මුහුදු ජලයේ තෙල් ඉවත් කරන්න පේරාදෙණිය සරසවියෙන් නව සොයා ගැනීමක් | සිළුමිණ

මුහුදු ජලයේ තෙල් ඉවත් කරන්න පේරාදෙණිය සරසවියෙන් නව සොයා ගැනීමක්

ක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවී මුහුදු බත් වීමට පටන් ගැනීමත් සමඟ අපට රටක් ලෙස මුහුණ දීමට සිදුව තිබෙන අභියෝග අතරින් ප්‍රධාන එකක් වන්නේ නැවේ තිබෙන ඉන්ධන මුහුදු ජලයට එක්වීම මගින් සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමය. රසායනික ද්‍රව්‍යයද සමඟ මෙම නැවේ බහාලුම් 1486 ක් තිබූ අතර ඒවායින් මෙරට මුහුදු කලාපයට සිදුවූ හානිය සුළුපටු එකක් නොවන බව මේ වන විට මියගොස් වෙරළ තීරයට ගොඩ ගසන කැස්බෑවන් හා ඩොල්ෆින් මත්ස්‍යයන් ඇතුළු මුහුදු ජීවින් ගෙන් පැහැදිලිය. මේ අතරට නැවේ තිබෙන ටොන් ගණනක් වන තෙල් ද මුහුදු ජලයට එකතු වුවහොත් සිදුවිය හැකි විනාශය සිතා ගැනීමට පවා නොහැකිය. එවැනි පසුබිමක මෙම තෙල් පරිසර හානිය අවම කරගනිමින් පිටතට ගැනීම සඳහා මෙරට මිනිරන් භාවිතකර අඩු වියදම් ක්‍රමවේදයක් සකස් කිරීමට මහචාර්යවරු කණ්ඩායමක් පියවර ගෙන තිබේ.

බෝගල පතලෙන් ප්‍රයෝජනයට නොගෙන ඉවත් කරනු ලබන මිනිරන් (Graphite) රසායනික ද්‍රව්‍යයක් භාවිත කර ව්‍යුහාත්මක වෙනසකට ලක්කර තෙල් උරා ගැනීමට සලස්වන මෙම විද්‍යාත්මක ක්‍රමවේදය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය අමරසූරිය පිටවල, මහනුවර හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ජී.ආර්.ඒ කුමාර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ හා විද්‍යාවේදී නදීශ ගුණවර්ධන යන විසින් සොයාගෙන තිබෙන අතර ඒ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්‍රයද හිමිව ඇත.

මෙම මිනිරන් ග්රෑම් එකකට තෙල් ග්රෑම් 120 ක් උරා ගැනීමට හැකි බවත් ඒවා ඇතුළත් කර විශේෂ මෙට්ටයක් සකස්කර එය මුහුදට දැමීමෙන් මුහුදු ජලයේ ඇති තෙල් සියල්ල ඊට උරා ගැනීමට සැලැස්විය හැකි බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මහතා කීය. 

පේරාදෙණිය විශ්ව විද්‍යාලය, මූලික අධ්‍යයන ආයතනය,බෝගල පතල හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය ඒකාබද්ධව මෙම නැවෙන් කාන්දුවී විසිරී යන තෙල් එකතු කිරීම සඳහා අවශ්‍යය මිනිරන් බහාලූ මෙට්ට විශේෂය මේවන විට සකස් කරමින් තිබෙන අතර ඉදිරි දින කිහිපයේදී ඒවා නැව පවතින ස්ථානයට දමා අත්හදා බැලීමට නියමිතය.

‘ මිනිරන් කැණීමේදී පිරිසිදු මිනිරන් (Pure Graphite) පමණක් ලබා ගැනීමට අවශ්‍යය නිසා පතලේ උමං බිත්ති වල ගල් වලට ඇලී තිබෙන මිනිරන් කොටසක් එහි ඉතිරිකර ඉතිරිය කඩා ගැනීම සාමාන්‍යය ක්‍රමවේදයයි. උමඟේ බිත්ති වල අඟල් කිහිපයක් ඝනකමට මිනිරන් ඉතිරි වී තිබෙන ගල් කඩා ඉවත් කරනවා.

