කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

සමාවෙ­යන් සර­ස්වතී

උස­ස්පෙ­ළට ඒ බී සී තිබු‍ණේ නැති බව ඇත්තයි
ඒත් මගේ අත පුරාම කර­ගැට මල් පිපුණා
පාන් පැයට කලි­යෙන් නිදි පැදු­රට ගිය දවස් හිඟයි
රෑ පුරාම දොර­කඩ ළඟ දඩ­යම් අඩි ඇහුණා..
.
කෝඩ සුළං ගෙට එන­කොට පැළලි දොර බිඳී ඉහි­රුණ
හීන පොකුර හිත අත­හැර බොහෝ දුරක ඇදුනා
මහ­න්සි­යට හුස්ම හොයන අම්මට දුක බව දැන දැන
කාටත් නොකියා හොරෙන්ම මෝලෙ වැඩට බැඳුනා...

මුද­ලා­ලිගෙ උකුසු දෑස් පපුව පුරා හොර ගම­නක
එර­බදු මල් චීත්ත­යෙන් පරවී බිම වැටුණා
මටත් වඩා ලොකු දූවරු උන් දරු­වන් අතින් අරන්
අපේ ගෙදර දොර­කඩ ළඟ සන්නි­පාලි තිබුණා...

කාත් කවු­රු­වත් නැති තැන මාත් මගේ දුක කියන්න
පාන් පැයෙන් දේවාලේ දොර­කඩ ළඟ රැඳුණා
ඒත් තවම දෙවි­වරු නිදි පාත් වුණ තිරේ පිටු­පස
කපු­රා­ලට අලුත් යාති­කා­වක දුක ඇහුණා...

ඉපල් වුණ ගසක ඉඳ­හිට මලක් පිපෙන බව කිව්වට
ඇස් බැඳ වුන් ළඳක් ළඟදි ආයෙත් සළු ලෙහුණා
සර­ස්වතී දුන් වර­මට ඒ බී සී මට නැතු­වට
තුන්මුල්ලේ හන්දිය ළඟ මටත් තැනක් තිබුණා...

අනෝ­මජී රාජ­පක්ෂ

 

----------------------

පියෙ­කුගෙ සෙනෙ­හ­සින්

හද­වත නොපෙන්වා සුව­සෙත ගෙන දුන්නා
දහ­බිඳු හෙළා දිවියේ රස­යම වෙන්නා
මහ­මෙර වගේ හැම දුක් කඳ උහු­ලන්නා
හැඩි­දැඩි ගතින් සියු­මැලි දරු රැක ගන්නා

වද­නක් නොදී බොහො සේ කල්පනා කර
හොරැ­හින් සිනාසී දෙඇ­සි­න්ඉ­වත හැර
මන­සින හඞා දුක නොදු­ටුව සෙයක් පෙර
ළඟ­කින් තබා ගත්තා නෙත් මාන සර

කහ­ටින් තේ වලින් දිවා කල­ගෙ­වනු පෙනේ
දව­සින් වැඩි කලක් වෙහෙසී සිටිනු දැනේ
දරු­වන් අඹුව හිනැ­හෙනු දැක සතුටු වෙනේ
පිය­කුගෙ හද­වතේ රන් හිරු මවනු සැනේ
මල්ලිකා සිල්වා

-----------------

 

අත් හැරීම

හීන ගොඩක් පොදි බැඳ­ගෙන හිතේ ගෙනත්
ඈත ගමක ඉඳ මහ නග­ර­යට ඇවිත්
පෑන පොතට පාසැල වෙත මුල්ම තැනත්
දීම තුළින් පිවි­සුන උස් තැනකි මහත්

සසර මඟදි හමු­වුණ තව හිතක් මත
නතර වෙලා ලැබ­ගත් දරු කැලක් වෙත
අප­ර­මි­තව සෙනෙ­හස වක් කළත් හිත
නිතර නොවේ සතු­ටක් අඹු දරුවො නෙත

