සිහි­න­යෙන් අව­දි­වෙන්න... | සිළුමිණ

සිහි­න­යෙන් අව­දි­වෙන්න...

 

 

පෝර්ට් සිටිය ගැන ලියැවෙන මේ විස්තරය යම් නීරස භාවයක් උත්පාදනය කරන්නට ඉඩ ඇතත් සත්‍යය අවබෝධ කර ගැන්ම පිණිස එම කරුණු අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍යය.ලිපිය මැද ඉංග්‍රීසි වචන සහ ආර්ථික විද්‍යා සංකල්පයන් ද ඇතුළත් කර ඇත. ඒ මෙහි වැදගත්කම අවධාරණය කිරීමටත්, සමහර කරුණු ඉංග්‍රීසි වචනයෙන් අර්ථ ගැන්වීම පහසු නිසාත්ය. පසුගිය දිනවල පෝර්ට් සිටියට පක්ෂව සහ විපක්ෂව කරුණු දක්වන ලද දෙපාර්ශ්වයේ ම ඉන්නා බොහෝ අයට ඒ පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ බව මගේ අදහසයි. සමහරුන්ට ඇත්තේ අහේතුක චීන විරෝධයකි. තව කොටසක් හිතන්නේ ලංකාව යනු ඛනිජ තෙල්, ගෑස්, යුරේනියම්, රත්තරන්, ගල්අඟුරු, තඹ, රිදී ආදී අපනයනය කර ඩොලර් ඉපයිය හැකි ස්වභාවික සම්පත් පිරුණු රටක් බවයි. මේ නිසා ලොව කිසිම රටක උදව්වක් නැතිව ඒ ස්වාභාවික සම්පත් අලෙවිකර ලංකාවට ස්වාධීනව නැඟී සිටිය හැකි බව ඔවුහු සිතති.

 

එහෙත් යථාර්ථය නම් වර්තමාන ලෝකයේ වටිනා කියන ස්වභාවික සම්පත් වලින් ලංකාව සතු වන්නේ මිනිරන් පමණි. මහා ජෛව විවිධත්වයකින් යුතු ස්වභාවික සම්පතක් වූ වනාන්තර රට තුළ ඇත.

ලොව හොඳම සහ විශාලතම මිනිරන් නිධි ඇත්තේ උතුරු කොරියාවේය. නමුත් ලෝකයෙන් හුදකලා වී ඇති උතුරු කොරියාවේ මිනිරන් වලින් ටිකක් චීනයට යැව්වත්, උතුරු කොරියාව ලෝක මිනිරන් වෙළඳපළේ නැති නිසා වර්තමාන ලෝකයේ පළමු මිනිරන් නිෂ්පාදකයන් දහදෙනා අතර ශ්‍රී ලංකාවත් සිටී. ඒ හැර වෙනත් විශාල ස්වාභාවික සම්පතක් ලංකාව සතුව නැත. එම නිසා අප රටට විදේශ විනිමය ලැබෙන මාර්ගයන් හෙවත් ඩොලර් ලැබෙන විකල්ප මාර්ගයන් අප සෙවිය යුතුය.

මේ නිසා මගේ විශ්වාසයට අනුව “කොළඹ පෝර්ට් සිටිය” යනු ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් යෝධ පිම්මක් පනින්නට හැකි ස්වර්ණමය අවස්ථාවකි. එවන් අදහසක් මා දරන්නට හේතු කාරණා ඉදිරිපත් කරමි.

 

පෝර්ට් සිටිය යනු...

පෝර්ට් සිටිය (Port City) හෝ වරාය නගරය යනු කොළඹ ගාලුමුවදොර පිටියට යාබදව, ගොඩබිමෙන් වෙන්ව පිහිටි මිනිසා විසින් සාදන ලද දූපතකි. ලොව බොහෝ රටවල මිනිසා විසින් මුහුද ගොඩ කර ඉදි කරනු ලැබූ කෘත්‍රීම දූපත් දක්නට ලැබේ. (ලෝකප්‍රකට ඩුබායි හි The Palm Jumeirah එවැනි ගොඩ කිරීමකි.) ස්වභාවිකව නොව මිනිසුන් විසින් ඉදි කළ නිසා මෙවන් දූපත් “man-made island” ලෙස ඉංග්‍රීසියෙන් හඳුන්වයි.

