‘ල’ යෙදෙන තවත් වදන් | සිළුමිණ

‘ල’ යෙදෙන තවත් වදන්

 

පසුගිය සති කිහිපයේ ම කළ පරිදි නිවැරැදි ව (දන්තජ) ‘ල’ යෙදෙන සැටි තවදුරටත් විමසා බලමු.

පළමුවෙන් විමැසිල්ලට ලක් කැරෙන්නේ ක්‍රියා පදයෙකි. එනම් ‘ඉහලයි’ යන්නයි. කට වහරෙහි බෙහෙවින් යෙදෙනුයේ ‘ඉහලනවා’ යන කෘදන්ත පදය යි. ක්‍රියාපදය වර නැඟෙනුයේ ඉහලා/ ඉහලයි - ඉහලති - ඉහලී - ඉහලූ ආදී වශයෙනි.

හරි වහරින් මෙයට පෙර ද දැක්වුණු පරිදි බොහෝ දෙනකු වෙත පවතින වැරැදි අදහසක් නම් ‘හ’ අකුරට පසු ව (දන්තජ) ‘ල’ නොයෙදෙන බවත් (මූර්ධජ) ‘ළ’ ම යෙදෙන බවත් ය. මේ වැරැදි අදහස නිසා දෝ බොහෝ දෙනෙක් ඉහළයි, ඉහළනවා ආදී වශයෙන් ‘ළ’ සහිත ව ලියති. මෙහි නිවැරැදි වනුයේ (දන්තජ) ‘ල’ සහිත ඉහලයි, ඉහළනවා ආදිය ම ය.

ඉහලයි, ඉහලනවා ආදියෙහි ප්‍රකෘතිය (මූල රූපය) නම් ‘ඉහල’ යනුයි. ඒ නාමයක් හා ධාතුවක් මෙන් යෙදෙන්නකි. මෙහි ‘ඉහ’ නම් ඉස (ඔළුව) යනු යි. ‘ල’ යනු ලෑමෙහි, දැමීමෙහි අරුත දෙන ධාතුවෙකි. එ දෙක එක් වීමෙන් ‘ඉහල’ යනු නිපැදේ. මෙහි ‘ඉහ’ යනු යෙදීමෙන් ම මේ කට වහරෙහි ඇතිවූ වදනක් බව පැහැදිලි ය. බොහෝ විට මෙ වදන යෙදෙන්නේ කුඩය යන නාමය සමඟිනි. ‘කුඩයක් ඉහලනවා/ ඉහලයි’ ආදී වශයෙනි.

‘ඉහළ’ යැ යි (මූර්ධජ) ‘ළ’ සහිත වදනක් ද වේ. එහි අරුත උඩ, උසස් යනුයි. ඉස් +අළ (ඉස් පෙදෙස) > ඉසළ > ඉහළ යැ යි ව්‍යාකරණ කාරයෝ එහි පද සිද්ධිය විග්‍රහ කරති. එ වදන හා වැරැදි ලෙස සමාන කිරීමෙන් (අයථා සාම්‍යයෙන්) ඉහළයි වැනි වැරැදි වදන් බොහෝ දෙනකු යොදති යි සිතිය හැකි වේ.

වහරෙහි ‘ඉ හිලුම්’ යැයි ද වදනක් වේ. එහි ද (මූර්ධජ) ‘ළ’ යොදා ඇතැම්හු ඉහිළුම් (‘ඉහිළුම් නැති ව ගියා’ වැනි තැන්වල) යැයි යොදති. එ ද මුළුමනින් ම වරදෙකි. එහි ද යෙදෙන්නේ (දන්තජ) ‘ල’ ම ය. එය ‘ඉහල’ ධාතුවෙන් සැදෙන්නක් නො වේ.

‘උසුල’ යැයි ධාතුවක් සිංහලයෙහි වේ. එය ඉසිලීම් අරුතෙහි, දැරීම් අරුතෙයි යෙදේ. එයට ‘උම්’ යන භාව කෘදන්ත ප්‍රත්‍යයය එක්වීමෙන් ‘ඉසිලුම්’ යනු සෑදේ. එහි ‘ස’ යනු ‘හ’ බවට පත් වීමෙන් ‘ඉහිලුම්’ යනු නිපැදේ.

