ජිම්නාස්ටික් ක්‍රීඩාව ඇතුළේ අපයෝජනවලට ඉඩක් නෑ | සිළුමිණ

ජිම්නාස්ටික් ක්‍රීඩාව ඇතුළේ අපයෝජනවලට ඉඩක් නෑ

 

ජිම්නාස්ටික් ක්‍රීඩාව මේ දිනවල පුවත්පත්, ගුවන්විදුලිය, රූපවාහිනිය ට මෙන්ම සමාජ මාධ්‍යයට ද අලුතින් සිහිපත් වී ඇතුවාක් වැනිය. ටොරින්ටන් හි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගෘහස්ථ ක්‍රීඩාගාරය තුළ මෙට්ට කීපයක් දමා අඩු පහසුකම් යටතේ සිදු කළ ජිම්නාස්ටික් ක්‍රීඩාවට පසු කලෙක යම් යම් පහසුකම් හිමිවූයේ ය. ඒ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ටොරින්ටන් හි පහසුකම් වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් ජිම්නාස්ටික් පවතින්නේද නැද්ද යන්න ගැන මෙරට ජනමාධ්‍යයට ද කිසිදු හැඟීමක් නොතිබුණු කාලයක් විය. එයට විරාමයක් තබමින් මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ වඩාත් කතාබහට ලක්වන මාතෘකා කීපය අතරට ජිම්නාස්ටික් ක්‍රීඩාව ද එක්ව තිබේ. එවැනි පසුබිමක හිටපු ජිම්නාස්ටික්, පිහිනුම්, කිමිදුම් ක්‍රීඩකයකු, සභාපතිවරයකු, ලේකම්වරයකු වන වර්තමානයේ එහි ලේකම් ධූරන්දර ආර්.ඒ. කපිල ජීවන්ත හා ‘ක්‍රීඩා’ පුවත්පත සංවාදයකට එළැඹුණේ එම ක්‍රීඩාවේ මූලික ප්‍රශ්නාවලියකට පිළිතුරු ගොනු කර ගැනීමේ රිසියෙනි.

දැන් හැමෝම ජිම්නාස්ටික් ගැන කතා කරනවා. අහම්බෙන් පහළ වුණු වාසනාව ගැන සතුටු ඇති නේද?

කවුද කියන්නේ මේක අහම්බයක් කියලා. ජිම්නාස්ටික් ක්‍රීඩාව නියෝ-ජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් ඔලිම්පික් යන්න සුදුසුකම් ලබන තැනට ඇවිත් ඉන්නේ දීර්ඝ පුහු-ණුවක, අප්‍රතිහත උත්සාහයක, නො-පසුබට ධෛර්යයක ප්‍රතිඵලයක් විදිහට. එහෙම නැතිව කඩාගෙන වැටුණු වාසනාවකට නෙවෙයි. එහෙම කවුරුහරි කියනවා නම් එහෙමත් නැත්නම් හිතනවා නම් ඒක නිවැරැදි කර ගත යුතු දෙයක්. ජිම්නාස්ටික් සංගමයේ ලේකම් වශයෙන් මම ඒක පැහැදිලිව කියන්න කැමැතියි.

ඒ කියන්නේ මේ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබීම කියන කාරණයේදී අහම්බකාරක දෙයක් සිද්ධ වෙලා නෑ. ඒක සම්පූර්ණයෙන්ම සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිඵලයක්?

ඔව්. එතැන අහම්බයක් නෑ. අපේ ක්‍රීඩිකාව ඔලිම්පික් සුදුසුකම් ලබන ආසන්නම තැනට ඇවිත් ඉන්නේ දැඩි කැපකිරීම් මාලාවක ප්‍රතිඵලයක් හැටියටයි. ඒක ඇගේ පුහුණුකරු, මාපියෝ වැඩි වශයෙන් සිදුකරලා තිබෙනවා. තමුන්ගේ පෞද්ගලික ධනය වියදම් කරමින් තමයි ඔවුන් මේ වෙනුවෙන් කටයුතු කළේ.

