කොවිඩ් අස්සේ දොස්තර මැතිවරණේ | සිළුමිණ

කොවිඩ් අස්සේ දොස්තර මැතිවරණේ

- වෛද්‍යවරු 13,000 ක් සංගමයේ සිටියත් 5,000 ක්වත් ඡන්දය දෙන්නේ නැතිලු
- වෛද්‍ය ජයරුවන්ගේ ඇයැදුම්පත ප්‍රතික්ෂේපයි. වෛද්‍ය පාදෙනිය නිතරගයෙන් සභාපති පුටුවට
- තරගය තනතුරු 5කටයි. ඉතිරි තනතුරු සියල්ල නිතරගයෙන්.
- ජනගහනයෙන් 700 කට එක් වෛද්‍යවරයෙක්

වෛද්‍ය වෘත්තිකයන්ගේ සේවය රටක් පමණක් නොව ලොවම කතබහ කරන මේ මොහොතේ, වැඩියෙන්ම කතාබහට ලක්වන තවත් වෘත්තීය නිලවරණයක් ජුනි 26 වැනිදා පවත්වන්නට සුදානම්ය. ඒ අපේ රටේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ (GMOA ) නිලවරණය හා මහ සභා රැස්වීමයි. කොවිඩ් වසංගත සමයේ වෛද්‍යවරු කරන්නා වූ මේ සේවය සුවිශේෂි හා අතිශයින් බැරෑරුම් සේවාවකි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 700 කට 1 ක් වෛද්‍යවරු අප රටේ සිටින අතර මේ වන විට වෛද්‍යවරු 25,000 කට අධික පිරිසක් වෛද්‍යවරු ලෙස රෝහල් වෛද්‍ය සේවයේ නියැළෙති. මෙයින් 21,000 ක් පමණ සක්‍රීය රාජ්‍ය වෛද්‍ය සේවයේ නියැළෙන අතර ඉතිරි පිරිස විශ්‍රාමික හා පෞද්ගලික වෛද්‍ය සේවයේ නියැළෙන වෛද්‍යවරු වෙති. එසේම වසරකට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියෙන්1500 කට ආසන්න වෛද්‍යවරු පිරිසක් බිහිවන අතර, තවත් 500 කට ආසන්න වෛද්‍යවරු පිරිසක් විදෙස්ගතව අධ්‍යාපනය ලබා පැමිණෙති.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ලියාපදිංචිව සිටින මෙම වෛද්‍යවරු පිරිසෙන් 20,000 කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචිව සිටින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA ) බිහිවන්නේ 1927 වසරේදීය. වෘත්තිය සමිති ආඥා පනත අනුව එය ලියාපදිංචි වන්නේ 1940 න් පසුවය. ඇත්තෙන්ම මෙය ශ්‍රී ලංකාවේ ඇති පැරණිතම වෘත්තිය සමිතියක් යැයි පැවසුවොත් එය නිවැරදිය. මෙහි නිලවරණය සැම වසරකම ජූනි මස පැවැත්විය යුතු අතර මෙවර එය යෙදී ඇත්තේ මේ මස 26 වැනිදාය. 26 වැනිදා පැවැත්වෙන මෙම නිලවරණය හා මහ සභා රැස්වීමට දැනට බලයේ සිටින වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු කණ්ඩායමට මෙන්ම විරුද්ධව තවත් කණ්ඩායම් තරඟ වැදීමට නියමිතව ඇත්තේ ලේකම්, සහකාර ලේකම් යන තනතුරු 4ක් හා සංස්කාරක යන තනතුරද ඇතුළු තනතුරු 5 සඳහා පමණි. සාමාන්‍යයෙන් මෙම නිලවරණය පැවැත්වෙන්නේ විධායක සභාවේ තනතුරු 11 ක් හා මධ්‍යම කාරක සභාවේ තනතුරු 26 ක් සඳහාය. එහෙත් මෙවර ද නිතරගයෙන් මධ්‍යම කාරක සභාවට වෛද්‍ය පාදෙනිය පත් වූ අතර, ඒ සඳහා තරග කිරීමට වෙන කිසිවකුත් සිටියේ නැත.

