ඇමැති බන්දු­ල­ගෙන් යළිත් සහන මල්ලක් | සිළුමිණ

ඇමැති බන්දු­ල­ගෙන් යළිත් සහන මල්ලක්

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබාදීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි සංචරණ සීමා කාලය තුළදී අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5,000ක් වටිනා සහන මල්ලක් ලබා දීමට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.

මෙරට පවත්නා වසංගත තත්ත්වය හමුවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරින්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.

මෙම සහන මල්ලට සුදු නාඩු සහල් කිලෝ ග්‍රෑම් 10, රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 5, පාන් පිටි කිලෝ ග්‍රෑම් 3, අල (දේශීය) කිලෝ ග්‍රෑම් 3, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 2, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1, දුඹුරු සීනි කිලෝ ග්‍රෑම් 1, හාල්මැස්සන් (තායි) ග්‍රෑම් 500, බී ,ලූණු කිලෝ ග්‍රෑම් 3, තේ කොළ ග්‍රෑම් 200, ගම්මිරිස් ග්‍රෑම් 100, ලුණු කැට කිලෝ ග්‍රෑම් 1, මිරිස් කුඩු ග්‍රෑම් 200, සෝයා මීට් ග්‍රෑම් 90 පැකට් 2, දෙවැනි බත ග්‍රෑම් 350, නූඩ්ල්ස් කිලෝ ග්‍රෑම් 1, ක්‍රීම් ක්‍රැකර් බිස්කට් ග්‍රෑම් 500, මාරි ග්‍රෑම් 300 පැකට් 1, මුහුණු ආවරණ 10 හා විෂබීජ නාශක දියර මිලි ලීටර 100 යනාදිය ඇතුළත් වෙයි.

Comments