හීන තිබුණත් ජීවිතය මිස් කරගන්න හොඳ නැහැ | සිළුමිණ

හීන තිබුණත් ජීවිතය මිස් කරගන්න හොඳ නැහැ

 

නළුවෙක් වෙන්න හිතාගෙන අනුරාධපුරෙන් කොළඹ ආපු කොල්ලෙක් සෑහෙන කට්ටක් කාලා අද බොහෝ දෙනකුගේ ආදරය ලබන නළුවෙක් වෙලා. නමින් ඔහු සංගීත් ප්‍රභූ. මේ දවස්වල නම් සංගීත් බොහෝ දෙනාගේ හිත් දිනාගෙන ඉන්නේ ‘නාඩගම්කාරයෝ‘හි කවඩියා ලෙසයි. අම්මා දැකපු හීනය හැබෑ කර විවිධ කඩඉම් පසුකරමින් තමන්ගේ ගමන යන සංගීත් පහු ගිය දවසක ඒ ගමනේ තවත් අලුත් පියවරක් තැබුවා.

 

මේ දවස්වල ‘නාඩගම්කාරයෝ‘නිසා බොහොම ජනප්‍රිය චරිතයක් වෙලා?

මේ වෙද්දී නාට්‍ය කිහිපයකට සම්බන්ධ වෙලා තිබුණත්‘නාඩගම්කාරයෝ ‘හී කවඩියා තරම් මාව ප්‍රේක්ෂකයන්ගේ හිත්වලට ගිය චරිතයක් තියෙනවා කියලා මට හිතන්නේ නෑ. කවඩියා නිතර කියන විස්තරේ කියන වචනෙත් දැන් ගොඩක් අය අල්ලගෙන. මේ දවස්වල යාළුවෙක් මට කතා කළත් අහන්නේ “කොහොමද විස්තරේ“කියලා. කවඩියාගේ චරිතයේ ‘විස්තරේ‘කියන වචනය පාවිච්චි කරන්න ගත්තේ මගේ වචනයක් විදිහට. මම ඒ චරිතයට සාධාරණයක් කරලා තියෙන වග දැනෙනවා මේ ලැබෙන ප්‍රතිචාරවලින්.

 

නිර්මාණයේ වෙනසක් කරන්න උත්සාහ කරන්නේ නිර්මාණය තුළ ඔබ මතු කරගන්නද?

මාව නෙමෙයි නිර්මාණය මතු කරන්න දේවල් ටිකක් මම අධ්‍යක්ෂවරයගෙන් අහලා එකතු කරගන්නවා. ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැලඳගන්න වෙනසක් කරන්න කවුරුත් කැමැතියි.

 

ලැබෙන අලුත් නිර්මාණවලත් ඔබ ඒ වෙනස හොයනවද?

මම කැමැතියි ලැබෙන නිර්මාණය තුළ වෙනසක් කරන්න. මම නිර්මාණය පුරාම කැප වෙන්නෙත් ඒ වෙනුවෙන්. තුෂාරි අබේසේකර මහත්මියගේ ‘සඳ දෝණා‘කියන අලුත් නිර්මාණයට දායක වුණා. එහි මම නිරූපණය කරන්නේ මානසික අවුලක් තියෙන කොල්ලෙක්ගේ චරිතයක්. එයත් මගේ රංගන දිවියේ හොඳ හැරවුම් ලක්ෂ්‍යයක් වේවි. සාලින්ද රත්නායක ගේ ‘පෝක් වීදිය‘නාට්‍යයෙත් වෙනස් චරිතයක් කරන්න ලැබුණා.

 

සංගීත් දැන් අලුත් ඉලක්කවලට යනවා නේද?

එක්තරා රූපවාහිනි නාළිකාවක විකාශය වන නාට්‍යයකට හඬ කැවීමෙන් එකතු වෙන්න මට අවස්ථාව ලැබුණා. වෙන කෙනකුගේ රංගනයට අපේ හඬ කැවීමත් වෙනස්ම අත්දැකීමක්. අනුරාධ සිගේරා සහ ඉවෝන් තමයි මට ඒ අවස්ථාව දුන්නේ.

මියුසික් වීඩියෝ අධ්‍යක්ෂණයටත් අත තිබ්බා කියලා ආරංචියි?

තුෂාර ජෝෂප්ගේ අලුත්ම ගීතයේ රූප රචනය අධ්‍යක්ෂණය කළේ මම. ඒක මගේ පළමු අධ්‍යක්ෂණය. මීට කලින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළා. ඒ ආසාවට. අතින්වත් අල්ලන්නේ නැතිව ආදරේ කරන්නේ කොහොමද කියන දේ තමයි මම මේ රූප රචනයෙන් පෙන්වන්න උත්සාහ කළේ. භාව ප්‍රකාශනවලින් තමයි මෙහි ආදරය පෙන්වන්නේ. සිප වැලඳ ගැනීම් නැති නම් ට්‍රෙන්ඩින් වෙන්න අමාරුයි කිව්වට ට්‍රෙන්ඩින් වෙන්න ඒවම කරන්න අවශ්‍ය නෑ.

 

ඉදිරියේදී අධ්‍යක්ෂණයෙනුත් ස්ථාවර වෙන්නද අදහස?

