වතුකරයේ කාන්තාවන් ගැන අලුත්ම සමීක්ෂණය මෙන්න! | සිළුමිණ

වතුකරයේ කාන්තාවන් ගැන අලුත්ම සමීක්ෂණය මෙන්න!

සෙන්ඩ් (ACCEND) හෙවත් පාරිසරික සහ පෝෂණමය සංවර්ධනයක් ඇති කරනුවස් ප්‍රජාවනට සහාය වීම යනු ඇඩ්රා සහ ඔක්ස්ෆෑම් සංවිධාන එක්ව 2017 වසරේ පටන් මාස 48 ව්‍යාපෘතියකි. මාතලේ, නුවරඑළිය සහ මොනරාගල යන දිස්ත්‍රික්ක 3න කේන්ද්‍ර කරගනිමින් යුරෝපා සංගමයේ ආධාර ඇතිව මේ වන විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ. මෙමඟින් ජලය, සනීපාරක්ෂාව, සෞඛ්‍යය සහ පෝෂණය යන අංශවල ඒකාබද්ධ සහ අන්‍යොන්‍ය වශයෙන් වගකියන සේවා සැපයුම් පද්ධතියක් කරා ප්‍රජා සහ රාජ්‍ය ආයතන යොමු කෙරෙන අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය, ආපදා අවදානම අඩු කිරීම සහ තිරසර සංවර්ධනය මෙහි ඉලක්කය වේ. මේ සඳහා අඹගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ සමීක්ෂණයක් සිදු කළ අතර, ඉන් අනාවරණය වූ තොරතුරු මෙරට ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අත්දැකීම්වල හරස්කඩක් විධාරණය කරයි.

අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර් 20කි. මේ මෙහි ග්‍රාම නිලධාරි වසම් 67ක් සහ වතු 458ක් තුළ වෙසෙන ජනගහනය 205, 273 (2018 වසරේදී) කි.

කාන්තා ජනගහනය 108, 275 වන අතර එය සමස්ත ජනගහනයෙන් 52.7% කි. ඒ අනුව කාන්තා ජනගහනයේ සංයුතිය මෙසේය. වතුවල ජීවත්වන කාන්තාවන් සංඛ්‍යාව 68.8% ක් වන අතර ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සංඛ්‍යාව 24.2% කි.

නාගරික ප්‍රදේශවල ජීවත්වන සංඛ්‍යාව 6% කි. මෙහි දී අධ්‍යයනයට භාජනය වූ සියලුම කාන්තාවන් වයස අවුරුදු 15 ට වැඩි වූ අතර ඔවුනගේ සංයුතිය වයස අවුරුදු 25 - 34 අතර 30.9% ක්, වයස අවුරුදු 35 - 44 අතර 26.4% ක් සහ වයස අවුරුදු 55 සහ ඊට වැඩි පිරිස 16.0% මීට යොදා ගැනිණ.

අදාළ සමීක්ෂණයේ දී ප්‍රශ්න කිරීමට ලක්වූ කාන්තාවන් 73.4% කට දමිළ බස කියවීමට හැකි විය. ඉංග්‍රිසි කියවිය නොහැකි 76.9% ක්, සිංහල කියවිය නොහැකි 74.4% ක් සහ දමිළ කියවිය නොහැකි 26.6% ක් ද ඒ අතර විය. සමීක්ෂණයේ දී ප්‍රශ්න කිරීමට ලක්වූ කාන්තාවන් ගෙන් 9.7% ක් (38) ක් තමන් පාසල් අධ්‍යාපනයක් නොලද බව පැවසූහ.

සෙසු පිරිසෙන් පස්වන වසර දක්වා උගත් 14.1% ක් අපොස සාමානන්‍ පෙළ දක්වා උගත් 43.3% ක් අපොස උසස් පෙළ හෝ ඊට වැඩි 12.8% ක් සහ විශ්වවිද්‍යාල උපාධියක් ලද 0.3% විය. සමීක්ෂණයට සහභාගී වූ කාන්තාවන්ගේ සහකරුවන්ගේ (ස්වාමිපුරුෂයන්ගේ) අධ්‍යාපන මට්ටමද මෙයට ආසන්න තත්ත්වයක පවතී යැයි සලකන ලදි. 

සෞඛ්‍යය සහ යහපැවැත්ම

සෞඛ්‍ය සම්පන්න හැසිරීමකට අයෙක්ව යොමු වීමේ දී හෝ යොමු කිරීමේ දී බලපාන කරුණක් වනුයේ සිය සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහු හෝ ඇය දරන අදහසයි.