එතකොට සංගමයක් වශයෙන් ඔබලා කරපු දෙයක් නෑ වගේ නේද?

අපි කරපු දේවල් තමයි ඔලිම්පික් සිහිනයට යන්න අවශ්‍යයි කියන සැලසුම යටතේ කලකට පෙරම ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවපු එක. ප්‍රියන්ත පතිරණ මහතා සභාපති වශයෙන් සිටියදී මම ලේකම් වශයෙන් කටයුතු කළ යුගයේදීම තමයි එම සිහිනය ලුහුබැඳ යැම ආරම්භ කළේ. ඒ ව්‍යාපෘතිය යටතේ අපේ පුහුණුකරුවන් අතරින් සාර්ථකත්වයට පත්වුණු පුහුණුකරුවකු තමයි රංජන් තරංග කියන්නේ සහ තවත් එක් ක්‍රීඩිකාවක් ලෙස තමයි මිල්කා ගෙහානිව දක්වන්න පුළුවන් වෙන්නේ. ඒකෙන් අපි රටටම කියන්නේ ජිම්නාස්ටික් සංගමයත් මෙතැනදී යම් වපසරියක් තුළ තමන්ගේ යුතුකම් කොටස ඉටුකරලා තිබෙනවා කියන එකයි.

දැන් මිල්කා ජපානයට යනවා වැඩිදුර පුහුණුවකට. මේක කොහොමද නෙළා ගන්නේ?

ඒක සම්පූර්ණයෙන්ම ඔලිම්පික් කමිටුව විසින් අපට ලබා දුන්නු ශිෂ්‍යත්වයක්. එතැනදී ඔලිම්පික් සහයෝගීතා පදනම යටතේ උදවු කරන්න එම කමිටුවේ ලේකම් මැක්ස්වල් ද සිල්වා මහතා ක්‍රියා කළා. මැක්ස්වල් මහතාගේ පෞද්ගලික මැදිහත්වීම නොවන්නට අපට මේ අවස්ථාව දිනාගන්න අසීරු වෙනවා. එහි ප්‍රතිඵලය තමයි දැන් අපි අත්විඳිමින් ඉන්නේ.

දැන් ජිම්නාස්ටික් ක්‍රීඩාව ගැන කතා කරන්නේ මිල්කාගේ ඔලිම්පික් සහභාගිත්ව ජයග්‍රහණය නිසානෙ. ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තහම ජිම්නාස්ටික් කරලා ඇති පලේ මොකක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒ ගැන එහි ලේකම් වශයෙන් ඔබගෙන් පිළිතුරක් අපේක්ෂා කරනවා?

ජිම්නාස්ටික් කියන්නේ සියලු ක්‍රීඩාවන්ගේ මව් ක්‍රීඩාවට. එමඟින් ක්‍රීඩාවෙන් ලබාගත හැකි බොහෝ දේ ලබාගන්න හැකිවෙන බව තේරුම් ගන්න ඕනෑ. මගේ පිළිතුරෙන් අදහස තේරුම් යාවි කියලා මම හිතනවා. කොටින්ම කියනවා නම් ජිම්නාස්ටික් කියන්නේ සියලු ක්‍රීඩාවලින් උකහා ගන්නා දේ ලබාගත හැකි තනි ක්‍රීඩාව. ඉතින් ඒක කිරීමේ වාසි, අවාසි ගැන ඔබම හිතන්න.

දැන් මාපියන්නෙ තමුන්ගේ දරුවන් ක්‍රීඩාවට යොමු කරන්නෙ. එතකොට ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවක් කරලා සුෂුම්නාව කඩාගන්න, සදාකාලික ආබාධිත වෙන්න හේතුවක් වශයෙන් සිතන්න පුළුවන්. ජිම්නාස්ටික් ක්‍රීඩාවේදි එවැනි අනතුරුදායක තත්ත්වයක් තිබෙනවා නේද?

