දෙවනගල පවුලක්ම පණපිටින් වැළලුණු හැටි | සිළුමිණ

දෙවනගල පවුලක්ම පණපිටින් වැළලුණු හැටි

අරණායක සාමසර කන්දේ කොටසක් නායගියේ 2016 වසරේ මැයි 17 වැනිදාය. එම සිදුවීමෙන් වසර පහක් ගතවූවා පමණි. අරණායක දෙවනගල ප්‍රදේශයේ පස් කන්දක් නායයාමෙන් තවත් සිවුදෙනකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූවේ ඉකුත් පස්වැනිදාය. එම ස්ථානයේ ජීවත්වීම අධි අවදානම් බවට රතු නිවේදන නිකුත්කර තිබියදීත් ඔවුන් ඒ පිළිබඳව අවධානය යොමුකර නොතිබීම මෙම අවාසනාවන්ත සිදුවීමට හේතු විය. නිරිත දිග මෝසම සක්‍රියවීමත් සමඟම ඇතිවූ මහා වර්ෂාවෙන් එකම පවුලේ සිවුදෙනකුට එසේ ජීවිත අහිමිවීම සැබැවින්ම කනගාටුදායකය.

මෙම පස්කන්ද නායයාමෙන් දෙවනගල, කරහන්පිටිගොඩ පදිංචිව සිටි පනස් හත් හැවිරිදි කේ. විජේරත්න හා පනස්පස් හැවිරිදි ඩබ්ලිව්.පී.ලලිතා වීරසිංහ යන දෙමාපියන් දෙදෙනාද ඔවුන්ගේ විසි නව හැවිරිදි කේ. ශානක පුෂ්ප කුමාර විජේරත්න පුත්‍රයා හා දියණිය වූ කේ. උමේෂා මධුවන්ති විජේරත්න යන අය මෙසේ ජීවිතක්ෂයට පත්වූහ. මිය ගිය විජේරත්න විවිධ ආයතනවල කලක් රියදුරෙකු ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ පුත් ශානක පුෂ්ප කුමාර විදේශගතව හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක යෙදී සිට යළි මෙරටට පැමිණියෙකි. කොරෝනා වසංගතය නිසා ඔහු යළි විදේශගතවීම ප්‍රමාද වී තිබේ.තම අලුත් නිවසේ වැඩ අවසන් කර යළි විදේශ ගතවීමට අපේක්ෂාවෙන් සිටි ශානක සිද්ධිය වූ දිනට පෙර දින ඉදිවෙමින් පවතින නිවස කපරාරු කිරීම සඳහා අවශ්‍ය සිමෙන්ති ගෙනවිත් නිවස ආසන්නයේ පදිංචි පෙදරේරුවන්ට ඒ සඳහා පසුදින පැමිණෙන ලෙස දන්වා තිබූ බවද දැනගන්නට ඇත. මිය ගිය උමේෂා මධුවන්ති පෙරපාසල් සහායිකාවක ලෙස සේවය කළාය.

දින දෙකක් පුරා අඛණ්ඩව පැවැති අධික වර්ෂාවත් සමඟ සිදුවූ මෙම අනපේක්ෂිත සිදුවීමෙන් එකම පවුලේ හතර දෙනකුගේ ජීවිත අහිමිවීම සම්බන්ධයෙන් අරණායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත දිසානායක පවසන්නේ මෙබන්දකි.

“මෙම සිදුවීමෙන් අපි හැමෝම බලවත් කම්පාවට පත් වුණා.මේ අය දෙවනගල පදිංචියට ඇවිත් අවුරුදු විස්සක් විතර වෙනවා. ඒ කාලයේ ගංවතුර, නායයාම් තර්ජන මේ ප්‍රදේශයේ තිබුණේ නැහැ. මොවුන් මේ ගමේ මුල් පදිංචිකරුවන් නොවෙයි. දෙවනගල පර්වතයටත්,කුඹුරටත් අතර ඉඩමේ ඔවුන් පදිංචිව සිටියා. මීට අවුරුදු හතරකට පහකට පමණ කලින් මේ වගේම ලොකු වැස්ස වෙලාවක ඉහළ කඳු කොටසේ ගලක් මේ අයගේ කුස්සියත් කඩාගෙන කුඹුරට ආවා. ඒ අවස්ථාවේදී මේ අයට මම මැදිහත්ව අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ම ඉඩමක් වෙන්කර දුන්නා. එදා අවදානම් තත්වයේ සිටි කීපදෙනෙකුටම එහෙම ඉඩම් ලබාදුන්නා. ඒ අය එම ඉඩම්වල පදිංචියට ගියත් මේ අය යන්න අකැමැති වුණා. තවත් දවසක තද වැස්සක් අතරතුර දෙවැනි පාරටත් ඉහළ කන්දෙන් ඉඩමට පස් ආවා. නමුත් අවදානමක් නොමැති බව කියමින් ඔවුන් මේ ස්ථානයේම රැදී සිටියා.

