බිඳෙන හීන ගැන මැසිවිලි වෙනුවට නිර්මාණ උපද්දන ලේඛකයා | සිළුමිණ

බිඳෙන හීන ගැන මැසිවිලි වෙනුවට නිර්මාණ උපද්දන ලේඛකයා

 

කටු ඇනගනිමින් නෙළන මල් මතු නොව, පස පෙරළා බීජ වපුරා අස්වද්දන මහ පොළොවේ අස්වැන්න කපන්නේ ද අස්වැන්න අයිතිවන්නේ ද තවකකුට ය. මතුපිටින් ලස්සනට පෙනෙන බොහෝ දේහි ඇතුළාන්තය දුක්ඛයකි. ශෝකාන්තයකි. එහෙත් ඒ ශෝකාන්තයේ සියුම් බව දකින්නේ, දැනෙන්නේ කීයෙන් කී දෙනාට ද? අනෙක් අතට ඒ සියුම් බව නිසා ම විඳවන්නෝ කොතෙක් ද?

 

එහෙත් වඩාත් වැදගත් වන්නේ මල් පිපෙන්නට ගස් සිටුවීම නොවේ ද? සියල්ලෝ මල් නෙළීමට පමණක් සැරසෙන්නේ නම් මේ ලොව මෙතරම් හැඩවන්නේ නැත. නෙළන්නට මල් පිපෙන්නට නම් ගස් වැවිය යුතු පිරිසක් ද සිටිය යුතුම ය.

බොහෝ අය සිතන්නේ මල් පිපෙන්නේ ආකස්මිකව බව ය. ඒ මල් ‍පිපෙන්නට මහ පොළොව දැරූ වෙහෙස ගැන මෙන් ම ඒ ගස් වැවූවන්ට ද අප හිස නමා ආචාර කළ යුතු බව දන්නේ කීයෙන් කී දෙනා ද?

අද මේ සුන්දරව විකසිත වෙන මල හෙට පරවී දුර්ගන්ධවත් වෙන්නේ අප ජීවිතය හා සේම බැව් වටහාගන්නේ කීයෙන් කී දෙනා ද?

නිර්මාණකරුවා මේ සියල්ලම විඳින්නෙකි; එමෙන්ම ඒ සියල්ලෙන් විඳ වන්නෙකි. පරාක්‍රම ඒකනායක නිර්මාණකරුවා ද මේ සියල්ලේ උරුමකරුවෙකි. ඔහු නිර්මාණ ඉසව් කිහිපයකම බුහුටිකම් පාන්නෙකි. විද්යුත් නිර්මාණකරුවෙක් ලෙස නෙක දස්කම් පෑ හේ එහි අත්හදා බැලීම්, තාක්ෂණික හා කලාත්මක පාර්ශ්ව එකට එක්කෙරූවෙකි. කළ නොහැකි යැයි කියූ බොහෝ දෑ ප්‍රායෝගිකව කර පෙන්වූවෙකි.

“මම මුලින් නවකතාවක් ලියන්නෙ වස්තු බීජයක් හදා ගන්නෙ, සමාජයේ රස්තියාදු ගහලා. මගේ මුල්ම නවකතාව "කනේරු මල් යාය" ලියන්න හේතුව මට මුණ ගැහෙන චරිත දෙකක්. එක්කෙනෙක් තමන්ගේ පළමු ආදරය මතම අවිවාහකව තැවී තැවී හිටපු තරුණියක්. ඇයගේ එකම ප්‍රාර්ථනාව වුණේ තමන්ට අහිමිවු පෙම්වතා ගෙන් දරුවෙක් ලබා ගැනීම. එ්ක ඇයට ලොකු ප්‍රේමයක්. ඇය කියුවේ එහෙම දරුවෙක් හිටියා නම් එයා නැතත් කමක් නෑ කියලා.

