තිස් වස­රක යුද්ධය දිනුවේ මෙහෙ­මයි | Page 2 | සිළුමිණ

තිස් වස­රක යුද්ධය දිනුවේ මෙහෙ­මයි

මීට වසර 15කට පෙර එනම් 2006 ජූලි 21 වැනිදා නැගෙනහිර මාවිල්ආරු සොරොව්වේ අසාමාන්‍ය ජලය අඩුවීමක් දක්නට ලැබිණි. මේ පිළිබඳව කල්ලාර් වාරිමාර්ග ඉංජිනේරුවරයා නිරීක්ෂණය කිරීමට ගියත් කොටි ත්‍රස්තවාදීහු ඔහු ආපසු හරවා එවූහ මේ පිළිබඳව සටන් විරාම නිරීක්ෂකයනට පැවසුවත් ඔවුන් ද ඒ ගැන කිසිම පියවරක් ගත්තේ ද නැත. ජලය අඩුවීම සිදුවූයේ ගොයමට ජලය අවශ්‍යම කාලයේ බැවින් ප්‍රදේශයේ ගොවි ජනතාව ඒ පිළිබඳව මැසිවිලි නැඟූහ. ගැටලුවට විසඳුම් සෙවීමට 2006 ජූලි 26 වැනිදා යුද හමුදාවේ කොමාන්ඩෝ භටයෝ පිරිසක් කල්ලාර් කඳවුරෙන් මාවිල්ආරු සොරොව්ව දෙසට ගමන් කළහ. ඔවුන් පසුපස අටවන ගැමුණු භට පිරිසකුත් පස්වන ශ්‍රී ලංකා පාබළ හමුදාවේ බළ ඇණියකුත් මාවිල්ආරු දෙසට ගමන් ඇරඹූහ.

 

මේ වනාහි 2009 මැයි 19 වැනිදා, එනම් මින් වසර 12 කට පෙර විජයග්‍රහණය කළ උතුරේ යුද්ධය දරුණුවීමට ආසන්නතම ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය. කොටි සංවිධානය ඊට පෙර මොනතරම් ප්‍රකෝපකාරී සිදුවීම් කළත් සොරණම් මාවිල්ආරු සොරොව්ව කොටි වසා දැම්මේ නැත්නම් මේ යුද්ධය මෙතරම් දුරදිග යන්නට ඉඩක් තිබුණේ නැතැයි යුද විචාරකයෝ පවසති.

2006 – 2007 - 2008 වසරවලදී සිලාවතුර - යෝධවැව - මන්නාරම - වාකරේ - කිලිනොච්චි වවුනියාව - අම්පාර- ත්‍රිකුණාමලය - මඩකළපුව ප්‍රදේශවල මෙහෙයුම් කරමින් කොටි පරාජය කිරීමට අපේ යුද, නාවික, ගුවන් හමුදා කටයුතු කළහ.

ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු අනුව පළවූ තොරතුරු අනුව 2006 – 2009 කාලයේ අපේ ත්‍රිවිධ හමුදාවේ විශාල දියුණුවක් ඇති විය. 2006 සිට 2009 දක්වා යුද හමුදාවට පමණක් අලුත් සෙබළු 121141 ක් බඳවාගෙන තිබේ. ඒ අනුව 2006 – 2007 අතර කාලයේ අලුත් බළ ඇණි 100 ක් පමණ බිහිකර ඇත.

මීට අමතරව ගුවන් හමුදාවටම අලුත් ගුවන් යානා, නාවික හමුදාවට ඩෝරා යාත්‍රා හා ප්‍රහාරක බෝට්ටු සපයනු ලැබූහ. සමහර ඩිංගි බෝට්ටු ප්‍රහාරක බෝට්ටු අපේ නාවික හමුදාවේම නිෂ්පාදන විය.

