බිරිඳ ගෙන්වා ගැනීමට දරුවා පැහැරගත් අරුම පුදුම පියෙක් | සිළුමිණ

බිරිඳ ගෙන්වා ගැනීමට දරුවා පැහැරගත් අරුම පුදුම පියෙක්

පැහැ­ර­ගත් බව කී දැරිය

දෙමාපියන්ට දරුවන් තරම් අමිල වස්තුවක් මේ ලොව තවත් නොමැතිය. දරුවන්ටද දෙමාපිය දෙදෙනා තරම් හොඳ ආරක්ෂකයෙක් මේ ලොව තවත් නොමැතිය. දරු සෙනෙහස මවුපිය සෙනෙහස ඒ තරමටම ගැඹුරුය. මේ අ‍ෙන්‍යා්න්‍ය සහ සම්බන්ධතාව වර්තමානය වන විට කොතරම් දුරකට ඈත්වී ඇතිද යන්න දිනපතා ලොව පුරා අසන්නට දකින්නට ලැබෙන පුවත් වලින් අපට දැකිය හැකිය.

සූරියවැව, බැද්දෙවැව, නුගේකන්ද පදිංචි 32 හැවිරිදි තිළිණ නයන සමරසිංහ එක් දරු පියෙකි. බිරිදත් සමඟ කාලයක් මෙම නිවසේ පවුල් ජීවිතය ගත කළත් මීට වසර කිහිපයක සිට දෙදෙනා අතර වරින් වර පවුල් ආරවුල් ඇති වන්නට විය. බොහෝ විට මෙම ආරවුල් කෙළවර වූයේ පොලිස් පැමිණිලි වලිනි. තිළිණ නිරතුරුවම බිරිඳට අනියම් සබඳතා ඇති බවට චෝදනා කළ අතර බිරිඳ ද තිළිණට අනියම් සබඳතා ඇති බවට චෝදනා කළේය. දෙදෙනා අතර වූ මේ ගැටුම හේතුවෙන් දෙදෙනාට දාව උපන් එකම දියණිය ගිරයට හසු වූ පුවක් ගෙඩියක් බවට පත් වුවාය. හයක් හතරක් නොදත් මේ දැරිය දෙමාපිය දෙදෙනාගේ රණ්ඩු සරුවල් හමුවේ අසරණ වු අවස්ථා අනන්තය.

අම්මගේත් තාත්තගේත් රණ්ඩු සරුවල් බොහෝ වේලාවට කෙළවර වන්නේ පොලිසියෙන් නිසා දැරියද දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියත් ඇයට ඒ පිළිබඳව ඒ තරම් මනා වැටහීමක් නොවූයේ ඇය තවමත් යන්තමින් වයස අවුරු 06 පසු කළ දැරියක් වීම නිසාය.

දෙමාපිය දෙදෙනා අතර වූ ගැටුම් දිනෙන් දින උත්සන්න වීය. දිනය අප්‍රේල් 26 ය. එදින තිළිණ වැඩ කිහිපයක් සඳහා නිවෙසින් බැහැරට ගියේය. සැමියා නිවෙසින් ගිය අවස්ථාවේ බිරිඳ රෙදි බෑගය ද සකස් කරගෙන දැරිය ද රැගෙන සූරියවැව පිහිටි බිරිඳගේ මහ ගෙදරට ගියාය. එහි ගිය තිළිණගේ බිරිඳ සිය දෙමාපියන්ට දැරිය බාර දී නිවසින් පිටව ගියේ නැවත නොඑන බව පවසමිනි. අනේ අම්මේ මාව දමලා යන්න එපා කියමින් දැරිය හඬා වැලපෙද්දී ඒ පිළිබඳව කිසිදු තැකීමකින් තොරව ඇය නිවෙසින් පිටව ගියේ මවු සෙනෙහසට පිටුපාමිනි.