බැඳෙනා සමඟි හිත මධු විත සමඟ මුසූ
ගැටෙනා හේතු­වයි අප සැම ගෙදර විසූ
නොබොනා දවස සතු­ටක් වෙයි සැමට ඇසූ
මැරෙනා දිනය වෙයි මගෙ හිත සතුට නැසූ

දිවට නියම පැණි බඳු කිරි සුවඳ සුරා
මොකට මෙහෙම බැඳුණ ද ජීවි­තය පුරා
අවට සැවොම ඉල්ලයි අත්හ­රින යුරා
පවට කොහොම පින් දෙන්න ද මැරෙන තුරා

ශ්‍යාම කුමාර මුණ­සිංහ

 

--------------------

 

අප දෙදෙන

බෝ දුරයි සේ දැනෙයි
එත් මේ අස­ල­මය
බෝ ළඟයි සේ දැනෙයි
එත් දුර ඈත­කය
ජීවිතේ හැටි එහෙ­මය..
.
සීත­ලෙන් උණු­හු­මෙන්
රෑ දිවා තෙමි තෙමී
මේ ගමන යා යුතුය...

ඉවෙන් හැඳි­නිය යුතුය
එළියෙ සැඟ­වුණු අඳුර
සොයා කිමි­දිය යුතුය
අඳුර ගිල­ගත් එළිය
නිරා­මිස වූ සුවය....

අඳු­රෙ­දිත් තනි රකින
සෙව­ණැල්ල ඒ ඔබය...

සොයා වෙහෙ­සෙනු කුමට
අප නො ලද උඩ­වැ­ඩිය?
සොඳුරු මිටි­යා­වතේ
පිපුණු උඳු­පි­යලි මල්
මොන තරම් පිය­ක­රුද.
ජගත් ප්‍රේම­චන්ද්‍ර

----------------------

 

කඩ­දහි මල්

හඬන නෙතු අග කඳුළු පිරු­ණත්
සිතට කිය­න්නම් නොහඬා ඉන්නට
මට ඔබ හිමි නැති මේ සසරේ
ඔබ මුව සින­හව දකින ලෙසින්

ලොවට ඇස්වසා සිතට හොරෙන්
අවි­හිං­සක නෙතු යුග හඬවා
මන ජය ගන්නට සැර­සෙ­නවා ඔබ
නොදැ­නිම පැර­දුම කරා ගොසින්

තව­කෙකු අත සිරවී පොඩිවී ගිය
මල පිවි­තුරු යයි සිතෙහි දරා
ආලෝ­කය මඟ හරදා ගොස් ඔබ
අඳුරු ලොවක මංමුළා වෙමින්

ලස්සන සුව­ඳැති මලක සුමුදු බව
නොද­කින අඳ බඹ­රකු විල­සින්
කිසිදු හැඩක් නැති කිසි සුව­ඳක් නැති
කඩ­දහි මල ඔබ තුරුලු කරන්

කළ්‍යාණි විද්‍යා­රත්න

 

------------------

 

පශ්චාත් වර්ෂා­ප­තන සම­යක

හාත්පස රජ­යන වැහි අඳුර
හුන් තැන ස්ව කැමැ­ත්තෙන්
අක­ර්ම­ණ්‍යව එක්තරා
පාෂා­ණි­භූත වෙන්නැයි
බල­ක­රන හී ගතුව...

තුරු පත් අතර සැඟව හිඳ
ඉසි­යුම් ටික් ටොක් නදින්
තණ ඇති­රි­ල්ලට
කර­ණම් ගසන වැහි බිඳු..

සිටියා නම් කිසි­වෙකු
පිළි­ග­න්ව­න්නට
ප්‍රණීත උණු­හුම් පාන­යක්
විසුණු කර­මින් බරැති හුද­ක­ලාව
දොඩ­න්නට වල් පල් කිසිත්..

