2020 A/L හපන්නු | සිළුමිණ

2020 A/L හපන්නු

මනුජය ප්‍රවීන් විජේසිංහ මාපියන් සමඟින්
මනුජය ප්‍රවීන් විජේසිංහ මාපියන් සමඟින්

විභාගයට පෙර විෂය නිර්දේශය ආවරණය කළා

ජිව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විදුහලේ මනුජය ප්‍රවීන් විජේසිංහ

 

මෙවර ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානය හා දෙවැනි ස්ථානය ලබා ගත්තේ කොළඹ රාජකීය විදුහලේ මනුජය ප්‍රවීන් විජේසිංහ හා විහාන් ඩිලක විජේසිංහය. ප්‍රථම ස්ථානය දිනාගත් මනුජය ගේ මව කොළඹ මහානාම විදුහලේ රසායන විද්‍යා ආචාර්යවරියක වන මනෝජා ප්‍රසන්ති ජයසිංහ වන අතර පියා කොළඹ මහ රෝහලේ වෛද්‍ය දමින්ද ප්‍රියාන් විජේසිංහය. ඔහු මෙවර 3.3 ක ඉසෙඩ් අගයක් ලබා ගනිමින් ඒ සාමාර්ථ තුනක් ලබා ගත්තේය.

“මම මුලින්ම ගියේ කේරි විදුහලට. ශිෂ්‍යත්ව විභාගය ලකුණු 171 ක් ලබා ගෙන මහානාම විදුහලට ගියා. එහිදි සාමාන්‍ය පෙළට ඒ 9 ක් ලබා ගෙන කොළඹ රාජකීය විදුහලට ගියා. මම විභාගයට මාස ගණනාවක් තිබියදී විෂය නිර්දේශය ආවරණය කර ඉතුරු කාලයේ ප්‍රශ්න පත්‍ර කරන්න ගත්තා. ඒ වගේම විෂය බාහිර දේ සඳහා චෙස් කළා. ඔන්ලයින් පන්ති නොකඩවාම සහභාගි වුණා වගේම විෂයට අදාළ විදෙස් පොත් පත් පවා කියවා දැනුම ලබා ගත්තා...“ මනුජය පවසයි. ඔහුගේ එකම අරමුණ සිය පියා සේ වෛද්‍යවරයකු වීමය.

 

අක්කයි මල්ලියි දෙන්නටම ඉහළම තැනක්

ගණිත අංශයෙන් ප්‍රථමයා යාපනයේ චාවකච්චේරි හින්දු ජාතික විදුහලේ ටී. සුන්දරබවන්

 

සුන්දරබවන් සිය ගුරුවරු හා පියා සමඟ

 

සිය මවටත් පියාටත් ස්ථිර රැකියාවක් නොමැතිවද දුෂ්කර ජිවිතයක් ගත කරමින් මෙවර ගණිත අංශයෙන් ප්‍රථමයා යාපනයේ චාවකච්චේරි හින්දු ජාතික විදුහලේ ටි සුන්දරබවන්ය. ඔහුගේ සහෝදරියද මෙවර ජීව විද්‍යා අංශයෙන් යාපනය දිස්ත්‍රික්කයේ තිස්වැනි ස්ථානයට පත්වීම විශේෂත්වයකි. යාපනයේ චාවකච්චේරියේ ජීවත්වන සුන්දරබවන්ගේ පියා සුන්දරම් කනරාජ්ය; මව සුජාතා කනරාජ්ය. තමන් අධ්‍යාපනයෙන් ඉහළට නොගියද මේ මව පියා දරුවන්ගේ අධයාපනය වෙනුවෙන් අසීමිත කැපවීමක් කළහ.

“ මම මේ විභාගයට මුහුණ දුන්නේ අසීරුකම් ගොඩාක් මැදයි. කොරෝනා වසංගතය නිසා පාසල් යාමට නොහැකි වුණත් විවිධ ක්‍රමවලින් ගුරුවරු අපිට ඉගැන්වුවා. අපි දුප්පත් වුණත් මගේ අම්මා තාත්තා අත්තා ඇතුළු සියලු දෙනාම මගේ මේ ජයග්‍රහණයට ශක්තියක් වුණා. මම විභාගය කියා එහිම එල්ලිලා හිටියේ නැහැ; ක්‍රිඩා කළා. අන්තර් ජාතික ඔලිම්පියාඩ් තරගවලට සහභාගි වුණා. ඒවායින් පදක්කම් දිනුවා.....“ සුන්දරබවන් සිසුවා පවසයි. ඔහුගේ එකම අරමුණ ඉංජිනේරුවකු වී රටට සේවයක් කිරීමටය.