පෝර්ට් සිටිය යනුවෙන් අප කෙටියෙන් හැඳින්වුවත් එහි සම්පූර්ණ නීත්‍යානුකූල නම වනුයේ "The Port City Colombo Development Project (PCCDP)" ය.

මෙය CHEC Port City Colombo Pvt Ltd මඟින් මූලික ආයෝජනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක් වැනි දැවැන්ත මුදල් ප්‍රමාණයක් ආයෝජනය කර ඉදිකරන ලද්දකි. මේසා දැවැන්ත මුදලක් ආයෝජනය කර මුහුද ගොඩ කර ලබා ගන්නා ලද භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 ක් විශාල වන්නේය. එසේම මේ ගොඩ කරන ලද කොටස "විශේෂිත වූ ආර්ථික කලාපයක් (SEZ)" ලෙස පවත්වාගෙන යාමට සැලසුම් සකස් කර ඇත.

පෝර්ට් සිටියට අදාළ ඉඩම් ගොඩකිරීම (land reclamation) 2019 වසරේ දී නිමාවට පත් විය. දැනට එම ගොඩ කළ භූමියේ මූලික යටිතල පහසුකම් දියුණු කරමින් (infrastructure development phase) පවතී. මෙහි සම්පූර්ණ ව්‍යාපෘතිය නිමකිරීමට ඇස්තමේන්තු කර ඇත්තේ 2041 දීය. දැනට ගොඩ කරන ලද ඉඩම් කොටසේ, සම්පූර්ණ ඉදිකිරීම් ඉඩ ප්‍රමාණය (gross floor area - GFA) ව.මී. මිලියන 5.7 පමණ ද, වාහන නැවැත්වීමේ පහසුකම් සමඟ ව.මී. මිලියන 6.9 ක් පමණ ද වේ. මෙම වරාය නගරය මහල් නිවාස, ව්‍යාපාර, සාප්පු සංකීර්ණ සහ සංචාරක (residential, commercial, retail and hospitality) යන අංශයන් ඉලක්ක කර ගනිමින්, වර්තමානයේ දියුණු රටවල් කිහිපයක පමණක් භාවිතා වන ජාත්‍යන්තර මට්ටමේ අතිනවීන සාමාජීය යටිතල පහසුකම් (social infrastructure) සහිතව ඉදිකරනු ලබයි.

 

CHEC Colombo Port City (Pvt) Ltd යනු කුමක්ද?

PPP (Public Private Partnership) ක්‍රමය යටතේ ශ්‍රී ලංකා රජයත් CHEC (China Harbour Engineering Company) යන චීන සමාගමත් එක්ව කරන්නා වූ හවුල් ආයෝජනයකි. CHEC යනු චිනයේ China Communications Constructions Company Limited (CCCC) සමාගමේ අනුබද්ධ සමාගමකි. ඒ සමාගම පෝර්ට් සිටියට කළ මූලික ආයෝජනයට ප්‍රතිලාභ ලෙස හෙක්ටයාර 116 බිම් ප්‍රමාණයක් 99 අවුරුදු කල්බදු අයිතිය ලබා ගනී. (මුළු බිම් ප්‍රමාණය ආසන්නව හෙක්ටයාර 269.)

CCCC යනු ලොව පුරා විහිදුණු, හැටකට අධික අනුබද්දිත සමාගම් සහිත ලෝකයේ ඇති දැවැන්තම ඉංජිනේරු සහ ඉදිකිරීම් සමාගමකි. මෙය ලොව පුරා රටවල් 103ක ශාඛා 193ක් ඇති ප්‍රධාන ගෝලීය සමාගමක් (global company) මෙන්ම, ඉතාම විශිෂ්ට කීර්ති නාමයක් සහිත සමාගමකි. CCCC සමාගම, Hong Kong Stock Exchange and Shanghai Stock Exchange ලැයිස්තුගත සමාගමකි.

වර්ෂ 2019 දී ලොව ප්‍රබලතම සමාගම් 500 ශ්‍රේණිගත කිරීමේ ලෝකප්‍රකට Fortune500 සඟරාව මඟින් CCCC 93 වැනි ස්ථානයටත්, Engineering News Record (ENR) මඟින් ලොව ඉහළම ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගම් 250 අතුරින් තුන් වැනි ස්ථානයටත් තෝරා ඇත.