අධ්‍යයනයට සහභාගී වූවන් ගෙන් “පොදුවේ ගත් කළ ඔබගේ සමස්ත සෞඛ්‍ය තත්ත්වය විස්තර කරන්නේ කෙසේද?” යනුවෙන් විමසූ කළ ආසන්න ලෙස 70% ක්ම සිය සෞඛ්‍ය තත්ත්වය යහපත් හෝ විශිෂ්ට යනුවෙන් සලකුණු කර තිබුණි. තම සෞඛ්‍ය තත්ත්වය දුර්වල යැයි අදහස් කර තිබුණේ 5% ක පිරිසක් පමණි. කෙසේ වෙතත් කායික හා මානසික රෝග ලක්ෂණ 12 ක් ගැන විශේෂිතව කළ ප්‍රශ්න කිරීමේ දී පෙනී ගියේ සැබෑ තත්ත්වය එය නොවන බවයි.

ඔවුන්ගේ ශාරීරික හෝ මානසික හෝ එම අංශ දෙකෙහිම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන අතර, නොදන්නාකම, අධික ලෙස වැඩ කිරීම හෝ තමන් ගැන සැලකිලිමත් නොවීම හේතුවෙන් මෙම පරස්පරභාවය ඇති විය හැකි නිසාත්, සෞඛ්‍ය වැඩ සටහන් මඟින් එය විසඳිය හැකි නිසාත්, මෙම වෙනස සැලකිල්ලට යොමුකර තිබුණි.

සියදවි නසා ගැනීමේ අදහස

මෙම අධ්‍යයනය සියදිවි නසා ගැනීම ගැන නොවුණද, සමීක්ෂණයේ දී ලබා දුන් ප්‍රශ්න 5 ප්‍රශ්ණ දෙකක් මඟින් ඒ පිළිබඳව තොරතුරු සොයා ගැනීමට උත්සාහ කරන ලද අතර එහි දී 27.0% පමණ පිරිසක් තුළ සිය දිවි නසාගැනීමේ සිතුවිලි පැවැති බව නිරීක්ෂණය විය.

එහෙත් ප්‍රශ්නය වඩාත් නිශ්චිතව “ඔබගේ ජීවිතයේ කවදා හෝ ඔබගේ ජීවිතය නසා ගැනීමක් පිළිබඳව සිතා ඇති ද?” වශයෙන් විමසූ කළ ‘ඔව්’ යනුවෙන් පිළිතුරු ලැබුණේ 10% කින් පමණි. වෙනත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරක කළ අධ්‍යයනයකින් ලද ප්‍රතිඵලය වූ 7% ක පිරිසක් තුළ සියදිවි නැති කර ගැනීමේ සිතුවිලි පැවතීම මෙය හා මනාව සැසඳේ. මෙය තවදුරටත් සෙවිය යුතු හා මැදිහත්වීම් කළ යුතු කරුණක් බව පෙන්වාදී තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය හා අපයෝජනය

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්වූ හිංසනය (Gender-based violence; GBV) හා අපයෝජනය (abuse) ආකාර පහකින් සිදු වේ. එනම් ලිංගික හිංසනය, ශාරීරික හිංසනය, චිත්තවේගී හිංසනය, ආර්ථික අපයෝජනය සහ සමාජයීය අපයෝජනය (හැසිරීම පාලනයට තැත් කිරීම) යනුවෙනි.

මේවායින් එකක් හෝ සමීප සහකරු අතින් සිය සහකාරියට සිදු වේ නම්, එය ‘සමීප සහකරු ප්‍රණ්ඩත්වය’(Intimate Partner Violence; IPV) ලෙස හඳුන්වන අතර, “සමීක්ෂණයට පෙර අවසන් මාස 12 ක කාලය තුළ” සහ “තම ජීවිත කාලය තුළ යම් අවස්ථාවකදී” යන දර්ශක 2 ක් යටතේ එය මනිනු ලැබිනි.

මෙයින් පළමුවැන්න තිරසර සංවර්ධනයේ තෙවැනි ඉලක්කය වන “සෑම වයසකම සියලු දෙනාට සෞඛ්‍යමත් ජීවිතයක් සහතික කිරීම සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම” මැන බලන ප්‍රධාන දර්ශකයකි.

වෛවාහක ස්ත්‍රී දූෂණය දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස හැඳින්වෙන්නේ නැති වුවද, වෛවාහක හෝ වෙනත් ආකාරයක බලෙන් කෙරෙන ඕනෑම ලිංගික කටයුත්තක් යහපත් ලිංගික සම්බන්ධතාවක් සේ පිළිගත නොහැකිය. සමීක්ෂණයට ලක්වූ කාන්තාවන් ගෙන් 10% ක් සමීක්ෂණයට පෙර මාස 12 ක කාලය තුළ ලිංගික හිංසනයට ලක්වන බවද, 30% ක් කාන්තාවන් ඔවුන්ගේ ජීවිත කාලය තුළ යම් අවස්ථාවක දී ලිංගික හිංසනයට ලක්ව ඇති බව ද අධ්‍යයනයේ දත්තවලින් පෙනිණි.