තුන්වැනි පාරට ආව පස් කන්දට තමයි මේ අය සම්පූර්ණයෙන්ම ගේත් එක්කම යටවුණේ. මේ අයගේ මියගිය පුතා ‘හොටෙල් කෝස්‘ එකක් කරලා රට ගිහිල්ලා ඇවිත් අලුතින් ගෙයක් හැදුවා. පසුගිය දවස්වල වහින කොට මාධ්‍යයෙන් වගේම වසමේ ග්‍රාම නිලධාරි නෝනත් කීවා අනතුරුදායක නිවසෙන් ඉවත් වෙන්න කියලා. ඒත් ඒ අය ඉවත් වෙලා නැහැ. ඒක ඒ අයගේ නරක වෙලාව වෙන්න ඇති. එදා උදේ හයයි දහයට විතර තමයි මේ සිදුවීම වුණේ. හරක් බඳින්න ගිය කෙනෙක් ගල් දෙකක් තුනක් එනවා දැකලා කෑගහලා ගෙදරින් අයින්වෙන්න කීවත් ඒක ඒ අයට ඇහිලා නැහැ. සිද්ධිය සිදුවෙලා විනාඩි දහයක් යනකොට මම එතැනට ගියා. මම යන අතරමඟදීම පොලිසියටත්, ආපදා කළමනාකරණ අංශයටත්, ප්‍රාදේශීය ලේකම්තුමාටත් දැනුම් දුන්නා.

දෙවනගල හා කරහම්පිටිගොඩ ගමේ අයත් යුද හමුදාවත්, රජයේ නිලධාරිනුත් එක්වෙලයි පස්වලට යටවී තිබූ සිරුරු ගොඩගත්තේ. මේ ගම්වල පදිංචි සිංහල අය වගේම මුස්ලිම් අයත් උදවුවට ආවා. ඒ අය පුද්ගලිකවම මට කතාකරලා අවශ්‍ය දෙයක් තියෙනවා නම් කියන්න කීවා. නමුත් සියලුම වියදම් රජයෙන් සිදුකළා. අවමඟුල සඳහා එක් අයෙක් වෙනුවෙන් රුපියල් විසිදහස බැගින් ලබාදුන්නා. උදෑසන නවය පමණ වන විට මුලින්ම හමුදාවෙන් සොයා ගත්තේ මියගිය දුවගේ සිරුර. නාය ගිය තැන කුඩා බැකෝයන්ත්‍ර යොදාගනිමින් පස් හා සුන්බුන් ඉවත්කරමින් සිරුරු හතරම සොයාගන්න පැය හයක් විතර ගතවුණා.

අධි අවදානම් බැවින් මෙම ස්ථානයෙන් ඉවත්වන ලෙසට ප්‍රාදේශීය ලේකම් රතු නිවේදන ලබාදී තිබියදී තමයි මේ අය එහිම ඉඳලා තිබෙන්නේ. මේ අය කරහම්පිටිගොඩ විහාරස්ථානයේ දායකයෝ. මේ අයට මෙතැනින් යන්න නොදී දේශපාලඥයෝ මෙහිම නවත්වා ගත්තා කියලා සමහරු කීවත් එහෙම දෙයක් වුණේ නැහැ. අපි ඉඩම් දුන්නා. දිවුරුම් ප්‍රකාශ දීලා නොගිය එක ඒ අයගේ අවාසනාව. “ මෙම අනතුර මුලින්ම දුටු කරහම්පිටිගොඩ පදිංචි පනස්තුන් හැවිරිදි පී.ප්‍රේමරත්න තම අත්දැකීම විස්තර කළේ මෙලෙසිනි.

“මම වෙනදා වගේම කලින් දවසේ රාත්‍රියේ හරකා බැඳලා සිටි කුඹුරට උදේ හයට විතර වැස්සේම ගියා.මම හිටියේ පස්කන්දට යටවුණු නිවස ඉදිරිපිට වෙල් යායේ. හරකා බැඳලා හිටි තැනින් ඉවත් කරලා වෙනත් තැනක බඳින්න කලින් සිටුවා තිබූ ඉන්න ගලවා දෙවනගල ගල පැත්තට පිටුපා අඩි කීපයක් ඉස්සරහට යද්දී මහා විශාල ශබ්දයක් ගල දෙසින් ඇසුණා. මම ඒ ශබ්දය ආ දිහා බලනකොට මේ ගෙදරට ඉහළින් තිබූ පස්කන්ද ඇවිත් ගේ යටවෙනවා මම දැක්කා. මේක වෙන්න ගතවුණේ තත්පර කීපයයි. නිවස යටකරගත් පස්කන්ද වෙල්යාය දෙසට ආවා. මම පුළුවන් තරම් හයියෙන් කෑගැහුවා. ඒත් එක්කම අවට මිනිස්සු දුවගෙන ආවා. මගේ ජීවිතයේ කිසිම දවසක මේවගේ දෙයක් දැකලා නැහැ.“

අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසෙඩ්.ඒ.එම්.ෆයිසල් ද මේ පිළිබඳ තවත් විස්තර කෙළේය.

