අනුන්ගේ ස්ක්‍රිප්ට් එක­කට තමන්ගේ චරි­තය වුණත් රඟ­පෑම ලේසි නෑ | සිළුමිණ

අනුන්ගේ ස්ක්‍රිප්ට් එක­කට තමන්ගේ චරි­තය වුණත් රඟ­පෑම ලේසි නෑ

 

 

කිෂූ ගෝමස් යනු මේ රටේ තරුණයා ස්වකීය ජීවිත ආදර්ශකොට ගැනීමට රුචියක් දක්වන විශිෂ්ට වෘත්තිකයා ය. මහා ව්‍යාපාරික පරපුරක් සිටින මුත් කිෂූගේ තැන ගන්නට ඔවුන්ට නොහැකි වන්නේ තරුණයකු ප්‍රාර්ථනා කරන ආකර්ෂණීය පෞරුෂයේ ආදර්ශ ආකෘතික ස්වරූපය ඔහුගෙන් ප්‍රකාශවන බැවිනි.

 

ජාත්‍යන්තරය පිළිගත් සාර්ථක ව්‍යාපාර පරිපාලකයෙක්, ලෙස පිළිගත් කිෂූ ගෝමස් දැන් රංගනයට එක් වී සිටින්නේය. ඒ සද්ධාමංගල සූරියබණ්ඩාරගේ රචනයෙන් සහ සිවගුරුනාදන් ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූ ‘පාරදිගේ‘ ටෙලි වෘතාන්තයේ ව්‍යාපාරිකයකුගේ භූමිකාව රූපණය කරමිනි. කිෂූ ගෝමස් සමඟ මේ සංවාදය ඇති කරගන්නේ ඔහුගේ නව රංගන භූමිකාව මුල් කරගනිමිනි.

 

මේ නව ප්‍රවේශය ඔබට දැනෙන්නේ කොහොම ද?

අවුරුදු ගණනක් තිස්සේ කැමරාව එක්ක වැඩ කළ මට එය අලුත් අත්දැකීමක් නොවෙයි. මා මීට කලින් චිත්‍රපටයක රඟපෑවා. එය ඉදිරියේ දී තිරගත වේවි. නමුත් රංගනය හරිම වෙනස් අත්දැකීමක්. මේ චරිතය මගේ ජීවිතේට සමීපයි. මම අවුරුදු විසිපහක්ම ප්‍රධාන විධායක නිලධාරියෙක් විදිහට වැඩ කළ කෙනෙක්. විවිධ තනතුරු දැරූ කෙනෙක්. මෙම නාට්‍යයේ මම නිරූපණය කරන දේවප්‍රිය අධිකාරී කියන්නෙත් විධායක නිලධාරියකු ගේ චරිතයක්. ඒ චරිතය මගේ සැබෑ ජීවිතේට සමීප වුණත් වෙන කෙනකුගේ පිටපතකට කරන ඒ චරිත නිරූපණය, අනෙකාට සහාය වෙමින් කරන රංගනය කියන්නෙ කිසිසේත්ම පහසු අත්දැකීමක් නොවෙයි. මගෙන් ඇසුවොත් රඟපෑම ලේසිද කියලා මම කියන්නෙ. එය අභියෝගයක් කියලයි.

 

ඒ අභියෝගයට දැන් ලැබෙන

ප්‍රතිචාර කොහොම ද?

මාව අගය කරමින් විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. ඒත් සමහරු අහනවා ඇයි කිෂූ රඟපාන්න ගියේ කියලා. කිෂූ ගෝමස් රඟපාන්න අවශ්‍ය නෑ කියලා හිතන පිරිසකුත් ඉන්නවා. ඒ දෙපාර්ශ්වයේම මතයට මම ගරු කරනවා. ඔවුන් එහෙම කියන්නෙම මට තියන ආදරය නිසා.

ඒත් මම තරුණ පරපුරට කියන්නෙ තමන් සතු දක්ෂතාව, හැකියාව සමාජ විරෝධී, නීති විරෝධී නොවනවා නම් සමාජයට ඉන් යහපතක් වෙනවා නම් ඒ දේ කරන්න කියලා. සීමාවකට කොටු වෙන්න එපා, තමන්ගෙ තියන සියලුම හැකියා සහ දක්ෂතා පාවිච්චි කර තමන්ගෙ අනන්‍යතාව හදාගන්න. මම එය ප්‍රායෝගික කළා.

 

‘දේවප්‍රිය අධිකාරී‘ වෙන්න ඔබට පසුබිම සැකසෙන්නේ කොහොම ද?

මගේ ඔෆිස් එකේ කෙනෙක් ‘පාර දිගේ‘ නාට්‍ය නිෂ්පාදක කණ්ඩායමේ වැඩ කරනවා. ඒ මාර්ගයෙන් තමයි මේ ගරු රඟපෑමට ආරාධනය ලැබෙන්නේ. ඔවුන් මගෙන් ඇහුවේ මගේම චරිතයට සමාන චරිතයක් නිසා එයට සහයෝගයක් දෙනවද කියලයි. පිටපත ගෙන්වාගෙන කියවූ විට එය මට කරන්න පුළුවන් වැඩක් බව දැනුණු නිසා ‘පාර දිගේ‘ ටෙලි නාට්‍යයේ ‘දේවප්‍රිය අධිකාරී‘ ගේ චරිතය නිරූපණය කරන්න එකතු වුණා.

