සොඳුරුතම පරාජිතයා විකුණන්න එපා | සිළුමිණ

සොඳුරුතම පරාජිතයා විකුණන්න එපා

චන්න රණතුංග

(කරුණානන්දගේ පුතා)

මගේ තාත්තාට අඩු තරමේ නිදහසේ නිදාගෙන ඉන්න දෙන්න

‘සොඳුරුතම නැතහොත් සුන්දරත්වයෙන් උත්තුංග වීම යනු මතකයන් තුළ තිරවීමකි. නැතහොත් එකී මතකය තුළ ස්ථාවර බවට පත්වීමකි. ඔහු මානව ශිෂ්ටාචාරයේ සොඳුරුතම මෙන්ම ප්‍රෞඩ ක්‍රීඩා උෙලළ සේ සලකන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ එතෙක් මෙතෙක් බිහි වූ සොඳුරුතම පරාජිතයා ය. ඔහු ජපානය තුළ සැළ‍ෙකන්නේ වීරයකු වශයෙනි. ටෝකියෝ නුවර ත් එහි පැවැත්වෙන්නට යෝජිත ඔලිම්පික් උලෙළ ත් සිහිපත්වද්දී ලොව සුන්දරම පරාජිතයා යළි සිහියට එන්නේ නිතැතිනි. එහෙත් ඔහු ගේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩාශීලිත්වය කරුණානන්ද පවුල තුළට ගෙන ආවේ සතුට ට පසුව වේදනාවකි. ඒ වේදනාව තවදුරටත් වැඩෙමින් ඇත්තේ ඇයි? එය කරුණානන්ද පවුලේ ශෝකීය උරුමයක් පමණක් ද? මේ ඔහුගේ එකම පුත් චන්න රණතුංග විසින් ‘ක්‍රීඩා’ පුවත්පතෙන් සිදුකරන කාරුණික ඉල්ලීමකි. එයට සංවේදී විය යුතු හෙයින් අපි එය මෙලෙස ගෙනහැර දක්වමු.’

‘පසුගිය කාලය පුරාම ඇතැමුන් තාත්තාගේ නම විකිණුවා. ඒ විදිහට හුඟාක් අය පොත්, ලිපි ලේඛන, ලියනවා කියලා, ධනාත්මක චින්තනය සම්බන්ධයෙන් පුහුණු වෙන්න කියලා, විස්තර හොයන්න කියලා ජපානයට ගියා. ඒත් ඒ කිසිකෙනෙක් මගේ තාත්තාට සාධාරණයක් කළේ නෑ. අඩුම තරමේ කරුණානන්ද ගේ පවුලට මොකද වුණේ කියලා නිකමටවත් සොයා බැලුවේ නෑ. මේ වගේ දේවල් ශ්‍රී ලංකා -ජපන් තානාපති කාර්යාල මැදිහත් වෙලා නතර කරන්න ඕනෑ.

අනෙක තාත්තා ගැන ලංකාවේ පත්තර ලියන හුඟාක් විස්තර වැරැදියි. එක පාරක් පත්තරයක ලියලා තිබුණා ප්‍රභාකරන්ට බිලි වූ කරුණානන්ද කියලා. තව එකක තිබුණා තාත්තා ඔලිම්පික් ගිහින් ලොකු දෙයක් කරනවා කියා කරුණානන්දගේ දියණිය කිව්වා කියලා.

තාත්තා ජපානයේ ඔලිම්පික් උලෙළට යන කොට අක්කාට මාස තුනයි. මාස තුනේ ළමයෙක් කොහොමද කතා කරන්නෙ. ඒත් ඇතැම් මාධ්‍යවේදීන් බොරු ලියනවා.’

‘තවත් අය තාත්තා ගැන පර්යේෂණ කරන්න කියලා, කෙටි චිත්‍රපටි හදන්න කියලා, ශ්‍රී ලංකාවෙන් ජපානයට පැනලා තියෙනවා. මේ ළඟදි තව කෙනෙක් තාත්තා ගැන පොතක් ලියලා එළි දක්වන්න කියලා ජපානයට ගියා කියල ත් ආරංචියි.