“මිය ගිය අය පදිංචිව සිටි ඉඩම අධි අවදානම් ප්‍රදේශයට අයත්වන බැවින් 2018 අවුරුද්දේ රජයේ ඉඩමක් වෙන්කර දුන්නා. රජයෙන් කිසිම දෙයක් අවශ්‍ය නැහැ තනිවම නිවසක් හදාගන්න බවයි ඔවුන් කියා සිටියේ. ඒ අය මෙම ස්ථානයෙන් ඉවත්කිරීමට කීපවරක්ම උත්සාහ කළත් එය සාර්ථක වූවේ නැහැ.

එයාලගේ උත්සාහයෙන් ඒ ආසන්නයේ නව නිවසක් ඉදිකර ගෙන ගොස් තිබෙනවා. මේ අධික වර්ෂාව අවස්ථාවේදී දුන් උපදෙස් පිළිපදිමින් ඥාති නිවෙසකට හෝ අලුතෙන් හදන නිවසට ගියා නම් මේ අවාසනාවන්ත තත්වය ඒ අයට උදාවෙන්නේ නැහැ.

2016 වසරේ සිට අරණායක කොට්ඨාසයේ අධි අවදානම් ලෙස හඳුනාගත් ඉඩම්වල පවුල් විස්සක් තිහක් පමණ තවමත් සිටිනවා. රතු නිවේදන නිකුත් කළත් ඔවුන් ඉවත්වන්නේ නැතිනම් අපිට බලෙන් ඉවත්කරන්න නීතිමය ප්‍රතිපාදන නැහැ.

මෙලෙස පදිංචිව සිටින සමහර අය අනතුරුදායක ස්ථානවලින් ඉවත් කිරීමට ඔවුන්ගේ ජලය හා විදුලිය සැපයුම අත්හිටුවීමටත් ක්‍රියා කළා. මා දන්නා පරිදි ඔවුන් සතු ඉඩම්වල තේ, ගම්මිරිස් වැනි ආදායම් අතහැර රජයෙන් ලබාදෙන පර්චස් විස්සක ඉඩමට යාමට ඔවුන් අකැමැතියි. නමුත් ඔවුන්ට අක්කර ගණන් දෙන්න රජයට හැකියාවක් නැහැ.“

කෑගල්ල දිසාපති මහින්ද එස්.වීරසූරිය මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙබන්දකි.

“මෙවර මෝසම් වර්ෂාවත් සමඟ කෑගල්ල දිස්ත්‍රික්කය අවාසනාවන්ත සිදුවීම් දෙකකට මුහුණ දුන්නා. අධික වර්ෂාව හේතුවෙන් අරණායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවනගල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් එම නිවසේ පදිංචිව සිටි එකම පවුලේ හතර දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියල මට දැන ගන්න ලැබුණා. ඒ වගේම වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අල්ගම පුද්ගලයකුත් ජීවිතක්ෂයට පත් වුණා. මෙහි ඉතාම කනගාටුදායක තත්ත්වය නම් මේ සිදුවීම් දෙකටම සිදුවීමට කලින් දවසේත් අදාළ නිලධාරින් උපදෙස් දීල තියෙනවා අවදානම ගැන.

එසේ තිබියදීත් එය නොසලකා හැරීම නිසයි මේ අවාසනාවන්ත සිදුවීම්වලට ඔවුන්ට මුහුණ පෑමට සිදුවුණේ. රජය විසින් ගන්නා තීන්දු තීරණ හා උපදෙස් පිළිනොගැනීමෙනුයි මෙම ජීවිත අහිමි වූවේ. දෙවනගල සිදුවීමේදී අරණායක ප්‍රාදේශීය ලේකම් විසින් 2018 වර්ෂයේ සිට මේ අයට මෙතැනින් ඉවත්වන ලෙස නිවේදන නිකුත් කරලා තිබෙනවා.

ආසන්න දිනවලදීත් ග්‍රාම නිලධාරි ඇතුළු ආපදා නිලධාරින් අවශ්‍ය උපදෙස් ලබාදී තිබෙනවා. නමුත් ඒ අය දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරලා තියෙනවා අපි මෙතැනින් ඉවත්වන්නේ නැහැ, අපිට මෙතැන ආරක්ෂිතයි කියලා.