Shantou New East Coastal Area Development Project සහ Guangzhou Nansha New District Development Project යනු CCCC මගින් ඉදිකළ ජාත්‍යන්තර මට්ටමේ ඇති අතිවිශාල ව්‍යාපෘතින් වේ. මීට අමතරව එම සමාගම ශ්‍රී ලංකාවේදී දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිට රවුම් අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, කොළඹ වරායේ දකුණු ජැටිය වැනි ව්‍යාපෘති සඳහා සක්‍රීය දායකත්වය ලබා දී ඇත.

කොළඹ පෝර්ට් සිටිය, රැකියා උත්පාදනය (employment), විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය(attracting FDIs), දළ දේශීය නිෂ්පාදිතයේ එකතු කළ අගය වැඩි කිරීම (value addition for GDP), ගෙවුම් ශේෂ හිඟය කළමනාකරණය (BOP management) සහ අවසානයේ දී රජයේ ආදායම්(government income) වැඩි කිරීමේ ලා මූලික වශයෙන් ප්‍රමාණාත්මක හා ධනාත්මක බලපෑමක් නිසැක ලෙසම එල්ල කරනු ඇත.

ඉඩම් ගොඩ කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය සහ කල්බදු පහසුකම් යටතේ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම දැනට සිදු වෙමින් පවතින අතර, මෙම පියවරේදී පමණක් රැකියා අවස්ථා 6400ක් ද, ගොඩනැංවීමේ කටයුතු ආශ්‍රිතව සෘජු හා වක්‍රව මිනිස් ශ්‍රම පැය 160,172 ද, පවත්වාගෙන යාමේදී සෘජු හා වක්‍ර, පුහුණු නුපුහුණු රැකියා අවස්ථා 210,355 ද උත්පාදනය කිරීමට බලාපොරොත්තු වෙයි. මෙය ඉහත කී ලෙස සංචාරක, සෞඛ්‍ය, අධ්‍යාපන හා සාප්පු සංකීර්ණ යන ක්ෂේත්‍රයන් හා බැඳුණු සේවාවන් රැසක් ආශ්‍රිත රැකියාවන් වේ.

විදේශ සෘජු ආයෝජන ගැන කතා කිරීමේ දී මූලික යටිතල පහසුකම් හා ගොඩකිරීම් සංවර්ධනයේදී ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් (මූලික ආයෝජනය වූ USD1.4 bn ද ඇතුළුව) සහ බිම් කුලී වශයෙන් ඇමරිකානු ඩොලර් 2.7 ක ලැබීම් ද ඇස්තමේන්තු කර ඇත. (LKR 13.0Mn p.p, may vary during active time of lease.)

ගොඩනැංවීමේ පියවරේ දී ඇමරිකානු ඩොලර් බිලියන 5.1 ක් (75% පිරිවැය)අනිවාර්යෙන් විදේශයෙන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන අතර එසේ ආයෝජනය කරන අයගෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන 0.7 ක් පමණ ප්‍රමාණයක් පෝර්ට්සිටිය තුළම නැවත ආයෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

දළ දේශීය නිෂ්පාදනය සඳහා ආයෝජනය සහ පරිභෝජනය යන දෙයාකාරයෙන් ම දායකවීම බලාපොරොත්තු වේ. ගොඩකිරීමේ සහ ඉදිකිරීම් කාලය ඇතුළතදී ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක ප්‍රමාණයක් බලාපොරොත්තු වෙයි. එසේම මෙය පවත්වාගෙන යාමේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 11.8 ක ප්‍රමාණය වාර්ෂිකව රටේ දළ දේශීය ආදායමට එකතුවීම බලාපොරොත්තු වේ.

ඉදිකිරීම් අවදියේ දී ගොඩනැගිලි ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ආයෝජනයන් පිටට ගලා යෑම පැවතුණත්, පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවසානයේ දී ගෙවුම්ශේෂ කළමනාකරණ සඳහා ධනාත්මක සහ ප්‍රමාණාත්මක බලපෑමක් බලාපොරොත්තු වෙයි. මූලික වශයෙන් බදු අදායම් සහ කුලී ආදායම් වලින් ද, ගොඩනංවන කාලයේ දී භාණ්ඩ ගෙන්වීමේදී අය කරන බදු ආදායම්, VAT, අනෙකුත් බලපත්‍ර සහ ගාස්තු වැනි දෑ හරහා රජයේ ආදායමට වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ප්‍රමාණයක් එකතුවේ යැයි බලාපොරොත්තු වේ.

