තරු හෝටල් රැසක් නිරෝධායනයට එක්වෙති | සිළුමිණ

තරු හෝටල් රැසක් නිරෝධායනයට එක්වෙති

බිඳ වැටී තිබෙන සංචාරක කර්මාන්තය, බාධක ගැටලු සහ අත්හදා බැලීම් මැද, යළි නැඟිටින්නට වෙර දරමින් සිටියි. ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන් ගේ සොඳුරු නවාතැන් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවේ හෝටල් ගණනාවක් මේ වන විට අතරමැදි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වීමට පටන් ගෙන තිබේ. ශ්‍රී ලංකා හෝටල් සංගමයේ ලියාපදිංචි, දෙසිය ගණනක් වන තරු හෝටල් අතරින් ඉතාම සුළු ප්‍රමාණයක් මේ සඳහා ක්‍රියාත්මක අතර, රජය විසින් ගෙන යන කොවිඩ් මර්දන වැඩපිළිවෙළ අරභයා විසල් දායකත්වයක් මේ ඔස්සේ සැපයේ.

ඊට සාපේක්ෂව සමස්ත සංචාරක හෝටල් කර්මාන්තය ම ඇද වැටී ඇති මොහොතක, නිරෝධායන කටයුතු සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස මෙම හෝටල් ක්‍රියාත්මක වීම හරහා යම් පමණක අවස්ථාවක් ක්ෂේත්‍රය වෙතද උදා වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ සභාපති සහ ගල්කිස්ස මහා හෝටලයේ සභාපති, සනත් උක්වත්ත පවසයි.

"තවමත් ලංකාවේ වැසී තිබෙන සංචාරක හෝටල් ප්‍රමාණය අති විශාලයි. රජයේ කොවිඩ් මර්දන වැඩසටහනට දායකත්වය දීම සඳහා සුළු හෝටල් ප්‍රමාණයක් ක්‍රියාත්මක වුවත් ඒවා ක්‍රියාත්මක වන්නේත්, ඇදගෙන යෑමක් මට්ටමින්. මොකද, ලාබ ඉපැයීමට වඩා, මේ වෙලාවේ සිද්ධ වෙන්නේ සේවාවක් වන නිසා. ස්ථිර සේවකයන් වෙනුවෙන් තවමත් අපිට ගෙවන්නට පුළුවන් වී තිබෙන්නේ වැටුපෙන් 50%ක් විතරයි. ඔවුන් ජීවත් වූයේ සර්විස් චාර්ජ් එකෙන්. දැන් එය බින්දුවටම බැහැලා. මොන තත්ත්වයක් යටතේ වුණත් හෝටල් හිමියන් ලෙස අපි ඔවුන්ගේ රැකියා ආරක්ෂා කළ යුතුයි.

අනෙක මේ වෙලාවේ හෝටල් සේවකයන් කරන වැඩ කොටස අගය කළ යුතුයි. ඔවුන් කොවිඩ් හැඳුණු හෝ නිරෝධායනය වන දෙස් විදෙස් සංචාරකයන්ට සේවා සපයන්නට ඉදිරිපත් වී සිටිනවා. නමුත් ඔවුන් කිසිවකුට තවමත් ආරක්ෂිත වැක්සීනය ලැබී නැහැ. රජයට අපි මේ සම්බන්ධව නැවත නැවතත් ඉල්ලීම් කරනවා. සංචාරක කර්මාන්තය යම් තරමකට හෝ පවත්වාගෙන යන්න නම් සේවකයන් ගේ ආරක්ෂාව අප තහවුරු කළ යුතුයි. සංචාරකයන් වුවත් පැමිණෙන්නට කැමැත්තක් දක්වන්නේ, ආරක්ෂිත සේවකයන් සිටින හෝටල්වලටයි.

ඒ වගේම අපි රජයට කියන්න කැමැතියි සේවක වැටුප් ගෙවීම සඳහා වන සහන ක්‍රමයකට, කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් තවම එය ක්‍රියාත්මක වන්නේ නැහැ. කරුණාකර ඒ සහන ණය ක්‍රමය ඉක්මනින් ලබා දෙන්න කියාත් අප ඉල්ලා සිටිනවා.

මොකද, මේ වන විට සංචාරක හෝටල් සඳහා බැංකු විසින් ණය ලබා දෙන්නේ නැහැ. වසා තිබුණත් හෝටල්වල වායුසමන යන්ත්‍ර, විදුලිය සහ නඩත්තු කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සේවක වැටුප් ද ගෙවිය යුතුයි. මේ සඳහා ප්‍රමාණවත් ආදායම් නොලැබුණත් මේවා පවත්වාගෙන යා යුතුයි.