කොටි යුද්ධය පිළිබඳව වසර 35 ක අත්දැකීම් ඇති වත්මන් මහජන ආරක්ෂක ඇමැති විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසන්නේ 30 වසරක යුද්ධයේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව එඩිතර දේශපාලන නායකත්වය බවයි.

වසර 35 ක් නාවික හමුදාවේ සේවය කළ සරත් වීරසේකර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස වසර හතරක් කටයුතු කරමින් සිවිල් ආරක්ෂක සෙබළුන් 35000 කට පමණ යහපත් දිවි පෙ‍වතක් උදා කළේ ය. මේ ඔහු යුද ජයග්‍රහණය හා රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පළ කරන අදහස් ය.

“මීට වසර 12 කට පෙර 2009 මැයි 19 වැනිදා අවුරුදු 30 ක තිබ්බ යුද්ධයක් අපිට ඉවර කරන්න පුළුවන් වුණා. ඒක මේ රටේ සියලු ජනතාවගේ ජයග්‍රහණයක්. මේ යුද්ධය ජයග්‍රහණය කිරීමට ප්‍රමුඛතම හේතුව එඩිතර දේශපාලන නායකත්වයයි. යුද්ධයක් දිනීමට හොඳ දේශපාලන නායකත්වයක් අවශ්‍යයි. ඒ නායකත්වය එවකට ජනාධිපති ලෙස සිටි මහින්ද රාජපක්ෂ මහත්තයයි; වත්මන් ජනපති එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයයි අපට ලබලා දුන්නා.

එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන්ට කලින් යුද්ධය මෙහෙයවූ සියලු දෙනා අසාර්ථක වෙද්දී ජනපති ගෝඨාභය පමණක් මේ සාර්ථකත්වය ලබාගත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ සම්පූර්ණ සහයෝගය ඔහුට තිබුණු නිසායි.

මහින්ද ජනපති නොසිටින්නට මේ කිසිවක් සිදුවන්නේ නැත. පරාජය කළ නොහැකි බලවේගයක් හැටියට බොහෝ අය සිතාගෙන සිටි, කොටි සංවිධානයට එරෙහිව මහින්ද ජනපති හැරුණු විට වෙන කිසිම ජනාධිපතිවරයෙක් යුද ප්‍රකාශ කළේ නැහැ. විදේශිකයන් පමණක් නොව ලංකාවේ දේශපාලනඥයන්ගෙන් බහුතරයක් ද දිනිය නොහැකි යැයි සිතා සිටි යුද්ධය නැවත ආරම්භ කිරීමේ දේශපාලන අවදානම වෙනත් කිසිදු ජනාධිපතිවරයෙක් ගත්තේ නැහැ. යුද බිමේ ඇතිවූ පසුබෑම් හා යුද්ධය නතර කිරීමට බටහිර බලවතුන්ගෙන් ආ බලපෑම් සියල්ලම නොතකා ඒකායන අරමුණින් කොටි සංවිධානය පරාජය කළ යුතුය යන ස්ථාවරයේ සිටීමට මහින්ද මහත්තයාට හැරුණු විට වෙනත් කිසිදු ජනාධිපතිවරයකුට හැකිවන්නේ නැහැ. මහින්ද රාජපක්ෂයන් නොසිටින්නට යුද්ධයක් නැහැ. එතුමාත් ගෝඨාභයනුත් නොසිටින්නට ජයග්‍රහණයක් නැහැ.

යුද්ධයක් ජයග්‍රහණය කිරීමට හොඳ හමුදාවක් තිබිය යුතුමයි. කෙසේ වුවත් යුද්ධයක් දිනන්නේ හෝ පරදින්නේ දේශපාලඥයා නිසා කියලා කිව්වම සමහරු ඒක වැරැදි විදියට හිතනවා. නමුත් බලන්න දෙවන ලෝක මහා යුද්ධය දිනුවේ වින්සන්ට් චර්චිල් හිට්ලර් පැරැදුණා. යුද්ධයක් යනු දේශපාලනයේ දිනීමක්. දේශපාලනයෙන් කරන්න බැරි දෙයක් තමයි යුද්ධයෙන් කරන්නේ නමුත් යුද්ධය කරන්න තීරණය කරන්නේ දේශපාලඥයා විසින්.

