සතියේ කලදවස | සිළුමිණ

සතියේ කලදවස

--------------------------

ග්‍රහලොව රජු සුරතලියගේ නිවසට

 අජිත් ධර්මසිරි

ග්‍රහලොව රජු ලෙසින් හඳුන්වන රවි ග්‍රහයා මසක් පුරා මේෂ රාශියේ සිට (2021 මැයි 14 වැනි දින රාත්‍රි 11.25ට පමණ) ග්‍රහලොව සුරතලිය වන සිකුරුගේ නිවහන වන වෘෂභයට සම්ප්‍රාප්ත වෙයි. බොහෝවිට රවි සතුරු වෙමින් පැමිණෙන මෙම ඉදිරි කාලය විශේෂයෙන් කාන්තා හිංසනයට අපයෝජනයට ළමා අපචාරවලට හේතුවීමට ඉඩ ඇත.

 

මෙසේ රවි ග්‍රහයා සතුරුව - නීචව - රාශි ගතවූ විටෙක එකී භාවයේ අසුබ ගති ලක්ෂණ පහළ කළ අයුරු මීට පෙර අවස්ථා කීපයකදීම අපට අත් විඳින්නට වූ අහිතකර බලපෑම් එමටය.

ඒ අතර මේ රවිගේ වෘෂභ සම්ප්‍රාප්තිය රටේ කාමාතුර පිරිස් තුළ අශීලාචාර හැසිරීම් රටා ඇති කිරීමට ද තරුණ තරුණියන් අතර සමාජයේ එළිපිටම නොහොබිනා හැසිරීම් රටා මතු කරලීමට ද හේතුවිය හැක. අඹු සැමියන් අතර මත ගැටුම් - විවිධ අනියම් සබඳතා මතුවීම තුළ විවාහ ගැටලු යුගදිවි දෙදරායාම් ද පෙන්වන කාල සීමාවකි. තම ආත්ම ගරුත්වයට හානි වන බව දැන දැන සමාජයේ ගැහැනු පිරිමි අතර ඇති වන සබඳතා තුළ කාමය මුල් වනවා මිස දුර දිග බැලීමක් ද නැත. මේ වකවානුව අනියම් දරු උපත් හා ගබ්සාවීම් ගබ්සා කරවීම් බහුල වන අතර තම ආත්ම ගරුත්වය පිළිබඳ කිසිසේත්ම සලකන්නේ නැති පිරිස් වෙතින් සමාජයට විශාල අවැඩක් ද සිදු වනු පෙනේ.

තවත් විටෙක පැවතුණු ලෙඩ රෝග යළි හිස එසවීම රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ මත ගැටුම් ද උද්ගතවීමට මේ රවිගේ සතුරු භාවය ඉවහල් වනු ඇත. රජය කොතෙක් උත්සාහ ගත්තත් කොවිඩ් වසංගතය හමුවේ ජනතාවගේ හැසිරීම අශීලාචාර නොහික්මුණු බවින් යුතු වීම තවත් විෂ බීජ සමාජයට එක් කරන්නකි. උතුම් පැහැදිලි ශීලාචාර ඇවතුම් පැවතුම් කිලිටි කිරීමට රවි මීට පෙර අවදිවල ද සතුරු වූ අවස්ථා අපට අත්විඳින්නට හැකි විය.

එලෙස උදාවන මෙම කනගාටුදායක ග්‍රහ තත්ත්වය නිසා බොහෝ පිරිස් රජය විවේචනය කිරීමට යටි කූට්ටුවැඩ ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා නමුත් සෞඛ්‍ය අංශ ආරක්ෂක අංශවල පවතින ශක්තිය මත ඒ සැමදේ මැඬ පැවැත්වෙනු ඇත. මේ අයුරින් කොතෙක් බාධා කිරීම් එල්ල වුවද 2021 මැයි 26 වැනි දින උදේ 08.33ට බුධ ග්‍රහයා මිථුන රාශිගත වීමෙන් රටේ පැහැදිලි වාතාවරණයක් මතු කරමින් රජයේ වැඩපිළිවෙළ ඉතා සාර්ථක කරමින් බුද්ධිමතුන්ගේ ජයග්‍රහණය රටේ සෞභාග්‍යවත් ඉදිරියක් උදෙසා ඉවහල් වනු ඇත.

 

Comments