නොඑසේ නම්
ගත උණු­හුම දැනෙන තර­මට
ම දෙපා පාමුල සැතපී
මට ඔබ වැටහේ යැයි හඟ­ව­මින්
වරි­න්වර සෙනෙ­හ­සින්
කිසිත් නොදොඩා
මදෙස නෙත් හෙළන
සියල් සන්තාප උරා ගන්නා
සුනඛ සග­යෙක්..

චම්පිකා විජේ­සිංහ

 

------------------

සිතක රස්ති­යා­දුව ....

කාන්සිය අවදි වී රස්ති­යා­දු­වක සිත
අතීතේ ඉමක් නැති මං පෙතක ඇවි­දිද්දි
පාට බොඳ­වුණු... ඉරුණු...බොහො මතක මං අතර
කළු­වරේ තැනින් තැන විදුලි එළි ඇඳෙ­නවා ....

දසක ගණ­නක් පැරැණි නට­බුන් වූ
මිතුරු සිත් තැනින් තැන තියා ගිය
හුරු සෙනෙ­හෙ­ව­න්ත­කම්
දුව ඇවිත් කර වටා අත දමා එබි එබී
"උඹට මං අම­ත­කද...?" හිනැ­හෙ­මින් අහ­නවා ....

එක අයිස් පලමෙ රස රැහේ කාටත් බෙදූ
එකම වේවැල් පාර අත්ලේ හර­හට පොදූ
එක මඟේ දුරක් ගිය එකම සිහි­නය දුටූ
උන් කොහෙද....සල­කු­ණක් නොත­බාම වෙන් වුණූ....

කාලයේ රුදුරු අත් මුහුණෙ හැඩ මකා ඇති
සරුං­ගල් සිත් ඉරී බර දරා­ගෙන ඇතී
මහා හිස් ගොඩක් මැද
හමු වුණත් ඉඳ­හි­ටක
හඳු­න­ගනු බැරිව..අපි බිම බලන් යන්නැතී....
මංජුල ප්‍රභාත් හෙට්ටි­ආ­රච්චි

----------------

 

ආද­රය හා කව­ක­ටුව

ඔබ කෙරෙහි මසිත
උතු­රන ආද­රය
මරා දැමී­මට
නොක­ඩවා උත්සහ කරන්න...

ඊට මිටි­යෙන් තලා
කව­ක­ටු­වෙන් අනින්න
රිසි නම් ගල්රෝ­ලක් පවා
එමත මෙහෙයා බලන්න...

ඉන් ජය­ගෙන උද්දා­ම­යෙන්
වට­පිට බලන ඔබට...,
ගෙම්බන් විසින් ගෝණුන්
ගිල­දමා ඇති බවත්..,
අලි­යන් හිසින් ගත් මැස්සන්
පියා­ඹන බවත් පෙනේවි..

උද­යංග අම­ර­සේ­කර

-----------------

අව­සර හැම­ගෙන්..

ගමින් ගමට සර­මින් රට පුරාම
යුතු­කම් ඉටු කළෙමි මහ­ජ­න­යාට
හිස නොනැමූ නිසා බල­යට ජරා­වට
සතු­ටක් දැනෙ­නවා හිත යට සැබෑ­වට

බොරු­වට හොර­ක­මට ලොල්වූ මධු­වි­තට
අලස කමට හෝ දහ ජරා­වට
ලොල් වන්නට එපා නිල­ද­රු­වනේ ඒවාට
අව­වා­ද­යක් දෙන්නම් මතු දියු­ණු­වට

නීතිය අනුව ඉටු කළ යුතු­මය කාරි
අවැ­ඩක් කළොත් යා නොහැ­කිය බේරි
තිස් හත් වසක් තුළ වැට­හුණු දේ තේරි
ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරි

තිස් හත් වසක් ගෙවුණා යළි නොම එන්න
හත් වස­රක් ගෙවුණා මා මෙතැ­නට පැමිණ
කාලය එළැඹ ඇත මා හට සමු­ගෙන යන්න
අව­සර හැම දෙනා­ගෙන් මට දැන් සමු­ගන්න
ඩී. ඒ. පිය­සේන

 

-------------------

 

සුන්දර මගේ ළමා ලොව

හිරු කිර­ණින් එළිය වැටී
නෙළුම් පතක දිලෙන පින්න
බෙර­ලිය මල් සුළඟේ වැනෙයි
මල්ව­රවී බඹර තුඩට....

