ලොව වටා | සිළුමිණ

ලොව වටා

දකුණු අප්‍රිකානු මවකට

එකවර බබාලා දහයක්

 

එක්වර දරුවන් දහයක් බිහි කිරීමෙන් දකුණු අප්‍රිකානු කාන්තාවක් ලෝක වාර්තාවක් පිහිටුවා තිබේ. ගොසමියා තමාරා නම් වන එම කාන්තවාගේ සැමියා පවසා ඇත්තේ ඇයගේ කුසයේ දරුවන් දස දෙනෙකු සිටිනා බව දැනගත් විට සියලු දෙනාම අතිශයින් පුදුමයට පත් වූ බවයි. මේ දරුවන් දස දෙනාම නිරෝගීව බිහි කිරීමට තමාරා සමත් වී ඇති අතර ඒ පිරිමි දරුවන් හත් දෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු වශයෙනි.

මේ වන විට තමාරාගේ දරුවන් සම්බන්ධව ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමට කරුණු විමර්ශනය කෙරෙමින් පවතින පව ප්‍රකාශිතය. මීට පෙර ලෝක වාර්තාවට හිමිකම් කීවේ එකවර දරුවන් අට දෙනෙකු බිහි කළ ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවකි.

මැක්‍රෝන්ට කම්මුල්පාරක්

 

පසුගියදා ගිනිකොන දිග ප්‍රංශයේ ඩෝම් ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් සිටි ප්‍රංශ ජනාධිපතිවරයාට නොසිතූ අත්දැකීමකට මුහුණ දීමට සිදුවිය.

ඔහු එම සංචාරය අතරතුර තමා දැකබලා ගැනීමට රැස්ව සිටි පිරිසක් වෙත පැමිණ ඔවුන්ගේ සුවදුක් විමසිමින් සිටියේය. එවිට එම ජනතාව අතර සිටි කොළ පැහැ ටී කමිසයකින් සැරසී සිටි කොණ්ඩය වවා සිටි පිරිමි පුද්ගලයකු මැක්‍රොන්ට දෝෂාරෝපනය කරමින් එක්වරම ඔහුගෙ කම්මුලට පහරක් එල්ල කළේය. ඒ සමඟම ජනාධිපතිවරයාගේ ආරක්ෂක අංශ විසින් ජනාධිපතිවරයා ඉවතට ඇදගත් අතර සෙසු ආරක්ෂකයන් ඉහත කී පුද්ගලයා සහ ඔහු සමඟ සිටි තවත් පුද්ගලයකු හඳුනා ගනිමින් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමටත් පසුව අත්අඩංගුවට ගැනීමටත් කටයුතු යෙදූහ.

ආරක්ෂකයන් ජනාධිපතිවරයාව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ දැරුවද මැක්‍රොන් තම ආරක්ෂකයන්ගෙන් මිදෙමින් යළිත් එම ජනතාව කරා පැමිණ ඔවුන්ගේ සුව දුක් විමසීමට කටයුතු කළේය.

 

නයිජීරියාව

ට්වීටර් තහනම් කළාට

ට්‍රම්ප්ට සතුටුයිලු

නයිජීරියාව තුළ ට්වීටර් සමාජ මාධ්‍ය තහනම් කිරීමට පසුගියදා එරට රජය තීරණය කළ අතර මේ තීරණය සම්බන්ධව තමන් ඉතා සතුටට පත්වන බව හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ. එමෙන්ම ඔහු පවසා සිටියේ ලෝකයේ සෙසු රටවල්ද නයිජීරියාව අනුගමනය කිරීමට කටයුතු කළ යුතු බවයි. නයිජීරියාව ට්වීටර් සමාජ මාධ්‍ය තම රට තුළ ක්‍රියාත්මක වීම තහනම් කරනු ලැබුවේ ට්වීටර් සමාගම විසින් එරට ජනාධිපති මුහම්මදු බුහාරිගේ ටිවීටර් ගිණුම තහනම් කිරීම හේතුවෙනි. ට්වීටර් ආයතනය දක්වා ඇත්තේ එසේ ජනාධිපතිගේ ගිණුම තහනම් කිරීමට හේතුව ඔහු එරට මැතිවරණ කොමිසමට නාඳුනන තුවක්කුකරුවකුගෙන් එල්ල වූ ප්‍රහාරය එරට සිවිල් යුද්ධයකට සමාන කරමින් සිදු කළ ප්‍රකාශයක් සමාජ විරෝධී ප්‍රකාශයක් ලෙස හඳුනා ගැනීම හේතුවෙන් බවයි.

 

 

කමලා හැරිස්ට

ගල් මුල්

 

තම ප්‍රථම විදෙස් සංචාරය ලෙස මෙක්සිකෝවේ සහ ග්වාතමාලාවේ සංචාරය කරමින් සිටින ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස්ට දරුණු චෝදනා එල්ල කිරීමට ඇමරිකානු විපක්ෂය වන රිපබ්ලිකන් පක්ෂය කටයුතු කරමින් තිබෙන බව වාර්තා වේ.

ඔවුන් මෙලෙස උප ජනාධිපතිනියට චෝදනා එල්ල කරන්නේ මෙක්සිකෝවේ සංචාරය කළද ඇය තවමත් ඇමරිකානු මෙක්සිකානු දේශසිමාව අසලට ගොස් එහි වෙනස ඇමරිකානුවන් මුහුණ දෙන ගැටලු ගැන අවධානය යොමු කර නොමැති බව පවසමිනි.

ඇමරිකානු මෙක්සිකානු දේශසීමාව යනු නිතර සංක්‍රමණිකයන්ගේ ගැටලු මතු වන ප්‍රදේශයකි. ඒ හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන ඇමරිකානුවන්ද බොහෝ ගැටලුවලට මුහුණ දෙති.

මේ ගැටලුවට පිළියම් ලෙස මේ දේශසීමාව වසා දමමින් තාප්පයක් ඉදි කිරීමටද හිටපු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් කටයුතු යෙදීය. ඔහු රිපබ්ලිකන් පාක්ෂිකයෙකි.

Comments