වහාම නතර කළ යුතු සොඳුරු මාෆි­යාව | සිළුමිණ

වහාම නතර කළ යුතු සොඳුරු මාෆි­යාව

ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් පවතින කවර රටක වුවද බලහත්කාරය යනු මුළුමනින්ම නීති විරෝධි ක්‍රියාවකි. එසේම එය මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්ද වේ. එහෙයින් කවර අන්දමකට කෙරෙන බලහත්කාරයක් වුවද වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් පවතින සියලුම රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබේ.

එහෙයින් නීතිමය පැත්තෙන් බලන විට බලහත්කාරය යනු බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. එසේ වුවද වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල බලහත්කාරය ප්‍රසිද්ධියේ ම ක්‍රියාත්මක වන අයුරු ඉතා සුලබ ලෙස පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත් එහි ඇති විශේෂත්වය වන්නේ එකී බලහත්කාරය ඉතා සොඳුරු ලෙස ක්‍රියාත්මක කිරීමට ඊට අදාළ පුද්ගලයන් වග බලා ගෙන තිබීමයි. එහෙයින් දත් විලිස්සා ගෙන එදෙස බලා සිටිනවා විනා රටේ නීතියට ද ඒ ගැන කළ හැකි දෙයක් නැත. එසේ වන්නේ එම සොඳුරු බලහත්කාරයට ගොදුරු වන වින්දිතයන් හැම දෙනෙකුම පාහේ සිය කැමැත්තෙන්ම ඊට නතු වන බැවිනි.

ඉහත සඳහන් බලහත්කාරය සොඳුරු ලෙස ක්‍රියාත්මක කරනු ලබන්නේ ආහාර පාන, ඇඳුම් පැලඳුම් ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන හෝ විදෙස් රටවල් වලින් ආනයනය කරනු ලබන බහු ජාතික වෙළඳ සමාගම්ය. ආයතන ය. එම දෙපාර්ශ්වය විසින් සාමුහිකව ක්‍රියාත්මක කර ගෙන යන සොඳුරු බලහත්කාරයට ගොදුරු වන පාරිභෝගිකයන්ට සිදු වන්නේ තමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා ලද මුදල් ගෙවා ඉතාමත් අඩු වටිනාකමකින් යුත් පාරිභෝගික භාණ්ඩයක් රැගෙන යෑමටය. උදාහරණයක් වශයෙන් අද වෙළඳපොළේ විකිණීමට ඇති සුවඳ සබන් කැටය ක මිල රුපියල් 70 - 110 ක් පමණ වේ. විශේෂිත වර්ගයක මිල රුපියල් 150 කටත් වැඩිය.

විවිධ ජනප්‍රිය නම් වලින් හැඳින්වෙන එම එක් එක් වර්ගයේ සබන් වල මිල එකිනෙකට අඩු වැඩි වන්නේ රැපියල් 05 ක් හෝ ඊටත් අඩු මුදලකිනි. ඔබ වෙළඳපොළේ රුපියල් 70 ක් හෝ 110 ක පමණ මුදලක් ගෙවා මිලට ගන්නා සුවඳ සබන් කැටයක නිෂ්පාදිත මිල රුපියල් 20 කටත් අඩු වන බව ඔබ දන්නවාද?

නිෂ්පාදකයන් විසින් රුපියල් 20 ක් වැනි ඉතා සුළු මුදලකට නිපදවනු ලබන සුවඳ සබන් කැටයක් එහි නියම මිල මෙන් හතර ගුණයකටත් වැඩි මුදලකට විවෘත වෙළඳපොළේ අලෙවි කරන්නේ ඒවා විවිධ ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සඳහා වැය වන මුදල ද ඊට එකතු කරමිනි. රෙදි සේදිමට ගන්නා දියර හා කුඩු වර්ග ද අද විවෘත වෙළඳපොළේ මෙතරම් අධික මිලකට අලෙවි කරන්නේ ඉහත සඳහන් අන්දමේ වෙළඳ ප්‍රචාරණයට වැය වන මුදල ද ඊට එකතු වන බැවිනි.