මෑතකදි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණු සම්මාන උලෙළක තාත්තාගේ නම කියැවිලා තිබුණා. මම ඒ ගැන ආරංචි වුණු ගමන් සොයා බලන්න හිතාගෙන කොළඹ ගියා. එහෙම ගියාට පස්සේ මට ඒ උත්සවය සංවිධානය කරලා තිබුණු මහත්මයාව මුණ ගැසුණා. ඔහු මාත් එක්ක වැඩිපුර කතාකළේ නෑ. නමුත් මම හඳුන්වලා දුන්නාට පස්සේ ගිහින් ලිපි ගොනුවක් ඇරලා කොළ කෑල්ලක් අරගත්තා. ඊට පස්සේ ඒ කොලය උඩ අත්සනක් දාන්න කියලා කුසලානයකුයි, සහතිකයකුයි දුන්නා.

ඒක දුන්නු ගමන් මම ඔහුගෙන් ඇහුවා මේක අපිට ගන්න තිබුණේ අර පවත්වපු උත්සව සභාවෙදි නේද කියලා. ඒ නිසා මම ඔහුගෙන් ඇහුවා ඇයි අපට උත්සවයට ආරාධනා නොකළේ කියලා. එතකොට ඔහු ඔයාලා ඉන්න දිහා දන්නේ නැති නිසා ඒ උත්සවයට ආරාධනා කරන්න නොහැකි වුණා කියන පිළිතුර දුන්නා. ඒ කතාව අහපුවම මට හිත රිදුණා. ඒ නිසා මම ඔහුට උත්තර දෙන්න අමතක කළේ නෑ. 'ඕගොල්ලෝ කරුණානන්දගේ පවුලේ අය ඉන්නේ කොහෙද කියලා දන්නේ නැති වුණාට ජපානයේ ඉන්න මිනිස්සු නම් ඒක දන්නවා. ඇත්තටම ජපානයේ ඉන්න මිනිස්සු අපි ඉන්න තැන සොයාගෙන එද්දී ලංකාවේ ඉන්න අයට අපි ඉන්න තැනක් සොයාගන්න බැරි එක හරිම ලජ්ජයි නේද කියලා මම ඔහුගෙන් ඇහුවා.' ඒකට ඔහුට දෙන්න පිළිතුරක් තිබුණේ නෑ. ඇත්තටම කරුණානන්දට දරුවෝ හිටියාට ඔහුගේ නම පිට මිනිස්සු අලෙවි කරනවා. ඒ විදිහට අපේ තාත්තාව විකුණා ගෙන කන එක නතර කරන්න ඕනෑ. අපි එහෙම කියන්නේ ද්වේශයකින් නොවෙයි. මේ වෙනතුරු කරුණානන්ද ගේ බිරිය, දරුවෝ ජීවත් වෙන්නේ කොහොම ද? ඔවුන්ට දැන් කොහොමද කියලා සොයා නොබලපු මිනිස්සු මහා ලොකුවට කරුණානන්ද ගැන කතාකරනවා. ඒත් අවාසනාව කියන්නේ කරුණානන්දගේ බිරිය තවමත් ජීවත් වෙනවා. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයා මිය යද්දී කුඩා බිළිඳු දරුවන්ගේ මවක්. ඈ තමන්ගේ ජීවිතය අමාරුවෙන් ගැට ගහගත්තා. කිසිකෙනෙක් ඒ ගැන හෙව්වේ නෑ. බැලුවේ නෑ. සොඳුරුතම පරාජිතයා ගේ බිරියයි පවුලේ දරුවොයි 'අසරණම පවුලක්' බවට පත්වුණා. අනාථ පවුලක් වුණා. නමුත් ඒ ගැන හොයන්න, ඔවුන් ඉන්නවා ද, මැරුණ ද කියලා බලන්න අදට ත් අපේ රටේ කිසිකෙනෙක් නෑ. නමුත් මම කියන්නේ කරුණානන්දගේ ඇත්ත පවුල තවමත් ජීවත් වෙනවා. ඔවුන් ජීවිතය ඉදිරියේ සටන් කරනවා. සමාජය ඉදිරියේ තාත්තාගේ අයිතිය, ගෞරවය වෙනුවෙන් අරගල කරනවා. නමුත් අපි නඟන හඬ එතැනින් ඔබ්බට යන්නේ නෑ.

