සෙලාන් බැංකු­වෙන් නැගෙ­න­හිර කොළඹ මූලික රෝහ­ලට දැඩි සත්කාර ඒක­ක­යක් | සිළුමිණ

සෙලාන් බැංකු­වෙන් නැගෙ­න­හිර කොළඹ මූලික රෝහ­ලට දැඩි සත්කාර ඒක­ක­යක්

බැංකුව, සෙලාන් බැංකුව පසුගියදා මුල්ලේරියාවේ නැගෙනහිර කොළඹ මූලික රෝහලට සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ය. COVID-19 රෝග ව්‍යාප්තියට එරෙහි ජාතික සටන ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මෙය සිදුකර තිබේ. විශේෂ ආසාදන පාලන තාක්ෂණ පද්ධතියකින්ද සමන්විත නව දැඩි සත්කාර ඒකකය, මෙරටින් හඳුනාගනු ලබන COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කෙරෙනු ඇත.

මෙම දැඩි සත්කාර ඒකකය නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි , COVID-19 පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සෙලාන් බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රමේෂ් ජයසේකර මහතා ප්‍රමුඛව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ සෙලාන් බැංකුවේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ පිරිසක් සහභාගී වූහ. සෞඛ්‍ය විධිවිධාන දැඩි ලෙස අනුගමනය කරමින් මෙම උත්සවය පැවැත්විණි.

COVID-19 රෝගය මෙරට තුළ පැතිරී යාම ආරම්භ වූයේ 2020 වසරේ මාර්තු මාසයේදී ය. එම අවස්ථාවේදී COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහල භාවිතා කිරීමට රජය විසින් තීරණය කරන ලදි. රෝහල තුළ පූර්ණ පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීමේ අවශ්‍යතාව වටහාගත් සෙලාන් බැංකුව, එම මෙහෙවර සඳහා ඉදිරිපත් වූ අතර, පසුගිය වසරේදී ඊට මුල්ගල තැබීමෙන් අනතුරුව කෙටි කාලයක් තුළ තම ප්‍රතිඥාව ඉටුකරමින්, අදාළ සියලු පහසුකම් සහිත දැඩි සත්කාර ඒකකය නැගෙනහිර කොළඹ මූලික රෝහල තුළ ස්ථාපිත කිරීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබිණි.

Comments