එකී නිෂ්පාදන ආයතන මඟින් ප්‍රචාරක සමාගම් හරහා කරන වෙළඳ ප්‍රචාරණයට යන වියදම් නොවන්නට රෙදි සෝදන කුඩු කිලෝවක් රුපියල් 10 කට පමණ අලෙවි කර ගත හැකිය. පැණි බීම වර්ග, කෝලා වර්ග, හා සෝයා වර්ග පමණක් නොව බයිසිකල් , මෝටර් බයිසිකල් හා මෝටර් රථ ආදියේ වුව ද මිල ඉහළ ගොස් ඇත්තේ එම නිෂ්පාදන සමාගම් විසින් එකිනෙකා පරයමින් කෙරෙන ප්‍රචාරක වියදම් අනුවය.

ඕනෑම දහ ජරාවක් වුවද පාරිභෝගිකයන් අතර දැඩි ඉල්ලුමක් ඇති වන අයුරින් රුවැති සිනමා තාරකා සහභාගී කරවා ගෙන වෛවර්ණ රූපවාහිනි දැන්වීම් නිර්මාණය කිරීම අපේ දැන්වීම් ප්‍රචාරක ආයතන වලට ඉතා සුළු දෙයකි.

තත්පර ගණනක ආයු කාලයකින් යුත් අතිශය චිත්තාකර්ෂණීය වෙළඳ දැන්වීමක් නිපදවීම සඳහා එවැනි ප්‍රචාරක ආයනයන් විසින් අය කෙරෙන ගාස්තුව රුපියල් මිලියන පහකටත් වැඩිය රූපවාහිනි තිරය මත දිස්වන එවැනි අනුරාගී බවින් යුතු වෙළඳ දැන්වීම් දෙස නෙත් දල්වා බලා සිටින ප්‍රේක්ෂකයන් ඊළඟ මොහොතේ ළඟම පිහිටා ඇති සුපිරි වෙළඳ සැල වෙත දිව යන්නේ තරුණ කතුන් ආකර්ෂණය කරන සබන් වර්ගය හෝ කොලෝන් වර්ගය සොයා ගෙනය.

ශත පනහකටත් වඩා අඩු පිරිවැයකින් නිපදවන ලද එම කොලෝන් කුප්පියක් සුපිරි වෙළඳසැළේ අලෙවි කරන්නේ එකක් රුපියල් එක්දහස් දෙසිය ගණනකටය. එහෙත් ඒ ගැන වගක් වත් නැති තරුණ පාරිභෝගිකයන් තමන් දුක් මහන්සියෙන් උපයා ගන්නා ලද මුදල් ඒ සඳහා වැය කරනු ලබන්නේ දැඩි උන්මාදයකිනි. ඒ එකී වෙළඳ දැන්වීම දැක සිතේ ඇති වූ පෙලඹවීමෙනි.

අද එම තත්ත්වය වැඩි පුරම දක්නට ලැබෙන්නේ හිරිමල් වියේ සිටින ළඳුන් අතරය. ඒ තම රූ සිරිය වැඩි දියුණු කර ගෙන අන්‍යයන් අතර වැඩි පුරම කැපී පෙනීමට වෙර දරන්නේ තරුණ ළඳුන් වන බැවිනි. මේ බව මනාව අවබෝධ කර ගෙන සිටින දැන්වීම් ප්‍රචාරක ආයතන එම බොළඳ චින්තනයට සරිලන රූප රාමු දෙක තුනක් සහිත වෙළඳ දැන්වීම් නිපදවනු ලබන්නේ එක දැන්වීමක් සඳහා රුපියල් මිලියන ගණනින් ගාස්තු අයකර ගෙනය. එවැනි රූපවාහිනි දැන්වීම් වල පෙනී සිටීම සඳහාම කැපවූ නිරූපණ ශිල්පිනියෝ දැන්වීම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ කොතෙකුත් සිටිති.

