල කරනවාද, සර්චිං සිනමා පටයේ පියකු විසින් පැන ගිය සොලොස් හැවිරිදි දියණිය ඇයගේ ලැප්ටොප් ,ජංගම දුරකතන ආධාරයෙන් සොයා යන්නේ රහස් පරික්ෂක සහාය ද ඇතිවය. ඩේවිඩ් කිම් (ජෝන් චෝ) පියා ලෙස රඟන අතර, දියණිය මාගොට් ලෙස රඟන්නේ මිෂෙල් ලා ය. බිරිය (සාරා සෝන්) මිය ගිය පසු පියා හා දියණිය අතර එතරම් සමීප සබඳතාවක් නොපවතී.

එහෙත් දියණිය පැන ගිය පසු ඔහු සැබෑ පිය සෙනෙහසකින් ඇයව සොයන අතර දියණියටද පියාගේ අගය දැනේ. මෙහි ජෝං චෝ ගේ රංගනය

දෙස් විදෙස් ඇගයුමට පාත්‍ර වී ඇත. මෙය වසරේ හොඳම ක්‍රියාදාම සිනමාපවලින් එකක් ලෙස සැලකේ. ක්‍රියාදාම සිනමා පටයක රඟ පෑ

මුල්ම ආසියානු අමරිකානු නළුවා බවට මෙහි රංගනයත් සමඟ ජෝං චෝ පත් වී අවසන් ය.


60 Vayadhu Maaniram

සිනමා පට ප්‍රති නිර්මාණය වීම සුලබය. ‘ගෝධි බාන්නා සාධාරණ නිකත්තු නිකත්තු‘ කන්නඩ සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් වූ 60 වයධු මානිරම් මේ දිනවල තිරගතවන ඇගයුමට ලක් වූ සිනමා පටයකි.

60 වයධු මානිරම් කතාව ගෙතී ඇත්තේ 60 හැවරිදි මහාචාර්ය ගෝවින්ද රාජ්ම් සහ ඔහුගේ පුතු ශිවා කේන්ද්‍ර කරගනිමිනි. මතකය අහිමි කරන රෝගයක් වූ ඇල්ෂයිමර්

 

 

රෝගයෙන් පෙළෙන 60 හැවිරිදි ගෝවින්ද රාජන් සාත්තු සේවා මධ්‍යස්තානයකට ඇතුළත් කර තිබිණි. දිනක් ශිවා පියාට කමිසයක් රැගෙන දීමට මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන ආ විට ඔහු ඇඳුම් තෝරද්දී පියා අතුරුදන් වී ඇති බව දැනගනී. ශිවා උපස්ථායක වෛද්‍යවරිය සමඟ පියා සොයා යයි.

මහාචාර්යවරයා අහම්බෙන් මිනීමරුවකුගේ වාහානයකට ගොඩ වීම නිසා මෙසේ ශිවාගෙන් මඟහැරිණි. සිනමාපටය කතා පෙළකි. පිය පුතු සබඳතාව, අපරාධ ලෝකය ශිවා සහ

 

උපස්ථායක වෛද්‍යවරිය අතර ඇතිවන ප්‍රේමය එම කතා පෙළට විෂය වේ.

මහාචාර්ය ගෝවින්ද රාජන් ලෙස ප්‍රකාශ් රාජ් ද ඔහුගේ පුතු ශිවා ලෙස වික්‍රම ප්‍රභූ ද උපස්ථායක වෛදයවරිය ලෙස ඉන්ද්‍රජා ද රංගනයෙන් දායක වී ඇත. මෙය රාධා මෝහන් ගේ අධ්‍යක්ෂණයකි. සිනමා පටයේ ප්‍රකාශ් රාජ් ඇතුළු සියලු නළු නිළියන්ගේ රංගනයට සහ හැඟිම්බර කතාවට ප්‍රේක්ෂක විචාරද නොමඳ පැසසුම් ලැබමින් පවතී.

Comments