රැවුල් - කැඳ හා ටෝකියෝ ඔලිම්පික් උලෙළ | සිළුමිණ

රැවුල් - කැඳ හා ටෝකියෝ ඔලිම්පික් උලෙළ

 

දෛනිකව ජපානයේ කොවිඩ් රෝගීන්ගේ වැඩි වීමක් වාර්තා වුව ද, තවත් දින පනස් ගණනකින් පමණ ටෝකියෝ ඔලිම්පික් උ‌ලෙළ ආරම්භ වීමට නියමිත ය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) අවධාරණය කරන්නේ ටෝකියෝවේ දැනට කුමනාකාර‌යේ හදිසි තත්ත්වයක් පැවතුණද ක්‍රීඩා උ‌ලෙළ පැවැත්විය යුතු බවයි.

2020 වසරේ පැවැත්වීමට නියමිත වූ ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වසරකින් කල් දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබුණේ ය. ඒ අනුව මෙම වසරේ (2021) ජූලි 23 සිට අගෝස්තු 8 දක්වා ජපාන අගනුවර වන ටෝකියෝ නුවර දී තරගාවලිය පැවැත්වීමට නියමිත ය. පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ අගෝස්තු 24 සිට සැප්තැම්බර් 5 දක්වා පවත්වන බව දැනටමත් නිවේදනය කර තිබේ.

තවත් බොහෝ උත්සව මෙන්ම, කොවිඩ් වසංගතය නිසා මෙම උලෙළ ද මෙලෙස වසරකින් කල් දැමීමට සිදු විය.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ තරග 33 ක් සහ ඉසව් 339 ක් ස්ථාන 42 ක පැවැත්වීමට නියමිත ය. පැරාලිම්පික් ක්‍රීඩා උලෙළ ද ක්‍රීඩා 22ක් ස්ථාන 21ක දී පැවැත් වේ.

බොහෝ තරග ඉසව් සංවිධානය කෙරෙන්නේ ටෝකියෝ නගරයේ ය. සමහර පාපන්දු ක්‍රීඩා තරග සහ මැරතන් තරග හොක්කයිඩෝ හි සප්පෝරෝ නගරයේ පවත්වන බව ජපාන සංවිධායකයන් නිවේදනය කර ඇත. මේ වන විට එම ප්‍රදේශවල දැනටමත් හදිසි තත්ත්වයක් නිවේදනය කර තිබේ.

අගනුවර ඇති විය හැකි උෂ්ණත්වය සම්බන්ධ කරුණක් නිසා මැරතන් තරගය ටෝකියෝ නගරයෙන් පිටත පැවැත්වීමට තීරණය කෙරිණි.

ජපානයේ බොහෝ රටවලට සාපේක්ෂව අඩු කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන නමුත් අප්‍රේල් මාසයේ දී නව ආසාදන රැල්ලක් ආරම්භ විය. පසුගිය වසරේ සිට රෝගීන් 720,000 ක් සහ මරණ 12,200 ක් පමණ ජපානයෙන් වාර්තා වී තිබේ.

ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමත් සමග, මැයි මස අවසානය දක්වා රටේ විශාල ප්‍රදේශයක හදිසි තත්ත්වයක් නිවේදනය කළේය. ඇතැම් ප්‍රදේශවල ජුනි 20 දක්වා සීමාවන් ක්‍රියාත්මකය.

ජපානය සිය වැසියන්ට එන්නත ලබා දීම ආරම්භ කළේ පෙබරවාරි මස සිට ය. වෙනත් දියුණු රටවලට වඩා එහි ප්‍රමාදයක් දක්නට ලැබිණි.

මේ දක්වා, සම්පූර්ණයෙන්ම එන්නත ලබා ගෙන ඇත්තේ මිලියන 2.9 ක් පමණි. එය ජපන් ජනගහනයෙන් 2.3% ක් ලෙස සලකයි.

කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ටෝකියෝ සහ ඔසාකාහි විශාල ලෙස එන්නත් කිරීමේ වැඩසටහනක් මැයි මස අග දී ආරම්භ විය. ජූලි මස අවසන් වන විට අවුරුදු 65 ට වැඩි අයට සම්පූර්ණයෙන්ම එන්නත ලබා දීම බලධාරින්ගේ අපේක්ෂාවයි.