 

එකම අරමුණ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීමයි

වාණිජ අංශයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වූ ගාල්ල සංඝමිත්තා විදුහලේ අමන්දි ඉමාෂා මදනායක

අමන්දි ඉමාෂා මදනායක සිය විදුහල්පතිනි,  අංශ ප්‍රධාන ගුරුතුමා, මව සහ පියා සමඟ

 

 

ගාල්ල සංඝමිත්තා විදුහලේ අමන්දි ඉමාෂා මදනායක මෙවර ලංකාවෙන්ම පළමු වැනියා වූයේ වාණිජ අංශයෙන් විභාගයට පෙනි සිටිමිනි. ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහල ප්‍රදේශයේ කීර්තිමත් කාන්තා විදුහලක් වන අතර පසුගිය වසර කිහිපය පුරාවට උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයෙන් ජයග්‍රහණ රැසක් හිමිකර ගත්තේය. ගාල්ල ඉමදූවේ පදිංචි අමන්දිගේ මව යමුනා හේවාවිතාරණය පියා සි. ඩි. මදනායකය. දෙදෙනාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැකියාව කරන අතර එකම සහෝදරයා පරිගණක ඉංජිනේරුවරයෙකි.

“ මම එක වසරේ සිටම ගියේ ගාල් සංඝමිත්තාවට. ශිෂ්‍යත්වයෙන් 172 ක් ලකුණු ලබා ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයට ඒ 9 ක් ලබා ගත්තා.

ඒ අතර විෂය බාහිර වැඩ කටයුතු රැසකටත් මුල් තැන දුන්නා. පාසලේ විවිධ සමාජවලට මෙන්ම ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිසමේ තරගවලට මුහුණ දී ජයගත්තා. ඒ වගේම පන්තියේ විභාගවලින් මුල් තුන් දෙනා අතර සිටියා.

පාසලේ අධ්‍යාපන කටයුතු වගේම උපකාරක පන්තිවල ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු අතපසු නොකර කර ගෙන ගියා. මගේ ජයග්‍රහණයට පාසලේ විදුහල්පතිතුමිය හා ගුරුවරු ලබා දුන් සහය විශාලයි....“ අමන්දි පවසයි. ඇගේ එකම අරමුණ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීමය.

 

කොවිඩි අභියෝගයක් කර ගත්තේ නැහැ.

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ චමල්කා සෙව්මිණි

චමල්කා සෙව්මිණි මවුපියන් සමඟ

 

 

කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දෙහිවල ප්‍රෙස්බිටීරියන් බාලිකා විදුහලේ චමල්කා සෙව්මිණිය. පසුගිය වසර කොවිඩ් වසංගතයත් සමඟ විභාගය අවස්ථා කීපයකදීම කල් යමින් තිබුණද අභියෝග රැසක් මැද පැවැත් වූ විභාගයේදී චමල්කා සෙව්මිණිට ඉහළ ජයක් ලබා ගන්නට හැකිවිය.

පියා වන ඩබ්ලිව්. වී.සරත්කුමාර රියදුරකු ලෙස ස්වයං රැකියාවක නිරත වෙමින් ඇයගේ පවුලේ අයියාගේත් නංගීගේත් අඩුපාඩු සපුරාලමින් ඇයට මේ ජයග්‍රහණය ලබන්නට පාර කැපුවේය. ඇයගේ මව වන නිලූෂා සඳමාලි අමරසිංහ මේ පාසලේම ආදි සිසුවියකි.

ඇය කලා විෂය ධාරාවට දේශපාලන විද්‍යාව, සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යාපනය, ගෘහ ආර්ථික විද්‍යාව යන නව නිර්දේශ යටතේ පෙනී සිටි අතර පාසල් වැඩ කටයුතු පමණක් නොව බාහිර කටයුතුත් ඉටු කළාය.

“ ඇත්තටම මා කිසේත්ම මෙවැනි ජයග්‍රහණයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ. ඒත් අද මට ඒ ගැන තියෙන සතුට කියා නිම කළ නොහැකියි. මගේ මේ ජයග්‍රහණය අපේ විද්‍යාලයට ලොකු ගෞරවයක්. මේ ජයග්‍රහණයේ පිටුපස මාගේ අම්මා තාත්තා ඇතුළු පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරුවරු විශාල කැපවීමක් කළා. අපිව විභාගයට පූර්ව සූදානම් කළ නිසා විභාග වැඩ කටයුතු ගොඩාක් පහසුවුණා.

ඒ නිසා කලා අංශයෙන් ප්‍රථම ස්ථානය වන 2.8319 ක ඉසෙඩ් අගයක් ලබා දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබාගන්න හැකිවුණා.“ ඇය පවසයි.