මෑතෙක සිංහලයට එකතු වූ වදනෙකැ යි සැලැකිය යුතු ‘ඇඟලුම්’ යනු ද බොහෝ විට වරදවා (මූර්ධජ ‘ළ’ සහිත ව) ‘ඇඟළුම්’ යැයි ලියනු දක්නා ලැබේ‍. බොහෝ පුවත්පතුදු මේ අතර වීම කණගාටුවට කරුණෙකි. මේ ඇඟළුම් යනු නිවැරැදි නම් ‘( ඇඳුමක්) ඇඟළනවා’ වැනි යෙදුම් ද නිවැරැදි විය යුතුයි.

‘ඇඟ’ යන්නට ‘ලුම්’ යනු එක් වීමෙන් ‘ඇඟලුම්’ යනු නිපන් බව සලකන ඇතැම් විද්වත්හු එය අපශබ්දයක් හෙවත් වැරැදි වදනක් ලෙස සලකති. කවර හෙයින් ද යත් ඒක ස්වර (එක් ස්වරයෙකින් පමණක් යුක්ත) ධාතුවලට ‘උම්’ යන භාව කෘදන්ත ප්‍රත්‍යය නොයෙදෙන හෙයිනි. ‘ල’ යනු එක් ස්වරයක් (ල් + අ > ල) ඇති ධාතුවෙකි. එ හෙයින් එයට ‘උම්’ ප්‍රත්‍යයය එක් කළ නො හැකි ය. එහෙයිනි ‘ලුම්’ යන භාව කෘදන්තය වැරැදි වහරක් වනුයේත් එ මඟින් ම ඇඟලුම් යනු වැරැදි වහරක් වනුයේත්.

ඒ එක් මතයෙකි. තවත් ලෙසකට විමසා බැලුව හොත්, පෙර දැක්වුණු ‘ඉහල’ ධාතුව මෙන් ‘ඇඟල’ යන්න ම ධාතුවක් ලෙස ගත හැකි ය. එ විට එය නාම - ක්‍රියා එකතුවෙන් නිපන් ධාතුවක් බවට පත් වේ. සිංහලයෙහි එ බඳු ධාතු තව ද යෙදේ. (දැගැලීමෙහි) ‘දඟල’ වැළැලී මෙහි (වළල) එ බඳු තවත් ධාතු යි.

‘ඇඟල’ යනු ම ධාතුවක් ලෙස ගත් කල එහි ස්වර තුනක් වේ. එ බැවින් එයට ‘උම්’ ප්‍රත්‍යයය එක් කළ හැකි ය. එවිට ඇඟල + උම් > ඇඟැලුම්/ ඇඟලුම් වේ. මේ අයුරින් ඇඟලුම් යනු නිවැරැදි වදනක් ලෙස පිළිගත හැකි ය.

කවර විධියෙකින් හෝ, ව්‍යාකරණානුකූල ව නිවැරැදි යැයි ගත හැකි ප්‍රකෘතියක්, පදයක් අත්හැරීම භාෂාවට කැරෙන හානියෙකි. වචන කෝෂයෙහි ව්‍යාප්තිය භාෂාවෙහි වර්ධනයට හේතු වේ.

වරදවා ‘ළ’ යොදා නිතර වහරවන තවත් වදනක් නම් ළයාන්විත යනු යි. මේ ලයාන්විත යැයි නිවැරැදි විය යුතු යි. මේ සංස්කෘත තත්සමය ඇති වන්නේ ලය+අන්විත යන වදනෙහි එකතු වෙනි. මෙහි ලය යනු සිංහලයෙහි හෘදයවාචී (හද ගැන කියන) ළය නො වේ.

ඉතා සරල වැ කියත හොත් මෙහි ලය නම් තාලය යි. වෙසෙසින් ම ගීතවල ඇති තාලය යි. ද්‍රැත, මධ්‍ය, විලම්බ යැ යි එය තෙ වැදෑරුම් වන බව සංගීත ශාස්ත්‍රයේ කියැවේ.

අන්විත යන්නෙහි සරල අර්ථය යුක්ත, සහිත යනු යි. එ‍ හෙයින් ලයාන්විත නම් තාලය සහිත, තාලය යුක්ත යනු යි. දැන් නම් ලයාන්විතයෝ ද සිටිත්.

Comments