“ මධ්‍යම කාරක සභාවට වෛද්‍ය පාදෙනිය කණ්ඩායම නිතරගයෙන් පත්වුණා. ඒ වගේම විධායක සභාවේ සභාපති තනතුරු සඳහාත් වෛද්‍ය පාදෙනිය නිතරඟයෙන් පත්වුණා. උප සභාපති ලෙස වෛද්‍ය ඊ.කේ. ජී. ඩී. සී. එපිටකඩුව හා වෛද්‍ය එස්. යූ. කන්නන්ගර, භාණ්ඩාගාරික ලෙස වෛද්‍ය ඩබ්. අයි. එන්. විජේසූරිය, සහකාර සංස්කාරක ලෙස වෛද්‍ය කේ. කේ. ඩී. එම්. පී. රණවීරත් නිතරගයෙන් පත්වෙනවා. තරග වදින තනතුරු සඳහා මෙතෙක් එම තනතුරුවල සිටි අය මෙන්ම අලුතින් වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරු 5 දෙනෙකුත් ඉදිරිපත් වෙලා තියෙනවා.....“ ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්දය.

මේ මස අගදී පැවැත්වීමට නියමිතව තිබෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය සඳහා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්වාධින මැතිවරණ කමිටුව කටයුතු කර තිබේ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සිය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති තනතුර සඳහා ය. නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස නාමයෝජනා කමිටුව සඳහන් කර ඇත්තේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ සාමාජික අංකය නිවැරදිව සටහන් කර නැති බවකි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසන්නේ ඊට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කළ බවයි.

“ වෛද්‍යවරු මගෙන් ඉල්ලීමක් කළ නිසයි මම මේ නිලවරණයට ඉදිරිපත් වුණේ. මැතිවරණ කමිටුව මගේ ඉල්ලුම්පතේ අඩුපාඩු දෙකක් සඳහන් කර එය ප්‍රතික්ෂේප කළා. නැවතත් මම ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියත් ඔවුන් සඳහන් කළේ ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවයි. මේ නිසා මම නැවතත් අභියාචනයක් ඉදිරිපත් කළා. හැමෝගෙම ඉල්ලීම මත හා මගේ සුදුසුකම් මත මේ ඉල්ලීම සිදු කළත් පෞද්ගලිකව කිසිදු බලපැමක් නැහැ....“ ඒ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය.

මෙතෙක් වසර 11 ක් පුරාවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයේ දැරූයේ වෛද්‍ය අනුරුද්ධ පාදෙනියය. ඔහු මෙවරද නිතරගයෙන් එම ධූරයට පත්වෙමින් සිටියි. 26 වැනිදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණ සටනේදී එම සංගමයේ වත්මන් පාලනය හොබවන පාර්ශවය විසින් අභ්‍යන්තර කැළඹීමක් නිර්මාණය කරමින් පවතින බව සමහරුන්ගේ මතය වී ඇත්තේය. ඒ මෙවර නිලවරණය සඳහා පාදෙණිය පාර්ශ්වයෙන් වෛද්‍ය නවීන් සොයිසා සහ වෛද්‍ය හරිත අලුත්ගේ යන අයගේ නාම යෝජනා බාර නොදීම නිසා බව සමහරුන්ගේ අදහසය. වසර ගණනාවක් සංගමයේ නිලතල වූ උප ලේකම් ධූරය දැරූ වෛද්‍ය නවීන් සොයිසා සහ සංස්කාරක ලෙස කටයුතු කළ වෛද්‍ය හරිත අලුත්ගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙහි ප්‍රබල ක්‍රියාකාරීන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා මෙවර තනතුරු සඳහා නාම යෝජනා බාර නොදීමට හේතුව නිශ්චිත නැත. මේ හේතුවෙන් වත්මන් පාලනාධිකාරයට එරෙහිව මෙන්ම පක්ෂව අභ්‍යන්තරයෙන් යම් යම් මතවාදීමය ගැටුම් ඇති වී බවද සමහරුන්ගේ අදහසයි.