ඒවා බෝගලේ පතලේ විශාල වශයෙන් ගොඩගසා තිබෙනවා. අපි කළේ මේ ගල්වල තැන්පත් වී තිබෙන මිනිරන් ඉවත්කර ගැනීමයි.

මිනිරන් වල පවතින විශේෂ ගුණයක් තමයි ජලයෙන් වෙන්කර තෙල් උරා ගැනීමට ඇති හැකියාව.මේක Hydrophobic ලෙස හඳුන්වනවා. මිනිරන් සකස් වී තිබෙන්නේ කාබන් තට්ටු (Layers) දහස් ගණනක එකතුවකින්.

අපි කළේ රසායනික ද්‍රව්‍යයක් භාවිතකර මේ තට්ටු (Layers) අතර පරතරය වැඩිකර ගැනීමයි.

එලෙස ප්‍රසාරණය කරන ලද මිනිරන් (expanded graphite) තෙල් මුසුව තිබෙන ජලයට දැමූ විට එහි තට්ටු (Layers) අතරට තෙල් ගමන්කර තැන්පත් වෙනවා.මේක ඉතාමත්ම අඩු වියදම් ක්‍රමවේදයක්. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් තෙල් මුහුදට එකතු වුවහොත් ඒවා ඉවත් කිරීමට භාවිත කළ හැකි හොඳම ක්‍රමවේදය මේකයි. අනිත් විශේෂම කාරණය තමයි පතල් වලින් ඉවත්කරන මිනිරන් කොටස් අඩංගු ගල් ඉදි කිරීම් කර්මාන්තයට යොදාගත හැකිවීම. මිනිරන් තට්ටුවක් (Layers) සහිතව තිබෙන කළු ගල් වලට බදාම අල්ලන්නේ නැහැ. ඒ නිසා ඒවා සාමාන්‍යයෙන් ප්‍රයෝජනයට ගැනීමේ හැකියාවක් නැහැ.

මිනිරන් තට්ටුව ඉවත් කිරීමෙන් පසු ඒවා ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවත් අප මින් ලබන ප්‍රතිලාභයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. සහිතව හන්තාන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මහචාර්ය ටී. ආර්. ඒ කුමාර පවසයි.

ලංකාවේ පතල් වලින් ලැබෙන මිනිරන් වල කාබන් 98% ක පමණ ප්‍රමාණයක් තිබෙනවා. මේවාහි කාබන් පතුරු වෙන්කර ගැනීමත් පහසුයි. මෙවැනි ආකාරයේ ඉස්තරම් මිනිරන් කැනඩාව, මැඩගස්කරය, එංගලන්තය වගේ රටවලින් සුළු වශයෙන් ලැබෙනවා. අපේ රටේ තමයි වැඩියෙන්ම මේක තියෙන්නේ. වසරක පමණ පර්යේෂණයක ප්‍රතිඵලයකින් පසු තමයි අපට අවශ්‍යය ඉලක්කය වෙත යන්න පුළුවන් වුණේ.

නැව් වලින් මුහුදට සුළු වශයෙන් තෙල් කාන්දු වීම් සිදුවන අවස්ථා නිතර දක්නට ලැබෙනවා.

