‘පාස්කු කොමි­සමේ නිර්දේශ මත සත්‍ය ලෝක­යට හෙළි­ද­රව් කිරීම රජයේ වග­කී­මක්’ | Page 2 | සිළුමිණ

‘පාස්කු කොමි­සමේ නිර්දේශ මත සත්‍ය ලෝක­යට හෙළි­ද­රව් කිරීම රජයේ වග­කී­මක්’

මීට වසර දෙකකට පෙර එනම් 2019 වර්ෂයේ අප්‍රේල් 21 පාස්කු ඉරුදින තෝරාගත් පල්ලි අටක් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල විය. ඒ තුළින් ආගමික නොසන්සුන්තාවක් ඇති කරමින් යම් ආකාරයකට ඒ ප්‍රහාරයෙන් රට ලෙස අප අපහසුතාවට පත් කිරීමට ජාතික තවුහිද් ජමාත් සංවිධානය කටයුතු කරන ලදී. පාස්කු ඉරිදා එල්ල කළ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්‍රවාදයෙන් පසු සාමාන්‍ය සිවිල් ජනතාව අරමුණු කරගනිමින් එල්ල කළ ප්‍රථම බෝම්බ ප්‍රහාර විය. මෙහිදී දක්නට ලැබෙන කරුණ මේ ප්‍රහාරය එල්ල කරනු ලැබූ අපරාධකරුවන්ට සාමාන්‍ය මිනිසුන්ගේ හැසිරීම් නොවූ බවයි. මූලධර්මවාදී අන්තගාමී පාසල් හරහා මේ අයගේ මානසික මට්ටම වෙනස් කර ඇති බවට තොරතුරු පසුකාලීනව හෙළිදරව් වෙමින් පවතී.

මේ සංවිධානයේ අපරාධයට සම්බන්ධ ආධාරකරුවන් පසුකාලීනව අත්අඩංගුවට ගත හැකිවිය. යහපාලන කාලවකවානුව තුළ කුමන හේතුවකින් හෝ මේ සම්බන්ධයෙන් අනුබල දුන් ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීමේ කිසිදු උත්සාහක් අපි නොදුටුවෙමු.

නමුත් එ් ආධාරකරුවන්ට එරෙහිව නුදුරේදීම අධිචෝදනා ගොනු කරන බව නීතිපතිවරයා සඳහන් කර ඇත. පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අදාළව 2016 වර්ෂයේ සිට ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ මොහොමඩ් සහරාන් සමඟ කුමන්ත්‍රණය කළ සියලු ආධාරකරුවන්ට නඩු පැවරීමට කටයුතු කරන බවත් මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් 20 වැනිදා කෑගල්ල උසාවියේ අධි චෝදනා ගොනු කිරීම මේ වනවිටත් සිදුවී ඇත.

බෝම්බ ප්‍රහාර 8 ට සම්බන්ධව අධි චෝදනා පත්‍ර 8ක් සහ 2019 අප්‍රේල් 16 වැනිදා කාත්තන්කුඩි ප්‍රදේශයේ පිපිරීමට අදාළ අධි චෝදනා පත්‍රයත් වනාතවිල්ලුව පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අධි චෝදනා පත්‍රයක්ද ඇතුළුව නීතිපතිවරයා විසින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු චූදිතයන්ට අධි චෝදනා ගොනු කිරීමට සියලු කටයුතු සම්පාදනය කර ඇති බව පසුගිය 20 වැනිදා දැනුම් දෙන ලදී.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමේදී මේ පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිෂන් කිහිපයක් පත් කරන ලදී. මුල්කාලීන කොමිෂන් කිහිපයක් පත් කර ඒ වාර්තාව ඇමැති කමිටුවට යොමු කර ඇමැති කමිටුව විසින් එය නීතිපතිවරයාට භාර දෙන ලදි. එනම් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික වශයෙන් විමර්ශන පවත්වා විවිධ පක්ෂ නායකයන් ද ඒ පිළිබඳව විමර්ශනය කරමින් ඒ නිර්දේශ බාර දෙන ලදී.