ගලා බසින දොළ පාරක
වතුර රඟන තාල හඬට
දන්ඩි කොරලි පේළි නටන
වෙල් යායක සොබා සිරිය...

ගලේ වෙළේ කුඹුරු යාය
ගැබ්බ­රවී මහ
දෝත පුරා රන් අස්වනු
කුරු­ල්ලන්ට මඟුල් යාය...

පරංගි කැපු ඇළ පාරේ
කෙසෙල් කොටේ ඔරු පැද්දේ
කෙක­ටිය මල් ඇළ මැද්දේ
පුංචි දෙපා සිප­ගත්තේ ...

කමත කොනක පුංචි
පන්දු කෙළින කදුරු ගෙඩිය
මම තාමත් හිතෙන් දුවයි
සුන්දර මගේ ළමා ලොවට...

ප්‍රියානි. පී. රණ­සිංහ

 

------------------

මේ සීත සුළං

මේ සීත සුළං
හිම වැටෙන රටින්
මගෙ කඳුළු අරන්
යළි යන්න ඇවිත්..

මහ මුහුදු තෙරෙන්
හිම ශිඛර උඩින්
වියැ­කෙන්න නොදී
පාවෙන්න හෙමින්....

නුඹ නිදන ගෙයින්
වා කවුළු තුළින්
ගොස් මුදු සයනේ
සැත­පෙන්න ළඟින්.....

මේ කඳුලු තනිව
විඳ­ගත්තෙ මමයි
යළි නුඹට එව්වෙ
මට බැරිම තැනයි...

තක්ෂිලා නිමාලි
වික්‍ර­ම­ආ­රච්චි

-----------------

 

සසර

නටනා තැබුව බඳු­නක් උතු­රන තුරුම
රඟනා අයුරු කකු­ළුවො සේ අප සැවොම
පැසෙනා කලදි අව­හිර වී ඉන් මිදුම
නැසෙනා අයුරු දැන­ගත යුතු වේ අද අදම...

පෙන්වා බුදුන් මඟ නිවැ­රදි මාව­තට
දුන්නා කල්ප කල් සිට ලොව සිටි දනට
අල්ලා ගන්න පුළු­වන් වුණු ටික දෙනට
ලැබුණා සසර සරනා මඟ නැව­තු­මට..

ළඟ නැව­තිලා බැලු­වට අප ගඟෙහි රඟ
බැස බැලු­ව­මයි දන්නේ එය ගැඹුරු වග
එය දැන සොයන විට ගැඹු­රෙන් මිදෙන මඟ
නිති ඔබ ලබනු ඇත සතු­ටක් සසර අග...

මනෝරි ගමගේ

---------------

 

පීතු පාදං නමාමී

වස­රින් වසර සත් වස­රක් ගෙවු­ණාට
මතකය නැවුම් සුවඳයි, සිත තුළ තාම
කිය­වන පොතක ලියනා හැම අකු­ර­කම
ඔබ සිටියා තනි නොක­රම සිත ගාව...

කියවූ මුල් දිනේ සිට අ යනු ආ යනු
පෙර'පර දෙදිග සාහිත පොතට හුරු­වුණු
දුන් ඒ අනගි පාඩම් සිතට සවි වුණු
ඔබ දිව­මන් ය සද­හට හදට යා වුණු...

පෑනට පොතට සේ කැත්තට උදැ­ල්ලට
බුහු­මන් පිදේ, හුරු වූ මහරු දෑතට
පෙර­මුණ ගති නිතොර පරි­ස­රය රැකු­මට
එබැ­වින් ඔබ සිටී හැම තැනම වට පිට...

