කාලගුණේ අවගුණ වී ආපදා වැඩි වෙයි | සිළුමිණ

කාලගුණේ අවගුණ වී ආපදා වැඩි වෙයි

- ගංවතුර නායයෑම් ආවේ වැස්ස වැඩි නිසාම නොවේ
- අවිධිමත් ඉඩම් පරිහරණය ප්‍රධාන හේතුවක්
- ගොඩනැගිලි මා‍ර්ග ඉදිකිරීම් හරියට පරීක්ෂා නොකර සැලසුම් අනුමත කිරීම වැරැදියි
- ‘යහපාලන’ රජයේ මුතුරාජවෙල ව්‍යාපෘතිය නිසා ගම්පහ ගංවතුර වැඩි වෙලා
- ගංවතුර වැළැක්වීමේ‍ අලුත් ව්‍යාපෘති දෙකක්

“සිංහල අවුරුද්ද ඉවරවෙලා දවස් 45 කට පස්සේ ගලන්න වහිනවා” මේ මාහට මාගේ සීයා නිතර කිවූ අදහසකි. ඒ කිව්වේ ඔවුන්ගේ පාරම්පරික ඥානය අනුවය. මේ පසුගිය දිනවල වැස්සේ ඒ අවුරුදු පසුවෙලා දින 45 කට පස්සේ වහින වැස්ස යැයි මට සිතේ.

කෙසේ වුවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක පැවසුවේ නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමඟම රටේ පහළ වායුගෝලයේ සිදු වූ කැලඹීමක් නිසා පසුගිය දින 10 ක පමණ කාලය අපට වැස්ස ඇති වූ බවයි. 

මීට සතියකට පෙර ‘සාස්’ සුළි කුණාටුව නිසා කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල දිස්ත්‍රික්කවලට වැඩි වැස්සක් ලැබුණු බවත් ඒ නිසා ජලයෙන් සන්තෘප්තව තිබූ භූමිවලට යළිත් වැස්ස ලැබීම නිසා නායයෑම් හා කණ්ඩි කඩා වැටීම ඇතිවූ බව ද ඔහු කියයි.

නිරිතදිග මෝසම තව මාස 5 ක් පමණ තිබෙනවා. මේ ජුනි මාසයේ හා ජූලි මැද වනතෙක් දවසේ කොයි මොහොතේ වුව ද අධික වැසි ලැබෙන්න පුළුවන්. ජූලි අග, අගෝස්තු වනවිට වැස්ස අඩු වේවි. අධ්‍යක්ෂ ජනරාල් පවසයි.

‘සාස්’ සුළි කුණාටුවෙන් ලොකු කරදරයක් නොවුණත් නිරිතදිග මෝසම සක්‍රීය වීම නිසා පසුගිය ජූනි 2, 3,4,5 දිනවල සිට රටේ දිස්ත්‍රික්ක 10කට ඇද හැළුණු වැස්ස නිසා ජීවිත 21 ක් අපට නැති විය. පවුල් 55428 ක පුද්ගලයන් 210870 ක් පීඩාවට පත්විය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් පෙන්වා දුන්නේ මෙවර ගංවතුර නිසා වැඩිම බලපෑම සිදුවී ඇත්තේ ගම්පහට බවයි. ඒ අනුව පීඩාවට පත්වූ පිරිස 122658 කි. ගම්පහ මිය යෑම් හතරක් ද සිදුවී තිබේ. ඊළඟට බලපෑම කොළඹටය. ඒ ප්‍රමාණය 50011 කි. කොළඹ දිස්ත්‍රික්කයේ මරණ එකක් වාර්තා විය. ඊට අමතරව වැඩිම මරණ ගණනක් සිදුවූයේ කෑගල්ල දිස්ත්‍රික්කයේය එම ගණන පහකි. ඒ දෙවනගල තිබූ නිවෙසක් මතට පස් කන්දක් නාය යාම නිසාය. ඒ සමඟම රත්නපුර කිරිඇල්ල දුම්බර ප්‍රදේශයේ ඇල්ල දේවාලය අසල සිදුවූ නායයාමකින් අවුරුදු 17 ක පාසල් දරුවෙක් ඇතුළු තිදෙනෙක් මරුමුවට පත්වූහ.