මූලික වශයෙන් මෙයට වගකිවයුතු සහ මේ ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකළ පුද්ගලයන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සිදුවෙයි. වඩාත් පැහැදිලි කළහොත් මෙහිදී අධිචෝදනා යනුවෙන් අදහස් කරනුයේ පවත්නා නීතිය යටතේ මෙවැනි වරදක් කළ බවට විමර්ශනය තුළින් හෙළිදරව් වී ඇත්නම් ඒ පිළිබඳ සර්ව සාධාරණ ස්වාධීන නඩු විභාගයක් කිරීමයි. මින් පෙර මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු කරන ලදී.

එහිදී පාස්කු කොමිසම පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදීත් සොයා බැලිණි. ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන දෙපැත්තකින් සිදුවිය. මේ වන විට ලංකාවේ අධිචෝදනා පත්‍ර ලබා දීම පිළිබඳ ඉතා කඩිනමින් නීතිමය යාන්ත්‍රණයක් සිදුවන බව අපි දනිමු.

මේ සම්බන්ධයෙන් වැදගත් කරුණ නම් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනසිටි අය මෙය වළක්වාලීමට කටයුතු නොකළ අතර වගකීම් විරහිතව ක්‍රියා කළ බව පෙනී යෑමයි.

එවකට සිටි යහපාලන රජය මේ සම්බන්ධයෙන් දැනුම්වත් වී සිටීම සුළුකොට තැකිය නොහැකි වරදකි. රාජ්‍ය යාන්ත්‍රණය ඒ පිළිබඳව දැනුම්වත් වී තිබුණද එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සුළු කොට සැලකිය නොහැකිය. එවකට පාර්ලිමේන්තු වරප්‍රසාද ලද මන්ත්‍රීවරුන් ද මේ පිළිබඳ දැනුම්වත් වී සිටි බව අපි දනිමු . මීට වඩා මේ පිළිබඳව සොය බැලිය යුතුය.

දන්නා කරුණු පිළිබඳව හෝ මෙවැනි ත්‍රස්තවාදී ක්‍රියාවලියකදී අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට දැනුම්වත් කිරීම අතිශයින්ම වගකීමෙන් කළ යුතු කරුණකි. මේ සම්බන්ධයෙන් යම් කෙනෙක් අත්අඩංගුවට ගත් විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් යන කඩතුරාවට වැසී 1979 ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ අත්අඩංගුවට ගත් තැනැත්තා මේ සම්බන්ධයෙන් වගකිව යුතු නැති බවට තර්ක නගයි. ජාතික ආරක්ෂාව පිළිබඳ මෙවැනි කරුණක් දේශපාලනීකරණය කරගැනීමට යෑම අතිශයින්ම භයානකය. මේ අවස්ථාවේදී විපක්ෂය සහාය දිය යුතු වන්නේ මේ ආකාරයට නොවේ. මෙය එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය දක්වා ගිය ගැටලුවකි. අන්තර්ජාතික නීතියට පමණක් නොව, ශ්‍රී ලංකාවේ නීතියට අදාළව ද විශාල වරදකි. ඒ අයගේ භූමිකාව වන්නේ මේ අත්අඩංගුවට පත් වූවන් වැරදි කර නැති බව පවසමින් සත්‍යග්‍රහ පැවැත්වීම නොවේ. තමන් දන්නා දේ නිවැරදිව පැහැදිලිව සඳහන් කිරීමයි. අධිචෝදනා පත්‍රවලදී විශේෂයෙන් සමහර පුද්ගලයන්ට චෝදනා විශාල ප්‍රමාණයක් වෙයි.

ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ සමහර හිටපු ඇමැතිවරුන් අත්අඩංගුවට ගෙන විමර්ශනය කෙරෙයි. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද මෙහි වන සියලුම විමර්ශන සලකා බලා අධිචෝදනා බාර දීම සිදුවෙයි. හිටපු පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම් සහ රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක වීම සිදුවෙයි.

