අව­සන් ගමන් යන්න ඉස්ත­රම්ම කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටි | සිළුමිණ

අව­සන් ගමන් යන්න ඉස්ත­රම්ම කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටි

දෙහි­වල ගල්කිස්ස නගර සභාව විසි­න් කො­රෝනා මෘත දේහ බහා­ලීම සඳහා කාඩ්බෝර්ඩ් මිනී පෙට්ටි හඳුන්වා දී ඇති අයුරු

 

මාස කිහිපයකට ඉහතදී කොහුවල කනත්තෙහි පැවති අවමංගල්‍යයකට සහභාගිවී එන අතරතුර අපූරු කතා බහක් අහන්නට ලැබිණි.

 

“චාග්... අපරාදෙ කියන්න බැහැ පෙරේරා උන්නැහේගෙ අවමංගල්‍යයෙ කටයුතු ටික නම් අපූරුවට කෙරුණා. දැක්කද? පෙට්ටියම විතරක් පනස් දහකට වැඩියි මගෙ හිතේ...”

“රට්ටු මොනව කිව්වත්, රත්තරන් වටින දරුවො ටික. ආයෙ අවමඟුලට ලක්ෂ තුන හතරක් වත් වියදම් කරන්ඩ ඇති‍.” ජීවත්ව සිටියදී තම මහලු පියා වැඩිහිටි නිවාසයක භාරයේ තබා, ඉඳ හිට මිසෙක බලන්නට නොපැමිණි පෙරේරා මහතාගේ දරුවන් අවමඟුල් කටයුතු පංකාදු පහට සූදානම් කර තිබූ අන්දම පිළිබඳ බොහෝ දෙනෙකු ප්‍රශංසා මුඛයෙන් කතා කරනු අසන්නට ලැබිණි.

“යමෙකු මිය ගිය විට මහ පොළොවට පස්වන සිරුර භූමදානය හෝ ආදාහනයකට ගෙන යාම සඳහා ‘මිනී පෙට්ටිය’ යොදා ගැන්ම ආරම්භ වූයේ කවදාදැයි නිශ්චිත නොවූවකි. එහෙත් ලෝකයේ පැරණිම සුසාන භූමිය මීට වසර දහ තුන්දහසකට පමණ පෙර වූ බැව් විශ්වාස කිරීමට සාක්ෂි ඇත.

අතීතයේදී යමෙකු මිය ගිය විට මිහිදන් කිරීමට මිනී පෙට්ටි භාවිතා නොවුණි. ඒ වෙනුවට මළ සිරුර සුදු පැහැති රෙදි කඩෙක ඔතා වනාන්තරයෙහි තබා යෑමේ පුරුද්දක් විය.

එහෙත්, කාලයාගේ ඇවෑමෙන් ලෑලි භාවිතා කර සැකසූ මිනී පෙට්ටි භාවිතා කරන්නට වූ නමුදු ඒ ඉතාම ප්‍රාථමික තත්ත්වයේ පැවති මිනී පෙට්ටි විය. එහෙත් මේ වනවිට මිනී පෙට්ටිය වඩාත් නවීකරණය වී ඇති අතර, විවිධ මිල ගණන් යටතේ, විවිධ පැහැයන් සහ අංගෝපාංගයන්ගෙන් යුත් මිනී පෙට්ටි අලෙවිය තබා ඇත්තේ තරගකාරී ලෙසිනි.

යමෙකු මිය ගිය විට දේහය පෙට්ටියක බහා භූමදානය කරනුයේ මිය ගිය තැනැත්තාට කරන ගෞරවයක් ලෙසිනි. එසේ වුවත්, අද සමාජයෙහි නම් එය මිය ගිය තැනැත්තාගේ පවුලෙහි සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරන ‘මිනුම් දණ්ඩක්’ වී ඇති ආකාරයක් ද දක්නට හැකි ය.

“මහ ලොකු සල්ලිකාර දුවල පුතාල හිටියට මොකද මිනී පෙට්ටියට විසි දහක්වත් වියදම් කරල නැතිවා වගෙයි...”

මඟුල් උත්සවයකින් පසු මනාලිය හැඳ සිටි සාරිය, ඇගේ මව හැඳ සිටි සාරියේ වටිනාකම, කෑම බීම, පැමිණ සිටි අමුත්තන් ආදියෙන් මනාල යුවළගේ සමාජ තත්ත්වය තක්සේරු කරන සමාජයක, මිනී පෙට්ටියෙන් පවුලේ තත්ත්වය තක්සේරු කිරීම ගැන පුදුම වන්නට ද හේතුවක් නැත.