මට එක ටිකක් වෙනස් අත්දැකීමක්. හැමෝම බලන්නෙ පෙම්වතා තමන්ගේ කරගෙන අයිතිකාරකමක් හදා ගන්න. හැබැයි ඇයගේ සිහිනය වුණේ පෙම්වතා එක්ක යහන්ගතව දරුවෙක් හදාගෙන අතැර යාම. මේ එක නිමිත්තක්.

අනිත් එක තමයි, තමන්ගේ බිරිඳගේ ආදරය වෙනුවෙන් ඉවසපු ස්වාමි පුරුෂයෙක් ගැන. ඔහු තමන්ගේ බිරිඳගේ ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් ඉඩක් හදලා, ඒ වෙනුවෙන් දුක් විඳිනවා. මට මේ සිදුවිම් දෙක මහා බරට හිතට දැනුණා. ඊට අමතරව සමාජය තුළදී ප්‍රේමය වෙනුවෙන් පුද්ගල හැසිරිම් ගැනත් මම විමසිලිමත් වුණා. ඊට පස්සෙ මම නවකතාවට චරිත ගොනු කළා. චන්දන, උත්පලා, මධාර මේ කතාවේ තමන්ගේ ප්‍රේමය හසුරුවන හැටි, ඉන් ඇතිවන ඛෙදවාචකය වගේ ප්‍රහර්ෂ ගැන ලියුවා. ඇත්තටම එකට ගොඩක් මගේ ප්‍රේමය සම්බන්ධ අත්දැකීමුත් එකතු වුණා.

අනිත් එක ඒ දවස්වල (1998/99) කාලේ ලිවින් ටු ගෙදර් වගේ සංකල්පත් ප්‍රේමයට ඇවිත් තිබුණා. ඉතින් මම මගේ මුල්ම නවකතාව කනේරු මල් යාය ලියුවේ, ජිවිත ඇතුළෙ විඳවන ආදරය ගැන. නමුත් මම කතාව ඉවර කළේ ජිවිතේ කොතැන කොහොම රස්තියාදු ගැහුවත් තමන්ට ඇත්තටම ආදරය ඕන වෙන වෙලාට ඉතිරි වෙන්නෙ ඇත්තටම ආදරය තිබුණ තැන කියන එකත් මතක් කරමින්“

සිහින සැබෑ කරගන්නට බොහෝ දෙනෙක් කොළඹ එන්නේ බොහෝ සිහින උකුසට තබාය. "ටිකිරි ලියා තරු මැද්දෙ ගියා" නවකතාව තරු සංකල්පයේ ඇතුළු පැත්ත ගැන බලන්නට දැරූ වෑයමකි. සාමාන්‍ය ඔබේ මගේ ජීවිතවලට වඩා ප්‍රාසාංගික ජීවිතවල නොකියවුණු වියමන් බොහෝය. පරාක්‍රම මේ නවකතාව ජනශ්‍රැතිය හා මනාව බද්ධ කරයි. නූතන ටිකිරි ලියන්ගේ ඛේදවාචකය අතීත සම්ප්‍රදාය හා මනාව සංයෝග කරන පරාක්‍රම; අපට අපූර්ව පූර්වාපර සන්ධි ගැළපීමක් කරන්නේ ය. ඒ අනුව නුතන ටිකිරි ලියන්ට කබරගොයන්ට ගොදුරු නොවී වැඩේ කර ගන්නට නොහැකි වුවත්; එදා ටිකිරි ලියා නම් ගොඳුරු නොවීමේ කලාව දැන සිටියේය. දඩයක්කාරයා හා ගොදුර ගැන කතාව කවදාවත් සුන්දර කතාවක් වූයේ නැත.