ඔබ කියන ආකාරයට ඒක ජිම්-නාස්ටික් ක්‍රීඩාවට නෙවෙයි බොහෝ ක්‍රීඩාවලට පොදු කරගන්න ඕනෑ දෙයක්. මොකද නම්‍යතාවය, දරාගැනීමේ හැකි-යාව, බලය හා ශක්තිය කියන මූලික කාරණා සියල්ලම සෙසු ක්‍රීඩාවලදී මෙන්ම ජිම්නාස්ටික් ක්‍රීඩාවටත් පොදුයි. එතැනදී අනතුරුවලට ලක් නොවී අවම අනතුරකින් තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්න විදිහ ගැන ජිම්-නාස්ටික් ක්‍රීඩාවේදීත් උගන්වනවා. ඔබ කියන ආකාරයට හිතනවා නම් ලෝකය තුළ කිසිදු ක්‍රීඩාවක් කරන්න බෑ. හැම එකකම වගේ අනතුරු තිබෙ-නවා. උදාහරණයකට කිසිම අනතුරක් නැතැයි සිතෙන බැඩ්මින්ටන් ක්‍රීඩාවේ නියැළෙද් දී ත් අපරිස්සම්කාරී වුණොත් කෙනෙකුගේ අතක් පයක් කැඩෙන්න පුළුවන්. එහෙම නම් ඒකෙන් ගැල-වෙන්න කරන්න ඕනෑ චෙස්, කැරම් වගේ ගෘහස්ථ ක්‍රීඩා තමයි.

නෑ මම අහන්නේ ජිම්නාස්ටික් කරලා සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වීමේ අනතුරුදායක භාවයක් පවතිනවා කියලා යමෙක් කියනවා නම් එයට ඔබ දෙන පිළිතුර මොකක් ද?

මෙහෙමයි. මේක තාක්ෂණික ක්‍රී-ඩාවක්. මෙතැනදී ක්‍රීඩකයන්ගේ ආර-ක්ෂාව තහවුරු කරන්න නිවැ රදි තාක්ෂණික නීති මාලාවක් හඳුන්වලා දීලා තිබෙනවා. ඒ නීති රීති අනුව කටයුතු කරද්දී අනතුරු ඇතිවෙන්න තිබෙන සම්භාවිතාව නැති වෙනවා. පෙර කිව්වා වගේ බොහෝ ක්‍රීඩාවලදී මේ කියන අනතුරුදායක භාවය ඇති-වෙන්න පුළුවන්.

දැන් ජිම්නාස්ටික් වගේ ක්‍රීඩාවකට දුවා දරුවන් යොමු කරද්දී ඔවුන් අපයෝජනයට ලක්වෙයිද කියන ගැටලුව බොහොමයක් මාපියන් තුළ ඇති කුකුසක්. ලෝකයෙත් යම් යම් පුහුණුකරුවන් මෙවැනි අපයෝජන ක්‍රියාවන් නිසා සිරගත කළ අවස්ථාවත් වාර්තා වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව ඇතුළේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ දී දරුවන්ගේ සුරක්ෂිතතාවය ගැන දෙන්න පුළුවන් සහතිකය කුමක් ද?

අපි අපේ පුහුණුකරුවන්ට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙමින් ඉන්නවා. එතැනදී පුහුණුකරුවාට තිබෙනවා ආචාර ධර්ම ඇතුළත් විනය නීති මාලා-වක්. ඒ විනය නීති මාලාව ලෝකයම පිළිගන්නා, ලෝකය විසින්ම කෙටුම්පත් කරන ලද්දක්. එම නීති මාලාව නිවැ-රැදිව අනුගමනය නොකරන්නකුට පුහුණුකරුවෙක් වශයෙන් කටයුතු කරන්න බෑ. එමඟින් අපි අපේක්ෂා කරන්නේ ක්‍රීඩාව අපයෝජනයන්ගෙන් තොර නිදහස් පරිසරයක් බවට පත් කර ගන්නයි.