වැඩට ගොස් යළි නිවසට පැමිණි තිළිණට බිරිඳත් දියණියත් පෙනෙන්නට නොමැති නිසා ඒ පිළිබඳව සොයා බැලීමේදි බිරිඳ තමන් අතහැර දමා වෙනත් පුරුෂයකු හා ගොස් ඇති බව දැනගන්නට ලැබුණි. තිළිණ සිය බිරිඳගේ මහගෙදරට ගොස් එහි නවතා දමා ගොස් සිටි දැරිය යළි නිවසට රැගෙන ආවේය.

මවු සෙනෙහස අහිමි වු හය හැවිරිදි සදලි සෙනායා දැරිය පියා හා ආච්චි සියා සමග ජීවත් වුවාය. මහ මිනිස්සුන්ගේ මේ අඬදබර පිළිබඳව මහා දැනුමත් නොතිබුණු මේ පුංචි දැරියද පියා හෝ ආච්චි සීයා දෙදෙනා විසින් උයා පිහා දෙන කුමක් හෝ කා බී නිවසට වි කල් ගෙව්වාය.

මේ සියල්ල අතරේ වෙනත් පුරුෂයකු සමඟ ගිය බිරිඳට කිසියම් පාඩමක් උගන්වන්නට ක්‍රමයක් තිළිණ කල්පනා කරන්නට වීය. සිය බාල සොහොයුරු වූ 29 හැවිරිදි චතුරංග සමඟද මේ පිළිබඳව තිළිණ සාකච්ඡා කළේය. බිරිඳගෙන් පළි ගැනීමට ඇති හොඳම ක්‍රමය සිය දැරිය යැයි සිතු තිළිණ සැලසුමක් සකස් කළේය. ගෑනීත් මිහිහත් අතර වූ මේ කෝන්තරයට හය හැවිරිදි සිය කුඩා දැරිය ඉත්තකු බවට පත් කර ගන්නට තරම් තිළිණ පහත් තත්ත්වයට පත්වීය.

සූරියවැව පොලිස් ස්ථානයට වේලාව අලුයම 12.30ට පමණ මැදිවයසේ පසුවු පුද්ගලයකු හඬමින් පොලිසියට ආවේය. රාජකාරි බාරව සිටි නිලධාරියා පැමිණි පුද්ගලයාගෙන් කරුණු විමසන්නට වීය.“සර් මුහුණු වහගත්ත හතර දෙනෙක් බයිසිකල් දෙකකින් අපේ ගෙදරට ඇවිත් තුවක්කුවක් පෙන්නලා මගේ දූ පැහැර ගෙන ගියා.අනේ සර් මට මගේ දරුවා ගෙනත් දෙන්න“ යනුවෙන් හඬන්නට වීය. රාජකාරි බාරව සිටි නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරින්ද කලබලයට පත් වීය. වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් මේ පිළිබඳව අවට සියලු මාර්ග බාධක රාජකාරියේ සිටින නිලධාරීන්ව දැනුවත් කෙරුණි. දැරියගේ පියාගෙන් මෙම සිද්ධිය පිළිබඳව වූ පැමිණිල්ලද සටහන් කර ගැණුනි. අනතුරුව සූරියවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුරවීර විසින් සිද්ධිය පිළිබඳව ඉහළ පොලිස් නිලධාරීන්ද දැනුවත් කර පරීක්ෂණ ආරම්භ කෙරුණි.

පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයටද ගොස් පරීක්ෂණ පැවැත් විණි. පැමිණිල්ලට අනුව මෙම අපරාධයේ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොමැති වීය. දැරියගේ පියාගෙන් පොලිසිය තව දුරටත් සිද්ධිය සිදු වූ ආකාරය පිළිබඳව ප්‍රශ්න කෙරුණි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ පැමිණිලි කරු වූ තිළිණ මෙම සිද්ධිය සිදු වූ අයුරු විටින් විට වෙනස් කරන්නට වීය.