අධ්‍යක්ෂවරයෙක් වෙන්න තරම් මං තවම ඒ පිළිබඳ හරි අවබෝධයක්, දැනුමක් හා අත්දැකීමක් තියෙන කෙනෙක් ‍ෙනමෙයි මම මේ දේවල් කරන්නේ ආසාවට. මම දකින දේවල් නිර්මාණයකට යොදා ගන්නවා. අත්දැකීම් ලබන්න මම අලුත් දේවල් අත්හදා බලනවා.

 

රඟපාන්න බලාගෙන කොළඹ ආපු සංගීත් ඉදිරියේදී තව මොන පැතිවලට තල්ලු වේවිද ?

ඉදිරියට කරන දේවල් ගැන තවම අදහසක් දෙන්න අපහසුයි. මම කොහෙමත් වෙනස් අත්හදා බැලීම්වලට කැමැති කෙනෙක්.ව්‍යාපාරයකුත් පටන් ගත්තේ ඒ නිසා. කලාකාරයෙක් විදිහට ලබන සෑම අත්දැකීමක්ම ජීවිතයට ගොඩක් වටිනවා. ඒ අත්දැකීම් එකතු කරගන්නයි මම මේ ගමන යන්නේ.

පුංචි තිරයට හුරු වෙලා ඉන්න සංගීත්ට සිනමාව තවම නුහුරු තැනක් ද ?

2009 වසරේදි මම චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒ චිත්‍රපටය තවම ප්‍රේක්ෂකයන් අතරට ආවේ නෑ. තවත් චිත්‍රපට දෙකකට විතර ආරාධනා ලැබුණා.

කාර්යබහුලත්වය නිසා ඒ නිර්මාණ මඟහැරුණා. පුංචි තිරයට තරම් සිනමාවේ අවස්ථා ලැබෙන්නේ නෑ. සමහරවිට සිනමාවට මං ගැළපෙන්නේ නැතිව ඇති. අවශ්‍ය වුණොත් කවදා හරි සිනමාවටත් එකතු වෙයි. නමුත් මඟහැරෙන දේවල් ගැන දුකක් නෑ.

 

නළුවෙක් වෙන්න කාපු කට්ට ගැන මතක් වෙද්දී දැන් මොකද හිතෙන්නේ ?

මම ලොකු කට්ටක් කාලා මේ ගමන ආවේ. ලොකු කමකට කියනවා නෙමෙයි අද මම මගේම කාර් එකේ ගමේ යද්දි වාහනේ නවත්තලා වැස්ස දිහා බලාගෙන ඉන්නවා.

මීට අවුරුදු හතරකට කලින් මම ඒ වගේම වැස්සක කොහෙටවත් යාගන්න බැරුව පාරට වෙලා වැස්ස දිහා බලාගෙන ඉඳලා තියෙනවා. දුක් වින්ද හැම දේකම හොඳ ප්‍රතිඵල ලැබුණේ කරන වැඩේ අවංකව කළ නිසා.

මේ ආ ගමනේ වැටුණු තැන් ඕන තරම් ඇති?

මිනිස්සු තේරුම් ගන්න බැරුව තමයි ගොඩක්ම මානසිකව වැටුණේ. දැන් නම් එහෙම අහු වෙනවා අඩුයි. ඒ නිසා වැටෙන ප්‍රමාණයත් අඩුයි. වැටිච්ච තැන් අමතක කරලා නොවැටී මගේ ගමන යන්නයි උත්සාහ කරන්නේ.

 

සංගීත් නළුවෙක් වෙනවට හීන දැක්ක අම්මාට අද බොහොම සතුටු ඇති ?

ඇය තමයි අසීමිතව සතුටු වෙන්නේ. කවදා හරි මම සම්මානයක් ගන්නවා බලන්න, ලොකු තිරයක ඉන්නවා දකින එක තමයි දැන් අම්මගේ ඊළඟ හීනේ.

 

සංගීත් ට ඒ හීනේ ගැන මොකද හිතෙන්නේ?

සම්මානයක් ගන්න කවුද අකමැති. මගේ වැඩ හොඳයි නම් කවදා හරි ඒ ඇගයීම ලැබෙයි.

 

සංගීත්ගේ හීන හැබෑ කරගන්න ගමන් පවුලේ වගකීම මඟනොහරින කෙනෙක් නේද?

අපිට හීන තිබුණත් ජීවිතය මිස් කරගන්න හොඳ නැහැ. මට ඉන්නේ අම්මයි මල්ලියි අයියලා දෙන්නයි. ලොකු අයියා විවාහකයි. අම්මාව මම කොළඹ එක්ක ඇවිත් හිටියේ. නමුත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා පහුගිය කාලේ ඇයව නැවත අනුරාධපුරේ ගිහින් ඇරලුවා. මට දවස් කිහිපයක් ගමේ යන්න බැරි වුණොත් අම්මගේ මුණ හොඳ නෑ. මාත් කොච්චර වැඩ තිබුණත් අම්මව බලන්න නොයා ඉන්නේ නෑ.

 

එ් සියල්ල අතරේ අනාගතේ ගැන සැලසුම් කරමින් සංගීත් දැන් ආදරේ විඳින කෙනෙක්ද ?

ආදරය ගැන බලාපොරොත්තු තියෙනවා. නමුත් මිනිස්සු හරි ඉක්මනින් වෙනස් වෙනවා.

 

ඡායාරූපය -

කාංචන කුමාරසිංහ

Comments