ස්ව කැමැත්තෙන්ම එහි පදිංචිවීම හේතුවෙන් තමයි මේ අවාසනාවන්ත සිද්ධියට ලක්ව තිබෙන්නේ. මෙතන ඇත්තටම ඉතාම කනගාටුදායක තත්ත්වය මේ අනතුරට පත්වූ නිවසට ආසන්නයේ මොවුන් විසින් අලුතින් නිවසක් ඉදිකරගෙන යමින් තිබෙනවා.

එම අලුතින් ඉදිකරගෙන යන නිවස පෙනි පෙනී තමයි මේ ජීවිත විනාශ වුණේ. ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරින් හා කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා තවදුරටත් මෙම ස්ථානයේ සිටීම අනතුරුදායක බව කියද්දීත් අලුත් නිවසේ වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කරගෙන යන්න තමයි මොවුන් ඉඳලා තිබෙන්නේ. එම නිවසේ තවත් වැඩ නිමකිරීමට තිබූ නිසා ඒකත් අවසන් කරගෙනම යන්න ඔවුන් සිතන්න ඇති.

ඉඩමෙන් ඉවත්වන ලෙසට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නියෝග යවන්නේ ඔහුට රාජකාරිමය වශයෙන් එහි වගකීමක් තිබෙන නිසා. කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් හයසිය හැත්තෑවක් පමණ මෙලෙස අධි අවදානම් ප්‍රදේශවල පදිංචිව සිටිනවා. මේ අය අවදානම් ස්ථානවලින් ඉවත්කර ආරක්ෂිත ස්ථානවල පදිංචි කරවන්න මම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා. අපිට තිබෙන ගැටලුව තමයි මේ අයව පදිංචි ස්ථානවලින් බලෙන් ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදනවල තිබෙන අඩුපාඩු. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් ලබාදී තිබෙන වාර්තා අනුව හඳුනාගෙන තිබෙන එම අනාරක්ෂිත ඉඩම්වල ජීවත්වන පවුල් ඉවත් කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපති උපදෙස් ලබාගැනීමට අපි කටයුතු කර ගෙන යනවා.

මේ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ ඇමැති චමල් රාජපක්ෂ ඇමැතිතුමාත් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේද සහයෝගයෙන් මේ අධි අවදානම් ප්‍රදේශවල සිටින පවුල් සඳහා අවශ්‍ය ඉඩම් ලබාදී නිවසක් ඉදිකරගැනීමට අවශ්‍ය සහය ලබාදීමට අපේක්ෂා කරනවා. එවැනි පවුල් සඳහා රජයෙන් රුපියල් ලක්ෂ දහසයක් ලබාදෙනවා. මේ සඳහා අරණායක ඉඩම් කැබලි දහතුනක් හඳුනාගෙන තිබෙනවා. ඒත් අවදානම් ප්‍රදේශවල අය එම ඉඩම්වලට ගිහිල්ලා නැහැ. එම අය වහාම ඉවත් කිරීමට අරණායක ප්‍රාදේශීය ලේකම්ට උපදෙස් දුන්නා. නැතිනම් සාමසර කන්ද සිදුවීම වගේ ඛේදනීය තත්ත්වයකට යළි මුහුණ දෙන්න සිදුවේවි.“

නායයාමෙන් ජීවිතක්ෂයට පත් මෙම අයගේ සිරුරු ඥාති නිවසක තැන්පත්කර තිබූ අතර, අවසන් කටයුතු පසුගිය ජූනි 07 පෙරවරුවේ දෙවනගල පොදු සුසාන භුමියේදී විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය. නායයාමෙන් හානියට පත් විජේරත්න මහතාගේ නිවසේ සුනඛයන් දෙදෙනකු ඇති කර ඇති අතර, එක් සුනඛයකු පස් කන්දට යටවී මියයන්නට ඇතැයි විශ්වාස කෙරේ. අනෙක් සුනඛයා අනතුර සිදුවන අවස්ථාවේදී ඉදිවෙමින් පවතින නව නිවසේ රැදී සිටි බැවින් ජීවිතය ආරක්ෂා වී තිබිණි.

නායයාමෙන් අනතුරුව පස් කන්දට යටවූ සිරුරු සොයාගැනීමට යුද හමුදාව කළ මෙහෙයුමේදී මෙම සුනඛයාද එම ස්ථානය හැර නොගොස් රැදී සිටි අයුරු කාගෙත් හදවත් සසල කළ සිදුවීමක් විය.

ඔස්වල්ඩ් ගොඩකුඹුර, රඹුක්කන විශේෂ

Comments