පළ­මුව රට ගැන නොසි­තු­වොත් විපාක විඳින්න සිදු­වන්නේ අප­ට­මයි | Page 2 | සිළුමිණ

පළ­මුව රට ගැන නොසි­තු­වොත් විපාක විඳින්න සිදු­වන්නේ අප­ට­මයි

සර 46ක පමණ කාලයක් ඇමරිකාවේ වැඩවසන අග්ගමහා පණ්ඩිත ආචාර්ය වල්පොළ පියනන්ද නා හිමියන් මෙවර සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වන්නේ මෙරට වත්මන් තත්ත්වය ගැනත් ජනතාව විසින් කටයුතු කළ යුතු ආකාරය ගැන කරුණු දැක්වීමටත්ය.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය යටතේ ලෝකයේ බොහෝ රටවල් දැඩි අසරණ තත්ත්වයට පත් වුණත් ශ්‍රී ලංකාව එයට මුහුණ දීමට ගෙන ඇති පියවර ගැන ඇත්තෙන්ම අපට සතුටු විය හැකිය. එහෙත් අපේ රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය මඟින්ද ඒ සම්බන්ධව එතරම් ඇගැයීමක් වන බවක් පෙනෙන්නට නැහැ. ඇගැයීම වෙනුවට නිරතුරුවම ගල්මුල්වලින් දමා ගසනා ස්වභාවයක් දක්නට තිබේ.

ඇමරිකාව වගේම ඉතාලියත් පසුගිය දිනවල කොවිඩ් 19 වසංගතය නිසා අසරණ තත්ත්වයට පත් වූ හැටි අපි සියලු දෙනාටම දැක ගැන්මට හැකි විය. ඒ රටවල් ආර්ථික වශයෙනුත් දැඩි අපහසුතාවට පත් වූ අතර, ඇතැම් වැසියන්ට රැකියා පවා අහිමි විය. නිවාස පවා අහිමි වූ අවස්ථාද වාර්තා විය. අද වන විට අසල්වැසි ඉන්දියාවේ තත්ත්වය ගැන අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඉන්දියාව යළිත් විශාලා මහනුවරක් වී අවසානය.

එවන් පසුබිමක් තුළ රටත් ජනතාවත් ආරක්ෂා කර ගැන්මට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කරනු ලබන කැපවීම දායකත්වය මාධ්‍යවලින් නිසි පරිදි අනාවරණය නොවීම සැබැවින්ම කනගාටුදායකය. රජයේ මාධ්‍යවලින් පවා ඒ සම්බන්ධව නිසි අනාවරණයක් නොකරන බවද මෙහිදී සිහිපත් කළ යුතුය.

එයට හොඳම උදාහරණයක් ලෙස එම්සීසී ගිවිසුම හඳුන්වා දිය හැකිය. එය පසුගිය රජයෙන් අත්සන් කිරීමට අවශ්‍ය සියලු පසුබිම සකස් කර තිබුණද වත්මන් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එකතුව රටට අවැඩක් නොවන සේ කටයුතු කිරීමට වග බලා ගන්නා ලදී. රටට අහිතකර එම්සීසී ගිවිසුම අත්සන් නොකිරීමට ඔවුහු වගබලා ගත්හ. එහෙත් ඒ ගෞරවය ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නිසි පරිදි ලබා දෙන්නට මාධ්‍ය කටයුතු කළ බවක් පෙනුණේ නැත.

එයින් ඇමරිකාව යම් ආකාරයකින් අප රටත් සමඟ උරණ වීමකටද මඟ පෑදුණා විය හැකිය. එහෙත් සියල්ලටම පෙර රට රැක ගැනීම යන හැඟීම රටේ නායකයන් තුළ තිබීම ගැන අප අගය කළ යුතුයි. එහෙත් මාධ්‍ය මඟින් ඒ ගෞරවය ලබා දුන්නාද?

ඒ වගේම නැඟෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දීමට අදාළව සොයා බලා එය වළක්වා ගත්තේ ඉන්දියාවත් අපේ රටත් අතර ඇති මිත්‍රත්වයට හානියක් ඇති නොවන පරිදි කටයුතු කරමිනි. එයද අප අගය කළ යුතුමය.

එමෙන්ම වතුකම්කරුවන්ගේ ප්‍රශ්නවලට කිසිදු ආණ්ඩුවකින් පිළිතුරක් නොලැබුණි. වතු සමාගම්වලට යටත් නොවී රුපියල් 1,000 වැටුප් වැඩිකිරීම ලබා දෙන්නට රජය විසින් කටයුතු කිරීම ගැන රාජ්‍ය නායකයන්ට අවශ්‍ය ගෞරවය ලබා දුන් බවක් අපට දැකගත නොහැකිය.