මෙයට වසර හතළිහකට, පනහකට ඉහතදී මිනී පෙට්ටි සැකසුම මෙන් ම අලෙවිය ද සිදු කරනු ලැබූයේ සීමිත පිරිසක් විසිනි.

උපදින සෑම සත්වයෙකුම මරණයට පත්වීම නියතයක් වුවද, මිනී පෙට්ටිය මෙන් ම එම කර්මාන්තයෙහි යෙදෙන වුන් පවා සමාජයේ ඇතැමුන් සැලකූයේ අසුබ සලකුණු ලෙසිනි.

“මිනී පෙට්ටි සාප්පු කාරයා”... යනුවෙන් හැඳින්වූ ඔහුට සමාජයේ එතරම් පිළිගැනීමක් නොතිබුණි. එහෙත් මේ වනවිට ‘අවමංගල සේවා අධ්‍යක්ෂකවරුන්’ යන වෘත්තීය නාමයෙන්, තම සේවාවන් වඩාත් නවීකරණයට ලක්කොට, සේවාවන් පවත්වාගෙන යනු ලබන අවමංගල්‍ය සේවා සැපයුම් කරුවන්, නවීන මාදිලියේ අංගෝපාංග, සේවාවන්, උපකරණ, හඳුන්වාදීම මඟින් පාරිභෝගික සිත් ඔවුනගේ ග්‍රහණයට නතු කරගනිමින් සිටිනුයේ තරගකාරී ලෙසිනි.

ලෝකයේ බොහෝ රටවල අවමංගල සේවා සපයන්නවුන්ගේ සේවාවන් වඩාත් ලාබ උපයන ව්‍යාපාරයක් බවට පත්වෙද්දී, එකිනෙකාගේ රුචිය අනුව, සාක්කුවේ ඇති ‘පොකට්ටුවට’ ගැළපෙන අන්දමට වඩාත් මන බඳිනා මිනී පෙට්ටි සැකසුම සඳහා ඔවුන් අතර තරගකාරී බවක් ඇත.

“ආදාහනාගාරයෙහිදී විනාඩි 15 කින් ඔබගේ ආදරණීයයෙකුගෙන් නිසි ලෙස සමුගැන්ම දුෂ්කර වූවකි. සමුගැන්මට ඔබට නියම වේලාව, අවකාශය, පරිසරය මෙන් ම මියගිය ආදරණීයයන්ගේ සිරුර සුව පහසු ලෙස සකසාලන්නට ඔබ කැමැති අන්දමේ ‘මිනී පෙට්ටිය’ තෝරාදීමට අපට පුළුවන...”

මේ එවැනි විදෙස් අවමඟුල් සේවා සපයන සමාගමක් විසින් තම සේවාලාභීන් ආකර්ෂණය කරගැන්ම සඳහා අන්තර්ජාලය හරහා පළ කර තිබූ දැන්වීමකි.

ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුට සාමාන්‍ය මිලට ගත හැකි මිනී පෙට්ටි හැරුණු විට ෆලයිබර් ග්ලාස්, ෆයිබර් බෝඩ්, ප්ලාස්ටික් හා ලෝහ වලින් සැකසූ ‘කැස්කට්’ ද වන අතර, මහෝගනී වැනි ‘කැස්කට්’ එකක් ඩොලර් දහ දහක් වැනි මිලකට අලෙවි වෙයි.

එසේ වුවත්, මේ වනවිට ලෝකයේ බොහෝ රටවල් සම්ප්‍රදායික ක්‍රමවේදයක් වූ ලෑලි භාවිතයෙන් මිනී පෙට්ටි නිමයුම වෙනුවට පරිසරයේ ඇති විවිධ ද්‍රව්‍ය උපයෝගි කොටගෙන මිනී පෙට්ටි නිපදවීමට පටන්ගෙන ඇත්තේ වඩාත් නිර්මාණශීලී ලෙසිනි. උණ ගසෙහි උණ බම්බුවෙන් සාම්ප්‍රදායික මිනී පෙට්ටියෙහි හැඩයෙන් මෙන් ම වටකුරු හැඩයෙන් මිනී පෙට්ටි නිපදවන බව ඇසුවහොත්, පිළිගැන්මට පවා අපහසු වන්නක් විය හැකි ය. එහෙත් දැන් දැන් පරිසරය සුරැකීම පිළිබඳව බොහෝ දෙනෙකු තුළ වැඩි උනන්දුවක් හ‍ටගෙන ඇති බැවින්, මෙම උණ බම්බුවෙන් සැකසූ මිනී පෙට්ටි ඇමෙරිකාව වැවනි රටවල පවා ජනප්‍රියව ඇත්තේ ඒවා සම්ප‍ූර්ණයෙන් ම ජෛව හායනයට ලක්වන බැවිනි.