ඒත් අපි දන්නවා බොහොමයක් අපයෝජකයන්ගේ ක්ෂේම භූමියක් වශයෙන් ක්‍රීඩාව, ක්‍රීඩාංගණ හා පාසල් වේදිකා පත්ව ඇති බව. මෙම තත්ත්වය තේරුම් අරගෙන වැඩ කරද්දී ජිම්නාස්ටික් ක්‍රීඩාව කියන්නේ තරමක් අසීරුතා ගොඩනංවන ක්ෂේත්‍රයක් යැයි සිතන්න බැරිද?

මෙහෙමයි. අපයෝජකයන්ට ඕනෑම තැනකදි තමන්ගේ අරමුණු ඉටු කර ගන්න තැත් දරන්න පිළිවන්. නමුත් ජිම්නාස්ටික් කියන්නේ පිරිසක් බලාගෙන ඉඳිද්දී කරන පුහුණුවක් මිසක් සැඟවී සිට හෝ ආවරණය වෙලා කරන දෙයක් නොවෙයි. ඔය බොහෝ දරුවන් පුහුණු වෙනකොට ඔවුන්ගේ මාපියන් එතැනට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. ඒ නිසා කාටවත් ලෙහෙසියෙන් අපයෝජනය වගේ සංකීර්ණ ක්‍රියාවලියකට එළඹෙන්න නොහැකියි. හැබැයි බස් එකකදිත්, කාර්යාලයේදීත් අපයෝජනය කරන අය අපයෝජකයන් වශයෙන් කටයුතු කරනවා කියන එක අමතක කරන්න එපා. සමාජ මාධ්‍ය ඊට හොඳම නිදර්ශනයක්. ඒවා සමාජයක් වශයෙන් පිළිකෙව් කළ යුතු දෙයක්.

දැන් ජිම්නාස්ටික් ඇඳුම ගැන කතා කරද්දී එය අපේ දරුවන්ට තමන්ගේ කුසලතා උපරිමව පෙන්වන්න සම්බාධකයක් තනන්නේ නැද්ද? මොකද පෙරදිග සංස්කෘතිය තුළින් අප වගේ රටවල් ඇතුළේ ගැහැනු, පිරිමි සදාචාර සීමාවන් විවිධ වන නිසා?

එහෙම දෙයක් නැහැ. අසූව දසකයේ නම් ඔය ගැටලුව තිබුණා. නමුත් දැන් මානව සමාජය තේරුම් අරගෙන තිබෙනවා ක්‍රීඩාශීලිත්වය ගැන. අනෙක ක්‍රීඩාංගණයේ අඳින ඇඳුම් ඇඳගෙන පාරෙ යන්නෙ නෑනෙ. එතැනදී ප්‍රේක්ෂකයා බලන්නේ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාවගේ බාහිර ස්වරූපය ගැන නෙවෙයි. එතැන හැමෝගේම

ඉලක්කය වෙන්නේ දක්ෂතාවය යි. ඒ නිසා එවැනි තත්ත්වයක් දැන් උද්ගතවන්නේ නැහැ. නැත්නං අපේ ක්‍රීඩිකාවෝ අන්තර්ජාතික තරගවල පුංචි ඇඳුම් ඇඳගෙන දුවන එකක් නෑනෙ.

පෙර කී ආකාරයේ නව නීති රීති කෙටුම්පත් කරලා මහා සභාගත කරලා සම්මත කර ගන්න කටයුතු කරලා තිබෙනවා ද? උදාහරණයකට ආචාර ධර්ම පද්ධතිය වගේ දේවල්?