“ “GMOA මැතිවරණයට නාමයෝජනා දීමේදි එය සිදු කරන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමක් හරහායි. එහි සඳහන් නිර්ණායක අනුවයි මේ මැතිවරණය පවත්වන්නේ. වෛද්‍ය ජයරුවන් බණ්ඩාරගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වුණේ ඔහු සාමාජික අංකය වැරදියට පිරවීම නිසයි. වැරදි තොරතුරු සැපයීම නිසා එය ප්‍රතික්ෂේප වුණා. GMOA සභාපති තනතුරට කිසිවෙකුත් නොඉල්ලූ නිසා වෛද්‍ය පාදෙනිය මෙවරත් ඒ සඳහා නිතරඟයෙන් පත් වෙනවා. 26 වැනිදා තරගයක් පවතින්නේ තනතුරු කිහිපයක් සඳහා පමණයි. අවසාන මැතිවරණයේදීත් 97% ක ජයක් අපි ලබා ගත්තා. ඒ වගේම වෛද්‍ය පාදෙනිය වසර 11 ක්ම සභාපති වුණා. මෙවරත් පෙර පරිදීම ඡන්දය ලබා දෙන්නට නොහැකි අයට තැපැල් ඡන්ද භාවිතා කළ හැකියි......“ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේය.

GMOA සංගමයේ වෘත්තිය සමිති ගැටළු ඇති වී ඇත්තේ 1999 න් පසුවය. ඉන්පසු අවස්ථා කිහිපයකදීම මෙම වෘත්තිය සමිති බේදීම ඇතිවී ඇත. මෙසේ වාද විවාද මැදින් ආ මෙම නිලවරණයේදී ද ඒ ආභාසයම ගනිතැයි සමහරුන්ගේ අදහස වී ඇත්තේය.

“ ඇත්තටම අද වන විට GMOA පරිපාලනය ගැන ඇතැම් වෛද්‍යවරුන් කලකිරිලා. අද මෙහි සිටින විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් වෙනමම සංගමයක් හදා ගත්තා. පරිපාලන වෛද්‍යවරු වෙනමම සංගමයක් හදා ගත්තා. විශේෂඥ නොවන, යාමට තැනක් නොමැති පිරිසක් පමණක් මෙහි ඉතරු වුණා. වෛද්‍ය මාරුවීම් වලදී GMOA ට විශාල බලයක් තියෙන නිසා මේ අය ඊට විරුද්ධව අදහස් දක්වන්න අකමැතියි. ඒ වගේම GMOA මැතිවරණවලදි ගැටුම් ඇති වෙන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. 2002 දී මෙය දෙකට කැඩුණා. වෛද්‍ය පාදෙනිය එක පැත්තකත්, වෛද්‍ය ලක්කුමාර්, වෛද්‍ය බෙල්ලන, වෛද්‍ය රුවන් ඒකනායක එක පැත්තකටත් ගියා. 2012

සිට 2015 දක්වා සැම වසරකම නඩු මාර්ගයේ ගියා. 2015 න් පසු මීට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වන අයගේ සාමාජිකත්වය ඉවත් කළා.....“ ඒ කලක් මීට සම්බන්ධව සිටි නම සඳහන් කිරීමට අකමැති වූ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මතයයි.

GMOA නිලවරණ අතීතය පිරික්සීමේදි යම් යම් අක්‍රමිකතා සිදුවු බව පවසමින් ඇතැම් පිරිස් උසාවි පවා ගිය අවස්ථාද නැත්තේ නොවේ. 2002, 2012,2013 හා 2014 ය කාලවල මෙහි යම් යම් කටයුතු සම්බන්ධයෙන් වාරණ නියෝගද නිකුත් විය. මෙවර බලයේ සිටින පිරිසට එරෙහි වූ වෛද්‍ය ජයරුවන්ටද අත්වූයේ එවැනිම වූ ඉරණමක් බව සමහරුන්ගේ මතයයි. ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූයේ නිවැරදිව නොපිරවීම නිසා බව සැලවුවද, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට ඉදිරිපත් වූ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර තමාගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මැයි 31 වැනිදා ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධව සිදුවන්නේ කුමක්ද යන්න බලා සිටියි.