අකු­රක් ලියන කිය­වන විටත් සිත ළඟ
කවි­යක් ලියන මොහො­තෙත් ඔබය පද­වැල
පල­යක් මලක් පිබි­දෙන විටත් සිහි­වන
ඔබ වන් පියෙක් නොමි­යෙයි සුතන් සිත් වල..

ඉඳ­හිට දිනෙක ගිය විට මහ ගෙදර දෙස
හිස් වූ ඇඳි පුටුව දසු­නකි තෙමන නෙත
සැලෙනා දොර තිරෙන් ඔබ, හිස් කුටිය හිඳ
සිහි කර දෙයි හිතට ඔබ මෙහි නොවන වග...

කුමු­දිනී වේලා­රත්න

---------------

ප්‍රතිපත්ති ප්‍රකාශනය

 

නෝනාවරුනි මහත්වරුනි ..... !!!

මෙය අපගේ අවසාන වචනයයි -

අපගේ පළමු හා අවසාන වචනයි

කවියන් ඔලිම්පස් සිට පැමිණ ඇත.

අපේ පැරැන්නන් සඳහා කාව්‍යය

සුඛෝපභෝගී භාණ්ඩයක් වූ නමුදු

අපට එය අත්‍යවශ්‍ය දෙයකි,

අපට කවියෙන් තොර දිවියක් නොමැත

මම මෙය ඉතා ගෞරවයෙන් කියමි,

අපි මෙය පවත්වා ගෙන යන්නේ

අපේ පැරුන්නන් මෙන් නොව,

කවියෙකු යනු රසායන විද්‍යාඥයකු නොව,

කවියෙකු යනු සෙසු සියලු මිනිසුන්

මෙන් තවත් මිනිසෙකි,

තම පවුර ගොඩනගන ගඩොල් බදින්නෙකි,

දොර - ජනෙල් සාදන්නෙකි.

අපි කතා කරන්නෙමු එදිනෙදා වචන වලින්,

අපි විශ්වාස නොකරන්නෙමු

ගුප්ත සංඥාවන්,

තවත් එක් දෙයක් නම් :

කවියා පෙනෙන්නේ සෘජුව වැඩුණු ගසක් මෙනි

( මෙම කාව්‍යය මිලර් විලියම්ස් විසින්

ඉංශ්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලදි. )

 

නිකනෝර් පරා

(Nicanor Parra 1914 - 2018 )

 

නිකනෝර් පරා ( Nicanor Parra 1914 - 2018 ) වූ කලී චිලී ජාතික ප්‍රකට කවියෙකි. කාව්‍යය සංග්‍රහයන් කීපයකම ප්‍රකාශයට පත්කර ඇති මොහු චිලී ජාතික සාහිත්‍යය ත්‍යාගය ( Chilli National Literatury Prize ) කීපවතාවක්ම දිනාගෙන ඇත්තේ ය. ඔහුගේ කාව්‍යය සංග්‍රහයන් අතර Poems and Anti Poems - 1959 / Canciones Rusas - 1967 / Hojas Parra - 1985 / Discoursos de Sobremesa - 1997 යනාදිය ප්‍රකට ය. එපමණක්ද නොව,මෙම කාව්‍යය සංග්‍රහයන් බොහෝ විදෙස් භාෂාවන් සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇත. ඔහුගේ කවි සෞන්දර්යාත්මක වන අතරම ඒවායෙහි ගැඹුරු දේශපාලන විරෝධතාවක් ( දේශපාලන විරෝධී කියවීමක් ) ඇතැයි යන්න සාහිත්‍යය විචාරකයන්ගේ මතය යි.

මෙය ඔහු විසින් රචිත From Manifesto නැමැති කාව්‍යයේ පූර්ණ සිංහල පරිවර්තනය යි.