කෙසෙල් කොළය සම්ප්‍රදායික ලෑලි මිනී පෙට්ටිවලට විකල්පයක් ලෙසින් විවිධ හැඩයන්ගෙන් මෙන් ම විවිධ නිමවුම් රටාවන්ගෙන් යුක්තව විවිධ මිල ගණන් යටතෙහි ඇතැම් බටහිර රටවල අවමංගල්‍ය සේවා සැපයුම්කරුවන් විසින් වෙළෙඳපළට හඳුන්වා දී ඇත.

වක්වූ කෙළවරක් සහිත, තනි වර්ණයෙන් නිමවූ කෙසෙල් කොළ මිනී පෙට්ටියක් පවුම් පන්සිය විස්සක් පමණ මිලකට අලෙවි වෙයි. මිය ගිය ආදරණීයයෙකුට මිනී පෙට්ටියක් තෝරා ගැන්මේදී ඕනෑම තරාතිරමක පුද්ගලයකු සිතනුයේ කෙසේ හෝ තමන්ට හැකි උපරිම මට්ටමෙන් හොඳම පෙට්ටියක් මිලදී ගැන්මටය.

මිනී පෙට්ටි තෝරා ගැනීමේදී ඇතැමුන් හුදෙක්ම ‘සමාජ තත්ත්වය’ වැනි දෑ පිළිබඳව අවධානය යොමු කළ ද, වැඩි දෙනෙකු ‘හොඳම මිනී පෙට්ටියක්’ තෝරා ගැනීමට පෙලඹෙනුයේ එය මිය ගිය තැනැත්තා වෙනුවෙන් තම හදවතෙහි ඇති ආදරය, ගෞරවය, දැක්වීමට ලැබෙන අවසන් අවස්ථාව යන සිතුවිල්ල හේතුවෙනි.

“අපරාදෙ, පස්වලට යටවෙලා යන මේ පෙට්ටියට ඔච්චර ලොකු සල්ලියක් වැය කරන්න ඕනෙද?” යමෙකුට සිතෙන්නට පුළුවන. එහෙත් මිය ගිය තැනැත්තා වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වීමට සූදානම් වන්නෙකුට යම් කිසි ලෙසකින් එය මුදල් අපතේ යැවීමක් ලෙසින් නම් කිසිසේත් නොසිතෙනු ඇත.

ඒ කෙසේ වුවත් ‘මිනී පෙට්ටියට’ නව මුහුණුවරක් ගෙනෙමින් එංගලන්තයෙහි සම්පූර්ණයෙන් ම ලොම් භාවිතයෙන් සැකසූ මිනී පෙට්ටි විවිධ මිල ගණන්වලට ඇත. එමෙන් ම යෝක්ෂයර් හිදී වියා නිමවන ලද මෙම මිනී පෙට්ටි, මිය ගිය දේහයක් භූමදානයට මෙන් ම ආදාහනය සඳහා ද සුදුසු ය.

කොවිඩ් වසංගතය තුළ උද්ගතව පවත්නා තත්ත්වය, බොහෝ දෙනෙකුට වෙනදාට වඩා ජීවිතයෙහි ඇති අවිනිශ්චිත බව එහෙයින් ම බොහෝ දෙනෙකු මරණය මෙන් ම මිනී පෙට්ටි ගැන ද සමාජ මාධ්‍ය හරහා විවිධ සිතුවිලි, අදහස් පළ කරන්නට වූ අතර, අඩු වියදමකින් පහසුවෙන් නිර්මාණය කරගත හැකි ‘කාඩ්බෝඩ්’ මිනී පෙට්ටි පිළිබඳව දැරූ අපූරු අදහසක් බොහෝ දෙනෙකුගේ අවධානයට යොමු වී තිබුණේ එය පරිසර හිතකාමී වුවක් නිසාවෙන් විය හැකි ය.