“ මෙම නිලවරණය තියන්නේ GMOA හි මැතිවරණ කමිටුව හරහයි. එයට සාමාජිකයන් 5 ක් පමණ සිටිනවා. ඒ වගේම භාරකාර මණ්ඩලයක්ද සිටිනවා. නියමිත කාලය තුළ මැතිවරණයක් නොපැවැත්වුව හොත් විධායක සභාවට මෙහි බලය පැවරෙනවා. GMOA නාමයෝජනා කැඳවීමේදී එහි සාමාජිකයින් සියලු දෙනාටම ලිපි යවනවා. පසුව තමයි නාමයෝජනා කැඳවීම්ක් සිදු කරන්නේ. ඉන්පසු සියලු කටයුතු පැවරෙන්නේ මැතිවරණ කමිටුවට. මේ මැතිවරණ කමිටුව පත් වන්නේ බලයට සිටින පිරිසට පක්ෂ පිරිසක්. ඒ වගේම නාමයෝජනා කැඳවීමේදි තමන්ට හිතවත් නොවූ අය සිටිනවා නම් එය ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. මේ නිසා සමහරු එසේ කැපූ විට නඩු යන්න අකමැති නිසා සද්ද නැතුව ඉන්නවා. ඒ වගේම තැපැල් ඡන්දත් ක්‍රම තුනකට සිදු වෙනවා. එතැනදීත් යම් අසාධාරණයක් සිදුවිය හැකියි. සංගමයේ වෛද්‍යවරු 13,000 ක් සිටියත් 5,000 ක්වත් ඡන්දය දෙන්නේ නැහැ. එදා සිට අපි මේ මැතිවරණය දිස්ත්‍රික් මට්ටමින් පවත්වන්න යැයි ඉල්ලීමක් කළා. නමුත් එය සිදුවූයේ නැහැ.

ආයතන සංග්‍රහයට අනුව වෛද්‍ය මාරුවීම් වලදි මේ සංගමයට සම්බන්ධ විය හැක්කේ අධික්ෂණ කටයුතු සඳහා පමණයි. නමුත් අද ඔවුන් මාරු මණ්ඩල පවා හසුරුවනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය පවත්වන්නේ ස්වාධීන බාහිර පාර්ශ්වයක් නොවන අතර සංගමයේම මැතිවරණ කමිටුව නම් කමිටුවක් මගින්ය. එම මැතිවරණ ක්‍රියාවලිය සාධාරණ නොවන බව පවසමින් මීට පෙර වසර කිහිපයකදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැම් සාමාජිකයන් විරෝධය දක්වා තිබුණි.

මෙම තරගයට ඉදරිපත් වී ජය ගන්නනට යම් යම් වරප්‍රසාදද හිමිවීම මේ සඳහා වූ තරගයට තවත් එක් හේතුවක් වී ඇත්තේය.කොළඹ අවට රෝහල්වල සේවය කිරීමේ අවස්ථාව උදාවීම, තමන්ගේ දරුවන් කොළඹ හොඳ පාසල්වලට ඇතුළත් කිරීමේ අවස්ථාව උදාවීම ඒ අතර ප්‍රධානය. මීට අමතරව තවත් වාසි ගණනාවකි. විශේෂයෙන් වාර්ෂික වෛද්‍ය ස්ථාන මාරුවීම් සඳහා සංගමයේ යම් යම් මැදිහත්වීම් සිදුවන බව පසුගිය කාලයේ කතාබහට තුඩු දුන්නකි.

Comments