මගේ දැනීමේ හැටියට මෙම චිලී ජාතික නිකනෝර් පරා කවියා මෙරටට ඉතා ආගන්තුක එනමුත්,ලෝප්‍රකට කවියෙකි. මොහුගේ කවියක් සිංහලට භාෂාවට පරිවර්තනය වන්නේ පළමු වතාවට විය යුතුය.

පරිවර්තනය ඇතිපොළ මංගල හිමි

---------------------

කෘතිය- සඳ එළිය දඟ දවස්

කර්තෘ චමින්ද උඩවෙල

මිල රුපියල් 250 පිටු 72

විමසීම් - 076 5631648

සන්ථව ප්‍රකාශනයකි

 

සඳ එළිය දඟ දවස් චමින්ද උඩවෙලගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. මෙම කාව්‍ය සංග්‍රහයේ විවිධ අත්දැකීම් ඔස්සේ ලියැවුණ කවි හමුවේ.

අප මේ ගතකරමින් සිටින්නේ 21 වන සියවසයේය. කාලය බොහෝ වෙනස් වී ඇත. මීට දශක කිහිපයකට පෙර තිබූ පරිසරය අද වෙනස්ය. සමාජය වෙනස් ය. නමුදු මේ සමාජය වෙනස් වුවද මිනිසාගේ සිතුම් පැතුම් කාලයට අනුව වෙනස් වුවද මිනිස් සිතේ ඇතිවන ආදරය සෙනහස ප්‍රේමය ආදී වූ හැඟිම් වල වෙනසක් නැත. යොවුන් වියේ දැරියන්ගේ සිතුම් පැතුම් හි වෙනසක් ද නැත. අද යෞවන යෞවනයින් අතේ ජංගමයා තිබුණ ද වෙනත් තාක්ෂණික ක්‍රම භාවිතා වුවද ආදරය ප්‍රකාශ කිරීම, ඒ හැඟිම් වල වෙනසක් නැත. එ් තමන්ගේ යොවුන් කාලයේදී අත්විදි හැඟිම් ඔස්සේ තම දියණිය දෙස බලන පියෙකුගේ හැඟිමකි මේ. සැබැවින්ම මවුපියන් තුළ දරුවන් ගැන ඇති හැඟිම් තේරුම් යන්නට නම් තමන්ද මවක පියෙකු වියයුතුය යන කතාව සත්‍යයැයි කියා හඟවන්නකි. පහළොස්වැනි වියේ පසුවන සිය බිරිඳ මෙන් යොවුන් වියේ හැඩකාරකම් ඇති මේ දියණිය දකින ඔහු සිතේ ඇති වන්නේ චකිතයකි. ඒ තමන් හා බිරිඳ යොවුන් වියේදි ආදරයෙන් බැඳුන ආකාරය සිහිවීමෙනි. මාතෘකාව ඔයාට දාහතරයි මට දාහතයි.

සාරදා එදා

කඨින පිංකමේ මල් පූජාවේ

මල්වට්ටියට යටින්

ඔයාගේ අත ඇල්ලුවම

ඇස් දෙකෙන් බැන්නා මට

ටිකක් ඉතුරු කරලා..

කොහොමින් කොහොම හරි

ඇස් පුංචි කරලා බලන්න

ඩෙස් එකට යටින් කකුල පාගන්න

ගමටම වෙට්ටු දාලා

ළිඳ ළඟට එන්න

හොඳම වෙලාව අපි හොයා ගත්තා...

 

ඉස්කෝලේ යන්න

කෙටිපාරවල් කොච්චර තිබුණත්

සුනීතල විශාකලා ඔත්තු බලද්දි

දං කැලේ පැත්තෙන් ආව ගිය

ඔ්‍යාෙග් මුණ රතු උනු වෙලාවල්

දැන් මහ නපුරු හීන වගේ...

 

ඇහැල ගස්වල

මල් පිපුණ පර වුණා

මල් පිපුණ පර වුණා

ඔයාට තිස්හතරයි

ලොකු දූගේ දේදුනු දෙබැම

ඔයාගේ වගේමයි

මට බයයි සාරදා...