“ඇත්තෙන් ම ඔබ පරිසරයට ආදරය කරන්නෙකු නම්, පරිසර හිතකාමී අවමංගල්‍යයක් වෙනුවෙන් කාඩ්බෝඩ්වලින් සැකසූ වඩාත් සරලම මිනී පෙට්ටි සුදුසු වන අතර, මෙවැනි පෙට්ටියක් ඩොලර් පනහක් වැනි අඩු මිලකට ලබාගත හැකි ය.

“කාඩ්බෝඩ්වලින් හදපු මිනී පෙට්ටියක්, මිනියක් ගෙනියන්න තරම් ශක්තිමත්ද? යමෙකු සිතිය හැකි වුවත්, මිනී පෙට්ටියක් නිර්මාණය සඳහා කාඩ්බෝඩය නවනුයේ ඉතා ශක්තිමත් අන්දමට පවතින ලෙසිනි. එහෙත් මෙවැනි කාඩ්බෝඩ් මිනී පෙට්ටි තවමත් එතරම් ම ජනප්‍රිය වී නැත.

එහෙයින් මිය ගිය තැනැත්තාගේ පවුලේ සාමාජිකයන් මෙන් ම හිතවතුනට පෙට්ටිය මතුපිට ඔවුනගේ අත්ල සටහන් තැබීම, පෙට්ටිය මත සිතිවිලි සටහන් කිරීම, පෙට්ටිය මත පින්තාරු කිරීමට පවුලේ සාමාජිකයන්ට හා හිතවතුන්ට අවකාශය ලබාදීම, මඟින් එය වඩාත් ‘ආකර්ෂණීය’ මෙන් ම ජනප්‍රිය කරලීමේ ක්‍රමෝපායන් වෙත මෙම කාඩ්බෝඩ් මිනී පෙට්ටි නිෂ්පාදකයන්ගේ අවධානය යොමුව ඇත.

යමෙකු මිය ගිය විට මළ සිරුර භූමදානය කර, ඒ මත ස්මාරක ගොඩනැගීමට ද දිගු ඉතිහාසයක් ඇත‍. එහෙත් ලෝකයේ ජනගහනය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී උද්ගත වන වගා බිම්, කර්මාන්ත හා නිවාස තැනීම වැනි අවශ්‍යතා හමුවේ ස්මාරකයන් සඳහා බිම් කඩ වෙන්කිරීම අනාගතයෙහිදී වඩාත් ගැටලුකාරී වනු ඇත. එහෙයින් මළ සිරුරු භූමදානය කොට සමරු ඵලක ගොඩනැගීම වෙනුවට මළ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ දැන් දැන් ලෝකය පුරා වෙසෙන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවෙමින් පවතියි.

එංගලන්තයෙහි ලුක් පෙරී 2019 හිදී, මිය ගිය විට ඔහුගේ මරණය පිළිබඳව පුවත වඩාත් ප්‍රසිද්ධියට පත්වූවක් විය. එයට එක් හේතුවක් වූයේ ඔහුගේ සිරුර ‘පරිසර හිතකාමී, බිම්මල්වලින් නිමවූ ඇඳුමක තැන්පත් කර ලීමය. එමඟින් ඔහුගේ සිරුර දිරාපත් වනවිට කෙමෙන් එය සොබා දහමට එක්විනි.

උතුරු කැලිපෝනියාවේ වනාන්තරය හරහා ගමන් කරන්නෙකුට එහි ඇති ගස් සියල්ලම අංක යොදා ඇති හැටි දක්නට හැකිය. වනාන්තර යනු සොහොන් බිම් සඳහා වන විකල්පයන් ලෙස හුවා දක්වන්න වුන් පවසන්නේ යමෙකු මිය ගිය විට, සොහොන මත ස්මාරකයක් තනනු වෙනුවට මිය ගිය සිරුර ආදාහනය කර ඉතිරිවූ අළු වනාන්තරයෙහි පසට මිශ්‍ර කිරීම වඩාත් උචිත බවයි.