“මගේ තුන්වන නවකතාව තමයි "ටිකිරි ලියා තරු මැද්දෙ ගියා"

එක ගැන මට තියෙන්නෙ විශාල අත්දැකීමක්. මොකද මම ලංකාවේ පළමු වැනි රියැලටි ගායන වැඩසටහනේ පිටපත් රචකයා විදිහටත්, එකෙම වෙන පියවරකදි නිෂ්පාදක වරයෙක් විදිහටත් වැඩ කරන්න ලැබුණා. එතනදි මම දැක්කා තරුවක් වීමේ හිනය හොයන් කොළඹ ආපු තරුණියන්, තරුණයන් මේ නව වැඩසටහනේ ආකෘතිය ඇතුළෙ තමන්ගේ ස්වභාවික හැව අත්හැරලා, ආරෝපිත චරිතයට එද්දී, තමන්ගේ සමාජ දැනුම විසින් කොයිතරම් තමන් ගේ හීනයට ළංවෙන්න බලපෑමක් කළා ද කියන එක.

ඔවුන් ඉදිරියට යද්දී ඔවුන් වටා රොක් වුණ, මුල්‍යමය රසිකත්වය කොයි වගේද කියලා මට හිතුණා. ඉතින් මට කල්පනා වුණේ, අපේ ජන සාහිත්‍යයේ එන ටිකිරිලියා කොළඹ ඇවිත් තරු මැද්දෙ ගියා නම් මොන වගේ තියෙවිද කියලා. දියබරින් වගේම කබරගොයිත් ඉන්න නුතන මීඩියා ලෝකයේ අහිංසකත්වය කියන්නෙ කෙලින් ම ගොදුරක් ම බව නිවැරදි කියවන්නකුට වැටහෙන දෙයක්. තව දෙයක් මේ කතාවට තව දෙයක් එකතු වුණා, ඒ වෙන කොට එක්තරා රියැලටියක ජයග්‍රහණය අභියෝග කරලා එක් තරගකාරියක් වේදිකාවෙන් බැස ගිහින් තිබුණා.

හැබැයි එක පිටුපස තිබිලා තියන්නෙ පාවිච්චිය. මම මේ හැම දෙයක්ම අරන්, මේ වෙන කොට සමාජ මනසින් වියැකෙන අපේ ජනකවිය, ජනකතාව, ගැමිකම ආදි අංග තරුවක් වෙන්න එන ටිකිරිලියාගේ ජිවිතයට බද්ධ කළා. ඉස්සර අපේ ආච්චි අම්මා, නැන්දලා මාමලා කතන්දර කියපු කටවහරෙන් නවකතාව රචනා කළා.

ඒ වගේම මේ නවකතාවට මම ගීතයකුත් රචනා කළා, සිදුවීම් සියල්ල කැටි කරලා.

කොහොමත් රියැලටි තවමත් තියෙනවා. තරුණ තරුණියන් එනවා, යනවා. එක රැයකට තරුවක් වෙලා දන්නෙම නැතිව අහසින් බැස යනවා. කබරගොයි කරකැවෙනවා; දියබරියෝ කනවා. හැබැයි දිගටම නුතන අවකාශය ඇතුළෙ තව තවත් පිරිස් තරුවෙන්න හීන දකිනවා‘

අත්දැකීම් නිර්මාණකරුවාට ලබා දෙන ආවේශය පුදුම සහහගත ය. ඒවා සිය ජීවිතයෙන් ම විඳි කල තවතවත් දැනෙන්නේ ය. සාමාන්‍ය අප විඳින අත්දැකීම් එවෙලෙහි වින්දනය කරනවා විනා එතැනින් එහාට ඒ ගැන සිතන්නේ නැත. ඒවා තවකකුගේ ජීවන පරිඥානය වෙනුවෙන් ලියැවෙන්නේ ද නැත. තිස් වසරක යුද්ධය අවසන යුද්ධයේ කම්පනය විසින් ඉතිරි කළ ගැස්ම පරාක්‍රම කෙටිකතාවකට ගොනු කරන්නේය.