පැමිණිලිකරු සිය ස්ථාවරය විටින් විට වෙනස් කිරීම හමුවේ පොලිස් විමර්ශන කටයුතු වෙනත් අතකට හැරුණි. සූරියවැව පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපතිවරයා වූ පොලිස් පරීක්ෂක සුරවීර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සැකකරුගේ නිවස පිහිටි ප්‍රදේශයට යවා අවට දැඩි පරීක්ෂාවකට ලක් කළේය.එහෙත් පැමිණිලිකරු කියන විදියේ කිසිදු සලකුණක් සාක්ෂියක් එහි නොවීය. පොලිස් පරීක්ෂණ සිදුවන අවස්ථාවේ පැමිණිලිකරු පොලිස් නිලධාරීන්ට පැවසුවේ මෙය සිය බිරිඳගේ සැලසුමක් විය හැකි බවත් ඇය පොලිස් ස්ථානයට කැඳවන ලෙසත්ය.

පරික්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරීන් පැමිණිලිකරුගේ බිරිඳට ද දුරකතන ඇමතුමක් ගත්තේ මේ පිළිබඳව යම් හෝඩුවාවක් සොයා ගන්නටය. තිළිණගේ බිරිඳට පොලිස් නිලධාරීන් දුරකතන ඇමතුමක් ගෙන දැරිය අතුරුදහන් වීම සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීමට පොලීසියට පැමිණෙන ලෙස දන්වා තිබේ. එම අවස්ථාවේදී දැරියගේ මව පොලිසියට පවසා තිබුණේ මෙවන් කතාවකි. “මම දරුවා පැහැර ගත්තේ නෑ සර්. මට දරුවා පැහැර ගන්න ඕනකමකුත් නෑ. අනික මට දරුවා ඕන වුණා නම් මේ විදියට පැහැර ගන්න කටයුතු කරන්නේ නෑ; මන් එදා ගෙදරින් පිටව ආ දවසේම දරුවා අරගෙන එන්න තිබුණා. නමුත් මට දරුවත් එපා නිසා තමයි මන් දරුවත් දමලා ආවේ. ඒ නිසා සර් මන් දැන් ඔතනට ආවොත් නැති ප්‍රශ්නයක් ඇති වෙන්නේ“ යැයි ඇය පවසා ති‍බුණේ විමර්ශන නිලධාරීද අන්දමන්ද කරමිනි.

දැරිය පැහැර ගැනීමට මවගේ ද සම්බන්ධයක් නැතිනම් මේ ගැන වෙනත් දැනගන්නට තරම් වෙනත් කිසිදු හෝඩුවාවකුත් නොමැති නම් දැරියට සිදු වූයේ කුමක්ද යන්න පොලිසියටද ගැටලුවක් විය.

පැමිණිලිකරුගෙන් පොලිසිය යළි ප්‍රශ්න කරන්නට වූයේ මේ අපරාධය සම්බන්ධයෙන් කිසියම් හෝ හෝඩුවාවක් සොයා ගන්නටය. පොලිස් ප්‍රශ්න කිරීමේදී අදාළ පැහැර ගැනීමේ සිද්ධිය පැමිණිලිකරු විවිධ අයුරින් විස්තර කරන්නට විය. විටෙක මෙම අපරාධය පිළිබඳව ඉතා දුක්මුසු මුහුණින් විස්තර කරන පැමිණිලිකරු තවත් වරෙක මෙම සිදුවීම විස්තර කරන්නට වූයේ හරියට හින්දි චිත්‍ර පටියක ජවනිකාවක් ලෙසිනි.

අපරාධ සිද්ධි විමර්ශනයේ ඇති පලපුරුද්ද නිසාවෙන්ම පොලිස් නිලධාරීන් සිද්ධියේ විමර්ශන කටයුතු වෙනත් අතකට හැරවීය. මෙම අපරාධය තනිකරම නිර්මාණය කරන ලද ව්‍යාජ එකක් බවට සැක සිතූ පොලිස් නිලධාරීන් සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කළ දැරියගේ පියා හා ඔහුගේ බාල සොහොයුරා පොලිස් අත්අඩංගුවට ගැනුණි. පැමිණිලිකරු චූදිත බවට පත්ව අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත් දැරියගේ පියාගෙන් හා ඔහුගේ බාල සොහොයුරාගෙන් පොලිසිය දිගින් දිගටම ප්‍රශ්න කරන්නට විය. පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පොලිස් අත්අඩංගුවේ සිටි දරුවාගේ පියා හා බාප්පා රණ්ඩු වන්නට වීය. දැරියගේ පියා මෙම සිදුවීමේ වගකීම සිය බාල සොහොයුරාගේ පිට තබද්දී බාල සොහොයුරාද නොපිළිගනිමින් සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්ට වීය.