මේ නිසා සිදුවන පරිසර හානිය වළක්වා ගැනීමට මෙම ක්‍රමය භාවිත කළ හැකියි. පර්ල් එක්ස්ප්‍රස් නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුව තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා. තවත් තෙල් කාන්දු වුණොත් අවසානයේ ඒවා නොගැඹුරු මුහුදු තීරය ඔස්සේ රළ පහරත් සමඟ වෙරළට ගසාගෙන එනවා. එම අවස්ථාවේ තෙල් එකතු කර ගැනීම ඉතා අසීරුයි. ඒ නිසා මේ අවස්ථාවේදීම තෙල් මුහුදේ ගසාගෙන යාමට ඉඩ නොදී එකතු කර ගැනීම වැදගත්.ලංකාවේ වාහන සේදුම් ස්ථාන වලින් විශාල ලෙස තෙල් පරිසරයට එකතු වෙනවා.ඒවා එකතු කර ගැනීමටත් මෙම ක්‍රමවේදය භාවිත කළ හැකියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහචාර්ය අමරසූරිය පිටවල කීය.

මේ සම්බන්ධව අදහස් දැක්වූ මහචාර්ය ගාමිණී රාජපක්ෂ මෙසේ කීවේය. මුහුදට එකතුවන තෙල් ඉවත් කිරීම සඳහා අවශ්‍යය ටොන් ගණනක් වන මිනිරන් නොමිලේ ලබා දීමට බෝගලේ පතලේ පාලනාධිකාරිය ඉදිරිපත් වුණා.

එම මිනිරන් විශේෂ කෙඳි වර්ගයක් භාවිත කර සකස් කළ නෙට් එකක් තුළට දාලා මෙට්ටයක් ආකාරයට සකස් කරනවා. එය නිර්මාණය කිරීම නැනෝ තාක්ෂණ ආයතනය මගින් කරනවා.රට පත්ව තිබෙන අසීරුතාව සැලකිල්ලට ගෙන තාක්ෂණය ඇතුළු සියලු කටයුතු කිසිදු මුදලක් අය නොකර ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ තෙල් ඉවත් කිරීම ඉතා කඩිනමින් කළ යුතුයි. දැනටමත් තෙල් බවට සැක කළ හැකි පැල්ලම් මුහුදේ දක්නට ලැබෙනවා. මුහුදු රැල්ලත් සමඟ සිදුවන චලන නිසා මේක පහසුවෙන් කරන්න බැහැ.ඒ නිසා අපි ඉක්මන් පියවර ගත යුතුයි.මින්රන් වලට උරා ගන්නා තෙල් ඒවායින් පිටතට ගෙන යළි ප්‍රයෝජනයට ගැනීමටත් අවස්ථාව තිබෙනවා.

මුහුදු ජලයට එකතු වන තෙල් එලෙස ඉවත් කර ගැනීමට කටයුතු කරත්දී නැවේ ඉතිරි වී තිබෙන තෙල් මුහුදට එක්වීමට නොදී තවත් නැවකට මාරුකර ගැනීමට ඇති හැකියාව සම්බන්ධවද මේවන විට අධ්‍යයනය කරමින් සිටිනවා.

මෙය ජලයේ ඇති තෙල් ඉවත් කර ගැනීම පහසුවෙන් කළ හැකි වියදම් අඩු ක්‍රමවේදයකි.

ලෝකයේ බොහෝ රටවල තෙල් කාන්දු නිසා සිදුවන පරිසර හානිය අවමකර ගැනීමට මෙමය භාවිත කළ හැකි බව පර්යේෂණය සිදුකළ මහචාර්යවරු පවසති. ජනපති ගෝඨාභය රාජපක්ෂයන්ද මෙම වැඩපිළිවෙළ සම්බන්ධව මේවන විට දැනුවත්ව සිටින බව මහාචාර්ය රාජපක්ෂ පවසයි. වරාය අධිකාරියේ සභාපතිවරයාද නැවේ තෙල් මුහුදට එක්වීමෙන් සිදුවිය හැකි පරිසර දූෂණය වළක්වා ගැනීමට කටයුතු කරමින් සිටින මොහොතක මෙම ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක කර තෙල් මුහුදට මුසු වීම වළක්වා ගැනීමට හැකි වුවහොත් එය අප සැමගේ වාසනාවකි.

Comments