 

ඝණ්ඨාරෙ ඇහෙනවද

කඨින පිංකම පටන් අරන්

මල් පෙරහැරේ ලොකු දූත්

ඔයා එදා ඇස් දෙකෙන් බැණලා

ඉතුරු කරගත්තු හරිය

ලොකු දූට කියලා දුන්න ද

මට බයයි සාරදා.....

මට තිස් හතයි

ලොකු දූට දාහතරයි

 

පාසල් වියේ ඇති වන ප්‍රේමයන් දෙපස මවුපිය ඥාතීන්ගේ අවසරය කැමැත්ත ඇතිව ජයගත්තා නම් ජයගත්තේ කලාතුරකිනි. ඇති නැති පරතරය හෝ සමාජ පන්ති භේදය අනුව ඵල නොදැරු බොහෝ ප්‍රේමයන් අදත් කොහේ කොහේ හෝ නතර වී දුක් විඳිනු සුසුම්ලනු දැකිය හැකිය. මේ එවන් අත්දැකීමකි. එක එල්ලේ ම මේ කුමක්දැයි නොකියන කවියා එවැනි විදවන ප්‍රේමයක ගැන කියන්නේ බොහෝම සීරුවෙනි . ඇය දැන් විවාහකය . දරුවකු සිටින්නීය. ඔහුට ඇය අහිමි වූයේ නැතිබැරිකම නිසාය. එනිසාම ඔහු අදත් පොහොසත්වීමේ අරමුණින් ලොතරැයි ගන්නේය. දිනුම් ඇදීමක් නැති වුවචද එය ඔහු සාක්කුවේ රුවා ගන්නේය. අහිමි වුවද ඇය ගැන ඇති ආදරය සෙනෙහස තවමත් තම සිතේ සඟවාගෙන සිටින්නාක් මෙනි. මේ ඒ ප්‍රේමවන්තයාගේ කතාවය. මාතෘකාව කාලෙකට පස්සේඒ මහ කන්ද නැග්ගා.

 

අදත් කලින් හෝල්ට් එකෙන් බැස්සා මං

ඉස්සරත් එහෙම ම තමයි

ෆුට් සයිකලෙන් බහිනවා මං

කිරිගල් පොත්ත කන්ද පටන් ගන්න කලියෙන් ම

දම්මි මිදුල අතු ගානවා ඇති

 

හිත හිතා බයිසිකලය තල්ලු කරන ඒ කන්ද

ඔයා ලස්සනම හැරිලා බලනකොට

ගැරෙජ් එක ළඟ උඩපාර

අක්කපාන යාය විතරක් අතවනනවා

කොළයක් දෙකක් කඩා ගත්තේ පුරුද්දට

 

තාමත් පරණ පොත් ඇතුළෙ

අපේ නම් ලියපු කොළ තියෙනවා

යාන්තමට මුල් ඇදලා වේළිච්ච..

බස් එකේදි අරගත්ත ලොතරැයිය

ඉංග්‍රීසි ඩී අකුරයි මුලට අංක හතර

තාමත් එහෙම ගන්නවා මං

 

දහය විස්ස ඇදුණට

ලොකු ගණන් ඇදුනේ නෑ මට

දැන් ඉතිං ඇදෙන එකක් නෑ තමයි

පොඩි කරලා විසි කරන්න හිතු‍ෙණ නැ මට

වම් පැත්තේ උඩ සාක්කුවේ දාගත්තා

එතන තමයි හොඳම තැන...

 

ජීවන අත්දැකීම මෙන්ම අතීත කතාවලට නව අරුත් දෙමින් ඔහු නිර්මාණ කරණයේ යෙදෙන්නේය.

 

ඔබේ කවි නිර්මාණ පහත ලිපිනයට එවන්න
කවි සිළුමිණ,
ලේක්හවුස් - කොළඹ 10.
විද්යුත් තැපෑල
[email protected]

 

Comments