මෙම ගෝලීය වෛරසය හේතුවෙන් ජපානයේ දේශ සීමා විදේශිකයන්ට වසා දමා තිබේ. ඒ නිසා කිසිදු විදේශික ක්‍රීඩා ප්‍රේක්ෂකයකුට ජපානයට පැමිණිය නොහැකි ය.

ස්වදේශීය ප්‍රේක්ෂකයන්ට තරග නැරඹීමට ඉඩ ලැබෙන නමුත්, කොවිඩ් තත්ත්වය දරුණු වුව හොත් එය ද අහිමි වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සහායක කාර්ය මණ්ඩල තම මව්බිමෙන් පිටත්ව යෑමට පෙර සහ ජපානයට පැමිණි වූ පසු කොවිඩ් වෛරස පරීක්ෂණයට ලක්විය යුතු ය.

ඔවුන්ට නිරෝධායනය වීම අවශ්‍ය නොවනු ඇති නමුත් එකම කණ්ඩායමක් සමඟ රැඳී සිටිමින් ප්‍රදේශවාසීන් සමඟ මිශ්‍ර වීමෙන් වැළකී සිටිය යුතු යැයි රෙගුලාසි පනවා තිබේ.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් එන්නත ලබා ගෙන තිබීම අනිවාර්ය නොවන නමුත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් බලාපොරොත්තු වන්නේ 80% ක් පමණ එන්නත ලබා ගෙන තිබෙනු ඇති බව ය. උලෙළට සහභාගි වන්නන්ට දිනපතා කොවිඩ් වෛරස පරීක්ෂාවක් සිදු කරනු ලැබේ.

කෙසේ වෙතත් එරට ජනගහනයෙන් 70% කට ආසන්න ප්‍රමාණයක් ඔලිම්පික් උලෙළට විරුද්ධ බව මෑතක දී සිදු කළ මත විමසුම්වලින් අනාවරණය විය.

මෙම සිදුවිමෙන් පසු කොවිඩ් ව්‍යාප්ත වී සෞඛ්‍ය සේවා පද්ධතියට පීඩනයක් එල්ල වේ යැයි බියෙන් ටෝකියෝ පළාත පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සත්කාරකත්වය සැපයීමට සැලසුම් කර ඇති නගර කීපයක්ම දැනටමත් එයින් ඉවත් වීමට කටයුතු කර තිබේ.

වසංගතය හේතුවෙන් ඔලිම්පික් උලෙළ පැවැත්වීම "කළ නොහැකි" බව මැයි මස මුල දී ජපාන වෛද්‍ය සංගමයක් රජයට පැවැසීය.

"ඔලිම්පික් උලෙළ කල් දැමීමට හෝ අවලංගු කිරීමට බොහෝ දෙනකුට අවශ්‍ය වී තිබෙනවා. එය බලෙන් පවත්වන්න යන්නේ මොන බලයක් මත ද?,"

යැයි සොෆ්ට්බෑන්ක් හි ප්‍රධාන විධායක නිලධාරී මසයෝෂි සොන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබිණි.

මැයි අග දී, ප්‍රමුඛ පෙළේ පුවත්පතක් වන අසාහි ෂිම්බන් ද ක්‍රීඩා උලෙළ අවලංගු කරන ලෙස ඉල්ලා සිටියේ ය.

මේ අතර විවිධ කමිටු කිහිපයක් සහ විශේෂඥයන් ගණනාවක් ක්‍රීඩා උලෙළ පැවැත්වීම ගැන සිය අවධානය යොමු කර තිබේ.

රටවල් 60 කට අධික සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 85,000 ක් නියෝජනය කරන ලෝක ක්‍රීඩකයන්ගේ සංගමය පවසා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වැඩි අවධානයක් යොමු කළ යුතු බව ය.