කොවිඩ් වසංගතයත් සමඟ ම මියයන්නවුන්ගේ සිරුරු භූමිදානය කිරීමේ සම්ප්‍රදායික ක්‍රම වෙනුවට යමෙකු මිය ගිය විට දේහය සාගර පතුලෙහි කෘතිම ගල්පර බවට පත්කිරීමේ අපූරු ක්‍රමවේදය හඳුන්වා දුන් Florida හි Eternal Reef සමාගම පවසන්නේ, මේ පිළිබඳව මිනිසුන්ගේ අවධානය ‍වඩාත් යොමුවී ඇති බවකි.

මෙමඟින් සිදු කරන්නේ මිය ගිය තැනැත්තාගේ සිරුරෙහි අළු පරිසර හිතකාමී කොන්ක්‍රීට් මිශ්‍රනයකට එක් කරලීමය.

ඔහු පවසන අන්දමට පසුගිය වසර වනවිට ගල්පර දෙදහසකට වැඩි ප්‍රමාණයක් නැගෙනහිර වෙරළ ඔබ්බෙන් වූ ස්ථාන විසි පහක ස්ථාපිත කර ඇත.

නමුත් මිය ගිය පසු තම දේහය ගොඩබිමෙහි තිබෙනු දැක්මට කැමැත්තක් දක්වනවුන් සඳහා ‘මිනිස් කොම්පෝස්ට්’ තාක්ෂණ‍යක් නිපදවා ඇති අතර දින තිහකින් පසු එමඟින් මළ සිරුරක් පස් බවට පත්කෙරෙයි. බොහෝ විට ජීවත්ව සිටියදී ජීවිතය ගැන සිතීමට වඩා ‘මරණය’ ගැන මෙන් ම ‘තරු පහේ අවමඟුලක්’ ගන්නා හැටි පිළිබඳ සැලසුම් කරන්නට හීන දකිනවුන් මෙන්ම වෙහෙසෙනවුන් ද සමාජයේ වෙති.

ඩොලර් විසි නව දහසක් වැය කර ක්වාලාලාම්පූර්හි චෙරාස්හි සුඛෝපභෝගී ෂියා ඕ එන් මධ්‍යස්ථානයේදී වූ එවැන්නෙකුට තම සිහින සැබෑ කරගැන්මට දැන් ඉඩකඩ ඇත. හිස තබන කොටස විවෘත වූ, මහෝගනී ලීයෙන් නිර්මාණය කළ කැස්කට්ටුවක, වෙල්වට් ඇතිරිලිවලින් ආවරණය වූ යහන මත මිය ගිය සිරුර එසේ සතපවන්නට පුළුවන. එවැනි මිල අධික, සුඛෝපභෝගී මිනී පෙට්ටියක සදාකාලික සුවයෙන් සැතපෙන්නට අකමැති වූවෙකු වෙනුවෙන් මෙම ස්ථානයේදී ජෛව හායනයට ලක්විය හැකි මිනී පෙට්ටියක් සහ උඳුනක් ලබාදෙන අතර, සිරුර දැවී, නිමවූ පසු ඉතිරිවන අළු උද්‍යානයක හෝ වායු සමීකරණය කරන ලද කොලම්බරියමක (Columbarium) තැන්පත් කරනු ලබයි.

මරණය සැවොම මුහුණ දෙන්නකි. එහෙත් ගැටලුව නම්, බොහෝ දෙනෙකු නොමැරෙනවුන් ලෙස ජීවත්වීමට උත්සාහ දැරීමය.

බොරැල්ල හන්දියේ දී ත්‍රිරෝද රථයක් පිටුපස සටහන්වී තිබූ අ‍පූරු කියමනක් මගේ මතකයට නැ‍ඟෙයි.

“මතක තියාගනින්

මැරීගෙන සල්ලි හම්බ කරත්

මිනී ඇඳුමට සාක්කු නැති වග”

මෙම ත්‍රිරෝද රථයෙහි පසුපස එවැනි සටහනක් තැබූයේ දාර්ශනිකයෙකු නොවූවත්, එම කියමනෙහි හාස්‍යයට ඇතුළතින් වූ යථාර්ථය අවබෝධ කරගත් යමෙකුට, ‘නොමැරෙන්නකු ලෙස සිටීමට වඩා, මහපොළවට, සොබාදහමට හානියක් නොවන සේ මරණින් පසු තම සිරුර ‘අවසන් ගමන් යා යුත්තේ’ කුමන අන්දමින්ද යන්න සිතා බැලීමට එය කදිම අවස්ථාවක් වනු ඇත.

 

Comments