මේ අනුව පසුගිය දිනවල අධික වර්ෂාව නිසා නායයෑම්වලින් ජලයේ ගසාගෙන යෑමෙන් ගස්වලට යටවීමෙන් දියේ ගිලීමෙන් 21 දෙනෙක් මරුමුවට පත්වූහ. ඊට අමතරව කුරුණෑගල එක් පුද්ගලයෙක් අතුරුදන් වී තිබිණි. ඒ ගංවතුර තත්ත්වය නිසා නිවාස 1025 කට හානි සිදුවී ඇත.

ඒ අනුව ප්‍රධාන ලෙස කොළඹ, ගම්පහ, පුත්තලම, රත්නපුර, කළුතර, නුවරඑළිය, කෑගල්ල, මහනුවර, කුරුණෑගල හා ගාල්ල දිස්ත්‍රික්කවලට මේ ගංවතුර හා නායයෑම් නිසා ආපදා රැසක් ඇති විය.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි පසුගිය දිනවල තිබූ අධික වැස්ස නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රා.ලේ. කොට්ඨාස 13 කට, රත්නපුර ප්‍රා‍.ලේ. කොට්ඨාස 8 කට කොළඹ ප්‍රා.ලේ‍. කොට්ඨාස 6 කට කළුතර ප්‍රා.ලේ. කොට්ඨාස 14 කට කුරුණෑගල ප්‍රා.ලේ. කොට්ඨාස 13 කට ගංවතුර හා නායයෑම් ආපදා සිදුවී ඇත. කෑගල්ලේ ප්‍රා.ලේ. බල ප්‍රදේශ 11 කට ද මහනුවර, ප්‍රා‍.ලේ. බල ප්‍රදේශ 4 කට ද ආපදා සිදුවී තිබේ‍. ඊට අමතරව නුවරඑළිය හා ගාල්ල දිස්ත්‍රික්කවල ද එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය බැගින් ආපදාවලට ලක්වී තිබේ.

මේ සියලු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමට අදාළ ප්‍රාදේශීය ලේකම්වරු දිස්ත්‍රික් ලේකම්වරු කටයුතු කරති. විශේෂයෙන් මිය යෑම්, නිවාස හානි ආදියට ග්‍රාම නිලධාරිගේ අනුදැනුම ඇතිව ගෙවීම් කරන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයට පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මේජර් ජනරාල් (විශ්‍රාමික) සුදන්ත රණසිංහ පැවසුවේ මියයාමට ලක්වූ අයටත් නිවාස හානිවලටත් අවශ්‍ය උපරිම වන්දිය ගෙවන බවයි. මුලින් ම රුපියල් 10000 ක වන්දියක් ගෙවන බවත් මේජර් ජනරාල්වරයා පැවසීය.

මේ අතර සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ගම්පහ ජනතාවට පිසූ ආහාර හා වියළි ආහාර සලාක සැපයීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 90 ක් වෙන්කර ඇති බවයි. 

මෙවර ගංවතුරෙන් වැඩිම පීඩාවට පත්වී ඇත්තේ ගම්පහ ජනතාවයි‍. ඊට ප්‍රධාන හේතුව ලෙස ගම්පහ ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ අධිවේගී මාර්ගයට අනුබද්ධ සේවා මාර්ගය අවිධිමත් ලෙස ඉදිකර තිබීමයි. මේ පිළිබඳව අදහස් දක්වන සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පවසන්නේ ගම්පහ ගංවතුරට ප්‍රධාන හේතු 3 ක් ඇති බවයි. “මේකට ප්‍රධාන කාරණා 3 ක් බලපාලා තිබෙනවා. කලින් මේ අධිවේගී මාර්ගය කණු උඩ හදන්න තමයි යෝජනා කළේ.