ඩෙන්සිල් කොබ්බෑකඩුව 1987 වඩමාරච්චි මෙහෙයුමේ ඉන්නකොට වඩමාරච්චියේදී ප්‍රභාකරන් මරලා දාන්න දවස 3 – 4 යි තිබුණේ. නමුත් ඉන්දියාවේ ආපු බලපෑම් නිසා යුද්ධය නවත්වන්න සිදුවුණා. කවුද ඒ තීරණය ගත්තේ එවකට තිබුණු එජාප ආණ්ඩුවේ නායකයෝ. ජේ.ආර්. ජයවර්ධන තමයි තීරණය ගත්තේ ඉන්දියාවට බයවෙලා. ඒ තීරණය ඩෙන්සිල් කොබ්බෑකඩුව නෙමෙයි ගත්තේ.

ඒ වගේම තව බලපෑමක් ආවා 2009 අප්‍රේල් 24 වැනිදා. එදා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් බිලිබෑන්ඩ් ආවා එංගලන්තයෙන්. බර්නාඩ් කුෂ්නර් ප්‍රංශයේ විදේශ ඇමැති ආවා. ඇමෙරිකාවෙන් ආවා තවත් අයෙක්. ඒ අය හම්බන්තොට ප්‍රදේශයට ගිහින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමුවී කිව්වා යුද්ධය නවත්වා සටන් විරාමයකට යන්න කියලා. එදා මහින්ද රාජපක්ෂවත්, ගෝඨාභය රාජපක්ෂවත් යුද්ධය නවත්වන්න කටයුතු කළේ නැහැ. එදා මහින්ද හා ගෝඨාභය ප්‍රකාශ කළේ ප්‍රභාකරන් පණ පිටින් හෝ මළ කඳ හෝ හමුවන තුරු යුද්ධය කරන බවයි. එදා යුද්ධය නැවැත්වූවා නම් කවුරුවත් වීරයෝ වෙන්නේ නැහැ. ඒ තීරණය ගත්තේ දේශපාලඥයෝ. එදා අපිට යුද්ධය කරන්න කියපු නිසා අපි යුද්ධය කරගෙන ගියා. අපේ රටට මොනතරම් දක්ෂ ජෙනරාල්ලා, අණ දෙන නිලධාරීවරු, හමුදාපතිවරු සිටියත් යුද්ධය අපිට ගෙනියන්න බෑ. ඒ සඳහා පැහැදිලි එඩිතර දේශපාලන නායකත්වයක් අත්‍යවශ්‍යයි. හොඳ රාජ්‍ය නායකයෝ අපට හිටපු නිසා තමයි යුද්ධය අපට 2009 දී දිනන්න පුළුවන් වුණේ.

2005 – 2009 දක්වා වකවානුවේදී අපට යුද්ධයට අවශ්‍ය සියලු පහසුකම්, උපකරණ, බළ ඇණිවලට අතිරේක දීමනා ආදිය දුන්නා. ඒ අනුව තමයි අපිට මේ යුද්ධය ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණේ.

අපි 2009 මැයි 19 වැනිදා යුද්ධය ජයග්‍රහණය කළේ අමුතුම විදියකට. අපි යුද ජයග්‍රහණය කළේ මානුෂීය මෙහෙයුමකින්. ලෝකයේ බොහෝ යුද්ධ ජයග්‍රහණය කළේ එහෙම නෙවේ. අපේ හමුදාව තමයි සිවිල් ජනතාව 295000 ක් බේරාගෙන යුද්ධයක් දිනපු ලෝකයේ එකම හමුදාව. මේ පිළිබඳව ශ්‍රීමත් ඩෙස්මන්ද සිල්වා ලෝකයටම කිව්වා. මේ ජයග්‍රහණය ලෝකයටම පරමාදර්ශයක් කියලා. එහෙම ලක්ෂ 3 කට අධික අහිංසක දෙමළ ජනතාව බේරාගත් අපිටයි කියන්නේ අපි දෙමළ ජනතාව මරල දැම්මා කියලා. මේක බොරුවක්.

