උත්තේජන පරීක්ෂාවටත් හසුනොවන කිරි කිරි දුවන සපත්තු | සිළුමිණ

උත්තේජන පරීක්ෂාවටත් හසුනොවන කිරි කිරි දුවන සපත්තු

 

TEGLA loroupe

‘කිරි කිරි සපත්තු ජෝඩුවක්... කවකටු පෙට්ටියක්.... පොත් මල්ලක්...එහෙමත් නැත්නම් ඇඳුමක්... ගෙන එන්නේ අලුත් අපේක්ෂාවක්. ඒක ක්‍රීඩාවේ දී කියලා වෙනසක් නෑ. ක්‍රීඩාව වෙනුවෙන් ඇඳුම්, ආයිත්තම් හදන එක දැන් විශාල ව්‍යාපාරයක්. ලෝකයේ ප්‍රමුඛ සමාගම් කීපයක්ම මේ විදිහට ක්‍රීඩක ඇඟලුම් නිර්මාණය කරනවා. අපේ මේ ලිපිය ඒ ක්‍රීඩක ඇඟලුම් අතුරින් ‘ඩෝපින්’ කියලා ප්‍රසිද්ධ ‘තහනම් උත්තේජක’ ලබාගැනීම මගින් නිපැයෙන ‘අතිරික්ත ශක්තිය ඇතිකරන’ ජාතියේ ඇඟලුම් සම්බන්ධවයි.’

‘දැන් තියෙන්නේ තහනම් උත්තේජක කකුලේ දාගෙන දුවනවා වගේ තත්ත්වයක්. කාටවත්, කොයිම විදිහටවත් අල්ලන්න බෑ. ඒක එක්තරා විදිහකට මහා රැවටීමක්.’ හිටපු මැරතන් ශූරියක හා ලෝක වාර්තාලාභිනියක වන ටෙග්ලා ලොරූප් (Tegla Loroupe) පසුගිය දවසක බී.බී. සී. පුවත් සේවයට පවසා තිබුණා.

ඇය පවසන්නේ අධි තාක්ෂණයෙන් යුතුව නිපැයෙන ධාවන සපත්තු නිසා මෑත කාලයේ දී ලෝක වාර්තා බිහිවීම වේගවත් වෙලා කියායි. ‘එමගින් ඇතැම් ක්‍රීඩකයන්ට විශාල අසාධාරණයක් වෙනවා. ඒ නිසා එවැනි සපත්තු තහනම් කළ යුතුයි.’ ලොරූප් පවසනවා.

‘මම ඒවායේ රසවතෙක් නොවෙයි. මොකද එතැන මානවයාගේ ශක්තිය මුදාහැරෙන්නේ නෑ.’ ඔහු මෙහෙම කියලා තිබුණේ බි.බී.සී. ක්‍රීඩා අංශයට අදහස් දක්වමින්මයි.

‘ඔබ වංචාකරනවා, ඔබ වීරයෙක් නොවෙයි. මොකද ඔබ ඔබේ ශක්තිය නොවෙයි යොදාගන්නේ.’ ලොරූප් පවසා ඇත්තේ ආවේගාත්මක ස්වරූපයකිනුයි.

‘ඔබට වේගවත් ධාවන සපත්තු යුගලයක් තියෙන්න පිළිවන්. එවැන්නක් මිලට ගන්න දත කන, අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වෙන්නත් පිළිවන්. ඒත් ඒක ඇත්තටම තහනම් උත්තේජක ගන්නවා වගේ වැඩක් කියලයි මම විශ්වාස කරන්නෙ.’ ඇය පවසනවා.

පසුගිය දිනෙක වෙල්ස් මැරතන් ධාවකයකු වන ඩේව් ග්‍රිෆිත් ප්‍රකාශ කර තිබුණේ නව තාක්ෂණය භාවිත කරමින් නිර්මාණය වන සපත්තු නිසා ධාවකයන්ට යම් නිදහස් කාලයක් හිමිවන බවයි. මේ අතර 2020 වසරේ දී ලෝක මලල ක්‍රීඩාව තුළ එහි නීති රීති දැඩි කිරීමක් සිදුකරමින් අධිතාක්ෂණික සපත්තු සම්බන්ධයෙන් යම් තහනමක් පැනවූවා. ඒ 2019 ඔක්තෝබර් මාසයේ දී ඉලුඩ් කිප්චොග් (Eliud Kipchoge) පළමු වරට මැරතන් තරගයක් පැය දෙකකට අඩුවෙන් ධාවනය කරමින් වාර්තාවක් පිහිටුවීමත් සමඟයි.

මේ අතර මාරා යමුචි නම් බ්‍රිතාන්‍ය ඔලිම්පික් මැරතන් ධාවකයාත් මේ සම්බන්ධයෙන් අදහස් පළකර තිබුණා. ඒ ‘අපි සාධාරණ තරගයක් බලන්න තවදුරටත් අවස්ථාවක් නෑ.’ කියා යි.

මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන්නට ලොව සුපතළ ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන ‘නයිකි’ ආයතනය ඉදිරිපත් වී තිබුණා. ඔවුන් කියා තිබුණේ අපි ක්‍රීඩකයාගේ ශක්තියට අමතර ශක්තියක් උත්පාදනය වෙන සපත්තු කිසිවක් නිර්මාණය කරන්නේ නෑ. මොකද අපි පවතින නීති රීතිවලට අනුගත වෙනවා. ඒවාට සැමවිටම ගරු කරනවා.’ කියායි.

ලොරූප් ටෝකියෝ ඔලිම්පික් උලෙළ නියෝජනය කිරීමට පැමිණෙන සරණාගත ක්‍රීඩක කණ්ඩායමක් භාර නිලධාරිණිය වශයෙන් කටයුතු කිරීමට නියමිතව තිබෙනවා. ‘එහෙම සපත්තු තියෙන එක හොඳයි. ඒත් බොහෝ ක්‍රීඩකයන්ට එවැනි සපත්තු නැත්නම් ඒක වැරදියි. මගේ මතය නම් මේ සපත්තු තහනම් කළ යුතුයි. එතකොට මිනිස්සුන්ට ඔවුන් ගැන විශ්වාසය තබන්න හැකිවෙනවා. තමන් හොඳින් පුහුණුවෙලා මට මේ දේ කරන්න පිළිවන් කියලා එවිට ඔවුන් තුළ හැඟීමක් ජනනය වෙනවා.’ ඇය පවසයි.

‘අපි පුහුණු වුණේ, දිව්වේ සපත්තු නැතිව. අපිට සපත්තු හම්බවෙනකොට ඒවා සාමාන්‍ය සපත්තු. නමුත් අපි ඒවා දාගෙන ලෝක වාර්තා තැබුවා.’ ඇය පවසා ඇත්තේ අභිමානයෙනි. ලොරූප් දැන් හතළිස් හත් වැනි වියේ පසුවන අතර ඇය මැරතන් ක්‍රීඩාවෙන් ලෝක වාර්තාවක් පිහිටුවූ පළමු අප්‍රිකානු ක්‍රීඩිකාව ද වෙයි. 1998 වසරේ දී රොටර්ඩෑම් හි දී ඈ පිහිටුවූ එකී වාර්තාව 2001 වසර දක්වා නොබිඳී පැවැතුණා. ඇය නිව්යෝර්ක් මැරතන් තරගය දෙවරක් ජයගත් අතර ලන්ඩන් හා බර්ලින් මැරතන් තරගත් ජයලබා තිබෙනවා.

කසුන් ඉරුගල්බණ්ඩාර

Comments