ජපාන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දුරට නිශ්ශබ්දව සිටින නමුත් රටේ ජනප්‍රියම ක්‍රීඩා තරුව වන ටෙනිස් ශූර නයෝමි ඔසාකා පැවසුවේ මේ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විය යුතු බවකි.

කෙසේ වෙතත් කිසිදු ප්‍රධාන රටක් ක්‍රීඩා උලෙළට එරෙහිව අදහස් ප්‍රකාශ කර නොමැත.

කොවිඩ් රෝගීන් වැඩි වීමත් සමඟ අමෙරිකා එක්සත් ජනපදය ජපානයට කෙරෙන සංචාර සඳහා අනතුරු ඇඟවීමක් නිකුත් කළ නමුත් නිලධාරීන් පවසන්නේ ඔවුන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් උලෙළට සහභාගී වනු ඇතැයි විශ්වාස කරන බව ය.

"අපගේ සම්පූර්ණ කණ්ඩායම ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා සඳහා යැවීමට කැප වී සිටිනවා." එංගලන්තය පවසයි.

චීන ජනාධිපති ෂී ජින් පිං ද තරගාවලිය සඳහා සිය සහයෝගය පළ කර තිබේ. මීළඟ ශීත සෘතු ක්‍රීඩා උලෙළ 2022 පෙබරවාරි මාසයේ දී චීනයේ පැවැත්වීමට නියමිත ය.

මෙකි ක්‍රීඩා උලෙළ අත්හිටුවන්නේ නම් ඒ සාමාන්‍යයෙන් යුද්ධමය තත්ත්වයක් හෝ සිවිල් කැළඹීමක් වැනි සුවිශේෂී තත්ත්වයන් යටතේ පමණි.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ සත්කාරක නගරය වන ටෝකියෝ අතර ඇති කර ගත් ගිවිසුමෙන් පැහැදිලි වන්නේ මෙම අවස්ථාව අවලංගු කළ හැක්කේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පමණක් බව ය.

අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සිය මුදල්වලින් 70% ක් විකාශන අයිතියෙන් ද 18% ක් අනුග්‍රාහකත්වයෙන් ද උපයා ගනු ලබන බව විශ්වාස කෙරේ.

ඔලිම්පික් උලෙළ ඉදිරියට නොගිය හොත්, එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට මූල්‍යමය වශයෙන් හා ඔලිම්පික් අනාගතයට ද දැඩි ලෙස බලපෑ හැකි ය.

හදිසි තත්ත්වයක් යටතේ වුවද, ආරක්ෂිතව උලෙළ ඉදිරියට යා හැකි බව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව නැවත නැවතත් අවධාරණය කරන හෙයින්, එම තීරණය නැවත හැරවීමට ඇති ඉඩකඩ අවම බව පෙනෙන්නට තිබේ.

ටෝකියෝව ගිවිසුම බිඳ දමා අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ තීරණයට එරෙහිව උලෙළ අවලංගු කළ හොත් එහි අවදානම සහ අලාබය ජපාන පාර්ශ්වය මත පැටවෙනු ඇති හෙයින් තරගාවලිය කෙසේ හෝ සංවිධානය කරනු ඇතැයි විශ්වාස කෙරේ.

ටෝකියෝ ඔලිම්පික් 2020 සඳහා අයවැය ඩොලර් බිලියන 12.6ක් ලෙස සඳහන් කර ඇතත් නියම පිරිවැය දෙගුණයක් විය හැකි බවට වාර්තා පළවෙයි.

ඔලිම්පික් උලෙළට සම්බන්ධ සියලු පාර්ශ්වයන් දැඩි ලෙස රක්ෂණය කර ඇති නමුත් උලෙළ ඉදිරියට නොයන්නේ නම් සිදුවන පාඩු ඊට ඉහළ අගයක් ගනු ඇත.

කල් දැමීම සහ ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් නොමැතිකම හේතුවෙන් මේ වන විටත් සාමාන්‍ය ඔලිම්පික් උලෙළකින් අපේක්ෂිත ලාභය සත්කාරක රට වන ජපානයට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට නොලැබෙනු ඇත.

බන්ධුල ජයමාන්න 

Comments