හැබැයි පසුගිය රජය මේ අධිවේගී මාර්ගය පස් දාලා පුරවලා තිබෙන නිසා බලපෑමක් ඇතිවෙලා තිබෙනවා. දෙවැනි එක අධිවේගී මාර්ගය හදන්න හදපු සේවා මාර්ගය නිසා යම් බලපෑමක් ඇතිවෙලා තිබෙනවා. අනිත් එක ගම්පහ දිස්ත්‍රික්කයේ ඇළ වේලි දැන් වසර 10 – 12 කින් ප්‍රතිසංස්කරණය වුණේ නෑ. ඒවා අවසන් වරට ප්‍රතිසංස්කරණය වුණේ බැසිල් රාජපක්ෂයන් මේ දිස්ත්‍රික්කයේ නායකයා ලෙස සිටි කාලයේ. ඊට පසු මේ දිස්ත්‍රික්කයේ ඇළ වේලි ශුද්ධ කර නැහැ. අපි මේ ඇළ වේලි ශුද්ධ කිරීමටකටයුතු කරනවා” ඇමැති ප්‍රසන්න රණතුංග පවසයි.

මෙවර වැඩිම වැස්ස ලැබුණේ ජූනි 3 – 4 දිනවලදීය. 3 වැනිදා රාත්‍රි වැඩිම වැස්ස ලැබී තිබුණේ දුම්මලසූරියටය. ඒ ප්‍රමාණය මි.මී. 348 දෙවැනියට ඉංගිරියට මි.මී. 310 වැස්ස ලැබුණු අතර එදින රාත්‍රි බණ්ඩාරගමට මි.මී. 223 පමණ වැස්සක් ලැබී තිබිණි. 4,5,6,8 දිනවල නිරිතදිග ප්‍රදේශයට වැඩිම වැස්සක් ලැබුණු අතර ඒ වැස්ස නිසා ආපදා රැසක් ඇති විය.

මේ දිනවල පවතින වැස්ස පිළිබඳව කරුණු දක්වන හිටපු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ පවසන්නේ මේ දිනවල පවතින නිරිතදිග මෝසම සැප්තැම්බර් දක්වා පවතින බවයි. එසේ වුව ද මේ අධික වැස්ස ජුනි මස ඇතුළත පවතිනු ඇති බවත් ඒ වැස්ස ජූලි මස මැද හා අගෝස්තු මස දී අඩු වන බවත් අභයසිංහ මහතා පවසයි.

මේ නිරිතදිග මෝසම නිසා වැඩිපුරම වැස්ස ලැබෙන්නේ නිරිතදිග ප්‍රදේශයටය. ඒ අනුව කළුතර, රත්නපුර, ගාල්ල, කොළඹ, ගම්පහ, පුත්තලම, කෑගල්ල දිස්ත්‍රික්කවලට මේ වකවානුවේදී වැඩි වැස්සක් ලැබෙන බව ද අභයසිංහ පවසයි. 

නිරිතදිග මෝසම මඟින් බටහිරින් පුත්තලම, මධ්‍ය ප්‍රදේශයේ ගල්ගමුව, බකමූණ, බිබිලේ, බදුල්ල, ඇඹිලිපිටිය යන ප්‍රදේශවලටද, දකුණු දෙසින් රිදීගම, අම්බලන්ගොඩ ප්‍රදේශවලින් සීමාවන මායිමකින් යුත් ප්‍රදේශයකට වැස්ස ලැබේ.

මෙකල තරමක් තද වැසි විනාඩි 15 – 20 ක් ඇතිවන අතර සමහර විට සිරි සිරි වැසි පැය 3 – 4 ක් තිස්සේ වුව ද ඇද හැලීමට ද පුළුවන‍. අකුණු වැසි තීව්‍ර ලෙස ඇතිවීමට මෙකල ඉඩ ඇති බවත් නමුත් ඒවා විනාඩි 20 ක් පමණ කාලයකට සීමා විය හැකි බව ද ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥ කේ.ආර්. අභයසිංහ පවසයි.

පසුගිය දිනවල අපේ රටේ සිදුවූ නායයෑම් පිළිබඳව කරුණු දක්වන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා සම්මානිත මහාචාර්ය කපිල දහනායක පවසන්නේ මේ නායයෑම් සිදුවී ඇත්තේ ඒ ස්ථානවල නායයෑම් පූර්ව ලක්ෂණ ඇතිවූවාට පසුව බවයි.