ඒ නිසා, මේ වෙලාවේ රජයෙන් අප ඉල්ලා සිටින්නේ, 2019 වසරේ සිට සමස්ත හෝටල් ක්ෂේත්‍රය ම මෙතෙක් ලබා ගෙන ඇති බැංකු ණය ගෙවීම සඳහා, වසර 10 ක වත් සහන කාලයක් ලබා දෙන ලෙසයි‍. අපේ ගල්කිස්ස මහා හෝටලයත් මේ වන විට පුද්ගලික රෝහලක් හා ඒකාබද්ධව, නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වනවා. පසු ගිය පෙබරවාරියේ සිට මේ දක්වා ඉන් සේවය ලබා පිටව ගිය ප්‍රමාණය, දෙදාහකට ආසන්නයි.අපේ සේවකයන් මෙහි එන සෑම පුද්ගලයකුටම හැකි උපරිමයෙන් සියලු සේවාවන් ඉටු කරනවා. මොකද, මේ වෙලාවේ ඔවුන් තමයි, අපේ හෝටලයට එන අමුත්තන්..."

2018 වසර වසරේ දී, ඇමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක ආදායම් ඉපැයූ, මෙරට අති සාර්ථකම කර්මාන්තයක් වූ සංචාරක ව්‍යාපාරය අද වැටී ඇති තැන ඛේදවාචකයකි. නමුත්, තිබෙන හැටියට ගොඩ එන්නට දරන වෑයම පිළිබඳ, ජෙට්වින්ග් හෝටල් සමූහයේ, මෙහෙයුම් කළමනාකරු දිමිත්‍රි කුරේ පැවසුවේ මෙවැනි අදහසකි.

"Jetwing සමූහයේ හෝටල් තිහක් අතරෙන් Jetwing Blue, Jetwing Sea, Jetwing Beach සහ Jetwing Lagoon කියන හෝටල් හතර ඇතුළුව සමස්ත හෝටල් හතක් මේ වන විට නිරෝධායන කටයුතු සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසත්, Level One හෝටල් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස, අපගේ හෝටල් ක්‍රියාත්මක වන්නේ, පුද්ගලික රෝහලක් සමඟ ඒකාබද්ධවයි.

ඒ වගේම, මේ වන විට ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධානවලට අනුකූලව, සංචාරක බුබුළු සංකල්පය යටතේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් ගේ පළමු දෙසතිය ගත කිරීමට සුදුසුකම් ලත් Level One හෝටල් ලෙස අපගේ හෝටල් තිහම අදාළ සහතික පත්‍ර ලබාගෙන තිබෙනවා. නමුත් සංචාරකයන් පැමිණෙන්නේ නැති නිසා මේ හෝටල් බහුතරය තවමත් හිස්. නිරෝධායනය සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන හෝටල් හතේ පමණක් දෙස් විදෙස් සංචාරකයන් රැඳී සේවාව ලබනවා. කොහොම වුණත් රජය විසින් ක්‍රියාත්මක, කොවිඩ් මර්දන වැඩපිළිවෙළට අදාළ සෑම ආකාරයකින් ම දායකත්වය දක්වන්නට ලැබීම අපිට විශාල සතුටක්; හයියක්.

අපගේ සමස්ත ජෙට්වින් හෝටල් ජාලයේ සේවක පිරිස 2800 ක් පමණ වනවා. පවතින කොවිඩ් නීති රීතිවලට අනුගත වෙමින් සේවාමුර ලෙස මාරුවෙමින් ඔවුන් මේ අවදානම් අවස්ථාවේ රාජකාරියට එහා ගිය සේවාවක් ලබා දෙමින් සිටිනවා. රටට අවශ්‍ය මොහොතක දායක වෙන්න ලැබුණා වගේම හෝටල් කර්මාන්තය වැසෙන්න යා නොදී පවත්වාගෙන යන්නත් මේ නිසා අපිට යම් අවස්ථාවක් උදා වී තිබෙනවා."

උණවටුන, තැප්‍රොබේන් පැවීලියන් රිසෝට් ඇන්ඩ් ස්පා, හෝටලයේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රශාන් දිසානායක සිය අත්දැකීම් පැවසුවේ මෙලෙසිනි.

" අපගේ තැප්‍රොබේන් පැවිලියන් හෝටල් දෙකක් මේ වන විට සංචාරක බුබුළ යටතේ වූ Level One හෝටල් ලෙස ක්‍රියාත්මක වෙනවා. ඉස්සර නම් සංචාරකයන් අපගේ හෝටල්වලට පැමිණි විට ඔවුන් හා අප අතර ඉතා හොඳ සුහද කතාබහක් තිබුණා. දැන් ඒ සියලු සංචාරකයන්, බුබුළ යටතේ පැමිණ ඒ යටතේම සියලු ගමන් බිමන් යන නිසා හෝටලයේ MD වුණත් සංචාරකයන් හා අප මුණ ගැහෙන්නේ නැහැ. ඒ දුරස්ථ බව කනගාටුවට කරුණක්. නමුත් මේ මට්ටමින් හෝ හෝටල් නොවැසී පවත්වා ගෙන යන්නට ලැබීම ලොකු දෙයක්.