ව්‍යාපාර කළමනාකරණය තරම් රංගනයත් අභියෝගයක් වුණා දැයි මා ඇසුවොත් ?

මේ දෙක සැසඳිය නොහැකි තරම් වෙනස් අභියෝග දෙකක්. රංගනයේ දී ඒ අත්දැකීම අලුත් නිසා ඒ අමුත්ත ඇතුළෙ තිබෙන අභියෝගය පමණයි තියෙන්නෙ. නමුත් ව්‍යාපාර ලෝකයේ තිබෙන අභියෝග මහමෙරක් වගේ. එය හෘද ස්පන්දනය නවතින, නින්ද නොයන, අනේක මිනිස්සුන්ගෙ ජීවිත ගැන ලොකු වගකීමක් තිබෙන ආයතනයක ප්‍රධානියෙක් හැටියට රටට අවශ්‍ය ආදායම ඇතිකිරීම, අනෙක් මැදිහත් කරුවන් සම්බන්ධව ගනුදෙනුව මෙන්ම ලංකාව තුළ ලෝකය තුළ හැසිරීම කළමනාකරණය සහිත මහා සංකීර්ණයක්. මොනතරම් අත්දැකීම් තිබුණත් හැමදාම එන ඒ අභියෝග හරිම භයංකාරයි. රඟපෑම මම දකින්නේ සුන්දර අභියෝගයක් විදිහට. ව්‍යාපාර ලෝකයේ හැමදාම තිබෙන්නෙ පෙර කියූ භයංකාර අත්දැකීම.

 

රංගනය නව අත්දැකීමක් වුණාට කලාව ඔබට නුපුරුදු ක්ෂේත්‍රයක් නෙවෙයි?

රඟපෑවේ නැති වුණාට වසර ගණනාවක සිට මම කලා ක්ෂේත්‍රයේ සිටිනවා. මගෙ කාලය, දැනුම, ශ්‍රමය මේ ක්ෂේත්‍රය වෙනුවෙන් දශකාධික කාලයක් වැය කරන කෙනෙක්. නළු නිළියන්ගෙ සුබ සාධනය වෙනුවෙන් කැපවුණු ප්‍රධානම සංවිධානය වුණු සිනෙස්ටා පදනමේ මම දැන් වසර 18ක් තිස්සේ අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. එහිදි ලංකාවේ මහා ප්‍රතිභාවක් ප්‍රකට කරන නළු නිළියන් බොහෝ දෙනා සමඟ නිති පතා ගනුදෙනු කරනවා. සංගීත ක්ෂේත්‍රයේ සංගීතඥයන් හා ගීත රචකයන් සංවිධානගතව සිටින ප්‍රධාන සංවිධානය වූ ඔස්කා පදනමේත් මම අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා.

 

දැන් ඕනෑම චරිතයක් රූපණය කරමින් රංගනයේ යෙදිය හැකි බවට විශ්වාසයක් තිබෙනව ද?

මම ඒ ගැන අත්හදා බලන්න මැළිවන කෙනෙක් නෙමෙයි. මගෙ සාමාන්‍ය ජීවිතය ඇතුළෙ තිබෙන චරිතයක් රුපණය කරන්න මා කැමතියි. මගේ නොවන, මට ආරූඪ කරගන්න වෙන සියයට සීයක් පිටස්තර චරිතවලට දායක වෙන එකක් නෑ.

 

සංගීතයටත් ළැදි ඔබ ඉදිරියේදී

ගායනයෙන් කලඑළි දකින්න අදහසක් නැද්ද?

ගීත ගයන්න ඉතාම ආසයි. එය මට පුංචි කාලෙ ඉඳන් තිබුණු ආසාවක්. මා අනෙක් අයගෙ ගීත ගායනා නොකළ ටී.වී.චැනල් එකක් නැති තරම්. සංගීතයට තිබෙන කැමැත්ත නිසාම සංගීත හදාරන්න පටන් ගත්තත් වෘත්තීය සංකීර්ණතා මැද්දෙ එය අතර මඟ නැවතුණා. නුදුරේදී මගේම ගීතයක් කරන්න ආසාවක් සහ සැලසුමක් තිබෙනවා.

 

ව්‍යාපාරිකයෙක් නොවුණා නම් ඔබ කලාවට යොමු වේවිද?

ව්‍යාපාරිකයෙක් නොවුණා නම් මම කිසිසේත්ම කලාවට යොමු නොවෙන්න තිබුණා. එහෙම නම් ක්‍රීඩා උපදේශකයෙක් හා පුහුණුකරුවෙක් වේවි. මම ජාතික මට්ටමේ ජයග්‍රහණය ලබපු ක්‍රීඩකයෙක්. මගෙ හීනය තිබුණේ මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වෙන්න. මගෙ ඉසව්ව මීටර 110 කඩුලු පැන දිවීම. ඒකෙන් තමයි මම ජාතික ශූරයා වුණේ. නමුත් මම ව්‍යාපාර ලෝකයට ආවා. ඒ නිසා තමයි කලාවට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

Comments