විශේෂයෙන් යහපාලන රජය පැමිණීමත් සමඟ මේ රටේ හමුදා බුද්ධි අංශ හීන වීමක් සිදු විය. මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමේදී මෙවැනි දේ සිදු කරන බවට හිටපු ඇමැතිවරුන් පවා ප්‍රසිද්ධියේ යම් ප්‍රකාශ සිදු කළද ඒවාට කිසිදු පියවරක් නොගන්නා ලදී. කෙසේ වෙතත්, මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල උසාවියේ අධි චෝදනා ගොනු කිරීම මේ වනවිට සිදු වී ඇත.

අධිචෝදනාවේදී දෙපාර්ශ්වයන්ම වෙයි. මේ අනුව මහාධිකරණයේදී පැමිණිලි පාර්ශ්වය විත්තිකරුවන් කැඳවන අතර විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් ද වන අතර වරදකරු ද නිවැරදි කරු ද යන කරුණ නඩු විභාගයෙන් අනතුරුව වෙයි. අධිචෝදනා ගොනු කිරීම වන්නේ එහි ආරම්භයයි.

මේ පාස්කු ප්‍රහාරය සිදු කිරීමට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2 ( 1 උ ) වගන්තිය යටතේ ඉතා පැහැදිලිව සඳහන් කර ඇත්තේ වචනවලින් , චේතනාන්විතව, විවේචනයකින් වෙනත් වාර්ගික, ආගමික ජන කොට්ඨාස අතර ප්‍රචණ්ඩත්වයක් ඇති කිරීම ජාතීන් අතර අසමගිය ඇති කිරීමට ඒ පිළිබඳ චේතනාත්මකව ඒ පාර්ශ්වයන් අතර ඝට්ටනයක් ඇති කිරීමට විවිධ වර්ග ජනකණ්ඩායම් අතර ආගමික කණ්ඩායම් අතර සහ විවිධ ජාතීන් අතර එවැනි දේ කිරීමේ චෝදනාවන්ට එරෙහිව ද චෝදනා ගොනු කිරීම සිදුවෙයි.

ඒ අනුව මාවනැල්ලේ සිද්ධිය පමණක් නොව සිදුවීම් කිහිපයක් ගත් විට මෙවැනි දේ සිදුවී ඇත. මෙය දණ්ඩ නීති සංග්‍රහය යටතේ විශාල වරදක් වන හෙයින් පොලිස් විමර්ශනවලින් අනතුරුව නීතිපතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව අධිචෝදනා ගොනු කිරීමට හැකිවෙයි.

උදාහරණ ලෙස තෝපූර්, මාවනැල්ල, නුවරඑළිය, හම්බන්තොට, පොතුහැර හා කටුපිටිය යන ප්‍රදේශවලද මෙවැනි සිදුවීම් ඇත.

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිදුවීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක සිදුවීම ප්‍රමාද විය. ප්‍රමාද වීම හෝ මෙවැනි කටයුතු ඉදිරියට ඒම ඉතා හොඳ ක්‍රියාවකි. බුදු පිළිම කැඩීම යනු දණ්ඩ නීති සංග්‍රහය අනුව නම් ආගම් අතර ඇති සුහදතාව, ආගම් අතර ඇති සම්බන්ධීකරණය නැති කිරීමකි. ආගම් අතර ඇති සංහිඳියාව බිඳ දැමීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකි.

මෙය පොලිස් විමර්ශන අනුව සිදුවිය යුතුය. දේශපාලන අධිකාරිය මේවාට මැදිහත් විය යුතු නැත. එහෙත් එසේ ස්වාධීනව පොලිසියට කටයුතු කළ නොහැකි අවස්ථා පසුගිය රජය යටතේ තිබුණි.

මේ වන විට තවුහිද් ජමාහද් සංවිධානය පමණක් නොව සංවිධාන 11ක් තහනම් කර ඇත. නීති විරෝධි ආකාරයට ඒ අය කටයුතු කළේ කෙසේද යන්න අපි සොයා බැලිය යුතුයි.