දැන් අපේ බුද්ධි අංශ ශක්තිමත් කරලා තිබෙනවා. නැවත වරක් එල්.ටී‍.ටී.ඊ. එක ආවොත් එහෙම සිංහල මිනිසුන්ට වගේම දෙමළ ජනතාවත් තාඩන පීඩනවලට ලක්වේවි. එල්.ටී.ටී.ඊ. ප්‍රහාර බෝම්බ නිසා සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනා දුක් වින්දා. ඒ නිසා දෙමළ ජනතාවත් දෙමළ ඩයස්පෝරාව දෙමළ සංවිධාන පිළිබඳව බුද්ධි තොරතුරු අපට ලබාදෙන්න ඕනා. දෙමළ ජනතාව 2009 වනතුරු යාපනයේ පුදුම දුකක් වින්දා. ඒ නිසා කාටත් හොඳයි මේ කොටි හිස එසවීම වළක්වන්න අපිට උදවු දෙන එක.

මම අවුරුදු 35 ක් නාවික හමුදාවේ හිටියා. මම තමයි පළවෙනිම ඩෝරා වේග ප්‍රහාරක මුර යාත්‍රා බළ ගණයේ අණදෙන නිලධාරි ලෙස කටයුතු කළේ. ඒ නිසා අපිට කොටි එක්ක මුහුදු සටන් ගණනාවක අත්දැකීම් තිබෙනවා. 1990 දී පුනරීන්වල හිරවෙලා හිටපු සෙබළු 400 ක් කොටින්ගෙන් බේරා ගන්න මා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වෙලා ඒ වැඩ කළා.

රටේ විවිධ ප්‍රදේශවල ග්‍රාමාරක්ෂක ලෙස හැඳින්වූ අය ඒකාබද්ධ කරලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවා ඒක ප්‍රතිසංවිධාන කිරීමට මම පියවර ගත්තා.

1980 ගණන්වල සිට ම තර්ජිත ගම්මාන ආරක්ෂා කිරීමට ග්‍රාමාරක්ෂක සේවාව තිබුණා. 2006 පමණ වනවිට පොලිසිය යටතේ ග්‍රාමාරක්ෂක භටයන් 19200 ක් වැඩ කළා. 2006 දී වත්මන් ජනාධිපතිතුමා ග්‍රාමාරක්ෂක සේවය විශාල පරිවර්තනයකට ලක් කළා. මුලින් ම කළේ ග්‍රාමාරක්ෂක ඒකකය පොලිසියෙන් ඉවත්කොට ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වෙනමම අංශයක් බවට පත් කිරීමයි.

එහි නම ද සිවිල් ආරක්ෂක බළකාය ලෙස වෙනස් කළා. ඉන්පසු නාවුක හමුදාවේ මාණ්ඩලික ප්‍රධානියා වූ මා එම බළකායේ ප්‍රධානියා හැටියට පත් කිරීමට එකල ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂයන් තීරණය කළා. නාවුක හමුදා‍වේ නිලධාරියකු ගොඩබිම සටන් කරන බළකායක ප්‍රධානියා හැටියට පත් කිරීම අමුතු දෙයක්. සිවිල් ආරක්ෂක බළකාය ඒකක 17 කින් සමන්විත වූ අතර, ඒ ඒ කොටස් යුද හමුදා හෝ පොලිස් නිලධාරියකු යටතේ අදාළ දිස්ත්‍රික්කවල සේවයේ යොදවනු ලැබුවා. කිසිදාක ආත්ම අභිමානයක් හෝ චිත්ත ධෛර්යයක් නොතිබුණු ග්‍රාමාරක්ෂක ඒකකය නඟා සිටුවීමට සුදුසුම පුද්ගලයා ලෙස එවකට ආරක්ෂක ලේකම්තුමා මා තෝරාගත්තේ ජනාධිපතිතුමාගේ අනුමැතිය ද ඇතිව.