ඉඩම් ප්‍රමාණය ගැන කතා කිරීමේ දී පෝට් සිටියේ මුළු ඉඩම් ප්‍රමාණය වනුයේ හෙක්ටයාර 269 පමණ ප්‍රමාණයකි. එය නගර සැලසුම්කරණයට අනුව Financial District - 40Ha, Marina District - 15Ha, Central Park Living - 95Ha හා Central Living - 85Ha ලෙස බෙදා ඇත.

ගොඩකිරීම් නිමාවෙන් අනතුරුව මුළු ඉඩම් ප්‍රමාණයම නාගරික සංවර්ධන අධිකාරිය (UDA) වෙත වර්ෂ2019 දී පවරා ඇති අතර CPCC (CHEC Port City Colombo Pvt Ltd), නාගරික සංවර්ධන අධිකාරියසහ මෙගාපොලිස් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය (UDA and Ministry of Megapolis and Western Development) සහ ශ්‍රී ලංකා රජය යන අය අතර ත්‍රෛයිපාර්ශ්වීය (tripartite) ගිවිසුමකින් කළමනාකරණය වේ.

ඒ අනුව අයිතිය ගැන බැලීමේදී 57% ක් ශ්‍රී ලංකා රජයටත්, 43%ක් CPCC සමාගම සඳහා 99 අවුරුදු කල්බදු ක්‍රමය යටතේ අයිති වනු ඇත. මීට අමතරව CPCCය ඉදිරියේදී මුහුද ගොඩ කිරීමට අමතරව වෙළඳ හා ප්‍රචාරන කටයුතුවලදී මෙන්ම කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (Colombo International Financial Centre) සංවර්ධනය කිරීමේදීත් සක්‍රියව දායක වනු ඇත.

මේ අනුව CHEC සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් වන කොළඹ පෝර්ට් සිටිය, ශ්‍රීලංකාවේ ආර්ථිකයේ හැරවුම් ලක්ෂ්‍යයේ ආරම්භය බව නොඅනුමානය.

පෝර්ට් සිටි  
නිම කිරීමෙන් පසු දර්ශන

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ලෝකයේ විවිධ ආර්ථික තත්ත්ව

ගෙවුම් ශේෂය (Balance of Payment) යනු වසරක් තුළ රටක් විසින් අනෙකුත් රටවල් සමඟ (නේවාසිකයන් සහ අනේවාසිකයින් අතර) කරනු ලබන ආර්ථික ගනුදෙනු වල විස්තර දක්වන වාර්තාවකි. මෙම ලේඛනගත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ BPM6 (Balance of Payments and International Investment Position Manual - 6th Edition by IMF 2009 ) යන ප්‍රමිතියට අනුකූලව සිදු කරනු ලබයි.

ගෙවුම් ශේෂ ලේඛනය රටක ආර්ථික තත්ත්වය සහ විදේශ වත්කම් පවතින ආකාරය පෙන්නුම් කරන ඉතාම වැදගත් දර්ශකයකි. මෙය අප සාමාන්‍ය ගිණුම් තබා ගන්නා ආකාරයටම ද්විත්ව සටහන් ක්‍රමය අනුව හර සහ බැර (debits and credits) යොදා ගනිමින් ඉහත කී ප්‍රමිතියට අනුකූලව තුලනය (balance) කරනු ලබයි.

ගෙවුම් ශේෂ ගිණුම (BOP) කොටස් තුනකින් සමන්විත වේ. භාණ්ඩ හා සේවා ගිණුම (Goods and services), ප්‍රාථමික ආදායම් ගිණුම (Primary income), ද්විතීක ආදායම් ගිණුම (Secondary income) යන ඒවායින් සැදුම්ලත් ජංගම ගිණුම නොහොත් වර්තන ගිණුම (Current Account), දිගුකාලීන අරමුණෙන් කරනු ලබන ඉපයීම් හෝ වියදම් වාර්තාවන ප්‍රාග්ධන ගිණුම (Capital Account) සහ සෘජු ආයෝජන (Foreign Direct Investments), කළඹ / විවිධ ආයෝජන (Portfolio Investment), අනෙකුත් ආයෝජන (Other Investments) , මූල්‍ය වියුත්පන්න (Financial Derivatives) සහ සංචිත වත්කම් (Reserved Assets) වලින් සමන්විත එම රටේ මුදල් ගලා යෑම සහ ගලා ඒම පිළිබඳව සටහන් කරන මූල්‍ය ගිණුම (Financial Account) වශයෙනි.

