සුපිරි ජංගම දුර­ක­ථන හොරු පොලි­සි­යට මාට්ටු වෙයි | Page 2 | සිළුමිණ

සුපිරි ජංගම දුර­ක­ථන හොරු පොලි­සි­යට මාට්ටු වෙයි

සුගියදා කලෙක සිට මෙරටට ගෙනෙන ලද අධික මිලෙන් යුත් ජංගම දුරකථන කොල්ලයක සුලමුල අනාවරණය කරගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරිහු සමත් වූහ. පසුගිය අටවැනිදා එකී කොල්ලයට සම්බන්ධව පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයන් 6 දෙනෙකු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

ලෝකයේ ප්‍රමුඛතම අන්තර්ජාතික භාණ්ඩ ප්‍රවාහන සමාගමක් හරහා අධික මිලෙන් යුත් ඇපල් වර්ගයේ ජංගම දුරකථනද පසුගිය කාලයේ බොහෝ සේ මෙරටට ගෙන්වමින් තිබිණි.

එලෙස එම සමාගම හරහා විදේශයක සිටින මිත්‍රයකු දුන් රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් පමණ වටිනාකමින් යුත් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක් කොළඹ ප්‍රදේශයේ වෙසෙන සුනිල් නමැත්තෙක් මෙරටට ගෙන්වීය.

එම සමාගම මඟින් මෙරටට ගෙන්වූ එකී දුරකථනය සහිත පාර්සලය පසුගියදා සුනිල් අතට පත්විණි. විදේශ මිතුරාගෙන් ලැබු ජංගම දුරකථනය සහිත එම පාර්සලය සුනිල් විසින් පරීක්ෂාකර බැලුවේ ඉහවහා ගිය සතුටකින් යුතුවය. එහෙත් එම ජංගම දුරකථනය සහිත පෙට්ටියේ දුරකථනය නම් නොවීය.

වැඩිදුර සොයා බලද්දී එම ජංගම දුරකථනය සුනිල්ගේ මිත්‍රයා එවූ රටෙහි ගුවන් තොටුපළ තුළ ස්කැන් යන්ත්‍රවලද සටහන් වී තිබිණි. එසේ හෙයින් සුනිල් දුරකථනය අස්ථානගත වීම පිළිබඳව සුප්‍රසිද්ධ භාණ්ඩ ප්‍රවාහන සමාගමෙන් දිගින් දිගටම විමසීය. අනතුරුව සමාගම් සේවකයෝ සැදී පැහැදී තිබුණේ ඔහුට ජංගම දුරකථනයෙහි අලාභය ගෙවා දැමීමටයි. එසේ නැතිනම් ඔහුට රක්ෂණ වන්දියක් ලබා ගැනීමට අවැසි කටයුතු සලසා දීමටයි.

ඒ අනුව තමාට එවා තිබූ රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් වටිනා ජංගම දුරකථනය අස්ථානගත වීම පිළිබඳව සුනිල් විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කෙරිණි. අනතුරුව එම පැමිණිල්ල මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාට යොමුවීමත් සමඟ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් දිසානායක ප්‍රමුඛ කණ්ඩායමට පැවැරිණි.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සහ බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රීගේ උපදෙස් මත මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ ඍජු අධීක්ෂණයෙන් මෙකී කොල්ලයේ අගමුල විසඳා ගැනීමට පොලිස් පරීක්ෂක සම්පත් ප්‍රමුඛ කණ්ඩායම විමර්ශන ආරම්භ කළහ. පොලිස් පරීක්ෂක සම්පත් ඇතුළු කණ්ඩායමට මුලින්ම අනාවරණය වී තිබුණේ මීට පෙරද එවැනි අධික මිලෙන් යුත් ජංගම දුරකථන රැසක්ම මෙකී ආකාරයෙන්ම නැති වී ඇති බවයි. සුනිල්ගේ දුරකථනය පිළිබඳව හෝඩුවාවක් නොවූ හෙයින් පොලිස් නිලධාරින් ඊට පෙර නැතිවූ ජංගම දුරකථන පිළිබඳව සොයා බලන්නට වූයේය. එම දුරකථන කිහිපයක 'එමි' අංකය හරහා සොයා බැලිණි. එහිදී එම දුරකථන කිහිපයක්ම සක්‍රීය තත්ත්වයේ රටේ විවිධ පෙදෙස්වල ක්‍රියාත්මකව තිබෙන බවට හෙළි විණි.