ඒ වනතෙක් ග්‍රාමාරක්ෂකයන් භාවිත කරන ලද එක වෙඩිල්ලක් තැබිය හැකි පතුරම් තුවක්කු හා රිපීටර් තුවක්කු වෙනුවට ටී - 56 ගිනි අවි ඔවුන්ට බෙදා දෙන ලද අතර ඔවුන්ගේ බාල පෙනුමකින් යුත් නිල ඇඳුම් වෙනුවට ‘කැමෝෆ්ලාජ්’ නිල ඇඳුම් හා හමුදා සපත්තු හඳුන්වා දෙනු ලැබුවා. මේ අතර මායිම් ගම්මානවලට එල්ලවන තර්ජනයේ තරම ගැන යුද හමුදාව හා පොලිසිය සමඟ එක්වී මම විමර්ශනයක් ද කළා.

ඒ අනුව මෙම ගම්මානවලට කොටි ප්‍රහාර එල්ලවූ අවස්ථා පිළිබඳ වාර්තාවක් රජයට ඉදිරිපත් කළා. එම වාර්තාව සලකා බැලූ රජය සිවිල් ආරක්ෂක බළකායේ පිරිස් බලය දෙගුණ කිරීමට තීන්දු කළා. ඒ අනුව 2006 ත් 2009 ත් අතර සිවිල් ආරක්ෂක බළකායේ භටයන්ගේ සංඛ්‍යාව 41, 500 දක්වා වැඩි වුණා‍. ඔවුන්ට ලබාදෙන පුහුණුව ද වෙනස් කරන ලද අතර සේවයේ නියුතු ග්‍රාමාරක්ෂක භටයන්ට ද යුද හමුදා හා නාවුක හමුදා උපදේශකවරුන් විසින් සති හතරක නැවත පුහුණුවීමක් දෙනු ලැබුවා.

සිවිල් ආරක්ෂක බළකායේ කාර්ය භාරය වූයේ ආරක්ෂක කටයුතුවල යෙදීමයි. නමුත් එම බළකායේ සාමාජිකයන් 400 කට පමණ සති 10 ක ප්‍රහාරක පුහුණුවක් ද ලබා දුන්නා. ඒ තර්ජිත ගම්මානවලට ඇති මාර්ග ඔස්සේ කොටි ප්‍රහාරක කණ්ඩායම්වලට පැමිණීමට නොහැකි ආකාරයට සැඟවී පහරදීම් කිරීම සඳහායි.

මේ ඇති කරන ලද වෙනස්කම්වල ප්‍රතිඵලය වූයේ කොටි සංවිධානයට තවදුරටත් මායිම් ගම්මානවල ජනතාව භීෂණයට පත්කිරීමට නොහැකි වීමයි. සිවිල් ආරක්ෂක බළකාය කි.මී. 55 ක් වූ ත්‍රිකුණාමලය - හබරණ මාර්ගයේ ආරක්ෂාව බාරව සිටි අතර අනුරාධපුර, පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කවල ද මාර්ග ගණනාවකම ආරක්ෂක කටයුතු ඔවුන් යටතේ විය. මොවුන් නොසිටියේ නම් මේ රාජකාරිය යුද හමුදාවට කිරීමට සිදුවීම නිසා ප්‍රහාරක රාජකාරිවල යෙදිය හැකි භට පිරිස් අනවශ්‍ය ලෙස මුර රාජකාරිවල යෙදවීමට ඉඩ ලැබෙන්නේ නැහැ. යුද්ධයේ අවසාන කාලයේ සිවිල් ආරක්ෂක බළකා‍ෙය් 3,000 ක පමණ පිරිසක් ඍජුවම යුද හමුදාවට බඳවාගෙන යුද හමුදා නිත්‍ය බළකායේ සෙබළුන් අවසාන ප්‍රහාරයට නිදහස් කරනු ලැබුවා.