මේ අතර අපගේ බොහෝ විද්‍යුත් මාධ්‍ය ආයතන විසින් සිදු කරන එක්තරා සදාචාරාත්මක නොවන ක්‍රියාවක්ද මෙකල බහුල වශයෙන් දකින්නට ලැබේ. එමඟින් ඔවුන් කරන්නේ විවිධ නම් වලින් හැඳින්වෙන එකම මාදිලියේ පාරිභෝගික භාණ්ඩ ප්‍රවර්ධනය කිරීම සඳහා නිපදවන ලද වෙළඳ දැන්වීම් කිහිපයක් එක ළඟ ළඟ විකාශනය කිරීමය. අතිශය සිත් ගන්නා සුළු එවැනි වෙළඳ දැන්වීම් දකින කාන්තා හා පිරිමි පාරිභෝගිකයන් ඊළඟට පැටලෙන්නේ ඒ අතරින් කුමන වෙළඳ නාමයකින් යුත් භාණ්ඩයක් තෝරා ගත යුතු දැයි යන ප්‍රශ්නයටය.

අත මිට යහමින් තිබෙන සෙල්ලක්කාර තරුණ තරුණියන් එවැනි පඹගාල් වල පැටලීම අපට ඒ හැටි ප්‍රශ්නයක් නොවේ. එහෙත් අපේ සිතට දුකක්, වේදනාවක් දැනෙන්නේ හසරක් නොදත් කිරිසප්පයන්ගේ කෑම බීම, ඇඳුම් පැළඳුම්, හා ශරීර සෞඛ්‍ය රැකගැනීම සඳහා අවශ්‍ය ආලේපන වර්ග පිළිබඳව නිපදවා ඇති වෙළඳ දැන්වීම් පුංචි තිරයේ එක ළඟ විකාශය කිරීම ගැනය. එම කුඩා දරුවන්ගේ දෙමාපියන් ඒ අතුරින් කවරක් තෝරා ගත යුතු දැයි වටහාගත නොහැකිව පඹගාලක පැටලීම එහි නියත ප්‍රතිඵලය වේ.

ඇතැම් දේශීය වෛද්‍යවරුන්ගේ විස්මය ජනක ප්‍රතිකාර සඳහන් වෙළෙඳ දැන්වීම් කීපයක්ම මේ දිනවල විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කෙරේ. එම වෙළඳ දැන්වීම් මඟින් දක්වා ඇත්තේ අදාළ වෛද්‍යවරුන්ගේ විස්කම් දස්කම් ගැනය. එම වෛද්‍යවරුන් විසින් නිපදවා ඇති තෙල් වර්ග ආලේප කර දිනට පසු දිනම අදාළ රෝගියා සුවපත් වී ව්‍යායාම කරන අයුරු තිරය මත දිස්වන්නේ ඒවා නරඹන්නන්ගේ පවා නෙත් සිත් ආකර්ෂණය කර ගනිමිනි. අන්තිමේදී බලන විට අදාළ විශ්වකර්ම තෙල් කුප්පියක මිල රුපියල් අටදහස් පන්සීයකි. ඒ මොහොතේම ඇණවුම් කරන්නේ නම් රුපියල් හත් දහසකට ගෙදරටම ලබා ගත හැකිය.

සැබැවින්ම එහි ඇති ගුණා ගුණ කෙසේ වෙතත් එම තෙල් කුප්පියක නිෂ්පාදිත වියදම රුපියල් තුන්සීයකටත් අඩුය. එහෙත් රෝගියාට එම විශ්වකර්ම තෙල් කුප්පියකට රුපියල් අටදහස් පන්සීයක් ගෙවීමට සිදු වී ඇත්තේ තත්පර ගණනක ධාවන කාලයකින් යුත් වෙළඳ දැන්වීම් නිෂ්පාදනය කිරීම සහ එය විවිධ චැනල ඔස්සේ නිෂ්පාදනය කිරීම සහ එය විවිධ චැනල ඔස්සේ විකාශය කිරීම සඳහා වූ පිරිවැයටත් සම්මාදම් වෙමිනි.

අපට පෙනෙන අන්දමට නම් මෙය තනිකරම ගසා කෑමකි. නැතහොත් මහා පරිමාණයෙන් පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය කරන දේශීය හා විදේශීය වෙළඳ සමාගම් මඟින් සිදු කර ගෙන යන බරපතළ ගණයේ මාෆියාවකි. අසරණ පාරිභෝගිකයා ගොනාට අන්දන මේ සොඳුරු මාෆියාව රජයේ මැදිහත් වීමෙන් වහාම නතර කළ යුතුය. මන්ද එය ඇඟට නොදැනෙන ලෙස කරන බලහත්කාරකමක් වන බැවිනි.

Comments