ඒ අනුව පොලිස් නිලධාරිහු මුලින්ම නුවර ප්‍රදේශයේ සක්‍රීයව තිබූ දුරකථන කිහිපයක් සොයා ගියහ. එම සෝදිසියේදී එලෙස සොරකම් කරන ලද නුවර ප්‍රදේශයේ තිබූ දුරකථන 11ක් පොලිස් භාරයට ගැනිණි. එහි වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික විණි. ඒ අතර සුනිල්ගේ දුරකථනයද විය. ඊට අමතරව මිනුවන්ගොඩ සහ දිවුලපිටියේද තිබී දුරකථන කිහිපයක් සොයා ගැනීමට සමත් වූයේය. එම දුරකථන සන්තකයේ වූ පුද්ගලයන්ගෙන් විමසද්දී ගුවන් තොටුපොළෙහි සේවය කරන අසවල් පුද්ගලයන් ගෙනැවිත් දුන් බව කීවේය. එසේ ලක්ෂ ගණන් වටිනා ජංගම දුරකථන ගුවන් තොටුපොළෙහි සේවය කරන අයවලුන් විකුණා තිබුණේ රුපියල් තිස් හතළිස් දහසේ සිට ලක්ෂයට අඩු මිලකටයි. රුපියල් දෙලක්ෂ හැටපන්දහසක් වන සුනිල්ගේ දුරකථනය එකී පුද්ගලයන්ට විකුණා තිබුණේ රුපියල් අනූපන්දහසකටයි. දුරකථන සන්තකයේ අය කී පරිදි එකී පුද්ගලයන් සොයා එසැණින් ගුවන් තොටුපළේ පුද්ගලයන් සොයා විමර්ශන කණ්ඩායම් ගියහ. එහිදී එම පුද්ගලයන් කවුරුන්ද යන්න නිශ්චිත ලෙස අනාවරණය වීමත් සමඟ තිදෙනෙක් අදාළ භාණ්ඩ මෙරටට ගෙන්වූ ප්‍රමුඛ භාණ්ඩ ප්‍රවාහන සමාගමේ සුපවයිසර්වරුන්ය. ඒ, ඉන්දික සිල්වා, සමීර කසුන් සහ ජනක සංජීව නමැති ජාඇළ, මට්ටක්කුලිය සහ කොට්ටාවේ වෙසෙන්නන්ය.

එම තිදෙනාට අමතරව එම සමාගමෙහි කම්කරුවන් ලෙස සේවාව කරන මෑන් පවර් සමාගමකට අයත් තිදෙනෙක්ද පොලිස් අත්අඩංගුවට ගැනිණි. ඔවුහු ගයන් නිරෝෂ්, ප්‍රසාද් ප්‍රනාන්දු සහ නිරෝෂන් නමැති ජාඇළ, මිනුවන්ගොඩ සහ කටුනායක තිදෙනෙකි.

එම සයදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී කලෙක සිටම කරගෙන ආ මහා පරිමාණ ජංගම දුරකථන වංචාවක සියලු තතු හෙළි විණි. පොලිසිය පවසන්නේ දුරකථන සිය ගණනක් එම පුද්ගලයන් සොරකම්කර ඇති ආකාරය හෙළි වූ බවයි. සැකකරුවන්ගෙන් හෙළි වූ පරිදි කලෙක සිටම එම ජංගම දුරකථන කොල්ලය සිදුකර තිබුණේ මෙලෙසිනි.

ගුවන් මඟින් එවන ලද එම භාණ්ඩ තොගයන් බෑග්වල අසුරා මෙරටට පැමිණීමෙන් පසු අදාළ භාණ්ඩ ප්‍රවාහන සමාගමේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංගනවල තිබී සිය කාර්යාල වෙත රථවාහනවලට පැටවූ පසු මෙකී ජාවාරම සිදුව ඇති බවයි. එහිදී කොල්ලකරුවන් ගුවන් තොටුපළේ සහ අවට සීසීටීවී කැමරාවලට හසු නොවීමට වග බලා ගනිමින් රථවාහන තුළදී මෙකී ජාවාරම සිදු කෙරිණි.

එහිදී ප්‍රවාහන සමාගමේ සුපවයිසර්වරුන් තිදෙනා ලබාදෙන හෝඩුවාවන් ඔස්සෙ මෑන් පවර් කම්කරුවන් තිදෙනා විසින් භාණ්ඩ පටවා තිබූ ලොරි රථවලදීම දුරකථන රැගෙන ආ පෙට්ටි කඩා එහි වූ අධික මිලෙන් යුත් ජංගම දුරකථනය රැගෙන නැවතත් එම පෙට්ටිය කිසිදු සැකයක් කිසිවකුට නොසිතෙන පරිදිම අසුරා භාණ්ඩ හිමිකරුවන්ට ලැබීමට සලස්වනු ලැබිණි.

සුනිල්ගේ පැමිණිල්ල මත මෙකී වංචාවෙහි සියලු තතු කරලියට ආවේය. ජංගම දුරකථන විදේශයක සිට ගෙන්වා අස්ථානගත වූ අය වෙත්නම් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති අමතන ලෙස ඔහුගේ ජංගම දුරකථන අංකයද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් ප්‍රසිද්ධියට පත්කිරීමත් සමඟින් පසුගිය දින කීපය තුළදී මෙකී වංචාවට හසුවූවන් දෙසීයකට ආසන්න පිරිසක් තමන් ඇමැතු බව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් අපට කීවේය. මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ ඍජු අධීක්ෂණයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සම්පත් දිසානායක ප්‍රමුඛ පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර, සැරයන් 38899 දිසානායක, කොස්තාපල්වරුන් වන 37928 වන්නිනායක, 76336 රංග සහ පොලිස් රියැදුරු 37927 මඩවල ඇතුළු නිලධාරිහු සිදු කළහ.

Comments