ගත වූ අවසන් මාස 12 ක කාලය තුළ ලිංගික හිංසනය හා ශාරීරික හිංසනය යන දෙකටම ලක් වූ කාන්තාවන් ගේ ප්‍රතිශතය 3.7% (11) ක් වූ අතර කාන්තාවන් ගෙන් 20.1% (79) ක් තම ජීවිත කාලය තුළ යම් අවස්ථාවක දී ඒවාට ලක්ව තිබුණි. ගත වූ මාස 12 ක කාලය තුළ ලිංගික හිංසනය හා ශාරීරික හිංසනය යන දෙකෙන් එකකට පමණක් ලක් වූ කාන්තාවන් ප්‍රතිශතය 13.0% (39) ක් වූ අතර තම ජීවිත කාලය තුළ යම් අවස්ථාවක දී එම හිංසනයන් දෙකෙන් එකකට පමණක් භාජනයවූ කාන්තාවන් ගේ ප්‍රතිශතය 37.7% ක් විය. 

තුන් (ලිංගික හිංසනය, ශාරීරික හිංසනය හා චිත්තවේගී හිංසනය) ආකාරයේම හිංසනයන්ට ලක්වූ කාන්තාවන් ගේ ප්‍රතිශතය 20.7% ක් විය. ආර්ථික අපයෝජනයට ලක් වීම සම්බන්ධ ප්‍රශ්ණ 4 ටම ‘ඔව්’ යනුවෙන් පිළිතුරු දුන් කාන්තාවන් 300 න් 7.7% ක්ම සමීක්ෂණයට පෙර මාස 12 ක කාලය තුළ එම අපයෝජනයට ලක්වූවන් වන අතර 32.3% ක් තම ජීවිත කාලය තුළ යම් අවස්ථාවක දී එයට ලක්ව තිබුණි.

වයස අවුරුදු 15න් පසු සමීප සහකරු නොවන වෙනත් අයකු ඔබට පහර දී හෝ ශාරීරිකව හිංසනයක් කර ඇති දැයි යනුවෙන් විමසූ පැනයට සහභාගි වූ කාන්තාවන් 394 දෙනාම පිළිතුරු දුන්හ. දෙන ලද පිළිතුරුවලින් ගම්‍ය වූයේ ඔවුන්ගෙන් 22.6% ක් සමීප සහකරු නොවන වෙනත් අයකුගෙන් පහර කෑමට ලක්ව තිබූ බවය.

වයස අවුරුදු 15න් පසු තම සමීප සහකරු නොවන වෙනත් අයකුගෙන් ලිංගික හිංසනයට ලක්වූ පිරිස 11.4% ක් විය. ලිංගික හිංසනයට ලක් වූ කාන්තාවන් 41 කගෙන් අදාළ අපරාධකරු පිළිබඳව විමසනු ලැබීය. එක් පුද්ගලයෙකුට වඩා වැඩි ගණනකින් කාන්තාවන් ලිංගික හිංසනයට ලක්ව ඇති බව පෙන්නුම් කරමින් අපරාධකරුවන් 45 දෙනකු ඔවුන් විසින් සඳහන් කරන ලදී. පුදුමයට කරුණක් වූයේ ළමා කළ තමන්ව ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයා ලෙස කාන්තාවන්ගෙන් 26.8% ක්ම සිය පියාව සඳහන් කිරීම සහ තවත් 14.6% ක් මාමණ්ඩියව සඳහන් කිරීමයි.

පියා ප්‍රධානියා වූ ධූරාවලි බල ව්‍යුහය ප්‍රබල දෙස මුල්බැස තිබීම සහ දුර්වල වාතාශ්‍රයෙන් යුතු ජනාකීර්ණ නිවාස සමහර විට මෙම තත්ත්වයට දායක වූවා විය හැකිය.

තමන්ව හිංසනයට ලක්වූ බව පැවසූ කාන්තාවන් 38 දෙනකුගෙන් “ඔබ එය වෙනත් අයකුට පැවසුවේද” යනුවෙන් විමසූ විට 36.8% ක්ම “කිසිවකුට පැවසුවේ නැත” යනුවෙන් පිළිතුරු දී තිබූ අතර 34.2% දෙනෙක් දෙමාපියන්ගෙන් අයෙකුට පැවසූ බව ද, 13.2% දෙනෙක් සැම්යාගේ දෙමාපියන්ගෙන් අයෙකුට දැන්වූ බවද, 10.5% දෙනෙක් ගුරුවරයකුට දැන්වූ බව ද, 7.9% ක් පවුල් සෞඛ්‍ය නිලධාරිනියට දැන්වූ බව ද සඳහන් කළහ.

Comments