දැන් බලන්න අපේ පාසල් අධ්‍යාපනයේ පහේ පන්තියේ පෙළ පොතේ දරුවන්ට ඉදිරිපත් කළ පැවරුමක් තිබෙනවා. ඒ පැවරුමේ තිබෙන්නේ පුද්ගලයන් ගැන සොයන්න කියලයි. ඒ පැවරුමට චරිත දෙකක් ඇතුළත්. ඒ චරිත දෙකෙන් එක නමක් තමයි කරුණානන්ද කියලා කියන්නෙ. ඒක තමයි අපේ අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුළේ මගේ තාත්තා ට ලබාදීලා තිබෙන තක්සේරුව. තාත්තාගේ මේ ක්‍රියාවේ හරය ගැන අපේ රටේ කිසිම කෙනෙක්, කිසිම තැනක නිවැරැදිව කතා කරන්නෙ නෑ. ඒ වෙනුවෙන් උත්සාහයක් ගන්නෙත් නෑ.’ කරුණානන්දගේ පුතු පවසන්නේ තම හදවතේ උපදින සංවේදනා එළි දක්වමිනි.

‘අපේ අම්මා ඉන්නේ අක්කා ළඟ. ඒ කියන්නේ කරුණානන්දගේ බිරිය ජීවතුන් අතර ඉන්නවා. අපේ තාත්තා මියගියාට අපේ අම්මා ජීවතුන් අතර ඉන්නවා. අම්මාට දැන් වයස අවුරුදු 78 ක්. ඇය වියපත්. ඇයට තවමත් මගේ තාත්තාගේ මතකය අලුත්. ඇය ජීවත්වෙන්නේ ඒ මතකයත් එක්ක. ඈ දුක් විඳලා දරුවෝ දෙන්නෙක්ව බලාගෙන කරුණානන්ද පවුල ඉදිරියට රැගෙන ගියා. දැන් මම ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා. දරුවන්ගේ ඇස් පාදනවා. කරුණානන්ද පරපුරේ වගකීම්, සමාජ යුතුකම් හැකි උපරිමයෙන් මේ සමාජය වෙනුවෙන් කරනවා.

ඒ නිසාමයි වතාවක් හරියටම කියනවා නම් 2003 වසරේ දී ලුණුවිල මධ්‍ය මහා විදුහලේ දී මම මුහුණ පාපු සිද්ධියක්. එම විද්‍යාලයේ මම උගන්වන කොට ගිනි ඇවිලෙමින් තිබුණු කුණු වළකට ළමයෙක් වැටුණා. කිසිකෙනෙක් දරුවාව බේරාගන්න ඉදිරිපත් වුණේ නෑ. කුණු වළ ඇවිළෙමින් තිබුණා. ගිනිදලු නැඟෙමින් තිබුණා. දෙවතාවක් නොබලා මම කුණු වළට පැන්නා. එහෙම පැනලා ඒ දරුවව බේර ගත්තා. මම ත් ඒ ගිනි ගන්න කුණු වළට පැන්න නිසා හොඳට ම පිළිස්සුම් තුවාල ලැබුවා. සෑහෙන කාලයක් ප්‍රතිකාරත් ගත්තා. ඒත් මට මාව පිළිස්සුණු එක ගැන දුකක් කනගාටුවක් ඇත්තේ නෑ.’ ඔහු කීවේය.

ඒ කරුණානන්ද පෙළපතේ හැටිය. තමන්ගේ යුතුකම, වගකීම නොපිරිහෙලා ඉටුකරන්නට කරුණානන්දලා දක්වන්නේ දැඩි උනන්දුවකි. එදා ටෝකියෝ ඔලිම්පික් උලෙළේ දී ලොව විශිෂ්ටතම පරාජිතයා වශයෙන් කරුණානන්ද සම්මානිත වූයේ මේ හේතුවෙන්ම ය. ගිනි ගෙන ඇවිළෙමින් ඇති කුණු වළට වැටුණු දරුවා ගලවා ගන්නට කරුණානන්දගේ පුත්‍රයා කටයුතු කළේ පෙර කී පරම්පරා ගුණය ඉවහල් කරගනිමින් ය. එය කරුණානන්ද කුසලතා මගින් සමාජය තුළ දී තම ජාන පද්ධතියට එක් කළ දත්ත මාලාවේ තවත් එක් තොරතුරක් පමණි. එවන් කරුණානන්ද පවුල තුළින් නැගෙන මෙම හඬ නොසලකා හා නොතකා හැරිය නොහැක්කේ එහෙයිනි.

බන්දුල ජයමාන්න

Comments