කෙසේ වුවත් කෑගල්ලේ දෙවනගල නායයෑම සිදුවූ ස්ථානයේ අයට එම ස්ථානයෙන් ඉවත්වීමට උපදෙස් දුන්නත් ඔවුන් එම ස්ථානයෙන් ඉවත්වී නැහැ. කොච්චර වැස්සත් නාය යෑමක් එක වරට සිදුවෙන්නේ නැහැ. එවැනි භූමියක මුලින්ම නායයෑමේ පූර්ව ලක්ෂණ මතුවෙනවා. මේ ජූනි මාසයේ වැස්ස නිසා බෑවුම්වල කඳුකර ප්‍රදේශවල නිවාසවල සිටින අය තම වටා පිටාව පිළිබඳව සැලකිල්ලෙන් සිට නායයෑම් පූර්ව ලක්ෂණ තිබේ දැයි අවධානය යොමු කළොත් පසුගිය දිනවල කෑගල්ල හා දුම්බර සිදුවූ නායයෑම් වැනි දේවල් නිසා සිදුවූ ජීවිත හානි වළක්වා ගන්න පුළුවන්” මහාචාර්ය කපිල දහනායක පැවසීය.

පරිසර යුක්ති කේන්ද්‍ර‍ෙය් විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පැවසුවේ ගම්පහට මෙවර මේ තරම් ගංවතුරක් ගැලුවේ අවිධිමත් ඉඩම් පරිහරණය නිසා බවයි. පසුගිය රජයේත් මේ රජයේත් අවධිමත් සංවර්ධන යෝජනා ක්‍රම හා ඉවක් බවක් නැතිව මුතුරාජවෙල ඇතුළු වගුරු බිම් හා පාරිසරික ලෙස සංවේදී කලාප ඉවක් බවක් නැතිව ගොඩකිරීම හා අවිධිමත් ලෙස ගොඩනැඟිලි ඉදිකිරීමට අවසර දීම මේ ගංවතුරට ප්‍රධාන හේතුවක් වුණා. මේ අනුව මේ ගංවතුරට හේතුව මේ අධික වැස්ස පමණක් නොවෙයි” හේමන්ත විතානගේ පවසයි. 

මේ අතර මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර වැඩි කිරීමට වත්තල පමුණුගම ඉතියෝගම ප්‍රදේශයේ ඉදිකළ සොරොව්ව හේතුවූ බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

ඉකුත් යහපාලන රජයේ ඇමැතිවරු දෙදෙනෙක් මෙම සොරොව්ව බලවත් උනන්දුවෙන් ඉදිකළ බව ද මෙය කෝටි ගණන් මුදල් අපරාධයක් බව ද ගංවතුර ගලා යාමක් ඉන් සිදු නොවූ බව ද ප්‍රදේශවාසීහු පවසති.

කොළඹ ගම්පහ ගංවතුර හා ජලාපවාහන කළමනාකරණ ව්‍යාපෘතිය යටතේ ලෝක බැංකු ආධාර ඇතිව රුපියල් මිලියන 23750 ක් වැය කරන නව ව්‍යාපෘතියක් ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් දැන් ආරම්භ කර ඇත.

මේ යටතේ මුහුදට ජලය හරවන නව භූගත උමං දෙකක්, ජලය බැහැර යන පොම්පාගාර 3 ක් හැරවුම් ඇළ මාර්ග 2 ක් ඇතුළු පොම්පාගාර 3 ක් ඇතුළු උප ව්‍යාපෘති 30 ක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව නව ‘මුතුවැල්ල’ උමඟ හා නව ‍ටොරින්ටන් උමං මාර්ගය ඉදිකිරීම දැන් අවසන් වෙමින් පවතී.

සේයාරූ : සමන්ත වීරසිරි, තිලක් පෙරේරා, රුක්මාල් ගමගේ හා නිරෝෂ් බටේපොළ

Comments