ඒක අපි ක්‍රියාවට නංවලා තිබුණත් කොරෝනා අර්බුදය නිසා සම්මත කර ගන්න හැකියාවක් උදාවුණේ නෑ, ඉදිරි කාල සීමාව තුළ අපි අපේක්ෂා කරන්නේ මෙම නීති, රීති කෙටුම්පත් කරලා නෛතික රාමුව වඩාත් බල-සම්පන්න කරන්නයි. පරිපාලනය තුළ පැවැතිය යුතු ඇතැම් දේවල් මේ වන විට අලුතින් කෙටුම්පත් කරමින් ඉන්නවා. නුදුරේදීම ඒවා සාර්ථක කර ගන්න අපිට හැකියාවක් ලැබේවි.

බලය සඳහා වන අරගලය බොහෝ ක්‍රීඩා සංගම් හා සම්මේලන ඇතුළේ දකින්න ලැබෙනවා. දැන් ජිම්නාස්ටික් සංගමයත් ඔය කියන බල පොරයේ සාමාජිකයෙක් වශයෙන් හැඳින්වුවොත් මොකද ඔබ එහි ලේකම් වශයෙන් කියන්නේ?

බලය තියෙන හැම තැනම අරගල තිබෙනවා. හැබැයි අපේ නම් දැන් බලය තීරණය කරන්නේ සාමූහික කැමැත්ත මත. මෙවර නිලවරණයේ දී ඡන්දයක් පවා නොපැවැත්වුණු ආකාරයෙන් තමයි පැවැත්වුණේ. සියලු පාර්ශ්වයන්ගේ ඒකමතික කැමැත්ත මත තමයි මෙහි තනතුරුවලට පත්වීම් සිදුවන්නේ. දැනට නම් ජිම්නාස්ටික් සංගමය ඇතුළේ බල පොර ඇත්තේ නෑ.

හිස් ගිණුම් තිබියදී නම් බල පොර ඇති වන්නේ නැති තරම්. අනෙක මේ දිනවල ලෝකය මුහුණපා තිබෙන අවිනිශ්චිත සමාජ තත්ත්වය නිසා හැමෝටම සංගමයක තනතුරු ලාභියෙක් වෙන්න අවශ්‍යතාවක් නෑ කියලා හිතෙන්නත් පුළුවන්. ඒ නිසා දැන් බල අරගල යටපත් වෙලා ඇති?

දැනට නම් නෑ. සල්ලි තිබුණොත් ඉතිං බල අරගල එන්න පිළිවන් කියලා ඕනෑ කෙනෙකුට උපකල්පනය කරන්න පිළිවන්. නමුත් මම හිතන්නේ අනාගතයේදීත් මේ ක්‍රීඩා සංගමය තුළ එවැනි අර්බුද මතුනොවේවි කියායි.

මේ වන විට ජිම්නාස්ටික් ක්‍රීඩා සංගමය ලංකාව තුළ ස්ථාපනය වෙලා කොපමණ කාලයක් ගත වෙලා තිබෙනවා ද?

ඇත්තටම මේ ක්‍රීඩාව මුලින්ම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සැලකුවේ වෛකල්පිත ක්‍රීඩාවක් වශයෙනුයි. 1989 වසරේ සිට වෛකල්පිත ක්‍රීඩාවක් වුණු ජිම්නාස්ටික් ක්‍රීඩාව පසුව ජාතික මහා ක්‍රීඩා උලෙළට ඇතුළත් කරලා ක්‍රීඩා සංගමයක් ලෙස ස්ථාපනය වුණේ 1990 වසරේ සිටයි. එදා සිට අද දක්වා මේ ක්‍රීඩාව අඛණ්ඩව ගමන් කරමින් තිබෙනවා.

ඔය කියන අවුරුදු විස්සක පමණ කාලය තුළ මේ ක්‍රීඩාවේ ව්‍යාප්තිය කොහොම ද? කොපමණ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ජිම්නාස්ටික් සමඟ රැඳිලා ඉන්නවා ද?