අපේ රටේ වැවීමේ පහසුකම් ඇති කහ අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කිරීම ගැන රජයේ අවධානය යොමු විය. එමෙන්ම මෙරට තිබෙන කරුංකා, කරාබු නැටි පවා ආනයනය කිරීම නවතා දමන්නට රජය කටයුතු කිරීම ගැන අප පැසසිය යුතු වේ. එවන් තත්ත්වයක් යටතේ දේශීය ආර්ථිකය පණ ගන්වන්නට ගත් මෙහෙවර ඇගැයිය යුතුය.

අද වන විට ලෝක බලවතුන් අතර ඇතිව තිබෙන තරගය හමුවේත් අප දැඩි අපහසුතාවකට පත් වී තිබේ. කලකට පෙර ඇමරිකාව හා ඉන්දියාව අතර තිබූ මත ගැටුම් මේ වනවිට වෙනස්ව ගොස් ඔවුන් දැඩි මිතුරන් බවට පත්ව තිබේ.

ඉන්දියාවේ ඇමරිකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල දේශපාලන නායකයන් හැමවිටම කටයුතු කරන්නේ තම රට මුල් කරගෙනය. ඔවුන් තම රටට දක්වන්නේ දැඩි ඇල්මකි. කිසිවිටක තමන්ගේ රටට ජාතියට අගතියක් වන කටයුත්තකට ඔවුන් හවුල් නොවේ. මේ කටයුතු අතර අපේ රටේ තත්ත්වය ගැනද අප සලකා බැලිය යුතු වේ.

අපේ රටේ දෙමළ සන්ධානය වැනි ඇතැම් පක්ෂ ව්‍යාපාරික ක්‍රමවේදයක් සිදු කරන බව මෙහිදී අකැමැත්තෙන් වුවද පෙන්වා දිය යුතුයි. ඔවුන් සැම විටම කරන්නේ ඔවුන්ගේ නෑදෑ හිතවතුන් ඇමරිකාව කැනඩාව වැනි දියුණු රටවලට යොමු කරමින් එක්තරා බල ව්‍යුහයක් නිර්මාණය කිරීමයි. දේශපාලන රැකවරණ පතමින් ඔවුන්ගේ ජන කොටස් ඒ රටවලට යොමු කරමින් ඔවුන් සිදු කරන්නා වූ ඒ කාර්යය සාර්ථක වන්නේ ශ්‍රී ලංකාවේ අස්ථිර දේශපාලනයක් මෙන්ම අස්ථිර දිවියක් ගත කරන්නට සිදු වන බවට ඒ රටවලට ඒත්තු ගැන්වීමෙනි.

යුරෝපා රටවලටද මේ ලෙසින් ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වන බව පෙන්වමින් සිදු කරන්නා වූ ක්‍රමවේදය නිසා රට දැඩි අපහසුතාවකට පත්ව තිබේ. මෙරට තුළ මානව හිමිකම් උල්ලංඝනය වන බව පෙන්වමින් එම රටවල ඔවුන්ගේ ඩයස්පෝරාවේ ස්ථාවරභාවය සහතික කරගනී. ඒ හරහා යම් යම් සන්නද්ධ කල්ලිවලට උපකාර කිරීමේ යටි අරමුණුද මේ පිරිස්හි තිබෙනා බව පැහැදිලිය.

මෙහිදී අප පුදුමයට පත්වන සිදුවීමක් ගැන පසුගියදා අසන්නට දකින්නට ලැබුණි. දිනක යුරෝපා රටවල තානාපතිවරුන් රැසක්ම එකම දිනයේ මෙරට විපක්ෂ නායකයා හමුවීම පිළිබඳව ඇත්තේ ගැටලුවකි. තානාපතිවරුන් මෙරට පාලනයට ඇඟිලි ගැසීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය. එකම දිනක් තුළ තානාපතිවරුන් රැසක්ම මෙසේ විපක්ෂ නායකයා හමුවීමෙන් සිදුව ඇත්තේ කුමක්ද යන්න ගැන රජය විසින්ද සොයා බැලිය යුතුමය.

වරක් බ්‍රිතාන්‍ය තානාපතිවරයකු මාතර ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් සොයා බැලීම නිසා එවකට ජනාධිපති ධුරය දැරූ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා පැය 24න් එම තානාපතිවරයා ඉවත් කරන්නට කටයුතු කළ අයුරු සිහි තබා ගත යුතුය. එම නිසා තානාපතිවරුන්ගේ අනිසි කටයුතු ගැන අවධානය යොමු කරන්නට රජය කටයුතු කළ යුතුමය.