පැහැරගත් බව කී දැරියගේ පියාට පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කට පියා සිටිය නොහැකි විය. ඔහු සියලු විස්තර පොලිසිය හමුවේ වමාරන්නට විය.“සර් මන් මේ සියල්ල ප්ලෑන් කළේ බිරිඳට පාඩමක් උගන්වන්න හිතාගෙන සර්“ බිරිඳ මා හා දරුවා දමා වෙන මිනිහෙක් එක්ක ගිහින්. ඇයව පොලිසියට ගෙන්වා ගන්න තමයි මන් මේ බොරු පැමිණිල්ල කළේ. මගේ මල්ලි තමයි මේක මුහුණු පොතට දමලා මාධ්‍යට තොරතුරු දීලා තියෙන්නේ. ඒ ගැන මන් කිසිවක් දන්නේ නෑ මහත්තයෝ. දරුවා ඥාති නිවසක ඉන්නවා“ යැයි එකින් එක වමාරන්නට වීය.

චූදිත පියා විසින් පළමුව 03 වැනි දින පෙරවරුවේ සිය දැරිය සූරියවැව ප්‍රදේශයේ ඥාති නිවසක නතර කර නිවසට පැමිණ 04 දින අලුයම 12.30ට පමණ පොලිසියට පැමිණ සිය දරුවා පැහැර ගත් බවට පැමිණිල්ල සිදුකර තිබේ. පැමිණිල්ල සිදුකිරීමෙන් පසු අලුයම යළි නිවසට ගිය පැමිණිලිකාර පියා උදෑසන දික්වැල්ල දොඩම්පහළ පදිංචි දැරියගේ මවගේ මාමා කෙනෙකුට දුරකතනයෙන් කතා කර දැරිය දින කිහිපයකට නිවසේ තබාගන්න පුළුවන්දැයි විමසා තිබේ. එහිදී ඔහුන් පවසා ඇත්තේ තමන් බෙහෙත් ගැනීම සඳහා හම්බන්තොට මහ රෝහලට පැමිණෙන බවත් එහිදී තමන්ට දරුවා ලබා දෙන ලෙසත්ය. ඒ අනුව සැකකාර පියා සියලු දෙනාටම හොර රහසේ සූරියවැව ඥාතී නිවසේ නවතා සිටි දැරිය හම්බන්තොට මහ රෝහල අසලට ගොස් ඥාතියාට දැරිය බාරදී දින කිහිපයකින් පැමිණෙන බවද පවසා තිබේ.

ඒ අනුව වහා ක්‍රියාත්මක වු සූරියවැව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් දැරිය සඟවා තිබූ දික්වැල්ල දොඩම්පහළ ප්‍රදේශයට ගොස් පොලිස් ස්ථානයට රැගෙන ඒමට පියවර ගැනුණි.

බොරු පැමිණිල්ලක් සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත් දැරියගේ පියා හා බාප්පා සූරියවැව පොලිසිය විසින් 06 දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර දැරියද සුදුසු බාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි. එහිදී සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සංජය වෙංගප්පුලි විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ආරියසේන සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප 04ක් මත නිදහස් කරන ලෙස නියෝග කෙරුණි. ඒ සැකකරුවන් අවස්ථාව ලද පළමු අවස්ථාවේදීම වරද පිළිගැනීම හේතුවෙනි. මීට අමතරව මීළඟ නඩු දිනය දක්වා දැරිය පියා බාරයේම රඳවා තබා ගන්නා ලෙසටද නියෝග කෙරුණි.

තංගල්ල කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකරී රවීන්ද්‍ර අඹේපිටිය,සහකාර පොලිස් අධිකාරී රත්නවීර අඩස්සූරිය යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි සුරියවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක එස්.ඒ.ඩබ්ලිව්.සුරවීර ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

Comments