අපේ රට ඇතුළේ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ එන අනු ක්‍රීඩා ඉසව් පහක් විතරයි දැනට උගන්වන්නේ. පාසල් මට්ටමේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් තමයි ජිම්නාස්ටික් ක්‍රීඩාවේ වැඩි වශයෙන් යෙදෙන්නෙ. මොකද අවුරුදු 20-21 වගේ වෙද්දී මේ ක්‍රීඩාවෙන් බොහෝ විට විශ්‍රාම ගන්න සිදුවෙන නිසා. දැනට ශ්‍රී ලංකාව ඇතුළේ විසි දහසකට වැඩි පිරිසක් ජිම්නාස්ටික් ක්‍රීඩා කරනවා. ඒ ක්‍රීඩාව කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල ප්‍රදේශයන්හි වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තිබෙනවා.

රිද්මායානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩාව තුළින් කාලයකට පෙර අපි ආසියානු හා පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලි නියෝජනය කළා. දැන් එහි තත්ත්වය කොහොම ද?

ඒ ක්‍රීඩා ඉසව්ව ලංකාව ඇතුළේ උගන්වන්නේ නෑ. නමුත් ශ්‍රී ලංකා සම්-භවයක් සහිත ද්විත්ව පුරවැසි භාවය හිමි දියණියක් කැනඩාවේ ජීවත්

වෙමින් මේ කියන රිද්මයානුකූල ජිම්-නාස්ටික් ක්‍රීඩාවේ නිරත වුණා. නමුත් දැන් ඇයත් ඒ ක්‍රීඩාවෙන් සමුගන්නා තැනක ඉන්නෙ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ක්‍රීඩාවට උචිත වයස පසු කරමින් සිටින නිසා.

නම්‍යශීලිත්වය සම්බන්ධයෙන් කතා කරද්දී පෙරදිග විශිෂ්ට නර්තන සම්ප්‍රදායක් පවතින ශ්‍රී ලකාව වගේ රටක් ඇතුළේ හොඳ ජිම්නාස්ටික් ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ හදාගන්න පුළුවන් වෙන්න උවමනායි. උඩරට, පහතරට, සබරගමු නැටුම් සම්ප්‍රදායන් තුළින් ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ඇති සැඟවුණු හැකියාවන් ප්‍රදර්ශනය කරනවා නේද?

ඔව්. ඒ ගැන පුළුල් පර්යේෂණයක් සිදුකළ යුතුයි. ජයනාත් වරකාගොඩ මහතා සමඟ අපි වැඩසටහනක් කරලත් තිබෙනවා මේ ගැන. උදාහරණයකට මාලක්කම වගේ අපේ නැටුම් ක්‍රමයන් තුළ පවතින ඇතැම් නර්තන අභ්‍යාස වගේම, නර්තන අංග කියා දෙන්නේ ජිම්නාස්ටික් ක්‍රීඩාව තමයි. ඒ අතින් අපි පොහොසත් ජාතියක්. සිදුවිය යුත්තේ ක්‍රමවත් පර්යේෂණයකින් ඒ හැකියාවන් උකහා ගන්නා එකයි.

අවසන් වශයෙන් කියන්න ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් අපට අන්තර්ජාතික වශයෙන් බලාපොරොත්තු තබා ගත හැකි ද? එහෙම බලාපොරොත්තු තිබෙනවානම් මොන ක්‍රීඩා ඉසව්වෙන්ද වැඩි වශයෙන් පදක්කම් ගැන සිහින මවන්න හැකි වන්නේ?

අපිට තිබෙන පහසුකම් අනුව යන්න පුළුවන් මොන වගේ ගමනක්ද කියන කාරණය දැන් ජිම්නාස්ටික් සංගමය පෙන්වලා තිබෙනවා. ඉදිරි කාලයේදී උසස් දක්ෂතා කළමනාකරණයට අවශ්‍ය පහසුකම් සහිත මධ්‍යස්ථානයක් ලැබුණොත් 2024, 2028 වද්දී අපිට අන්තර්ජාතිකව වඩා හොඳ දක්ෂතා දක්වන්න පිළිවන්.

 

කසුන් ඉරුගල්බණ්ඩාර

 

Comments