මියගිය අයගෙන් තොරතුරු ලබා ගැනීමක් කිරීමට නොහැකි නිසා සංවිධාන හරහා විමර්ශන සිදුවිය යුතුයි. අධිචෝදනා ගොනු කිරීමේදී පැහැදිලි සාක්ෂි තිබිය යුතුයි.

මේ අපරාධයන්ට සම්බන්ධ වූවන්ගේ සංවිධානයේ කාන්තාන්කුඩි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීම් මෙන්ම නුවරඑළියේ පුහුණු කඳවුරු ඇති බවට විමර්ශනය කර තිබේ. එම පොලිස් විමර්ශනවලට එවකට ස්වාධීනව කටයුතු කිරීමට හැකියාවක් නොතිබුණු අතර දේශපාලන අධිකාරියේ බලපෑම් ද විය.

අපරාධ නඩුවක මානසික අංගය සහ ශාරීරික අංගයන් වෙයි. මානසික අංගය සැකසීමට පෙර පුහුණු කිරීම් වෙයි. ඒ නිසා පුළුල් වශයෙන් විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් තවත් අධ්‍යයනය කර අධිචෝදනා ගොනු කරනු ඇති.

මෙහිදී රටක් ලෙස අපි බැලිය යුතු වන්නේ ශ්‍රී ලාංකිකයන් වශයෙනි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස අපි පෙන්විය යුත්තේ බහුවාර්ගික බහු ආගමික රටක් ලෙස අපි සමගියෙන් සමාදානයේ ජීවත් වන බවයි.

අපි රටක් ලෙස එල්.ටී.ටී.ඊ ත්‍රස්ත්‍රවාදය වැනි දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කළ ජාතියකි. පාස්කු ප්‍රහාරයෙන් මිය ගියේ අහිංසක ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටුවන බව අපි ලෝකයට පෙන්විය යුතුය. මේ අපරාධය කිරීමට ත්‍රස්තවාදී කටයුතුවලට උදව් කළේ කවුද? කෙසේද? කුමක් නිසාද? යන කරුණු ගැන සොයා ත්‍රස්තවාදී කටයුතු දැනගෙනත් නිහඬ වූවන් සහ නොසැලකිල්ලෙන් කටයුතු කළ අයට නඩු පැවරිය යුතුය. නීතිය ඉටු කිරීමට සමත් රටක් බව අන්තර්ජාතිකව අපි පෙන්විය යුතුය.

ඒ සඳහා නිසි පරිදි විමර්ශන පැවැත්විය යුතුයි. නිසි විමර්ශනයකින් කරුණු විමසා නඩු විභාගයකින් අනතුරුව වැරදි කරුවන්ට දඬුවම් දිය යුතුය. එවිට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් හෝ ගැටලුවක් ඇති නොවේ.

වැරදිකරුවන් කවුද යන්න ජාත්‍යන්තරයට පෙන්වීමට මෙය අපට හොඳ අවස්ථාවකි. මෙවැනි ස්වාධීන අධිකරණයක් මඟින් නඩු විභාගයක් සඳහා මේ අවස්ථාවේදී ඉඩකඩ දීම පාස්කු කොමිසමේ නිර්දේශ මත සත්‍ය ලෝකයට හෙළිදරව් කිරීමට නඩු විභාගය සිදු කිරීමෙන් අනතුරුව ලංකාවට හැකිවෙයි.

එමෙන්ම වින්දිතයන්ට සාධාරණයක් ඉටුවිය යුතුය. එමෙන්ම මෙය කුමන ආකාරයෙන්ද සිදුවූයේද යන්න ලෝකයට හෙළිදරව් කිරීම ඉතා වැදගත්ය. අහිංසක ජනතාවක් එසේ ඝාතනය කළේ ඇයිද යන්න එහිදී හෙළිදරව් වේි.

එසේ නොවන්නට මේ සම්බන්ධයෙන් විවිධ චෝදනා ලංකාවට පැමිණිය හැකියි. මෙහි සත්‍යය හෙළිදරව් කිරීම ජාතියක් ලෙස වැදගත් වන්නා සේම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ හොඳ නම රැකගැනීමට ද අතිශයන්ම බලපාන කරුණක් වෙයි.

Comments