 

හොරණ තක්ෂිලාවෙන් උසස් පෙළ විශිෂ්ටයෝ දෙදෙනෙක්

 

මෙවර අපොස උසස් පෙළ ප්‍රතිපල පිටවීමත් සමඟම හොරණ තක්ෂිලාව මුල් පෙළේ ජයක් වාර්තා කළේ එම පාසලින්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් මෙන්ම ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළවැනියන් දෙදෙනාම බිහි වීමය. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමුවැනියා වූයේ ලියනගේ අවිශ්ක චානුකය. ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමුවැනියා වූයේ පුස්සේවෙළ කංකානම්ගේ සුසික සඳසරය.

 

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමුවැනියා හොරණ තක්ෂිලාවේ ලියනගේ අවිශ්ක චානුක

හොරණ තක්ෂිලාවේ ලියනගේ අවිශ්ක චානුක මව, පියා හා සහෝදරයා සමඟ

 

අවිශ්ක චානුක බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ පදිංචි අතර පියා ප්‍රියන්ත රත්නවීර ප්‍රේමනාත්ය. මව දිනූෂා කුමාරි මල්ලවාරච්චිය. අවිශ්ක චානුක මුලික අධ්‍යාපනය ලැබුවේ වැල්මිල්ල ශ්‍රී සාරාලංකාර මහ විදුහලෙනි. ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමට ලකුණු දෙකක මදිපාඩුවක් තිබුණෙන් හොරණ තක්ෂිලාවට යාමට තිබූ සිහිනය බොඳ විය. ශිෂ්‍යත්ව විභාගයෙන් අනතුරුව ඔහු ඇතුළු වන්නේ බණ්ඩාරගම ජාතික පාසලටය. කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඒ 9 ක් ලබා ගැනිමට අවිශ්ක චානුකට හැකිවිය. ඉන්පසු ඔහු උසස් පෙළට හැදෑරීමට යන්නේ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විදුහලටය.

“ මට සාමාන්‍ය පෙළට ඒ 9 ක් තිබුණා. ඒත් මගේ එකම ආසාව වුණේ තොරතුරු තාක්ෂණ විෂය හැදෑරීමට. මේ නිසා තොරතුරු තාක්ෂණ මෘදුකාංග හා නිර්මාණ තරඟ ආදියට සහභාගි වුණා. උපකාරක පන්ති ගියත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු දිගටම කරගෙන ගියා. කවදාවත් පාසල් මග හැරියේ නැහැ. එය මගේ ජයග්‍රහණයට හේතුවක් වුණා.....“ අවිශ්ක පවසන්නේය. අවිශ්කගේ එකම බලාපොරොත්තුව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව පරිගණක ක්‍රිඩා නිර්මාණ ශිල්පය හැදැරිමටය.

 

ජෛව තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ලංකාවේ පළමුවැනියා හොරණ තක්ෂිලාවේ පුස්සේවෙළ කංකානම්ගේ සුසික සඳසර

සුසික සඳසර මව,පියා හා නැඟණිය සමඟ

සුසික සඳසරගේ මව ටිරුණි පතිරණය. ඇය පාණදුර ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනියකි. පියා කණිෂ්ක කරුණාරත්නය ඔහු පොලිස් විදුහල් සැරයන් වරයෙකි. එකම සහෝදරිය පාණදුර බාලිකාවේ අධ්‍යාපනය ලබන්නීය. කළුතර දකුණ ඉසුරු උයනේ පදිංචි සඳසර සාමාන්‍ය පෙළ විභාගය තෙක් අධ්‍යාපනය ලබන්නේ කළුතර තිස්ස විදුහලේය.

“ මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තේ කළුතර තිස්ස විදුහලේ. ශිෂ්‍යත්වයෙන් ලකුණු 162 ක් ගත්තා. සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 8 හා බී 1 ක් ගත්තා. වෙන විෂය ධාරාවකට යාමට හැකි වුවත් මගේ ආසාව තිබුණේ කෘෂි- ජාන විද්‍යා තාක්ෂණවේදය හැදැරීමටයි. මම විෂයයන් දෙකකට උපකාරක පන්ති ගියා. කොරෝනා නිසා විභාගය පහසු වෙයි කියා හිතුවක් තරමක් අමාරු වුණා. ඒත් කොහොම හරි හොඳින් කළා. මගේ එකම ආසාව ජාන තාක්ෂණවේදය හැදෑරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමටයි. “ සඳසර පවසයි.

පසුබිම් කතා සහ සේයාරූ

• අසේල කුරුළුවංශ

• සිරංගිකා ලොකුකරවිට (කරාපිටිය සමූහ)

• අශ්රෆ් ඒ සමාඩ් (දෙහිවල / ගල්කිස්ස වාර්තාකරු) • සුමිති කණගරාජා

(යාපනය සමුහ වාර්තාකරු)

Comments