ශ්‍රී ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය කාලයක් තිස්සේම හිඟයක් පෙන්නුම් කරන අතර එම හිඟය ක්‍රමයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් ද පවතී. ප්‍රාග්ධන ගිණුමේ ඩොලර් මිලියන 50 ට අඩු අතිරික්තයක් කාලයක් තිස්සේ පවතී.

රටක ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂයන්හි හිඟයක් දිගු කාලීනව පවතී නම් එය ගෙවුම් ශේෂ අර්බුදය එසේ නැතහොත් ගෙවුම් ශේෂ ගැටලුවක් ලෙස ආර්ථික විද්‍යාවේ දී හඳුනා ගැනේ.

ගෙවුම් ශේෂ හිඟයක් යනු රටක ආනයන වියදම් ගෙවා ගැනීමට තරම් ප්‍රමාණවත් අපනයන ආදායම් නැතිවීමයි. එනම් ලෝකයා හමුවේ අපේ රට ශුද්ධ ණය හිමියෙක්ද ණයගැතියෙක් ද යන්න මෙයින් පෙන්නුම් කරයි. මෙය ඉතා සරල කාරණාවක් ලෙස මෙලෙස ලුහුඬු කර දැක්වූවාට, මෙය රජයක් මුහුණ දෙන ඉතාම භාරදූර කාර්යයක් වේ.

ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීම යනු රජයේ ප්‍රධාන වගකීමක් වන අතර, පිළියම් නොයෙදූ ගෙවුම් ශේෂහිඟයක් (BOP deficit) රටක උද්ධමනය (Inflation), මන්දගාමී වර්ධනය (slow economic growth) සහ අඩු ජීවන මට්ටම් (lowered standard of living/poor standards) වලට හේතු වේ. විදේශ වත්කම් අඩු වීම, පොලී අනුපාත ඉහළ යාම, රැකියා විරහිත බව වැඩි වීම, විදෙස් ණය ඉහළ යාම, දේශිය මුදලේ අවප්‍රමාණය වීම් වැනි අහිතකර ආර්ථික ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදුවේ.

ඉහත සඳහන් ආර්ථික ප්‍රතිවිපාක වල බලපෑම අවම කිරීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීන මූල්‍ය ක්‍රමවේද යොදාගනී. විදේශ සංචිත යොදා ගැනීම, ණය ලබා ගැනීම වැනි කෙටිකාලීන මූල්‍ය ක්‍රමෝපායන් සෑම විටම පිරිවැය අධික වේ.

දිගුකාලීන ගෙවුම්ශේෂ කළමනාකරණය සඳහා අපනයන විවිධාංගීකරණය, සෘජු විදේශ ආයෝජන, සාම්ප්‍රදායික නොවන අපනයන දිරිමත් කිරීම, අපනයන ප්‍රවර්ධන කලාප පිහිටුවීම සහ විදේශ රටවල් සමඟ වෙළඳ ගිවිසුම් වලට එළඹීම වැනි දෑ කළ හැක. තවද විනිමය අනුපාතය අවප්‍රමාණය කිරීම, දේශීය උද්ධමනය පාලනය කිරීම, ආනයන ආදේශන කර්මාන්ත වැඩිදියුණු කිරීම, අත්‍යවශ්‍ය ආනයන හැර අවශේෂ ආනයනය සීමා කිරීම වැනි දෑ ද ප්‍රයෝජනවත් වේ. මේවා දිගුකාලීන ප්‍රතිඵල ලබා දෙනඅතර පිරිවැය අතින්ද කාර්යක්ෂම වේ. නමුත් ක්‍රියාත්මක කිරීමේදී සමහර ඒවා ජනප්‍රිය තීරණ නොවේ.

ගෙවුම් ශේෂ අර්බුදය කළමනාකරණය කිරීමේදීත්, දියුණුවෙමින් පවතින රටක් වශයෙන්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරගකාරීත්වයක් දීමට තාක්ෂණය අත්පත් කර ගැනීමේදීත් විදේශ සෘජු ආයෝජන (Foreign Direct Investment - FDI) යනු කදිම මෙවලමකි (tool).

FDI යනු විවෘත, කාර්යක්ෂම, ජාත්‍යන්තර ආර්ථික පද්ධතියක් ඇති කර ගැනීමේදී උපකාරීවන විශාල උත්ප්‍රේරකයකි.

(ඉතිරි කොටස ලබන සතියේ)

Comments