පසුගිය අප්‍රේල් මාසය වන විට අපේ රටේ Level One හෝටල්වලින් අප සිටියේ 16 වැනි ස්ථානයේ. 40%ක් අපේ කාමර පිරී තිබුණා. තුන්වැනි රැල්ලත් සමඟ ඒ සියල්ල කඩා වැටුණා.

නමුත් පසුගිය ඔක්තෝබරයේ සිට අප රජයෙන් ඉල්ලීම් කළා සංචාරක ක්ෂේත්‍රයේ නියැළී සිටින සේවකයන්ට කොවීඩ් මර්දන එන්නත ලබා දෙන ලෙස. ඒ වෙලාවේ එන්නත තිබුණේ, ඩොලර් 2ට. ඉන්දියාවේ ඒ තරම් ප්‍රශ්නයක් තිබුණෙත් නැහැ. එහෙම කළා නම්, අද මීට වඩා සංචාරකයන් ප්‍රමාණයක් රටට ගෙන්වා ගන්න තිබුණා. දැන් අපේ සේවකයන් මොන තරම් දෙගිඩියාවෙන් ද, මේ එන සංචාරකයන් හා ගැටෙන්නේ. දැන් වත් රජය, හෝටල් සේවක පිරිසට එන්නත ලබා දිය යුතුයි.ජීවිත පරදුවට තබලා ඔවුන් මේ රැකියාවේ නියැළී සිටින නිසයි, කර්මාන්තයත් සුරැකෙන්නේ. අප ඒ ගැනත් සිතිය යුතුයි..."

නිරෝධායන කටයුතු සඳහා සක්‍රීය දායකත්වයක් සපයන බ්‍රවුන්ස් හෝටල් සමූහය, මෙම සද්කාර්යය සදහා දක්වන දායකත්වය පිළිබඳ, බ්‍රවුන්ස් හෝටල් සමූහයේ සාමාන්‍යාධිකාරි, එක්සත් විජේරත්න පැවසූයේ මෙවැනි අදහසකි.

" බ්‍රවුන්ස් සමූහයට අයත්, ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා - බේරුවල , අවානි - බෙන්තොට, දික්වැල්ල රිසෝට්, ඩොල්ෆින් - වයික්කාල, හොටෙල් සීගිරිය, ද පැරඩයිස් - දඹුල්ල, ෂෙරටන්- කොස්ගම...යන හෝටල් හතම, මේ වන විට නිරෝධායන කටයුතු සඳහා පරිවර්තනය කොට තිබෙනවා.

ගිය අවුරුද්දෙ ජූනි මාසයේ සිට මේ දක්වා ම අපගේ මෙම සියලුම හෝටල් කොවීඩ් වසංගතය මර්දනය කිරීමේහිලා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසින් ඉතා හොඳින් ක්‍රියාත්මක වනවා.

අවුරුද්දක් පුරා ක්‍රියාත්මක වුවත්, අප මෙය පවත්වා ගෙන යන්නේ, වෙලාවේ හැටියට සේවක පඩි නඩි ටිකවත් ආවරණය වන නිසයි. මං මෙහෙම කියන්නේ, බොහෝ අය හිතෙනවා, හෝටල් මේ නිරෝධායන කටයුත්තෙන් අධික ලාභයක් ලබනවා කියා. නැහැ, මේ කාර්යයේ දී හෝටලයේ සමස්ත නඩත්තු කටයුතු වලට අවශ්‍ය මුදල් අප උපයන්නේ නැහැ. ඇත්තටම, මේ වසංගතය ඉවර වෙලා හෝටල් නැවත තිබු තත්ත්වයට පත් කරද්දී, අපිට මීට වඩා මුදලක් වැය කරන්න වේවි, මොකද, මේ වන විට හෝටලයේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විෂබීජ නාශක රසායනික ද්‍රව්‍ය බොහෝ සෙයින් අප භාවිත කරනවා.

ඒ වගේම, මේ දුෂ්කර කටයුත්තේ දී සෞඛ්‍ය අංශ අප වෙත ලබා දෙන සහයෝගයත් සිහිපත් කළ යුතුයි.

ලෝකයේ බොහෝ සංචාරක හෝටල් මේ වන විට, 70%කට වඩා සිය හෝටල් සේවකයන් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළ හරහා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරලා. සෞඛ්‍ය අංශය ලබාදෙන සහයෝගය වගේම, හෝටල් සේවකයන් අරභයා, එන්නත්කරණයත් නිසියාකාරව සිදුවනවා නම් සංචාරක ව්‍යාපාරයට මීට වඩා අවස්ථාවන් උදා වේවි..."

Comments