සියලුම තර්ජිත ගම්මාන අපි ආරක්ෂා කළා. ගුවන් හමුදාව උඩින් ගිහිල්ලා යුද්ධ කළා. නාවික හමුදාව මුහුදෙන් ගිහින් යුද්ධ කළා. යුද හමුදාව මහ පොළොවෙන් ගිහින් යුද්ධ කළා. විශේෂ කාර්ය බළකාය රට ඇතුළට ගිහින් මර්මස්ථානවලට පහරදීලා යුද්ධ කළා. පොලිසියත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් මේකට උදව් කළා. ඒ සියල්ලටම හොඳ දේශපාලන නායකත්වයක් අපට ලැබුණා.

නමුත් මේ යුද ජයග්‍රහණය උදෙසා අපේ සෙබළු 29000 ක් විතර මවුබිම වෙනුවෙන් දිවි පිදුවා. 2006 ජූලි සිට 2009 මැයි දක්වා අවසාන යුද්ධයේදී පමණක් මියගිය යුද හමුදා සෙබළුන්ගේ ගණන 5876 ක්.

2008 ජනවාරි මාසයේදී ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය හැටියට නම් කළා. ඇමෙරිකාවට ඍජු තර්ජනයක් වූ අල්කයිඩා සංවිධානය ද ශ්‍රේණිගත කොට තිබුණේ කොටි සංවිධානයට පහළින්. නමුත් 2009 මැයි 19 දා වනවිට මුළු ලොවම පරාජය කිරීමට නොහැකි යැයි සිතූ මේ එල්.ටී.ටී.ඊ. සංවිධානය හා ඔවුන්ගේ නායකයා පරාජය කිරීමට අපේ ශ්‍රී ලාංකික හමුදාවන්ට හැකි වුණා. එය අපේ රටේ සියලු හමුදාවල සෙබළුන්ගේ හා පොලිසියේ හා සිවිල් ආරක්ෂක නිලධාරීන්ගේ පමණක් නොව අපේ රටේ එඩිතර දේශපාලන නායකත්වයේ විජයග්‍රහණයකි.

මේ යුද විජයග්‍රහණය මෙවරත් ‍මැයි 19 වැනිදා අපි සමරනවා. එදා ලැබූ විජයග්‍රහණය අපි කිසිදිනක අමතක නොකළ යුතුයි. එය රට වෙනුවෙන් දිවි පිදූ හා ආබාධිත වූ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් ලෙස සැමරිය යුතුයි.

කොරෝනා වසංගතය අද දිනෙන් දින වැඩිවෙනවා. එය මර්දනයට එය පාලනයට අපේ වෛද්‍ය විශේෂඥයන් යුද හමුදාව සෞඛ්‍ය බලධාරීන් සමඟ දේශපාලන නායකත්වය සුවිශේෂී සේවයක් සිදු කරනවා. කොවිඩ් - 19 කාර්ය සාධන බළකාය හා සෞඛ්‍ය බලධාරීන් සමඟ දේශපාලන නායකත්වය ගන්නා තීරණ අනුව, අපේ නායකයෝ මීට වසර 12 කට පෙර කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තා වගේ මේ කොරෝනා වසංගතයෙනුත් අපේ රට බේරා ගැනීමට අපට හැකිවනු ඇතැයි විශ්වාසය පළ කරනවා.

 

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නේ

Comments