“මට 1995 දී සම්මානයක් ලැබුණ කෙටි කතාවක් තියනවා"අංගෝහාමි අම්මා " කියලා. මට ඒ කෙටිකතාව ලියන්න හේතුව හැදෙන්නෙ අසූ අට, අසු නවය භිෂණය කාලය. එතකොට මම උසස් පෙළ සිසුවෙක්. හැබැයි කෙටිකතාව ලියන්නෙ ඊට අවුරුදු හයකට පස්සෙ. ඒ භිෂණය විසින් මගේ පාසලේ ඉගෙන ගත්ත කිහිපදෙනෙකුත් මිය ගියා.ඒ විතරක් නෙවෙයි එක සිසුවෙක් පාසල් බිමේ වතුර බොද්දි වෙඩි වැදිලා මැරුණා. සමවයස් අපිට මේක ලොකු කම්පනයක්. අපි යාළුවගේ මළ ගෙදර ගියෙත් මරණය අතේ අරන් වගේ.

අඩියෙන් අඩිය හමුදාව දාල හිටියේ. පස්සෙ මම පාසලෙන් අයින් වෙලත් වසර කිහිපයකට පස්සෙ තමන්ගේ අතුරුදහන් වුණ දරුවා ගෙදර එනකල් බලාපොරොත්තු වෙන් ඉන්න, අම්මලා මට මුණ ගැහුණා. අදටත් ඒ අම්මලා පුතා එයි කියලා බලන්න ඉන්නවා. පස්සෙ කාලෙක ඒ අම්මලා බලන් ඉදීම සිංහල අම්මටයි, දෙමළ අම්මටයි දෙන්නටම පොදු අත්දැකීමක් වුණා. සමාජය ගැන හිතපු, පවුලේ අනාගතය මිට මොලවන් හිටපු, පුතා අතුරුදහන් වුණ අම්මලා ගැන මට ඒ යුගයේ ජිවත්වුණ තරුණයෙක් විදිහට, හදවතට විඳවිමක් දැනුණා. ඒ විඳවීම තමයි මම කෙටිකතාවට ලියුවේ, ඒක මම ඌවේ යෞවන ප්‍රතිභා සම්මාන උළෙලට දැම්මම, මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂ­්‍යයක් කරමින් කෙටිකතාවට ඒ සම්මාන උලෙ‌ෙළ් හොඳම කෙටිකතාවට හිමි සම්මානයත් ලැබුණා..

මම හිතන්නෙ ලේඛකයා සමාජය කියවලා, සමාජය තුළ ජිවත් වෙන ජිවිත ඇසුරු කරලා ඒ ආශ්‍රිතව තමන්ගේ කතා ගොඩනඟා ගැනීම හොඳ දෙයක් කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි, ජනකතාව කියන්නෙ හිතලුවක් නෙවෙයි, ඒ යුගයේ සමාජයේ ජිවිත වල පැති කඩක් කියන එක. ජනකවිත් රියැලටි ප්‍රකාශනයක්“

ජීවිතය අප බලාපොරොත්තු වෙන දේ එක්වර ම, එක් විට ම ලබා දෙන්නේ නැත. සෑම විට ම හොඳ, සතුටු දේ ම පමණක් සිදු වන්නේ නම් අසීරු, දුෂ්කර දේ ගැන අප දැනගන්නේ කෙසේ ද?

දුෂ්කරය කියා ජීවිතය අතහැර දැමිය නොහැකි ය. ජීවත්වීමට ඉතාමත් ම අසීරු යි, ඒ අසීරුව ජයගැන්ම සඳහා වෙන ක්‍රමයක් නැත් ද? ඔබ අසනවා නිසැකයි. එහෙත් ජීවත් වීම ගැන තව කිසිවකුට හෝ කියා දිය හැකි ද? එය තම අත්දැකීමෙන්, ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ම ළඟා කර යුතු දැකීමකි; ඉගැනීමකි. පරාක්‍රම කරන්නේ ඒ ඉගැනීම වචන බවට පෙරළා පාඨක අපට තිළිණ කිරීමයි.

 

Comments