2009 වසරේ ප්‍රභාකරන් කොටුවූ අවස්ථාවේදී ඔහු නිදහස් කරන ලෙස බටහිර රටවල් විසින් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගෙන් ඉල්ලා සිටියේය.

එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂයන් ඒ බව නොසලකා හැර යුද්ධය අවසන් කිරීමට කටයුතු යොදන ලෙස ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදුන් හෙයින් එම රටවල් යම් ආකාරයක අප සමඟ උරණවීමක්ද ඇති බව පැහැදිලිය. ඒ උරණ වීම් හමුවේ බටහිර රටවල තානාපතිවරුන්ගේ ක්‍රියාකාරකම් ගැන අප අවබෝධයෙන් සොයා බැලිය යුතුය.

කැනඩාවේ ‍ටොරොන්ටෝහි ඇතැම් පළාත්වල ඩයස්පෝරාවේ විශාල පිරිසක් දිවි ගෙවති. ඔවුන් එම පළාත්වලින් පත්වන මහජන නියෝජිතයන්ට දැඩි බලපෑම් එල්ල කිරීම නිසා ඔවුන්ද ඩයස්පෝරාවේ ඉල්ලීම්වලට සවන් යොමු කරනා බවක් පෙනෙන්නට ඇත. එම බලපෑම් මඟින් ඍජුවම මෙරට ජනතාවට බලපෑම් එල්ල කරන්නට ඔවුන් සමත්ව තිබේ.

අප දූපතක දිවි ගෙවුවද මේ කරුණු ගැන අවබෝධ කර ගත යුතුය. ජිනීවා මානව හිමිකම් සැසියේදී පවා අපට විරුද්ධව ඡන්දය ලබා දුන් රටවල් දෙස අවධානයෙන් බැලිය යුතුයි. ‍බටහිර පමණක් නොව බොහෝ රටවලට මෙරටින් තානාපතිවරුන් ලෙස පත් කර යවන්නේ රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය අය වන නිසා ඔවුන්ගෙන් වැඩි පිරිසක් හැම විටම උත්සාහ කරන්නේ එම රටේ පුරවැසිභාවය ලබා ගැනීම හෝ එහි ස්ථිර සේවාවක නියැළීමටය. එවිට ඔහුගේ කටයුතු සිදු වන්නේ මෙරට අවශ්‍යතාවට නොව ඔහු සේවය කරන විදේශ රටට ගැළපෙන සේය. එමෙන්ම මෙරටින් පත් කර යවන ඇතැම් තානාපතිවරුන්ට නිසි දැනුමක් නැතිවීමද ලොකු අඩුපාඩුවකි.

ශ්‍රී ලංකාව තුළ සිංහල දෙමළ මුස්ලිම් යන ජනවර්ග කිසිදු ආකාරයක ගැටලුවක් නැතිව දශක ගණනාවක් සහෝදරත්වයෙන් දිවි ගෙව්වද මෑතක සිට අන්තවාදය මෙරටට පැමිණීම නිසා ගැටලු ඇතිව තිබේ. එයට හේතුවද අප අවබෝධ කරගත යුතුය. මැද පෙරදිග රටවල් සැම විටම කරන්නේ මුදලට අලුත් පරපුරේ මනස වෙනස් කිරීමටය. එමනිසා මුදලට ගිජුවන නවක තරුණ පරපුර නොදැනුවත්වම මේ අන්තවාදයේ ගොදුරක් බවට පත්වේ. විදේශ රටවල මේ ප්‍රතිපත්ති දෙස අප අවධානයෙන් බැලිය යුතුයි. ඒ අනුව අපේ රටේ අනන්‍යතාව අප සකස් කරගත යුතුයි.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කාලාන්තරයක් තිස්සේ තිබුණු සියලු අඩුපාඩු එක රැයින් එක අවුරුද්දකින් සකස් කිරීමට නොහැකිය.

කොවිඩ් වසංගතය හමුවේ අප කටයුතු කළ යුත්තේ මේ සියල්ල සිත්හි තබාගෙනයි. වසංගතයට දේශපාලනය අදාළ නොවේ. එමනිසා පළමුව ‘රට’ යන්න ගැන කල්පනා කරමින් දේශපාලඥයන් මෙන්ම ජනතාවද සෞඛ්‍ය අංශ විසින් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු වේ. අපට මේ වසංගතය පරදා රට ඉදිරියට ගෙන යා හැක්කේ එසේ කළහොත් පමණි.

සේයාරූ - සාලිය රූපසිංහ

Comments